
වයඹ පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂ 2කට නොඅඩුව ජලය ලැබෙන වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දෙවන පියවරේ සමාරම්භය හා ඌව, උතුරු මැද, වයඹ හා උතුරු මැද පළාත්වල වැව් 2400 පිළිසකර කිරීමේ සමාරම්භක උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පෙරවරුවේ කුරුණෑගල පොල්පිතිගමදී පැවැත්විණි.
මේ නව ව්‍යාපෘතිය මඟින් වයඹ පළාතේ මහ වැව් 8ක් හා කුඩා මධ්‍යම ප්‍රමාණයේ වැව් 350ක් පමණ මහවැලි ජලයෙන් පෝෂණය වන අතර මේ ව්‍යාපෘතිය මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියේ තවත් ප්රතිඵලයකි.
මේ අවස්ථාවට බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, වාරිමාර්ග ඇමැති දුමින්ද දිසානායක, මහවැලි රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්වූහ.
![]() |
ප්‍රථම අදියරේ ඉදිකළ වයඹ ඇළ |
මීට අමතරව වැව් 2400 පිළිසකර කිරීමේ වැඩසටහන යටතේ වයඹ, උතුරු හා ඌව පළාත්වල හා අනුරපුර දිස්ත්‍රික්කයේ වැව් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්වෙන බව මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩ සටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා පවසයි.
මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට ලැබෙන මේ ව්‍යාපෘති දෙකට රුපියල් කෝටි 4680ක් පමණ රජය වැය කරන අතර 2024 දී සියලු සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත්වෙයි.
වයඹ ඇළ ව්‍යාපෘතියෙන් වයඹ පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කවල ලක්ෂ දෙකකට පමණ සෙත සැලසෙන අතර වැව් 2400 ප්‍රතිසංස්කරණය මඟින් දිස්ත්‍රික්ක 8ක අඩු ගණන් ගොවි පවුල් ලක්ෂයක පුද්ගලයන් ලක්ෂ 5 කට පමණ නව කෙත් බිම් සුරැකීමට අඩු නැතිව ජලය ලැබෙන බවත් නීල් බණ්ඩාර මහතා පවසයි.
දඹුල්ලේ ලෙනදොරින් හා දඹුලු ඔයෙන් වයඹ ඇළට ලැබෙන මහවැලි ජලය මුලින් ම වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ දක්වා ද පසුව මහකිතුල හා මහ කිරුල ජලාශ දක්වා ද ප්‍රධාන ඇළ මාර්ගවලින් ගෙනියනු ලැබේ. පසුව එම ජලය තවත් ප්‍රධාන ඇළ මාර්ග දෙකක් මගින් වයඹට යැවේ. ඒ අනුව මහකිරුළ ජලාශයෙන් ඇහැටුවාව ප්‍රදේශයේ කඳුරුවැව දක්වා කිලෝමීටර් 21ක් දුරට ද, මහකිතුල ජලාශයෙන් මැඩියාව මහවැව දක්වා කි.මී. 20ක ඇළ පද්ධතියක් මගින් ඒ ජලය වයඹ කෙත් බිම් වලට සැපයේ. මීට අමතරව මැඩියාව ඇළ මාර්ගයේ සිට කිලෝමීටර් 10ක් දිග යාපහුව ඇළ මාර්ගය මගින් මෙතෙක් ජලය නැතිව දුක් විඳි ජනතාවට යල මහ වගා කිරීමට අවස්ථාව ලැබේ.
වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 22ක් ආවරණය වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම අඹන්පොළ ඇහැටුවැව ගල්ගමුව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 25ක් ආවරණය වේ. ගොවි පවුල් 40000ක් සෙත සැලසෙන මේ ව්‍යාපෘතිය මඟින් වයඹට ලැබෙන මුළු ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් මිලියන 130කි.
![]() |
ජනාධිපතිතුමාට ඇඹුල පිරිනැමූ අවස්ථාව. |