
ලෝක කම්කරු දිනය ආරම්භ වූයේ වැඩ කරන ජනතාව සිහි කිරීම උදෙසාය. වැඩ කරන ජනතාවට යම් යම් අකටයුතුකම් සිදු වන විට ඒ උදෙසා විවිධාකාර විරෝධතා එල්ල කිරීමට ලෝකයේ විවිධ සමිති බිහි වන්නට විය. ඒ අතර පෙරමුණ ගත් අය වෘත්තීය සමිති නායකයෝ බවට පත් වූහ. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ හැමවිටම තමන්ගේ සේවාව සැලසීමට යම් කිසි අකටයුත්තක් සිදුවුවහොත් ඒ සේවාව නිසි පරිදි සිදු කිරීම උදෙසා නැඟී සිටීමයි.
තමන්ට ලැබෙන වැටුප් හෝ වෙනත් වරප්‍රසාදයන්හි අඩුවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන්ද අරගල කිරීමට මේ අය උත්සුක වූයේ වැඩ කරන ජනතාවට ඒ වෙහෙසට මහන්සියට සරිලන වැටුපක් අවශ්‍ය වන හෙයිනි. හාම්පුතුන්ට බැලමෙහෙවර කිරීම පමණක් නොව තමන්ටද අයිතිවාසිකම් ඇවැසි බවට ඔවුහු ලෝකයටම පෙන්නුම් කළහ. සමාජවාදය ක්‍රියාත්මක නොවන ලෝකයේ සෑම රටකම පාහේ කම්කරු ජනතාව වෙනුවෙන් රාජ්‍ය අංශයක් හෝ අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් හෝ වෙන් වූයේද එහෙයිනි.
අඩුම වශයෙන් වැඩවර්ජනය ආරම්භ කෙරෙන දිනට දින 21 කට පෙර සේවායෝජකයෙකුට දැනුම්දීමක් කළ යුතු බව 1950 කාර්මික ආරවුල් පනතට අනුව දැනුම් දීම අනිවාර්යය විය. වරින් වර එහි සංශෝධනයන් ඇති වුවත් කිසිදු විටක ක්ෂණිකව සිදු කරනු ලබන වැඩ වර්ජනයක් නීතියට අනුකූල නොවන බව මෙරට නීතියේ පැහැදිලිව ඇත. විරෝධතා පා ගමන් පවා කළ හැක්කේ මහජනතාවට පීඩාවක් නොවන අයුරිනි. රටක නීතිය ඇත්තේ ඒ අයුරින්ය. අඩුව ගණනේ ශබ්ද විකාශන යන්ත්‍ර පවා පොලිසියේ අවසරයකින් තොරව භාවිත කළ නොහැකිය.
වර්ජනයක් කිරීමේ පදනම හා ඒ හරහා ජනතාවට සිදුවන අපහසුතාව ගැන පළමුව කල්පනා කළ යුතුය. තමන්ගේ වර්ජනයෙන් හානිය සිදුවන්නේ ජනතාවට නම් ඒ වර්ජනය ගැන දෙපාරක් සිතිය යුතු බවට වෘත්තීය සමිති ගැන ‘අ‘ යන්නේ සිට දන්නා අයකු වූ බාලා තම්පෝ මහතා වරක් සිළුමිණ සමඟ සාකච්ඡාවකදීම පැවසීය.
පසුගිය සතිය මැද ඇරැඹුණු දුම්රිය වර්ජනයේ ආරම්භය පෙන්වන්නේ වැටුප් ප්‍රශ්නයකි.
දුම්රියේ හදවත බඳු රියැදුරන් නියාමකවරුන් පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන් වර්ජනය කළ සැණින් දුම්රිය සේවයම අඩපණ වන බව ඔවුහු දනිති. වෛද්‍යවරුන් වර්ජනය කළ විටද රෝගීන් අන්ත අසරණ වනු ඇත. රිදෙන්නේ රජයට නොව පොඩි මිනිහාටය; දුප්පතාටය.
මේ අර්බුදය ඇරැඹෙන්නේ 2006 වසරේ සිටය. 6/2006 චක්‍රලේඛයේ ගැටලුවක් සංවෘත දෙපාර්තමේන්තු වූ දුම්රිය, තැපැල්, සෞඛ්‍ය ඇතුළු දෙපාර්තමේන්තු රැසකට ඇති විය.
ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට එදා රජය අසමත් විය. වර්ජනයේ සිට වැටුප් විෂමතා ඉවත් කරන්නැයි මේ සමිති ඉල්ලා සිටිති. මේ ඉල්ලීම් කරනු ලබන රියැදුරන් නියාමකරුන් ඇතුළු සේවකයෝ ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ තුනකට ආසන්න වැටුප් ලබති. ඔවුන් මේ වැටුප් හා අතිකාල දීමනා උදෙසා නිසි ලෙස වැඩ කරන්නේද යන්න අප සලකා බැලිය යුතුය.
ඇතැම් විට ඔවුන් උදෑසන මරදානේ සිට රාගම දක්වා ගොස් යළි මරදානට පැමිණීම ඔහුගේ දිනක සේවාවයි. එතැනින් සේවය හමාරය. නැත්නම් දිවා කාලයේ වේයන්ගොඩ දක්වා ගොස් පැමිණේ. සේවය එතැනින් හමාරය. පැය 8වත් වැඩ නොකර අතිකාල ලබන්නට තරම් මේ සේවකයෝ කටයුතු කරති. එහෙත් ඒ බව එතරම් නොසලකා ඇත්තේ සේවාවේ ඇති අත්‍යවශ්‍යතාව නිසාය.
එහෙත් ඒ කිසිවක් නොසලකා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වූ සැණින් මේ ලෙසින් වර්ජනය කිරීම සාධාරණදැයි සිතිය හැක්කේ කාටද? අඩුම වශයෙන් මේ දරුවන්ගේ විභාගය අවසන් වනතුරු වර්ජනය කල් දමා ගන්නට ඉඩ තිබුණි. එමෙන්ම ඔවුන් වර්ජනය ආරම්භ කෙළේ පස්වරු 3.00 සිටය. කොළඹට පැමිණි කාර්යාල සේවක සේවිකාවන් යළි නිවෙස් කරා යන්නේ කෙසේද යන්න අවම වශයෙන් කල්පනා කෙළේද? බොහෝ දෙනාගේ සාක්කුවේ ඇත්තේ දුම්රිය වාරප්‍රවේශ පත්‍රය පමණි. ඒ අයට යන එන මං නැති විය. දෛනික වැටුප්වලට වැඩ කරන ජනතාව එදා නිවෙස්වලට යන්නේ කෙසේදැයි ඔවුන් මඳකට සිතුවේද? ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන වලින් එඩේරමුල්ල, දාරළුව, හීන්දෙණිය පට්ටිගොඩ, යත්තල්ගොඩ වැනි දුම්රිය ස්ථානවවලට ගමන් ගන්නා මඟීන්ට යා හැක්කේ දුම්රියෙන්ම පමණකි.
එසේම හලාවත මාර්ගයේද කුඩහකපොළ දුම්රිය ස්ථානයට යා හැක්කේද දුම්රියෙන්ම පමණකි. උඩරට සිට පැමිණෙන බොහෝ ජනතාවගේ තත්ත්වයද මේ හා සමානය. මෙසේ වැඩි වැටුප් ඉල්ලා ක්ෂණිකව වර්ජනය ආරම්භ කෙළේ ඊට දින දෙකකට පෙර නොසැලකිලිමත්කමින් දුම්රිය පදවා රියැදුරකු විසින් පොල්ගහවෙල පනලියේදී මහා අනතුරක් සිදු කිරීමෙන්ද පසුවය. තම රාජකාරියවත් නිසි පරිදි සිදු නොකර මෙසේ අයිතීන් උදෙසා පමණක් සටන් කිරීම කෙතෙක් දුරට සාධාරණද?
රාජ්‍ය සේවයේ මුරමාරු ක්‍රමයේදී අතිකාල ගණනය කරන්නේ දිනකට වැඩ කරනු ලබන පැය 8ක් ඉවත් කරමිනි. එසේ වුවත් දුම්රියේ වර්ජකයන්ගේ අතිකාල ගණනයේදී එවැන්නක් සිදු නොවේ. ඔවුන් වැඩ කර ඇත්තේ සතියකට පැය 100ක් නම් එයින් කිසිදු වේලාවක් අඩු නොවේ. පැය 100ටම පැයට පැය එකහමාර බැගින් අතිකාල හිමිවේ.
විශේෂයෙනක්ම ඉරිදා දිනයකදි සේවාව ආරම්භ කෙළේ නම් ඉරිදා සිට ඊළඟ සෙනසුරාදා දක්වාම දින 7ම විශේෂ අතිකාල දින ලෙස සලකා කටයුතු කෙරේ. මේ අයුරින් අතිකාල සේවා ගෙවනු ලබන ලෝකයේ එකම සේවාව මෙරට දුම්රිය සේවයයි.
එම වැරැදි ක්‍රමවේදයට අත තබන්නට හැදුවොත් වර්ජනයකි. මේ සා සුපිරි සැප ලබමින් සුපිරි දිවියක් ගත කරන දුම්රිය රියැදුරෝ නිදාගන්නා ඇඳේ මකුණන් සිටියහොත් පසු දින දුම්රිය වර්ජනය කරති.
මීට මාස කිහිපයකට පෙර කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කළ හා බදුල්ලේ සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක නාවලපිටිය දුම්රිය ස්ථානයට ඇතුළු නොකර පැය 7ක් සංඥාවේ නවතා වර්ජනය කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරු කටයුතු කළහ. එයින් රිදුණේ අහිංසක මඟීන්ටය. මහ වැස්සේ රාත්‍රිය පහන් වන තුරු දුම්රියේ පව් ගෙවන්නට මඟීන්ට සිදු විය. මේ සම්බන්ධයෙන් මඟීන් විසින් මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර ඇත.
දුම්රිය සේවාවේ ප්‍රගතිය මෙන්ම වල කැපීමද සිදු කරන්නේ මේ සේවකයන් විසින්මය. 2017 වසර තුළදී දුම්රිය සේවයේ සමස්ත ආදායම පෙර වසරට සාපේක්ෂව 2.2% කින් එනම් රුපියල් බිලියන 6.5ක් දක්වා අඩු විය. එයට හේතු වූවේ දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පසුගිය මාස 7ක කාලය තුළදී පමණක් දුම්රිය වැඩ වර්ජන 4ක් සිදු කර ඇත.
2017 වසරේ දෙසැම්බර් මස 6 වැනිදා දුම්රිය සහායකයින් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් මුල් කරගෙනත් මේ වසරේ මැයි 29 වැනිදා ශ්‍රේණි වැටුප් අර්බුදයක් හා 75%ක දිරි දීමනා ලබා ගැනීමක් උදෙසාත් ජූලි 26 වැනිදා රාජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා සමඟ ඉඩම් ප්‍රශ්නයක් මුල් කරගෙනත් පසුගිය 8 වැනිදා රියැදුරන්, නියාමකවරුන් ඇතළු පිරිසේ වැටුප් වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීමත් මුල් කරගෙන වර්ජන ආරම්භ කළහ.
වර්ජකයන් ඉල්ලා සිටින්නේ තමන්ට විශේෂිත ශ්‍රේණියක් ලබා දී ඉහළ වැටුප් තලයක් ලබා දෙන ලෙසයි. දුම්රිය රියැදුරන්
දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කලමනාකරණ තනතුරුවල විශේෂ ශ්‍රේණියකි. ඒ - MN 07 ශ්‍රේණියයි. ආරම්භක වැටුප රුපියල් 44600.00කි. යෝජිත සංශෝධනයෙන් පසු ශ්‍රේණිය - RM 02 ශ්‍රේණියයි. ඔවුන් ඉල්ලා සිටින්නේ වැටුප රුපියල් වැටුප රුපියල් 56205.00ක් දක්වා රුපියල් 11605.00 කින් වැඩි කරන ලෙසයි. උපාධිධාරී ගුරු භවතකුගේ වැටුප රුපියල් 34000.00ක් පමණ වන අතර උපාධිධාරී සහකාර පොලිස් අධිකාරි, සහකාර රේගු අධ්‍යක්ෂ, සහකාර ආගමන විගමන පාලක, සහකාර කම්කරු කොමසාරිස්, සහකාර කම්කරු කොමසාරිස් , දේශීය ආදායම් සහකාර කොමසාරිස් යන ඉහළම තනතුරු දරන විධායක ශ්‍රේණියේ ආරම්භක වැටුල් තලය වන්නේද රුපියල් 47615.00ක් පමණි.
අතුරු වෛද්‍ය ශ්‍රේණියේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුපද රුපියල් 52890.00ක් වන අතර ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ මූලික වැටුප රුපියල් 52955කි. වෛද්‍ය නිලධාරීන්ගේ මූලික වැටුපද රුපියල් 54290.00කි.
දුම්රිය රියැදුරන් නියාමකවරුන් ඇතුළු පිරිස් ඉල්ලා සිටින මේ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කළහොත් ඒ සියලු දෙනාටම වඩා ඉහළ වැටුප් තලයක් කරා ඔවුන් එළඹෙනු ඇත. එය කළ නොහැක්කේ අනෙකුත් ශ්‍රේණි 28ටම එවිට ගැටලු මතුවන නිසා බව ප්‍රවාහන ඇමැතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාත් පැහැදිලිව ප්‍රකාශ කළහ.
මංගල සමරවීර ඇමැතිවරයා පැහැදිලිවම පවසා සිටියේ තමන්ට සියල ශ්‍රේණිවල මේ ගැටලුව විසඳා ලන්නට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. වැඩිම වුවහොත් මාස තුනක් ගතවන්නට ඉඩ ඇති බවත් එතෙක් රාජකාරියට වාර්තා කර මේ ගැටලුව සාකච්ඡාවෙන් විසඳා ගැනීමට කටයුතු කරන්නැයි ඔහු ඉල්ලීමක් කෙළේය. එහෙත් පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් වර්ජකයෝ වර්ජනයෙ නියැළී සිටියහ.
දුම්රිය මෙහෙයුම් වියදම 2016 වර්ෂයේ රුපියල් බිලියන 13.4 ක් වූ අතර සිට 2017 වර්ෂයේ එය රුපියල් බිලියන 14.1 දක්වා 5.1% කින් ඉහළ ගොස් ඇත. වැටුප් වශයෙන් දුම්රිය සේවකයන්ට රුපියල් බිලියන 12ක් වාර්ෂිකව ගෙවීමට සිදු වේ. ඒ කෝටි 100ක මුදල් ගෙවන්නේ මේ ලෙසින් මඟීන් නන්නත්තාර කිරීමටද යන්න අප ඇසිය යුත්තේ කාගෙන්ද?
ඒ කරුණු කාරණා කෙසේ වෙතත් 1980 ජූලි වර්ජකයෝ ඇති පදමට ඉල්ලාගෙන කෑහ. ඔවුන් වසර ගණනාකවක් තිස්සේම වැටුප් හෝ කිසිවක් නොලබා දුක් වින්දාහ. ඔවුන්ගෙ වර්ජනය නීත්‍යානුකූල නොවන නිසා අධිකරණයේ පිහිට පැතීමක්ද කළ හැකි නොවීය.
අද ද මේ වර්ජකයන්ට කළ යුත්තේ එවැනි ක්‍රියාමාර්ගයන් ගැනීම මිස ඡන්ද ගැන ඇමැතිකම් හෝ නිලතල සංස්ථා, දෙපාර්තමේන්තු පුටු ගැන නොවන බව පැවසිය යුතු අතර උසස් පෙළ විභාගයට පෙනි සටින සිසුන්ට සිදු කළ මේ නිහින ක්‍රියාව නිසා මේ වැසි දිනවල වර්ජකයින් නිවසින් එළියට නොබැස සිටීම එක් අතෙකින් නුවණට හුරු බවද කිව යුතුය.