
අද අපි කතා කරන්නේ එදිනෙදා ජිවිතයේ දි අපිට හික්මීම ඇති කර ගැනීම සදහා ඉතා වැදගත් වන භාවනාවක් පිළිබඳ යි. එනම් සමථ භාවනාව පිළිබඳ යි. සමථය කියන්නේ සිත සංසිඳීමකට පත් කර ගැනීමයි. ඔබ දැක ඇති දූවිලි ඇවිස්සි ඇති මාවතක්. ඒ මාවතේ දූවිලි සුළ ඟට මතුවෙනවා. අන්න ඒ වගේ අපේ සිත තුළ සෑම අවස්ථාවකදී කෙලෙස් නැමැති ධූවිලි ඇවිස්සී ඇවිස්සී මතු වෙනවා.
මේ දූවිලි ඇවිස්සුණු මාවතකට මහ වර්ෂාවක් ඇද හැලුණු අවස්ථාවක ඒ දූවිලි සන්සිඳුවා ගන්න පුළුවන්. ඒ වගේ තමයි සත් ධර්මය ජීවිතයට එකතු වුව හොත් කෙලෙස් නැමැති දූවිලි සන්සිඳවා ගන්නට පුළුවන්. කෙලෙස් නැමැති දූවිලි තාවකාලිකව සන්සිඳවා ගෙන තාවකාලිව යටපත් කරන වැඩපිළිවෙළක් සම්බුද්ධ සාසනයේ තුළ උගන්වනවා. ඒ වැඩපිළිවෙළ හඳුන්වන නම වන්නේ සමථ භාවනාවයි.
සමථ භාවනාව පිළිබඳ ඉතා හොඳ කතාවක් අට්ඨ කතාවල හඳුන්වලා තියනවා. ඒ අට්ඨ කතාවේ දී හිත උපමා කරනවා කුළු හරකෙකුට. වනාන්තරයේ ජීවත්වෙනවා එක්තරා කුළු හරකෙක් එක්තරා මනුසේසයෙක් මේ කුළු හරකාව අල්ල ගන්නවා. දිග කඹවලින් බැදලා ගමට අරන් එනවා. ඌව ඉතාම ශක්තිමත් කණුවක බැඳලා තියනවා. මේ කුළු හරකා මේ කණුව වටේ දුවනවා. දුවන්න දුවන්න ලණුව කණුව වටේ එතෙනවා. ලණුව කණුව වටේ එතුණාම කුළු හරකා කණුව මුල ලැඟ ගන්නවා.
අන්න ඒ වගේ අපිත් අපේ හිත දමනය කරගන්න ඕන. හිත නැමැති කුළු හරකා දිග ලණුවකින් බදින්නට ඕන දිග ලණුව කියන්නේ සිහියට කියන නමක්. කණුව කියන්නේ භාවනා අරමුණට කියන නමක්. භාවනා අරමුණ කියන කණුවේ සිහිය නැමැති ලණුවෙන් කුළු හරකා වැනි සිත බැඳ තබාගත යුතුයි. ඒ කියන්නේ භාවනා කරන්න ආරම්භ කරන්නට අවශ්‍යයි. භාවනා කරන කොට වරින් වර හිත නොයෙක් අරමුණවලට දුවනවා. කුළු හරකකු කැලයට දුවනවා වගේ දුවන්න පටන් ගන්නවා.
කැලය කියන්නෙ වරක තමන් ආසා කරන අරමුණු වලට ගමන් කිරීම යි. අරමුණු කරනවා තමන් අරමුණු කරන ආසා කරන අරමුණවලට කියන්නේ කාමඡන්ද කියලයි. ඒ වගේම තවත් වරක තමන් අකමැති තරහා හිතෙන වෛර හිතෙන අරමුණ වලට ගමන් කරනවා. මේ වෛරී තරහා සිතුවිලිවලට කියන්නේ ව්‍යාපාද කියලා සමහර වේලාවට නිදිමත හැදෙනවා. අලසබව ඇතිවෙනවා. ඇඟ මැළිකැඩිම් සිදුවෙනවා. අෑනුම් යෑම සිදුවෙනවා. ඒවගේම භාවනාව තුළ සිත ඇලෙන්නේ නැතිව යනවා. මෙයට අපි කියනවා ථීනමිත්තය කියලා. ඒවගේම තවත් අවස්ථාවක භාවනා අරමුණ වල සිත රඳාපවතින්නේ නැතුව එක එක අරමුණුවලට සිත ගමන් කරනවා. නොයෙක් අරමුණවලට සිත ගමන් කිරීම හඳුන්වන්නේ උද්ධච්ජ කුකුච්ච කියලා.
තවත් සමහර අවස්ථාවලදී බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය ගැන සැක සිතෙනවා ඒවගේම සීලය සමථ භාවනාව ගැන සැක සිතෙනවා. විදර්ශනාව ගැන සැක හිතෙනවා. අතීතයේ මම හිටියා ද නැද්ද සැක හිතෙනවා. අනාගතයේ මම ඉපදෙයි ද නැද්ද කියලා හිතනවා. අනාගතයේ ඉපදිලා ඉන්න මම අනාගතයට සම්බන්ධයි ද නැති ද කියල හිතෙනවා. අනාගතයේ ඉපදෙයි ද නැද්ද කියලා සැක හිතෙනවා. ඒ සැක හඳුන්වන්නේ විචිකච්ජා කියලා.
මොන අරමුණකට ගියත් භාවනා යෝගියා ඉතා ශක්තිමත් ව සිහිය පවත්වනවා නම් ඒ අරමුණුවල සිත යන සෑම වේලාවකම හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි, මගේ හිත දැන් භාවනා අරමුණු තුළ නැහැ. මගේ හිත දැන් වෙන අරමුණ වලට ගිහිල්ලා .මම නැවත භාවනා අරමුණුවලට මගේ හිත ගත යුතුයි කියලා තේරුම් ගත යුතුයි. නැවතත් ඒ කෙලෙස් අරමුණුවලින් හිත ඈත් කරලා භාවනා අරමුණවලට හිත යොදා ගන්නවා .
ඒ විදිහට වරින් වර පුරුදු කරන විට භාවනා අරමුණ තුළම හිත පවත්වාගන්නට පුළුවන් වෙනවා. අන්තිමට කුළු හරකා කණුව අසලම ලැග ගත්තා වගේ අපේ හිත භාවනා අරමුණ කියන ශක්තිමත් කණුව මුලම තැන්පත් වෙනවා. මෙයයි සමථයට පත් වෙනවා කියන්නේ ඉතින් සමථ භාවනා කියන්නේ කුමකටද? ඇත්තටම සමථ භාවනා ව උපයෝගි කරගන්නේ අපේ හිත සන්සිඳීමකට පත් කරගන්නයි. හිත සංසිඳීමකට පත් කරගන්නේ මොන වගේ අවස්ථාවලදී ද එයත් අපි වෙනම විමසා බලන්නට ඕන.
සමහර අවස්ථාවල අපේ හිත තුළ අනවශ්‍ය ආශාවල් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් අද සමාජයේ බොහෝ ගැටලුවක් වන ස්වාමියා හැර බිරිය හැර වෙනත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු පිළිබඳ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයට ඇති වෙන ආකර්ෂණය නිසා සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී වැඩිය යුතුයි මේ සමථ භාවනාව. සිතෙහි එකඟතාව ඇති කරගන්න නම් මේ සමථ භාවනාව වැඩිය යුතුයි. එබදු අවස්ථාවලදී වැඩිය යුතු සමථ භාවනාව හඳුන්වනු ලබන්නේ පටික්කූල මනසිකාරය එනම් පිළිකුල් භාවනාව වැඩිය යුතුයි.
පිළිකුල් භාවනාව කිව්වට භයට පත්වෙන්න එපා. ඔබේ හිත ඔබට අවශ්‍ය නොවන වැරදි යයි සම්මත ශිෂ්ට සම්පන්න නැති අය වෙත දුවන අවස්ථාවලදී පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමෙන් ඔබේ හිත හොඳින් පාලනය කරගන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබ වැරදි දේවල් වලට සිත යොමු කරන කෙනෙකු නම් ඔබේ හිත පාලනය කරගැනීමට දුෂ්කර නම් සැබැවින් ම පිළිකුල් භාවනාව වැඩීම ඉතා හොඳයි. පහසුවෙන් වාඩිවෙන්න දෑස්පියා ගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරන්න. හිඳිනවා හිඳිනවා යන සිතුවිල්ල මෙනෙහි කරන්න. ඉන්පසුව හිසේ හිට පාදන්තය දක්වා පිහිටි ස්ථාන වල සිට මෙනෙහි කරන්න. දත් සම ලොම් නිය සමස් නහර ඇට ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව බඩවැල ආදි සියල්ල පිළිබදව හි යොමු කරන්න.
ආසාවල් නිසා නොමඟට යොමු වු සිත සුමඟට යොමු කිරීමට සාර්ථක ගිහි ජීවියක් ගත කරන්නට මෙය සැබැවින්ම ඉවහල් වෙනවා. ඔබේ ජිවිතය වාසනාවන්ත එකක් බවට පත් කරගන්නට එය හේතුවනවා නියතයි. ඒවගේම අපි තවත් කාරණාවක් අරගෙන බලමු ඇතැම් අවස්ථාවලදී අපේ හිත තුළ අධික කෝපය හට ගන්නවා. ඒ වගේ ම ක්ෂණික කෝපය හට ගන්නා අවස්ථා තිබෙනවා. තරහා නිසාම හිත පාලනය කරගන්න බැරි අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී සමථ භාවනාව වැඩීමට යෝග්‍යයි.
තරහා වෛරය, එකට එක කිරීම පළිගැනීම වැනි අවස්ථාවල දී වැඩිය යුතු සමථ භාවනා හඳුන්වනු ලබන්නේ මෛත්‍රි භාවනාව නමිනුයි. මෛත්‍රි භාවනාව කිරීමට කැමැති සත් පුරුෂයකු මුලින්ම කළ යුතු වන්නේ පහසුවෙන් වාඩි වී ඇස් පියා ගැනීමයි. හිඳගෙන ඉන්න ශරීරයට හිත යොමු කරනවා. හිඳිනවා හිඳිනවා කියලා ටික වේලාවක් මෙනෙහි කරනවා. ඉන් පසුව තමන්ගේ ශරීරය හිත යොමු කරලා හිතනවා මම වෛර නොවෙම්වා තරහා නොවෙම්වා නිදුක් නොවේම්වා සුවසේ ජීවත්වෙම්වා සුවපත්වෙම්වා කියලා.
ඉන්පසුව තමන්ගේ නිවසේ සිටින අය සහ ඉන් අනතුරුව සියලුම සත්ත්වයන්ට නිදුක් නිරෝගි සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කර ඉන් පසුව තරහා ඇති තැනැත්තාට හිත යොමු කළ යුතුයි. තමන්ගේ ඉදිරියේ ඇති යැයි සිතාගෙන ඔහුටත් මෛත්‍රි කළ යුතුයි. තරහා නොවෙත්වා වෛර නොවෙත්වා නිරෝග වෙත්වා සුවසේ ජිවත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. විශාල තරහා ඇති අවසථාවල දී මෛත්‍රි භාවනාව කළා කියලා තරහා නිවෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෙනත් ක්‍රමවේදයක්. ඒ තමයි තරහා ඇති කෙනාගේ ශරිරය කෙටස්වලට බෙදා තමා විසින්ම ප්‍රශ්න ඇසිය යුතුයි. තරහා ඇති තැනැත්තාගේ එක් එක් අවයවය අරගෙන ඇසිය යුතුයි ඔබ තරහා ශරීරයේ ඇති කෙස් සමඟ ද ඇස් සමඟ ද දත් සමඟද සම සමඟද ආදි වශයෙන් කොටස් වලට බෙදා වෙන් කර ප්‍රශ්න ඇසිය යුතුයි. ඒ අසන ප්‍රශ්නවලට තමා විසින් ම පිළිතුරු දිය යුතුයි නැත කියලා.
එනම් ඔබ ඇස් සමඟ ද, අපි සිතිය යුතුයි නැත කියලා. ඉන් අනතුරුව අපි සිතන්න ඕන මේ කොටස් ටිකත් සමඟ අපි තරහා නැහැ කියලා මෙ කොටස් ටික හැර වෙනත් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැනේ එසේ නම් කා සමඟ ද තරහා වෙන්නේ. අන්න ආකාරයට මෙනෙහි කිරීමෙන් ශූන්‍ය බව වැටහිලා තරහා යටපත් කරන්න අපිට පුළුවන්. මේ ආකාරය එදිනෙදා ජීවිතයේ දී අපිට වෛරය තරහාව ඉරිසියාව එකට එක කිරීම පළිගැනීම ආදි පවිටු චේතනාවන්ගෙන් මිදිමට හැකිවෙනවා. ඒවගේ අවස්ථා දමනය කරගැනීමට සමනය කරගැනීමට මේ භාවනාව වඩා උපකාරී වෙනවා.
සමහර අය ඉන්නවා නිරන්තරයෙන් නිදිමත ඒ වගේම අලස පුද්ගලයන් ඉන්නවා. දහවල් නිදාගැනීමට පවා පුරුදු වෙලා ඉන්නවා බුදුදහමට අනුව නිදා ගතයුතුවන්නේ රාත්‍රි දහයේ සිට උදෑසන හතර පමණ කාලයයි. ඊට අමතරව දහවල්කාලයේ නිදාගැනීමටබුද්ධ ශාසනයේ හදුන්නවන්නේ ජීවිතයේ වදබවකියලයි වද බවකියන්නේ බෙහෝම හිස්ජීවිතයක් කියන අර්ථයෙනුයි නිෂ්පල ජීවිතයක් ප්‍රයෝජනයක් නැති ජීවිතයක් කියන අර්ථයෙනුයි ඒ නිසා නින්දට පුරුදු වෙලා නම් අලස බවට පුරුදුවෙලා නම් කම්මැළිකමට පුරුදු වෙලා ඉන්නවා නම් එය නැති කරගන්න සමථ භාවනාව ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. එය නැති කරගන්න උපකාරී වන සමථ භාවනා ක්‍රමය විදිහට මරණ සති භාවනා හඳුන්වා දෙන්න පුළුවන්. එයින් කුසීත බව අලස බව නැති වෙලා ගිහිල්ලා වීර්යය තමාගේ සිත් තුළ වර්ධනය වෙනවා.
මරණසති භාවනාව වඩන්නේ ඉහතින් සදහන් කළ ආකාරයටම හිඳගෙන දෑස් පියාගෙන අත්දෙක පහසුවෙන් තබාගෙන. සිහි කරන්න මගේ මරණය සිදුවිමට හේතු ඇත. ආයුෂ අවසන් වීමෙන් ද ජීවිතය අනියතයි මරණය නියතයි. ඒ වගේම ඍතු විපර්යාසයන් නිසා ගංවතුරට හසු වීමෙන්ද මරණය සිදු විය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි කියලා හිතන්න නොසැලකිමත් බව නිසා හදිසි අනතුරුවලින් මරණය සිදු විය හැකිය ජිවිතය අනියතයි. මරණය නියතයි. තමාගේ උපක්‍රම නිසා ද මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි. පරෝපක්‍රම නිසා එනම් අනුන්ගේ උපක්‍රම නිසා මගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි. ඒවගේම කර්ම විපාකයන් නිසා මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි මරණය නියතයි අාදිවශයෙන් මේ ආකාරයට සිහි කිරිමෙන් කුසිත භාවය නැති වෙලා බුද්ධ ශාසනය කෙරෙහි ශ්‍රද්ධාව මෙන්ම ඔබේ විර්යයද වැඩෙනවා.
ඔබේ සිත තුළ ප්‍රමෝදය ඇති වෙලා ශද්ධාව සීලය වර්ධනය වෙනවා අලස බව නැති වෙලා වීර්යය වන්ත ජීවිතයක් බවට පත්වෙනවා.
ඉතිරි කොටස ලබන සතියේ ......