
එතෙර මෙතෙර භෞතික විද්‍යාඥයන් පවසන පරිදි ඉදිරි වසර 50 ඇතුළත පෘථිවියේ ඇති ලෝහමය ඛනිජවල විශාල හිඟයක් ඇතිවේ. එයට මුහුණදීමට ලොව සියලු විද්‍යාඥයන් එක්වී අභ්‍යාවකාශ වස්තුවලින් ග්‍රහලෝකවලින් සඳෙන් විරල ඛනිජ පෘථිවියට ගෙන ඒමට දැන් පර්යේෂණ කරන බව කොළඹ සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා ද පවසා ඇත.
කරුණු එසේ වුවත් ඒ අභ්‍යවකාශයෙන් ගෙන ඒමට උත්සාහ කරන ඛනිජ අපේ රටෙන් ම සොයා ගැනීමේ හැකියාව දැන් මතුවෙමින් පවතී. මේ අනුව මුළු ලෝකයේ ම විරල වන ලෝහමය ඛනිජ අපේ රටින් සෙවීමේ විද්වත් පර්යේෂණ දැන් අපේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විද්‍යාඥයන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇත. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වත්මන් සභාපති අසේල ඉද්දවෙල අධ්‍යක්ෂ ජනරාල් පී.එච්.ඊ.ආර්. සිරිවර්ධන හා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් අනුව මේ අලුත් භූ විද්‍යා පර්යේෂණ කරගෙන යයි.
මේ අනුව දැනට වසර 15 කට පෙර සිට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) එක්ව ශ්‍රී ලංකාවට ආවරණය වන පරිදි යුරේනියම් හා තෝරයිට් ඛනිජ ගවේෂණය සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මේ ව්‍යාපෘතිය යටතේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරීන්ට පුහුණු වැඩසටහන් ලබා දී ඇත. ඒ ව්‍යාපෘතිය යටතේ පතල් කැණීම් කාර්යාංශයට ජංගම විකිරණ මාන පද්ධතියක් හා එක්ස් කිරණ ප්රතිදීප්තමානක වර්ණාවලියක් ද පරිත්‍යාග කර තිබේ.
මෙම උපකරණ භාවිත කරමින් දැනට ලංකාව තුළ විකිරණශීලී ඛනිජ ගවේෂණ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේ සහයෝගය ඇතිව ඉතා සාර්ථකව සිදු කරමින් පවතී. මෙම සමීක්ෂණ යටතේ විකිරණශීලීතාව සම්බන්ධව දිවයිනම ආවරණය වන පරිදි 1:100,000 සිතියම් පිළියෙල කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මේ වනවිට දඹුල්ල - පල්ලේගම හා නුවර - හඟුරන්කෙත සිතියම් ආවරණය වන පරිදි සමීක්ෂණ කටයුතු අවසන් කර ඇත. එහිදී මාතලේ ප්‍රදේශයේ විකිරණශීලීතාව අධික ප්‍රදේශ 3 ක් හඳුනාගෙන ඇති අතර ඒවා සම්බන්ධ වැඩිදුර සමීක්ෂණ කටයුතු දැනට සිදුකරමින් පවතී.
මීට අමතරව ඉහත සඳහන් කළ ව්‍යාපෘතිය යටතේ ම දිවයිනේ වෙරළ කලාපයේ විකිරණශීලීතාව සම්බන්ධ ගවේෂණ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිදු කරමින් පවතී. මේ වනවිට නැගෙනහිර වෙරළ තීරයේ සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර එහිදී විකිරණශීලීතාව බහුල කලාප 9 ක් හඳුනාගෙන ඇත. මීට අමතරව 2018 වර්ෂයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම යටතේ දිවයිනේ බටහිර හා දකුණු වෙරළ කලාපයේ (මන්නාරමේ සිට කොළඹ හරහා කිරින්ද දක්වා) විකිරණශීලීතාව ගවේෂණ කටයුතු සිදුකරමින් පවතී.
මීට අමතරව 1997 වර්ෂයේ ජාතික ජල සම්පත් පර්යේෂණ ආයතනය (NARA) ආයතනය, කැනේඩියානු භූ විද්‍යා ආයතනය (Geological Survey of Canada) සමඟ එක්වී පාණදුර සිට බෙන්තොට දක්වා වූ නොගැඹුරු මුහුදු කලාපයේ මොනසයිට් ඛනිජ ගවේෂණය සම්බන්ධ සමීක්ෂණයක් සිදුකර ඇත. ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ පර්යේෂණ අරමුදල (UNRF) යන ආයතනයි. මෙම මූලික සමීක්ෂණයේදී බොල්ගොඩ ගඟේ, කළු ගඟේ සහ බෙන්තොට ගඟේ මුහුදු කලාපයේ (මෝය කටවල් ආශ්‍රිත) අඩංගු අවසාදිතවල මොනසයිට් ඛනිජය 1.1% පමණ අඩංගු බව හඳුනාගෙන ඇති අතර එය මීටර් 2 ක් ගැඹුරට සහ වර්ග මීටර් 27 ක් පුරා පැතිර පවතින බවට හඳුනාගෙන ඇත.
මේ මොනොසයිට් පිළිබඳව පරීක්ෂණ කර ඒවා කොතරම් ප්‍රමාණයක් අපට ලබාගත හැකි දැයි සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. මෙම ඛනිජවල සීරියම් ලැන්ටිනම් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ වලට යොදන විරල හා ඉතා වැඩි වටිනාකමක් ඇති ඛනිජ වර්ග අන්තර්ගත බව ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසයි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මේ නවීනතම පර්යේෂණ උපකරණ මඟින් ගොඩබිම් හා මුහුදේ පවතින විකිරණශීලී ඛනිජ හා මූලද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණ කිරීම් දැන් දීප ව්‍යාප්ත ලෙස අරඹා ඇත. ඒ අලුත් පරීක්ෂණ භූ විද්‍යාඥ ඒ.එම්.ඩී.යූ. අබේසිංහ භූ විද්‍යාඥ කේ. ඒ. ජී. සමීර, පර්යේෂණ නිලධාරි චන්දන රුක්මල් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නංවති.
මේ යටතේ ඇල්පිටිය, ඌරගස්මන්හන්දිය ප්‍රදේශවල විකිරණශීලී ඛනිජ පිළිබඳව පර්යේෂණ කරන අයුරු අපට දැකගත හැකි විය. ඒ අනුව ජංගම ගැමා විකිරණමාන පද්ධතිය මඟින් මෙම පරීක්ෂණ කරනු ලැබේ.
මෙම නවීන උපකරණය කැබ් රථයක සවිකර තිබේ. මෙම වාහනය විකිරණශීලී ද්‍රව්‍ය බහුලව ඇති ස්ථාන අසලින් ගමන් කරන විට ඒ පිළිබඳ දත්ත ප්‍රස්තාර සහිතව පාලන උපකරණයෙන් භූ විද්‍යාඥයන්ට පෙන්නුම් කරයි. ඒ තොරතුරු මධ්‍යම තොරතුරු ගබඩාවේ ගබඩා වන අතර පසුව ඒ අනුව සිතියම් ද සකස් කළ හැකිවේ.
මේ අලුත් පර්යේෂණ අලුත්ගම, ගාල්ල, බෙන්තර, කළුතර සහ පානම සිට කෝකිලායි දක්වා නැගෙනහිර වෙරළෙ සිදුකර තිබේ. ඊට අමතරව දකුණු ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා මහනුවර ප්‍රදේශවල ද මේ පර්යේෂණ සිදුකර තිබේ. මෙම පරීක්ෂණ අනුව හෙළිවූ වැදගත්ම කරුණ වන්නේ අපේ රටේ වෙරළ කලාපයේ අලුත්ගම, ගාල්ල, බෙන්තර, කළුතර ප්‍රදේශය මෙරට වැඩිම විකිරණශීලී ඛනිජ ඇති භූ ගර්භ ප්‍රදේශය බව හඳුනාගැනීමයි.
රටපුරා සිදුකරන මෙම විකිරණශීලී ඛනිජ පිළිබඳ අලුත් පර්යේෂණ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1:100000 සිතියම්වලට අනුරූපව ඛනිජ සිතියම් 21 ක් සකස් කිරීම ද දැන් කාර්යාංශය අරඹා ඇත. ඒ සිතියම් අනුව අපේ රටේ ඛනිජ කලාප ප්‍රකාශයට පත්කර ඒ ස්ථාන හාරා එම ඛනිජ මගින් විශාල ආදායමක් ලබාගැනීමට සැලසුම් සකස්කර ඇත.
රජයේ නව ප්‍රතිපත්ති අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි චුම්භක සහ විකිරණශීලීතාව සම්බන්ධ ගුවන්ගත සමීක්ෂණයක් 2019 වර්ෂයේ මැද භාගය පමණ වනවිට සිදු කිරීමට බලාපොරොත්තුවේ.
මෙරට භූ විද්‍යා පර්යේෂණ පිළිබඳ අතීතය වසර 115 දක්වා ඈතට දිවයයි. දිවයිනේ විකිරණශීලී ඛනිජ පිළිබඳ මූලික අධ්‍යයනයක් මුලින් ම සිදුකර ඇති බවට වාර්තා වී ඇත්තේ 19 වැනි ශත වර්ෂයේ මුල් කාලයේදී ය. 1904 වර්ෂයේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ ලොව ප්‍රථම වරට ලංකාවෙන් සොයාගෙන ඇත. ලෝකයේ ප්‍රථම වරට තෝරියනයිට් හා තෝරයිට් ඛනිජ සොයා ගෙන ඇත්තේ අපේ රටේ සිදු කරන ලද මෙම සමීක්ෂණය මඟිනි. මෙසේ සොයාගත් තෝරියනයිට් හා තෝරයිට් ඛනිජය භාවිතා කර ලොව සිටි විකිරණ විද්‍යාඥයින් විසින් එවකට විකිරණශීලීතාව පිළිබඳ විවිධ පරීක්ෂණ සිදුකර ඇත. එම දත්තවලට අනුව 1905 – 1910 අතර කාලය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල (අවිස්සාවේල්ලට ආසන්න මිටිපොළ හා රත්නපුරයට නුදුරු බඹරබොටුව) එම තෝරියනයිට් හා තෝරයිට් යන ඛනිජ කැණීම් කටයුතු සිදුකර අපනයනය සිදුකර ඇත. එම කාලය තුළදී තෝරියනයිට් හා තෝරයිට් යන ඛනිජවලට ඉහළ මිලක් එංගලන්තයේ ලන්ඩන් නුවර වෙළෙඳපොළ තුළ පැවැතී ඇති අතර එයට හේතුව වී ඇත්තේ විකිරණශීලීතාව පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා එම ඛනිජ භාවිත කිරීමත්, එම ඛනිජවල ඇති තෝරියම්, පීඩන ලාම්පු (Petromax) සඳහා යොදාගන්නා මැන්ටල (Mantle) සෑදීම සඳහා උපයෝගි කරගත් බැවිනි.
මෙම තෝරියනයිට් හා තෝරයිට් ඛනිජ බහුලව වාර්තා වී ඇත්තේ පෙග්මටයිට් හා ග්රැනිටික් පාෂාණ ආශ්‍රිතව වන අතර ප්‍රධාන වශයෙන් දිවයිනේ අවිස්සාවේල්ල, රත්නපුර, බළන්ගොඩ, වැලිමඩ, මාතලේ, දෙනියාය, හිනිදුම යන ප්‍රදේශයන්හි එම විකිරණශීලී ඛනිජ අඩංගු පෙග්මටික හා ග්රැනිටික් පාෂාණ හමුවී ඇත.
ඊට අමතරව මොනසයිට් ඛනිජය ද ලංකාව තුළ බහුලව හමුවන විකිරණශීලී ඛනිජයක් වන අතර එම මොනසයිට් ඛනිජය සම්බන්ධව ලංකාව තුළ මුල්ම සමීක්ෂණය සිදුකර ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික භූ විද්‍යාඥයින් වන වේලන්ඩ් හා කෝට්ස් යන මහත්වරුන් විසින් 1910 වර්ෂයේ කළුතර සිට කොස්ගොඩ දක්වා වූ මෙරට බටහිර වෙරළ තීරයේය. එහිදී එම ප්‍රදේශවල වෙරළ තීරයේ ඛනිජ වැලි සමඟ මිශ්‍ර වී ඇති ආර්ථික වශයෙන් කැණීම් සිදු කළ හැකි මොනසයිට් ඛනිජ බහුල ස්ථාන හඳුනාගෙන ඇත. මොනසයිට්වල රසායනික සංයුතිය වන්නේ විරල පාංශු ලෝහ (Rare – earth elements) අඩංගු තෝරියම් පොස්පේට් වේ. මෙම මොනසයිට් ඛනිජ වලට විශාල ආර්ථික වටිනාකමක් ඇත්තේ එහි අඩංගු විරල පාංශු ලෝහ වන සීරියම්, යිට්‍රියම්, නියෝඩියම් හා ලැන්තනම් නිසා ය. ඉන්පසු 1918 හා 1922 අතර කාලය තුළ බෙන්තොටට නුදුරින් පිහිටි කයිකාවල ප්‍රදේශයේ එම මොනසයිට් නිස්සාරණය කිරීමේ නියමු කර්මාන්ත ශාලාවක් ආරම්භ කර ඇත. පැරණි දත්ත වලට අනුව එම නියමු කර්මාන්ත ශාලාවෙන් 1918 – 1922 වකවානුවේ මොනසයිට් ඛනිජය නිස්සාරණය කර වසරකට මෙට්රික් ටොන් 80 බැගින් ජපානයට අපනයනය කර ඇත. 1910 වර්ෂයේ කයිකාවල බේරුවල වෙරළ තීරයේ අඩි 4 සිට 8 දක්වා ගැඹුරට කරන ලද අවගාරකුහර සමීක්ෂණයේදී ඛනිජ වැලි සමඟ මිශ්‍ර වී ඇති මොනසයිට් ඛනිජය 3.5% සිට 15% දක්වා පැතිරී ඇති බව හඳුනාගෙන ඇත. මේවා රට යැවීමට ද කටයුතු කර ඇත.
මේ අනුව බලන විට අපේ රටේ භූ ගර්භයේ විකිරණශීලී ඛනිජ බහුලව ඇති බවට අතීතයේ සිට ම ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි ඇත.