
කථානායකවරයා විසින් පත් කරනු ලබන, අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් විසින් ලබාදෙන වාර්තාවක් ඔස්සේ පළාත් සභා මැතිවරණය නියමිත කාලයේ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිළුමිණට කීය. එහිදී එම වාර්තාවෙන් මැතිවරණය පැවැත්වෙන්නේ කුමන ක්‍රමයෙන් යන්නද අන්තර්ගත විය යුතු බව ද කොමසාරිස්වරයා කීය.
දේශප්‍රිය මහතාට අනුව සීමා නිර්ණය පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වීම හෝ නොවීම කෙසේ වුවත් කථානායක වරයා විසින් පත් කරනු ලබන කමිටු වාර්තාව අනුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත. මැතිවරණ කොමිසම විසින් ඉල්ලා ඇති පරිදි ඔක්තෝබර් 31 වන විට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නිර්ණායක සම්පාදනය කළහොත් පළාත් සභා මැතිවරණය 2019 ජනවාරි 5 වැනිදා පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම පිළිබඳව කළ විමසීමකදීය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් වන සීමා නිර්ණ වාර්තාව පසුගිය සිකුරාදා (24) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජයට පත් විය. එයින් පසුව කථානායක කරු ජයසූරිය මහතා සීමා නිර්ණ කමිටු සාමාජිකයන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්චා කර ඇති අතර පනතේ 4(12) වගන්තිය යටතේ ව්‍යවස්ථානුකූලව පියවර ගෙන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළහොත් නිසි කලට මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහය දෙන බවට ඔවුන් කථාකනායකවරයා හමුවේ පොරොන්දු වී ඇත.
ඒ අනුව කථානායකවරයා සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නියමිතය.