
බස් රථවල මඟී ප්‍රවාහනය කිරීම එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය අයුරින් කළ හැක්කක් නොවේ. බස් රථ නියාමනය පහසුව පිණිස පළාත තුළ පමණක් ප්‍රවාහනය කරනු ලබන බස් රථ අදාළ පළාත් සභාවේ මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියෙන් නියාමනය කෙරේ. පළාත් දෙකක් අතර ධාවනය කරනු ලබන බස් රථ ජාතික ගමනාගමන කොමිසම මඟින් නියාමනය කෙරේ.
බස් රථය අයත් පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියෙන් හෝ ජාතික ගමනාගමන කොමිසමෙන් ලබා දී ඇති නිර්ණායක අනිවාර්යෙන්ම සපුරාලිය යුතුය. බස් රථය මෙන්ම රියැදුරන් හා කොන්දොස්තරවරුන්ද පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ හෝ ජාතික ගමනාගමන කොමිසමේ ලියාපදිංචි කළ යුතුය.
දැනට මෙරට ධාවනය වන බස් රථ 25000ක් පමණ මේ සියලු පෞද්ගලික මඟී ප්‍රවාහන සේවා බස් රථවලට අමතරව කාගේත් ඇස් වසා කාලයක සිට ධාවනය වන බස් රථ සේවා රැසක් ද තිබේ.
බස් රථයක් ධාවනය කිරීමට නම් පළමුව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් හෝ ජාතික ගමනා ගමනකොමිසමෙන් බස් රථයට අයත් මාර්ගයට බලපත්‍රයක් ලබා ගත යුතුය. ඒ මාර්ගයේ හැර වෙනත් මාර්ගයක බස් රථය ධාවනයට අවසර නැත.
ඒ යටතේ ටෙන්ඩර් ක්‍රමයෙන් විශේෂයෙන්ම පළාත් මාර්ගස්ථ අධිකාරියෙන් ලබාදෙන අවම ලංසුව ඉක්මවා යන මුදලකට අනුව සෑම මඟී ප්‍රවාහන බස් රථයකටම බලත්රයක් ලබාගත යුතුය. එසේත් නැත්නම් දැනට ධාවනය වන බස් රථයකට අයත් බලපත්‍රයක් මිල දී ගත යුතුය.
විශේෂයෙන් අධික ලාභදායි මාර්ගවල බලපත්‍ර අධික ඉල්ලුමකට අලෙවි වෙයි. උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් කොට්ටාව සහ පිටකොටුව අතර මාර්ග අංක 138 බස් රථයක දැනට භාවිතා කරනු ලබන බලපත්‍රයක් රුපියල් ලක්ෂ 20කට පමණ අධික ඉල්ලුමකට අලෙවි වෙයි. එසේම හෝමාගම - කිරිවත්තුඩුව මාර්ග අංක 128 බලපත්‍රයක් රුපියල් ලක්ෂ 40කට පමණ අලෙවි වෙයි. මහනුවර කොළඹ බලපත්රයක්ද එවන් අතිවිශාල මුදලකට අලෙවි වෙයි.
අධිවේගී මාර්ගයේ පසුගිය දිනක නව මාර්ග කීපයක් සඳහා බස් රථ ධාවනයට ටෙන්ඩර් කැඳවා තිබූ අතර එහිදී මාර්ග කිහිපයකට කැඳවා තිබූ අවම ලන්සු මුදල ලක්ෂ 20 කට ආසන්නය. එම මුදල් වාර්ෂිකව ගෙවිය යුතුය. ඒසා අතිවිශාල මුදලක් වාර්ෂිකව ගෙවන්නට බස් රථයකින් ඉපැයිය යුතු ලාභය කොපමණද?
බලපත්‍රයක් නොමැති බස් රථ මඟී ප්‍රවාහනය කිරීම අපේ රටේ තහනම් වන අතර ඒ සඳහා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට මෙන්ම ජාතික ගමනාගමන කොමිසමටද නීති මඟින් කටයුතු කළ හැකිය. එය අධිකරණය දක්වා යා හැකි වරදක් ලෙස ද දක්වා ඇත.
එහෙත් අපේ රටේ නීතියේ ඕනෑ තරම් හිල් ඇත. කූට වංචාකරුවන් බලා සිටින්නේ මේ නීතියේ හිල් දෙසය. හොරාට ගණදෙවි නුවණ ඇති බවද අපි අසා ඇත්තෙමු. හොරා ඒ ගණදෙවි නුවණින් මේ නීතියේ හිල් අතුරින් තම වාසිය සලසා ගන්නා බව අපට පසක් වූයේ බලපත්‍ර නොමැතිව ගමන් ගන්නා බස් රථ සේවා දෙස බැලීමෙනි.
මේ වන විට බලපත්‍ර නොමැතිව යාපනය සහ කොළඹ අතර පමණක් බස් රථ 34ක් ධාවනය වන බවට වාර්තා වී ඇත. ඊට අමතරව කල්මුණේ කොළඹ අතර බස් රථ 14ක් පමණ ද උතුරු හා නැඟෙනහිර අතර මෙවන් ගමනාත්ත කිහිපයක් සඳහා මේ ආකාරයේ බලපත්‍ර නොමැති සුඛෝපභෝගී බස් රථ ධාවනය වන බවට අපට අනාවරණය වී ඇත. මේ සියලුම බස් රථ රාත්‍රී කාලයේ පමණක් කොළඹ සිට යාපනයටත් යාපනයේ සිට කොළඹටත් එසේම කල්මුණේ - කාන්තන්කුඩි වැනි ප්‍රදේශවලටත් ධාවනය කෙරේ. මේ බස් රථ නියාමනය පිණිස කිසිදු ආයතනයක ලියාපදිංචියක් නැත. එම නිසා බස් රථ ධාවනයෙන් රජයට හිමිවිය යුතු රුපියල් මිලියන ගණනාවක් වාර්ෂිකව අහිමි වේ. ඒ බව ලියාපදිංචි බස් රථ හිමියන් නොදන්නවාද නොවේ. ඔවුන් විසින් පැමිණිලි ද කර ඇත. එහෙත් කිසිදු ආකාරයක නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න අපටත් ප්රශ්නයකි. කොළඹ සහ යාපනය අතර බලපත්‍ර නොමැතිව ධාවනය වන මේ බස් රථ බොහෝ විට ගමන් අරඹන්නේ වැල්ලවත්තේ සිටය. ඒවා සඳහා ආසන වෙක් කරනු ලබන්නේ කුඩා හෝටල් හෝ වෙනත් කුඩා පෙට්ටිකඩවල සිටය. ලංකාවේ බස් රථ මඟී ප්‍රවාහන නීතියට අනුව එවන් වෙන් කිරීම් අනුමත වෙන් කිරීම් නොවන අතර ඒවා නීති විරෝධීය. එහෙත් මේ වෙන් කිරීම් දැන්වීම් යොදා ප්‍රසිද්ධියේම සිදු කරනු ලබයි.
කොළඹින් හෝ වෙනත් ප්‍රදේශවලින් මේ බස් රථවලට මඟීන් නංවා ගන්නේ නැත. එයට හේතුව වන්නේ මේ බස් රථවල ආසනගත මඟීන් පමණක් ගමන් ගැනීමයි. එසේ ගමන් ආරම්භ කරනු ලබන බස් රථවලට බොහෝවිටම ගමනාන්ත නාම පුවරුද නැත. ඇතැම් විට ‘විශේෂ‘ හෝ ‘විශේෂ සේවා‘ යන්න ඉංග්‍රීසියෙන් යොදා ධාවනය කරනු ලබන අතර මෙහි අරුමය වන්නේ කිසිදු සිංහල වැසියෙකු ගමන් නොගන්නා මේ බස් රථවල ඇතැම් විට සිංහල භාෂාවෙන් පමණක් ‘විශේෂ‘ හෝ ‘විශේෂ සේවා‘ යනුවෙන් යෙදූ නාමපුවරු යොදා ධාවනය කිරීමයි. එය බැලූ බැල්මටම ඇස් බැන්දුමකි. කලාතුරකින් ගමනාන්තය යොදා බස් රථ ධාවනය කෙරේ.
ඒ එම බස් රථ මාර්ගයේ පොදු මඟී ප්‍රවාහන සේවා සඳහා ලියාපදිංචි වී නොමැති බැවින් ද අතර මඟින් මඟීන් නංවා ගනු නොලබන බැවින්ද බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
දැනට සංචාරක කර්මාන්තයේ යෙදෙන බස් රථ සේ මේ බස් රථද ධාවනය කරනු ලබන හෙයින් එම බස් රථවලින් ප්‍රශ්න කළ නොහැකිය.
මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිසමට හෝ කළ හැක්කේ තම ආයතනවල ලියාපදිංචි මඟී බස් රථ සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණකි.
එහෙත් මෙහි නීතියට අසුවන තැනක්ද ඇත. ඒ ආසන වෙන් කිරීමේ ස්ථානයි. එවන් ක්‍රියාදාමයකට නීතියෙන් අවසර නැත. පිළිගත් ස්ථාන හෝ ආයතන මඟින් හැරෙන්නට ආසන වෙන් කළ නොහැකිය. එසේම ආසන වෙන් කර ගමන් ගන්නා බස් රථ ගමනා ගමන කොමිසමේ ලියාපදිංචි බස් රථ විය යුතුය.
කොළඹදී මෙන්ම යාපනයේදී වුව ද මේ බස් රථ ගමනාරම්භ කරන්නේ ඒවාටය ආවේණික ස්ථානවලදීය.
එමෙන්ම සුඛෝපභෝගී මේ බස් රථවල එක් මඟියකුගෙන් රුපියල් 1250ක අධික ගාස්තුවක්ද අය කෙරේ. ඇතැම් විට ඊටත් වඩා ගාස්තු අය කරනු ලබන අතර වෙන් කිරීමේ වෙනම ගාස්තුවක්ද ඇතැමුන් අය කරනු ලබන බවට වාර්තා වේ.
මේ බස් රථ බහුතරයක් උතුරේ ප්‍රධාන දේශපාලනඥයකුට අයත් බවට මේ වන විට වාර්තා වී ඇත. මෙය කවුරුන් හෝ විසින් කරණු ලබන බරපතළ විසමාචාරයකි. එක් අතෙකින් රජයට ආදායම අහිමි කිරීමකි.
තවත් අතෙකින් මඟී අයිතිවාසිකම් ගසා කෑමකි. තවත් අතෙකින් නීති විරෝධී ක්‍රියාවකි. අනෙක් පසින් නීතිමය වශයෙන් ධාවනය වන බස් රථවලට බාධාවකි.
අධිවේගී මාර්ගයේද මේ වන විට කාර්යාල සේවා ලෙසින් බස් රථ 350ක් පමණ ධාවනය කරේ. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අධිවේගී මාර්ගයේ දෛනික බලපත්‍ර ලබා දීම නිසා බස් රථ නිසි බලපත්‍ර රටාවකින් තොරව ධාවනය කිරීමයි.මේ ලෙසින් අන්තර්පලාත් බස් රථ බලපත්‍ර නොමැතිව ධාවනය කළහොත් බලවන්තයා රජ කරනු ලබන ක්‍රමවේදයන් සියලු කර්මාන්ත කරා එළැඹෙනු ඇත.
එයට පෙර නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නම් බස් රථ ප්රඥප්තියේ සංශෝධනය කළ යුතුය. අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත.