
නොයෙක් දෙනා නොයෙක් ලෙසින්, අනන්ත වාරයක් මේ වර්ණනාව දිග හරින්න ඇති. හැමෝට ම වෙන් වෙන් ව දැණුනත්, තවත් කෙනකුට දැනෙන හැඟීම් එකිනෙක වෙනස්. මම ඔබ විඳි අයුරු එසේම යි. ඔබ අපූරුයි. දහසක් සිදුවීම්, දහසක් ආදර වදන්, හමුවීම්, වෙන්වීම්, වේදනාවන් ඒ හා සම ව ඔබ විඳින බව දැනෙනවා. ඒ හැම දරාගෙන නිසල ව මතුපිට පුංචි රැලි නඟමින් ඔබ නිහඬ ව. ඔබේ මේ නිහඬ බව මගහරින වාගේ එක පොදියට පොරකන මසුන් මතුපිට රැලි නඟනවා. ඒ රැල්ල සුළඟත් එක්ක රටා මවද්දී ඉමේ වැදී හඬක් නොනගාම ඒ රැල්ල බිඳෙනවා.
කලා වැව අසලදීවත්, තිසා වැව අසලදීවත් නොවිඳින තරමේ නිදහසක සුවය විඳින අය කිරි මුහුදට ළෙංගතුයි. ඔබ අසලදී ඔබේ දිය රැල්ලත්, ඔබ සිපගෙන එන සුළඟත් එක්ක බොහෝ දෙනෙක් තොරතෝංචියක් නැතිව දොඩමලු වෙනවා. නෙත් බර කරගත් ඔහු හුදකලාවේ නිමග්න වෙලා. ඔහු ඔහුත් එක්කම කතාවක, ඔබ දිහා නෙත් රඳවා ගෙන. ඇත්තටම එහෙමත් නොවුණා නම් වෙන කිසිවකු අසාවි ද; ඒ කතාව. තවත් හෝරාවකින් ඔහු ඔබටත්, ඒ හිත වේදනාවෙන් සලිත කළ සිතිවිල්ලටත් සමු දී යන්න යාවි. ඔබත් ඒ රහස තව හීන් රලකින් වසා දමා නිසලව ම ආපසු ඔබ තුළටම යාවි.
තමන්ගේ හිතාදරයන් මුණ ගැසීමේ සතුට පිරිසක් බුක්ති විඳිනවා. ඔවුන්ටත් නොදැනීම ඔබේ සිසිලස විඳිමින් ඔබ වටා ඇවිද ගිහින්. ඒ මිතුදම තවත් කලක් රැඳේවි. ඔවුන්ගේ සමු ගැනීම ඒ තරම්ම ළෙන්ගතුයි.
ඔබ වටා තවත් තැනක ආදරණීය කතාවක් ඇරඹිලා. ඇගේ ඒ සිනහව ඔබ මත ජල තරංග නංවාවි. ඔවුන් දෙදෙනගේ අපමණක් වූ පැතුම්, සිතිවිලි කන්දරාව මේ ඉවුරේ සෙමින් කැදලි තනනවා. ඒත් ලෝදම කෙසේ නම් වළකන්න ද...? ආදරයෙන් ළං වූ ඔවුන් විප්රයෝගයේ වේදනාව රැගෙන වෙන් වෙනවා. ඔහු පවන සේ යන්න යද්දී ඇය ඔබට ඒ දුකත් පවසනවා. ඒත් ඇය දන්නේ නැහැ ඔහු ඒ වේදනාවෙන් කොටසක් ඔබ මත සඟවා ගිය බවක්. ඔබ නිහඬයි.
නැති වෙලා
අද උදේ
හත් අට දාහක් එහා මෙහා ගිය
තව දෙනෝ දාහක් එහා මෙහා යන
නුවර වැව රවුමේ
හති දාගෙන දාඩිය පෙරාගෙන
අවුරුදු විසි හතක අටක විතර
පැහැපත් උස අක්කා කෙනෙක්
හොයනවා... හොයනවා බිම හැම තැනම
සීරුවට ගලන කඳුළු වැල්
අතින් පිහදාන ගමන් ම
අන්තිමට
පිටවාන ඉස්සරහ බංකුවේ හැමදාම නිදාගෙන ඉන්න
සීයා විතරමයි ඇත්ත කියුවේ
ටිකකට කලියෙන් උඹත් එක්ක
රංඩු සරුවල් කරපු ඇර ඉලන්දාරියා
මෙතනින් යන ගමන්
වැව මැදට විසික්කා කොළා දුවේ
අරහෙම කියාගෙන
මට එපා උඹේ හදවත...
ඇයට සොයා දෙන්න ඇගේ හදවත.