මහ පෙර­හ­රෙන් අව­සාන නොවන මහ­නු­වර ඇසළ මංග­ල්‍යයේ නොදන්නා කතාව | සිළුමිණ

මහ පෙර­හ­රෙන් අව­සාන නොවන මහ­නු­වර ඇසළ මංග­ල්‍යයේ නොදන්නා කතාව

නිකිණි මස පුන් පොහෝ දා එනම් ඊයේ දිනය මෙවර මහ­නු­වර දළදා පෙර­හරේ අව­සාන රන්දෝලි පෙර­හර හෙවත් මහ පෙර­හර වීථි සංචා­රය කළ දින­යයි. ඊයේ දිනයේ පෙර­හර නැරැඹූ බොහෝ දෙනා ආපසු ගම් රට බලා යන්නට ඇත්තේ මහ­නු­වර ඇසළ උත්ස­වය “අව­සාන රන්දෝලි පෙර­හ­රෙන්” නිමා වූවා යැයි සිත­මිනි.

එහෙත් සත්‍යය එය නොවේ. මහ­නු­වර ඇසළ පෙර­හර හා බැඳුණු බොහෝ වැද­ගත් සිදු­වීම් ගණ­නා­වක් තව­දු­ර­ටත් ඉතිරි වී තිබේ.

අතීත රජ දවස රාජ­කී­ය­යන් පවා අව­සාන රන්දෝලි පෙර­හරේ ගමන් කළ ද, නිද­හ­සෙන් පසු මෙරට රාජ්‍ය නාය­කයා හෝ පවුලේ පිරිස පෙර­හරේ ගමන් කොට නැත. එහෙත් ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු රාජ්‍ය අධි­කා­රීන් අව­සාන රන්දෝලි පෙර­හර නැර­ඹී­මට පැමි­ණීම සාමා­න්‍ය­යෙන් සිදු වේ. ඉන්ප­සුව ජනා­ධි­ප­ති­ව­රයා සිය මන්දි­රයේ පසුදා සවස් වන තුරු රැඳී සිටින්නේ නිල වශ­යෙන් පෙර­හර අව­සන් වූ බව “දිය­ව­ඩන නිල­මේ­ව­රයා” දැනුම් දෙන තුරුය.

කුඹල් පෙර­හර පහත්, පූර්ව රන්දෝලි පෙර­හර හත­රත් නිය­මිත මාර්ග ඔස්සේ වීථි සංචා­රය කොට අව­සා­නයේ දළදා කර­ඬුව ප්‍රමුඛ දළදා පෙර­හර යළි දළදා මැදු­රට ඇතුළු වුවද, අව­සාන රන්දෝලී පෙර­හර අව­සා­නයේ දළදා පෙර­හර දළඳා මැදු­රට ඇතුළු වන්නේ නාමි­ක­වය. මන්ද මහ පෙර­හර අව­සා­නයේ දළඳා කර­ඬුව නිය­මිත ස්ථානයේ තැන්පත් කිරී­මක් එදින සිදු නොවේ. ඒ වෙනු­වට සුළු මොහො­ත­කින් යළි ඇර­ඹෙන දළදා පෙර­හර කෙළින්ම ගමන් කරන්නේ දළදා මැදු­රට කිලෝ­මි­ට­ර­යක් ඊසාන දෙසින් පිහිටි අස්ගිරි මහා විහා­ර­යට අනු­බද්ධ අදා­හන මළුව ගෙඩිගේ විහා­ර­ය­ටය. සිවු දේවාල පෙර­හ­රද දළදා පෙර­හර පසු­ප­සින් ගෙඩිගේ විහා­රය වෙත ගමන් කරයි.

දිය කැපීම
දිය කැපීමේ පෙරහර
වලි යක් මංගල්‍යය

අස්ගිරි විහා­රය එව­කට සිරි­ව­ර්ධ­න­පු­රය යනු­වෙන් හැඳින්වූ මහ­නු­වර ඉදි කර ඇත්තේ කරු­ණෑ­ගල යුගයේ දීය. ඒ දෙවැනි පරා­ක්‍ර­ම­බාහු රජු (රා. ව. 1236 - 1270) ගේ සම­යේ­දීය. අස්ගිරි මහා විහා­ර­ය­ටම සම්බ­න්ධව, ඊට ආස­න්නව අදා­හන මළුව ගෙඩිගේ විහා­රය ඉදි කර ඇත්තේ ගම්පොළ යුගයේ තුන්වන වික්‍ර­ම­බාහු රජු විසිනි. ගෙඩිගේ විහා­රය යනු එතු­මාගේ මැණි­යන් වූ චන්ද්‍රා­වතී බිසව ආදා­හන කළ ස්‌ථානය සිහි­වීම පිණිස ඉදි කළ විහා­ර­යයි. ඒ අනුව එම භූමිය ගම්පොළ සහ මහ­නු­වර යුග වල රාජ­කීය ආදා­හන භූමිය ලෙස භාවිතා කර ඇත. කීර්ති ශ්‍රී රාජ­සිංහ රජුගේ සොහොන පවා ඉදිව තිබී ඇත්තේ මේ බිමෙ­හිය.

සුසාන භුමි­යක් වූ ආදා­හන මළු­වට, දළඳා කරඬුව වැඩ­ම­වීම සිදු­ක­රන්නේ ඇයි දැයි යන්න බොහෝ දෙනෙ­කුට කුකුස දන­වන පැන­යක් වුවද, කෙළෙහි ගුණ දැක්වීමේ හෙළ පුරුද්ද අනු­ග­ම­නය කරනු පිණිස දළඳා මැඳු­රෙන් පිටත ස්ථාන­යක වසරේ එක් දින­කට සධාතුක කරඬුව රැඳ­වීම සිදු කෙරේ.

ඊට අදාළ කථාව මෙලෙ­සය. කෝට්ටේ යුගයේ අව­සාන සම­යේදී දළ­දාව රඳවා තැබෙන්නේ සබ­ර­ග­මුවේ දෙල්ගමු විහා­ර­යේය. පසු­කා­ලී­නව පොල්ග­ස්අංගේ හිමි­යන් විසින් සීතා­වක රාජ­සිංහ රජුට බියෙන් වනා­න්ත­ර­ග­තව සිටි දෙව­න­ගල රත­නා­ලං­කාර හිමි­යන් මැද­ම­හ­නු­ව­රට වැඩම කරවා උන්ව­හ­න්සේගේ උද­වු­වෙන් දළදා වහන්සේ ද දෙල්ග­මුව වෙහෙ­රින් මැද­ම­හ­නු­ව­රට වැඩ­ම­වා­ගෙන එන ලදී. ඒ සඳහා මූලි­ක­ත්වය ගෙන ඇත්තේ මහ­නු­වර යුගයේ මුල්ම රජු වූ පළ­මු­වැනි විම­ල­ධ­ර්ම­සූ­රිය රජුය.

එසේ දන්ත ධාතුව මහ­නු­ව­රට වැඩ­ම­වා­ගෙන ආවද කිසි­යම් නොදන්නා හේතු­වක් නිසා පළමු දින රැයෙහි නාථ දේවා­ලය ආස­න්නයේ ඉදිවූ පැරැණි දළඳා මාලි­ගයේ දළ­ඳාව තැන්පත් කර නැත. ඒ වෙනු­වට එදින රැය දළ­ඳාව තැන්පත් කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ ආදා­හන මළු විහා­රයේ ධර්ම ශාලා­වෙ­හිය. දළදා වහ­න්සේට එක් රැයක් නවා­තැන් දීමේ උප­කා­රය සිහි­ක­රනු වස්, සෑම දළදා පෙර­හ­ර­කම මහ පෙර­හර දා රාත්‍රි­යෙහි දළ­දාව තැන්පත් කරන්නේ ගෙඩිගේ විහා­ර­යේය.

ගෙඩිගේ විහා­ර­යට ගමන් කරන දළදා මහ පෙර­හ­රෙන් කර­ඬුව භාර ගැනී­මට සූදා­න­මින් සිටින්නේ අස්ගිරි මහ­නා­යක හිමි­යන් වහ­න්සේත්, ගෙඩිගේ විහා­රා­ධි­කාරී හිමි­ය­නුත් ඇතුළු මහා සංඝ­ර­ත්න­යයි. උන්ව­හ­න්සේට දළදා කර­ඬුව භාර කරන්නේ දිය­ව­ඩන නිලමේ වර­යාය. එම අව­ස්ථා­වේදී කර­ඬුවේ අන්ත­ර්ග­තය පිළි­බඳ පරී­ක්ෂා­වක් ද දෙපා­ර්ශ්වය අතර සිදු වේ. අන­තු­රුව දළදා කර­ඬුව ගෙඩිගේ විහා­රයේ නිමවා ඇති විශේෂ පීඨි­කා­වක තැන්පත් කෙරේ. ඉන්පසු යළිත් හිස් රන්සි­වි­ගෙය සහිත දළදා පෙර­හර පෙරටු කොට­ගත් සිවු දේවාල පෙර­හර දළදා චතු­ර­ස්‍රය වෙත පැමිණේ. දේවාල පෙර­හර දේවාල වෙතට පිවි­සෙන අතර දළදා පෙර­හැර දළදා මාලි­ගා­වට පිවිසේ.

ගෙඩිගේ විහා­රයේ තැන්පත් කෙරෙන දළදා කර­ඩු­වට, දළදා මාලි­ගයේ සිදු කෙරෙන සාමාන්‍ය තේවා සිය­ල්ලම එහිදී ද ඉටු කෙරේ. එයට මූලි­ක­ත්වය ගන්නේ අස්ගිරි මහ නායක හිමි­යන් ඇතුළු ස්වාමීන් වහ­න්සේය. දිය­ව­ඩන නිලමේ වරයා වෙනු­වෙන් දළදා කර­ඬුවේ ආර­ක්ෂාව එදින රාත්‍රි­යට පැව­රෙන්නේ මහ­නු­වර විෂ්ණු දේවා­ලයේ බස්නා­යක නිලමේ වර­යා­ටය. ඔහු විසින් මහ­නු­වර අවට පිහිටි පිළි­ගත් පිටි­සර දේවාල භාර­ක­රු­වන් නව දෙනෙකු හවුල් කර­ගෙන එම ආර­ක්ෂක වග­කීම ඉටු කරයි.

ඒ අත­ර­තුර සිවු දේවාල තුළ තවත් පෙර­හ­රක් සූදා­නම් වේ. එහි මූලි­ක­ත්වය ගන්නේ මහ­නු­වර විෂ්ණු දේවා­ල­යයි. ඇසළ මස අමා­වක දාට පසු දින සිදු­කළ කප් සිටු­වී­මට යොදා­ගත් “කප” ඇහැළ ගෙයින් ගල­වා­ගෙන එය සුදු රෙදි කඩ­කින් ඔතා­ගෙන දේවා­භ­ර­ණද රැගෙන සිවු දේවාල වල රාජ­කා­රි­ක­රුවෝ නැටුම් කණ්ඩා­යම් පෙරටු කොට ගෙන අලු­ය­මින් පිටත් වන්නේ දිය කැපීමේ චාරි­ත්‍රය ඉටු කිරී­ම­ටය. එය ‘දිය කැපුම් පෙර­හර” ලෙසින් හැඳින්වේ. මෙයට දළදා මැදුර සම්බන්ධ වන්නේ නැත. නමුත් මේ පිට­ත්වීම සිද්ධ වන්නේ දළදා මැදුරේ නැකත් රාල විසින් ලබා දෙන නැක­ත­කට වීම විශේ­ෂ­ත්ව­යකි.

දිය­කැ­පුම් තොට ඇත්තේ ගැටඹේ නව පාලම ආස­න්න­යේය. මෙම දිය­කැ­පුම් තොට පළමු වන විම­ළ­ධ­ර්ම­සූ­රිය රජු විසින් මහ­නු­වර විෂ්ණු දේවා­ල­යට ලබා­දුන් ත්‍යාග­යකි. ඒ නිසා මෙම කට­යු­ත්තේදී අනෙක් දේවාල වලට වඩා විශේෂ වැද­ග­ත්ක­මක් සහ මූලි­ක­ත්ව­යක් විෂ්ණු දේවා­ල­යට ලැබේ.

පැරැණි කටු­කැලේ වීදිය හෙවත් පැරණි කොළඹ පාර ඔස්සේ ගැටඹේ තොටට ඇදෙන ‘දිය කැපුම් පෙර­හර”ට එක්වී­මට සුදු ඇඳු­මෙන් සැර­සුණු බැති­මත්හු පෙළ ගැසී සිටිති. එවැ­නිම සෙන­ඟක් දිය කැපුම් තොටෙ­හිද පෙර­හර පිළි­ගැ­නී­මට රැඳී සිටිති.

දිය­කැ­පුම් තොට පිහිටි ස්ථානයේ වූ බෝ මළුවේ සිවු දේවා­ල­වල දේවා­භ­රණ තැන්පත් කිරී­මට විශේෂ පීඨි­කා­වන් ඇත. දේවා­භ­රණ එහි තැන්පත් කර සිවු දේවාල වල ‘කප’ත්, පැන් කෙණ්ඩිත් රැගෙන මහ­වැලි ගඟ කරා යන දේවාල භාර­ක­රුවෝ දිය කැපි­මට සූදා­නම් වෙති.

අතී­ත­යේදී “දිය කැපුම්” රාජ­කා­රිය පවරා තිබි ඇත්තේ මේ තොටට යාබ­දව පිහිටි ගන්නෝ­රුව ගම­ටය. එය අද­ටත් මහ­නු­වර විෂ්ණු දේවා­ලයේ ගම්ව­ර­යකි. නමුත් අද වන විට දිය­කැ­පීම සිදු කරන්නේ වෙනත් ඔරු කුලී පද­නම මත ලබා­ගෙ­නය. නිය­මිත වේලා­වට ඔරු­වෙන් ගඟ මැදට ගොස් ‘කප” ගඟේ හෙළා, පසු­ගිය වසරේ පැන් කෙණ්ඩි­යට පුර­වා­ගත් පැන්ද ඉවත හෙළා, විශේ­ෂිත කඩු­ව­කින් දිය දෙබෑ වෙන්නට ගඟට ගසා එම ස්ථාන­යට එක්රැස් වන වතු­රෙන් කෙණ්ඩිය නැවැත පුරවා ගනී. යළි එය ද රැගෙන ගොඩ­බි­මට විත් තම දේවාල වලට අදාළ දේවා­භ­රණ අස­ල­තැ­න්පත් කරයි.

එම අව­ස්ථා­වේදී බැති­ම­තුන් විසින් එකි­නෙ­කාට විවිධ දාන­යන් ලබා­දීම සිදු වේ. කැවිලි, පල­තුරු, කිරි­බත් ආදිය ඒ අත­රට ඇතු­ළත්ය. එසේම පෙර­හරේ ගිය ඇතුන් ට තුටු පඬුරු පිදීම අර­මුණු කර­ගෙන උක්දඬු, කොමඩු අන්නාසි ආදිය ලබා­දීම ද සිදුවේ.

අන­තු­රුව බැති­ම­තුන්ට දේවා­ශි­ර්වාද කිරීම් සිදු වන අතර හිරු උදා වන මොහොතේ දී “දිය කැපුම් පෙර­හර” ආපසු ගමන් අර­ඹයි. නමුත් එම පෙර­හර යන්නේ මහ­නු­වර නග­ර­යට බට­හි­රෙන් පිහිටි ගණ­දෙවි කෝවිල දක්වා පමණි. ගණ­දෙවි කෝවිල ඉදිව ඇත්තේ 1840දිය. එයට පෙර කිර්ති ශ්‍රි රාජ­සිංහ රජු දවස සිට මෙම ස්ථානයේ පැවත ඇත්තේ ශිව ලිංග­යක් පමණි.

දළදා මාලි­ගා­වෙන් දහ­වල් පෙර­හර ඇර­ඹීම සංකේ­ත­වත් කෙරෙන තුරු සිවු දේවාල දේවා­භ­රණ සහ පැන් කෙණ්ඩි ආදිය තබා­ගෙන ගණ­දෙවි කෝවිල අසල රැස්ව සිටින සිව් දේවාල භාර­ක­රු­ව­න්ගෙන් ආශි­ර්වාද ගැනී­මට ජන­තාව පැමි­ණිම ද සිදුවේ.

එදින දළදා දවල් පෙර­හර ඇර­ඹෙන්නේ ආදා­හන මළුව ගෙඩිගේ විහා­ර­යෙනි. පෙර­දින භාර­ගත් දළදා කර­ඬුවේ සියලු අන්ත­ර්ග­ත­යන් නිසි පරිදි දිය­ව­ඩන නිල­මේ­ව­රයා වෙත භාර­දී­මෙන් පසු දළදා කර­ඬුව රන්සි­වි­ගෙයි තැන්පත් කර නැටුම් සහ සංස්කෘ­ති­කාංග පෙරටු කොට­ගෙන දළදා දවල් පෙර­හර මාලි­ගාව බලා පිටත් වේ. එයට සිවු දේවාල පෙර­හ­රද එක්වන අතර, දේවාල චතු­ර­ස්‍රය වටා තෙව­රක් දක්ෂි­ණා­වෘ­තව ගමන් කිරී­මෙන් අන­තු­රුව දහ­වල් පෙර­හර අව­සන් වේ.

ඉන් අන­තු­රුව මහ­නු­වර ඇසළ පෙර­හරේ ‘දළදා මාලි­ගාව’ සම්බන්ධ වන සියලු කට­යුතු අව­සන් වන නමුදු සිවු දේවාල වලට අදාළ කට­යුතු ගණ­නා­වක් තව­දු­ර­ටත් සිදු වේ. එ්වාට මත්තෙන් එදින සවස් වරුවේ දී දිය­ව­ඩන නිලමේ වරයා ප්‍රමුඛ සිවු දේවාල බස්නා­යක නිලු­මේ­වරු චාරි­ත්‍රා­නු­කූ­ලව ජනා­ධි­ප­ති­ව­රයා බැහැ­ද­කිති. දළදා මැඳුරේ පෙර­හර ප්‍රමුඛ කොට­ගෙන මහ­නු­වර ඇසළ උළෙල පැවැත්වූ බව එහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාට දැනුම් දේ. ඉන් අන­තු­රුව දිය­ව­ඩන නිල­මේ­ව­රයා නිර්දේශ කරන ශිල්පීන්ට තුටු පඬුරු ප්‍රදා­නය කිරීම ද ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු වේ.

පසු­දින සිට සිවු දේවා­ල­වල විශේෂ චාරිත්‍ර කිහි­ප­යක් සිදු කෙරේ. ඉන් ප්‍රධා­නම චාරි­ත්‍රය සිදු කෙරෙන්නේ මහා විෂ්ණු දේවා­ල­යේය. එය හැඳි­න්වෙන්නේ “වලි යක් මංග­ල්‍යය” ලෙසයි. උඩ­රට සහ පහ­ත­රට යන නර්ත­නාංග සහ ඇදුම් පැල­ඳුම් මිශ්‍රව යොදා­ග­නි­මින් කෙරෙන ශාන්ති­ක­ර්ම­යක් වන මෙය පුරා සත් දිනක් විෂ්ණු දේවාල පරි­ශ්‍ර­යේදි පැවැත්වේ. එයට දිය­ව­ඩන නිලමේ වර­යාද, සිවු දේවාල බස්නා­යක නිල­මේ­ව­රුද, සිවු දේවාල රාජ­කා­රි­ක­රුවෝ ද’ සමස්ත පෙර­හ­රට දායක වූ කලා­ක­රුවෝ ද සහ­භාගී වී ආශි­ර්වාද ලබා­ග­නිති .

නාථ දේවා­ලයේ සහ කත­ර­ගම දේවා­ලයේ පැවැ­ත්වෙන්නේ පිරිත් පින්කම්ය. පත්තිනි දේවා­ලයේ සිදු කෙරෙන්නේ කිරි අම්මා­වරු වෙනු­වෙන් වූ දාන­මය කට­යු­ත්තකි. මේ සෑම කට­යු­ත්ත­කින්ම බලා­පො­රොත්තු වන්නේ “ඇස්වහ කට­වහ දොස්” දුරු­කි­රී­මය.

මේ කට­යුතු අව­සන් වීමෙන් පසු “මහ­නු­වර ඇසළ පෙර­හර” නිල වශ­යෙන් අව­සන් වේ. වෙසක් මස අව­සා­නයේ අලු­ත්නු­වර දැඩි­මුණ්ඩ දේවා­ල­යෙන් ඇරැඹි මහ­නු­වර ඇසළ උත්ස­වයේ කට­යුතු දින අනූ­ව­කට පමණ පසු අව­සන් වන්නේ එලෙ­සය. ඒ මහ පෙර­හර අව­සන් වී සති­ය­කට පසු­වය.

මෙම කට­යු­ත්තෙන් පසුව ඇරැ­ඹෙන්නේ පිටි­සර දේවාල උත්ස­වයි. පිටි­සර දේවාල යනු මහ­නු­වර සිවු මහා දේවාල වලට අනු­බ­ද්ධව මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ සහ මධ්‍යම පළාතේ පිහිටි පුරාණ දේවා­ලයි. ඒ අනුව යටි­නු­වර දොඩං­වල නාථ දේවා­ලය, උඩු­නු­වර ගඩ­ලා­දෙ­ණිය විෂ්ණු දේවා­ලය, වේගි­රිය නාථ දේවා­ලය, ලංකා­ති­ලක විෂ්ණු දේවා­ලය, ඇම්බැක්ක කත­ර­ගම දේවා­ලය, ගඟ­ඉ­හළ වල්ල­හ­ගොඩ කත­ර­ගම දේවා­ලය, දොළුව ගනේ­ගොඩ ශ්‍රී කත­ර­ගම දේවා­ලය, පාත­හේ­වා­හැට පස්ගම නාථ දේවා­ලය, අකු­රණ අල­ව­තු­ගොඩ සමන් දේවා­ලය වන්දනා ගමන් ආඥා­ප­නත යටතේ ගැසට් කොට ඇති මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ පුරාණ පිටි­සර දේවාල වේ.

පසු­කා­ලී­නව තවත් දේවාල හත­රක් පිටි­සර දේවාල ලෙස පිළි­ගෙන ඇත. ඒවා පිහිටා ඇත්තේ මාතලේ සහ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­ව­ලය. පිටි­සර දේවා­ල­වල පෙර­හර උත්සව පවැ­ත්වී­මෙන් පසුව, ඒ වස­රට අදා­ළව සිරි­ලක පුරා පැවැ­ත්වෙන සිය­ලුම ඇසළ උත්සව අව­සාන වේ. ඒවන විට නිකිණි මහ පම­ණක් නොව බිනර මාස­යද ගෙවි අව­සන්ය.

(විශේෂ ස්තූතිය තොර­තුරු සැප­යී­මේදී සහය වූ මාව­නැල්ල, අලු­ත්නු­වර ශ්‍රී දැඩි­මුණ්ඩ දේවා­ලයේ තේවාව භාර­කාර, දම්සිරි බණ්ඩාර කරු­ණා­රත්න මහ­තාට, සිවු දේවාල බස්නා­යක නිලමේ තුම­න්ලාට සහ තේවාව භාර කපු මහ­ත්ව­රුන්ට සහ දළදා මාලි­ගයේ බෞද්ධ කට­යුතු පිළි­බඳ ලේකම් කේ. මීග­හ­කු­ඹුර මහ­තාට)

ඡාය­රූප - ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ/ දළදා මාලි­ගය මාධ්‍ය අංශය

Comments