
හන්තාන කඳුකරයට යාබද ව පිහිටි ගලහ තරමක් සීත කාලගුණික තත්ත්වයක් පවතින ප්රදේශයකි. වැඩි කලබලයක් දක්නට නොමැති මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය තේ කර්මාන්තය හා බැඳී පවතින්නේ ප්‍රදේශය පුරා තේ වතු විහිදී පැතිරී තිබෙන නිසාය. හිරිගඩු පිපෙන සීතෙන් ද සාමකාමී වටපිටාවකින් ද යුතු ගලහ ප්‍රදේශය එක් වරම පසුගිය 28 දා උණුසුම් වූයේ දෙදහසක පමණ පිරිසක් ගලහ ප්‍රාදේශීය රෝහලට කඩාවැදී එහි දේපොළ වලට හානි කරමින් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සෙවීම නිසාය. මේ සමඟ සාමකාමී පරිසරය ක්ෂණයෙන් වෙනස් ව ගොස් දැඩි කලබලකාරී ස්වරූපයක් ප්‍රදේශය පුරා පැතිර ගියේය. මොහොතකින් සිදුවූ මේ සියල්ලට හේතු වූයේ වයස අවුරුදු එකහමාරක්වූ දරුවකුගේ මරණයකි. ගලහ ප්‍රාදේශීය රෝහලට අසාධ්‍යය තත්ත්වයෙන් ඇතුළු කළ දරුවාට රෝහලේදී නිසි ප්‍රතිකාර නොලැබීම මරණයට හේතුවූ බව දක්වමින් මේ පිරිස රෝහලට කඩා වැදී එහි දේපොළ වලට හානි කරන්නට වූහ. හිතාමතා ප්‍රතිකාර ප්‍රමාද කළ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා තමන්ට ලබා දෙන ඉල්ලමින් මේ පිරිස මුලින් පහර දී තිබුණේ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාගේ වාහන දෙකටය. ඉන් නොනැවතුණ ඔවුන් පසුව රෝහලේ ජනෙල් දොරවල් පමණක් නොව වෛද්‍යවරයාගේ රාජකාරි කාමරයේ මේස පුටු සහ වෛද්‍ය උපකරණ තොයගක් ද විනාශ කර තිබේ. මෙය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ අවට පොලිස් ස්ථාන නවයක නිලධාරීන් යෙදවීමට මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති වරයාට සිදු විය.
මේ සිදුවීම් මාලාවට මුල්වූ දරුවා සංකර් සුජී ය. ගලහ දෙල්තොට වත්තේ පදිංචි තිදරු පියකු වන එස් ගසංකර්ගේ බාල පුතුවූ සුජී අවාසනාවන්ත ලෙස මිය ගියේ ගලහ රෝහලේ සිට දෙමව්පියන් විසින් ත්‍රිරෝද රථයකින් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට රැගෙන යන අතරතුරය. “පුතාට සෙම ගතිය තියෙනවා, එයාට දවස් දෙක තුනකට කලින් උණ හැදුණා. පහුවදා උණ ගතිය වැඩි බව දැනුණු නිසා අපි ත්‍රීවිල් එකකින් එයාව ගලහ එම්.ඕ.එච් මහත්තයා ප්‍රයිවට් බෙහෙත් දෙන තැනට ගෙනිච්චා. මහත්තයා කිව්වා දරුව ව ඉක්මනට ගලහ රෝහලට අරන් යන්න කියලා. අපි උදේ 8.30 විතර වෙනකොට රෝහලට ආවා. දරුවට හොඳට ම අමාරු වෙලා හිටියත් ඩොක්ටර්ලා ගානකටවත් ගත්තේ නැහැ. මගේ නෝනා කෑ ගහලා කිව්වා දරුවට ආමාරුයි ඉක්මනට කවුරුහරි බලන්න කියලා. ඩොක්ටර් කෙනෙක් දරුව ව බලලා බෙහෙත් පෙත්තක් දුන්නා. ඒත් අඩුවෙන පාටක් පේන්න තිබුණේ නැහැ. ඒ වෙලාවේ කාන්තාවෝ දෙන්නෙක් ලේ පෙරාගෙන වාට්ටුවට ගෙනාවා. බස් එකකින් වැටිලා ඒ අයට තුවාල වෙලා කියලා තමයි කිව්වේ. දොස්තරලා දෙන්නා ඒ දෙන්නට ප්‍රතිකාර කරලා ඇම්බියුලන්ස් එකෙන් පේරාදෙණියට යවන්න ලෑස්ති කළා. එතන හිටිය ඇටෙන්ඩන් මහත්තයෙක් කිව්වා මේ ළමයත් මේකේ යවන්න පුළුවන් නේද කියලා. නමුත් කවුරුවත් එයටත් ඇහුම් කන් දුන්නේ නෑ. අපිත් කිව්වා අපේ පුතත් ඒකෙම යවන්න කියලා. දොස්තර චිට් එක ලියනකම් දරුවව ඇම්බියුලන්ස් එකට දාන්න බැහැ කියලා එතන හිටිය අය කිව්වා. අපේ කෙනෙක් ගිහින් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට කතා කළාම එයත් සැරට කතා කරලා තිබුණා.දරුවට එන්න එන්නම හුස්ම ගන්න බැරිවුණා. අපි බලාගෙන ඉද්දිම අර ලෙඩ්ඩු දෙන්නා දාගෙන ඇම්බියුලන්ස් එක ගියා. පස්සේ අපි ළමයව රෝහලට අරන් ආපු වීල් එකේම දාගෙන පේරාදෙණිය රෝහලට අරන් ගියා. ගලහ ඉඳලා කිලෝ මීටර 25 ක් විතර පේරාදෙණියට තියෙනවා. අපි පේරාදෙණිය රෝහලට එනකොට 11.40 විතර වුණා. එතකොටත් ළමයා මැරිලා මහත්තයෝ,,. මියගිය දරුවාගේ පියා එස්ගසංකර් පවසයි. දරුවා මියගිය දින දෙල්තොට වත්තේ තේරු උත්සවය පැවතිණි. මේ නිසා විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ. ගලහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවා මියගිය පුවත ළැව් ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිර ගියේය. තේරු උත්සවයට පැමිණ සිටි තරුණ කොටස් ඇතුළු විශාල පිරිසක් එක් මොහොතකින් රෝහල වෙත කඩා වැටුණේ මේ පසුබිම තුළ ය. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට රෝහල තුළදී කලක පටන් අත් විඳින්ට සිදුවන දේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිටියේ කළකිරීමෙනි. වැඩි උගත් කමක් නොමැති වතු කම්කරු ජනතාව කිසිවිටෙකත් තමන්ට එරෙහිව නැඟී සිටිතැයි රෝහල් පාලනාධිකාරිය බලාපොරොත්තු නොවූවා විය හැකිය. එහෙත් සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. පොලීසියට කිසිදු අයුරකින් පාලනය කර ගැනීමට නොහැකි ලෙස මේ පිරිස හැසිරෙන්නට වූහ. රෝහල තුළට ඇතුළුවී සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දමා රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගැනීමට සමත්වූ පොලිසිය ඊළඟට මුහුණ දුන් අභියෝගය වූයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය රෝහලින් පිටතට ගැනීමය. නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිසගේ එක ම ඉලක්කය වූයේ වෛද්‍යවරුන් දෙදෙනාය. මොවුන් අත්අඩංගුවට ගෙන මාංචු දමා පිටතට ගන්නා ලෙස ඔවුන් පොලීසියට බල කළහ.වරදක් ඔප්පු වී නොමැති නිසා පොලීසියට එය කළ හැක්කක් නොවීය. අවශ්‍යය වුවහොත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර හෝ පිරිස විසුරුවා හැරීමට පොලීසිය මේවන විටත් සූදානම්ව සිටියේය.
දහවල් 12.00 ට පමණ රෝහල් භූමියට පැමිණි පිරිස පස්වරු 6.00 පමණ වනතුරුත් විසුරුවා හැරීමට පොලීසියට නොහැකිවී තිබිණි. රෝහල් කාර්ය මණ්ඩලය රෝහල තුළ සිරවී සිටියහ. ස්ථාන භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට අමතරව ලියාපදිංචි වෛද්‍යවරියක්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනෙකු, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිදෙනකු හා ගිලන් රථ රියැදුරකු ගලහ ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලයට අයත් වූහ. මෙම රෝහලේ එකදු හෙද නිලධාරිනියක හෝ නොසිටීම ද ගැටලුවකි. අදාළ වෛද්‍යවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයට මාරු කළ බව සඳහන් ලිපියක් රැගෙන ආ පොලීසිය එය පෙන්වා රෝහල අවට ඒ වනවිටත් රැඳී සිටි පිරිසට විසිර යන ලෙස ඉල්ලීමක් කළේය. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියගේ නම සඳහන් කරමින් අත්අකුරින් ලියා තිබූ එ් ලිපියේ අධ්‍යක්ෂවරියගේ නිල මුද්‍රාව නොමැති වීම නිසා ලිපිය පිළිගත නොහැකි බව කියමින් එ් පිරිස තවත් නොසන්සුන්කාරී අන්දමින් හැසිරෙන්නට වූහ. කරකියා ගත හැකි දෙයක් නොමැතිවූ පොලීසිය රෝහල තුළ සිරවී සිටින පිරිස පිටතට ගැනීමට විශාල වෙහෙසක් දරන්නට වූ අතර වෛද්‍යවරයා එහිදී පිටතට ගත්තේ පොලිස් නිල ඇඳුම් අන්දවාය. පොලිස් ජීප් රථය රෝහල ආසන්නයට ම රැගෙන ගොස් පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි වෛද්‍යවරයා ඊට නග්ගවා පිටතට ගනිත්දී දුම් බෝම්බයක් ගසා එ් ස්ථානය දුමාරයෙන් වසා දැමීමට පොලීසිය පියවර ගත්තේය. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය රෝහලින් පිටව ගොස් ඇති බව ස්ථිර ව තහවුරු කරගත් පිරිස එ් ස්ථානයෙන් විසිර ගියේ රාත්‍රී 8.00 ට පමණය. එසේ වුවත් රෝහලේ ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවීමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබිණි.
“අපි දොස්තර මහත්තයාට කිව්වා සර් දරුවා පේරාදෙණියට යවන්න කියලා.ඔයාලට ඕන විදිහට ලෙඩ්ඩු මාරු කරන්නේ නැහැ කියලා දොස්තර මහත්තයා මට බැන්නා. අපි දොස්තර මහත්තුරුන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ. මේ දොස්තරලාට අපේ දුක තේරෙන්නේ නැහැ;අපි දෙවිවරු කියලා හිතුවට මේ මිනිස්සු රාස්සයෝ. කිසිම හිතක් පපුවක් නැහැ. මේ මිනිස්සු රෝහලට පහර දීලා මේ කලබල කළේ දොස්තරලා කරන මේ අසාධාරණයට විරුද්ධවයි. අපිට අපේ දරුවා වටිනවා. දොස්තර මහත්තයා ටිකක් මේ ගැන උනන්දු වුණා නම් දරුවා බේරගන්න තිබුණා. මේ රෝහල් හදලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්. ඒක දොස්තරලාට අමතකයි. රෝහල් තියෙන්නේ ලෙඩ්ඩුන්ට. දොස්තරලා ඉන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න. ලෙඩෙක් රෝහලට එන එක දොස්තර මහත්තයාට කරදරයක් වෙන්නේ කොහොමද?මම වත්තේ ඩේ කෙයා එකේ වැඩ කරන්නේ. මහත්තයා පුංචි කඩයක් වත්තේ කරනවා. වෙන අම්මලාගේ දරුවෝ රැකබලා ගන්න මට මගේ දරුවා රැක ගන්න බැරිවුණා මහත්තයා. මේ දේ ආය වෙන කෙනෙකුටවත් වෙන්න දෙන්න නරකයි. දොස්තරලගේ දරුවෝ විතරක් නොවෙයි අපේ දරුවොත් දරුවෝගඅපිට සල්ලි නැති වුණාට, දරුවන්ට අඩුවක් කරන්නේ නැහැ.අපිට දරුවෝ තුන් දෙනයි. ලොකු දුවට අවුරුදු 12 යි. පොඩි පුතාට 10 යි.,, මියගිය සංකර් සුජීගේ මව පෝන රානි පවසන්නේ හැඬු කඳුළිනි.
“උණත් සමඟ ඇතිවූ වලිප්පු තත්ත්වයක් යටතේ මේ ළමයා රෝහලට අරගෙන ඇවිත් තිබෙන්නේ. මෙයාලා පෞද්ගලික ප්‍රතිකාර කරන වෛද්‍යවරයකුට උදේ දරුවා පෙන්නලා තිබෙනවා. ඒ දොස්තර මහත්තවාගේ උපදෙස් මත තමයි මේ අය දරුවා උදේ 9. 00 ට විතර රෝහලට ඇතුළු කරලා තිබෙන්නේ.අධික උණ සමඟ ඇතිවූ වලිප්පු තත්ත්වය නිසා දරුවාට වෛද්‍යවරයා ඖෂධ පෙත්තක් ලබාදී තිබෙනවා. ඒකට සාමාන්‍යයෙන් දරුවාට නින්ද යනවා. මේ අතර තමයි දෙමව්පියො සහ තවත් අය වාට්ටුව තුළ කලබල ඇති කරලා නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන්නේ. හුස්ම ගන්න අමාරු වෙන්නේ සෙම හිර වුණාම. වෛද්‍යවරයා ඇඟිල්ලක් දලා ඒ සිරවූ සෙම ඉවත් කරන්න උත්සාහ කරලා තිබෙනවා. ඒක කරන්න මෙතන හිටපු අය කලබල කරලා වෛද්‍යවරයාට ඒ වැඩේ කරන්න දීලා නැහැ. රෝහලට කලින් ආපු තුවාල කාරයෝ දෙන්නෙක් ඇම්බියුලන්ස් එකෙන් යවලා ගමේ ළමයා අරන් යන්න ඇම්බියුලන්ස් එක ඉල්ලුවාට ඒ වෙලාවේ ඇම්බියුලන්ස් එකක් තිබිලා නැහැ. පස්සේ මේ අය දරුවා ත්‍රිවීල් එකකින් අරන් යනකොට තමයි මඟදී දරුවා මැරිලා තියෙන්නේ. මේ වෛද්‍යවරු දෙදෙනා පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයට වහාම මාරු කළා. මොකද වෛද්‍යවරු කැමැති නැහැ පවතින තත්ත්වය යටතේ ඒ රෝහලේ වැඩ කරන්න. අනිත් පැත්තෙන් ප්‍රදේශවාසීනුත් කියනවා මේ වෛද්‍යවරු මාරු කරන්න කියලා. මේවන විට රෝහලට සිදුව තිබෙන අලාභහානි ගැන තක්සේරුවක් කෙරෙනවා. වෛද්‍යවරුන්ගේ වාහන දෙකට අමතරව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටලදන්ත චිකිත්සාගාරයටලවෛද්ය නිල කාමරයට වගේම තවත් රෝහලේ බඩු භාණ්ඩ ගණනාවකට හානි වෙලා තිබෙනවාගළමයාට ප්‍රතිකාර ලබා දීමේදී අඩුපාඩුවක් වුණාද කියලා බලන්න දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් ක්රියාක්මකයිගඅපිට මේ ගැන ස්ථිර යමක් කියන්න පුළුවන් වෙන්නේ ඒ වාර්තා පදනම් කරගෙනයි. දැනට අපි කරන්නේ ඉක්මනින් රෝහල යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍යය පියවර ගැනීමයි.,, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසයි.
මේ සිද්ධිය පිළිබඳ ව වෛද්‍යවරුන් නියෝජනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ද තම හඬ අවදි කළේ ය. එ් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ මේ සිදුවීමේදී වෛද්‍ය භාරයේ සිටි දරුවා වෛද්‍ය අවවාදවලට පටහැනිව බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන යෑමෙන් පසුව මේ මරණය සිදුවූ බව ය. එය නීති විරෝධි ක්‍රියාවක් බව පවසන වෛද්‍ය අලුත්ගේ ඊට අමතරව දරුවාගේ ඥාතීන් ඇතුළු පිරිස වෛද්‍යවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම රෝහලට සහ වෛද්‍යවරුන්ගේ වාහනවලට හානි කිරීම ඇතුළු නිති විරෝධී ක්‍රියා කිහිපයක් ම සිදුකර ඇති බව පවසයි. ඔවුන් සම්බන්ධයෙන් ද නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මියගිය දරුවාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.එස්.පී විජයරත්න මහතා විසින්ද මරණ පරීක්ෂණය හසිදි මරණ පරීක්ෂක අමල් උභයනාත් ජයවර්ධන මහතා විසින් ද සිදුකරනු ලැබීය. ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් දෙමින් දරුවාගේ ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමැතිවරයාද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමක් කර තිබේ.
ඡායාරූප-ගලහ සමූහ හා ගම්පොළ සමූහ