නීතිය අතට ගෙන මිනී මරා ගන්නා ඉවසිලි නැති මිනිස්සු | සිළුමිණ

නීතිය අතට ගෙන මිනී මරා ගන්නා ඉවසිලි නැති මිනිස්සු

ගෙවී ගිය සතියේ රටවටා මිනීමැරුම් ගණනාවක්ම සිදු වුණි. මේ අතරින් කිහිපයක්ම පරණ කෝන්තර පිරිමසා ගැනීම් යැයි පොලිස් පරික්ෂණවලින් හෙලිදරව් වෙමින් පවති.

'මෝටර් සයිකලයකින් නුවර පාරේ යමින් සිටි කාන්තාවක් නාඳුනන තුවක්කු කරුවන් විසින් මරාදාලා.'

ආරංචිය රටපුරා පැතිර යාමට වැඩිවෙලා ගතවුයේ නැත. නාදුන තුවක්කු කරුවකුගේ වෙඩි පහරකින් ඉකුත් පස්වැනිදා දහවල් මිය ගියේ කඩවත රන්මුතුගල පදිංචි චමිලා කුමාරි නැමැති තිස්හතර හැවිරිදි කාන්තාවකි. ඈ දෙදරු මවකි. මෙම කාන්තවගේ කෝටිපති ව්‍යාපාරික සැමියා වන අජිත් පුෂ්ප කුමාර මීට මාස කිහිපයකට පෙර නාදුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් මිය ගියේය. එම ඝාතනය මිය ගිය කාන්තාවගේ අනු දැනුම පිට සිදු වූවක් දැයි යන්න පොලිසිය තවමත් පරික්ෂණ පවත්වමින් සිටී.

කෝටිපතියාගේ මරණය

අජිත් පුෂ්පකුමාර නැමැත්තා කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්ව ඇත්තේ මුදල් පොලියට දීමෙන් හා මෝටර් රථ ආදි වටිනා බඩු උගසට ගැනීමෙනි.

“හුඟක් සල්ලි කාරයෝ කැසිනෝ ගහන්න එනවා. ඒ ආවාම අතේ තියෙන මුදල් පරදින අයට අන්තිමට ඉතරි වෙන්නේ ඒ අය ආව වාහනේ විතරයි. එහෙම අය තවත් ණය වෙවී කැසිනෝ ගහනවා. එහෙම වෙලා අන්තිමට හෝටලේ ණය ගෙවන්නේ තමන් ආව වාහනේ උගසට තියාලා. අජිත් අයියා කළේ එහෙම අයගේ වාහන උගසට ගත්ත එක. එයා එහෙමයි සල්ලිකාරයකු වුණේ. “

අජිත් මිය ගිය දිනවල ඔහුගේ ළඟම හිතවතකු පැවැසුවේ එලෙසිනි. කොහොම වුවත් අජිත්ගේ විවාහ ජීවිතය දෙදරා යන්නේය. එහි ප්‍රථිලය වන්නේ චමිලා අජිත්ව අතහැර ගොස් වෙනත් පුරුෂයකු හා ජීවත් වීමය. අජිත් ද සමාජ ශාලාවක සේවය කරන කාන්තාවක් හා ඇයි හොඳයිකමක් ඇති කර ගන්නේ මේ අතරතුරය. අවසානයේ ඔහු ඇය හා විවාහ වී තම නිවසේ පදිංචි වන්නේය.

පළමු විවාහය තිබියදීම වෙනත් විවාහයක් කරගන්නා ඔහුට බහු විවාහ චෝදනා යටතේ නඩුවක් ද පැවැරි තිබිණි. එමෙන්ම තම පළමු බිරිඳගෙන් දික්කසාද වීමට ද නඩුවක් විභාග වෙමින් තිබිණි. අජිත් පුෂ්පකුමාර ඝාතනයට ලක්වන්නේ මේ නඩු විභාගයට දින පහක් කල් තිබියදීය.

කෙසේ හෝ අජිත් ‍ගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ සැකයට බඳුන් වන්නේ අජිගේ පළමු බිරිඳය. පොලිස් පරික්ෂණ සඳහා පසුව අජිත් ගේ පළමු බිරිඳ වන චමිලා ඇතුළු තවත් පස්දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුහ. අජිත්ගේ මරණය වූ මොහොතේ ඔහුගේ පළමු බිරිඳ හා දෙවන බිරිඳ අජිත්ගේ මළ සිරුර අයිති කර ගැනීමට ද පොරබැදූහ. අවසානයේ අජිත්ගේ අවසන් කටයුතු කිරීම සඳහා මළ සිරුර ඔහුගේ මවට භාර‍ දෙන ලදි.

මේ සියළු කතන්දර පසෙක තිබයදි පසුගියදා චමිලා කුමාරි ඝාතනය කෙරුණේ කාගේ උවමනාවටද යන්න තවමත් රහසකි. කඩවත පොලිසිය ඇතුලු පොලිස් කණ්ඩායම් මේවන විටත් පරික්ෂණ මෙහෙයවමින් සිටිති.

සරුංගලේ කෝන්තරය

මේ සිද්ධිය පසෙක තිබියදී ඉකුත්දා හීනටියන හන්දියේ දී ගමන්ගෙදර පදිංචි විජේසුරිය ජස්ටින් රත්නශීල නැමැති හැටපස් හැවිරිදි පුද්ගලයා මරා දමා තිබිණි. මෙහිදී මිනුවන්ගොඩ පොලිසිය විසින් සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනුණු අතර ඔවුන් දෙදෙනාම විසි හැවිරිදි වියේ පසු වුවන් විය. දෙදහස් දාහත වසරේ ඇති වූ සරුංගල් ආරවුලක් දුර දිග යාමෙන්ඇති වූ ගැටුමකදි පිය පුතු දෙදෙනෙකු කපා කොටා මරා දමා තිබිණි. එම ගැටුමේම දිගුවක් ලෙස මෙම පුද්ගලයාද පසුගියදා ඝාතනය වන්නට ඇතැයි යන්න පොලිසියේ සැක කරයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන අතර ඉදිරියේදී මෙම මරණයේ සුල මුල හෙළිවනු ඇතැයි යන්න පොලිසියේ අදහස වේ.

පොලිස් පරීක්ෂණ දිගින් දිගටම පැවැත්වේ. මේ පරීක්ෂණ අවසානයේ වැරදිකරුවන්ට දඬුවම් ද ලැබෙනු ඇත.

මෙවැනි සිද්ධි අතීතයේද සිදු වී ඇත. නීතියේ දඬුවමින් පාඩම් ඉගෙන ගන්නේ නැති උන් සමාජයේ හැම කලකම විය. එසේ වන්නේ ඇයි යන ප්‍රශ්නය පමණක් අද අපට ඉතිරි වී ඇත. නිරන්තරයෙන් බුදු ගුණ ගැයෙන බුදු බණ ඇසෙන රටක මෙවැනි දේ සිදු වන්නේ ඇයි?. අපට වැරදුණේ කොතැනද?. ආවේගකාරී මිනිසුන්ගේ සිතුවිලි පාලනය කිරීමට, එකිනෙකා ගෙන් පළිගන්නා චේතනා නැති කීරීමට ඒවා අවම කිරීමට අපට නොහැකි වූයේ ඇයි?. මෙහි අඩුපාඩුව ඇත්තේ නීතියේ ද?

අද බොහෝ දෙනා කටයුතු කරන්නේ නීතිය තම අතට ගෙනය. සියල්ල තුළම පාලනයක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් ක්‍රමවේදයක් පවුල තුළින් පාසල තුළින් ආගමික ස්ථානවලින් ඇරඹිය යුතුව ඇත. නැතනම් මේ තත්ත්වයට ඉදිරියේදී තව තවත් දරුණු වනු ඇත. අවසානයේ එකිනෙකා කා කොටා ගන්නා ම්ලේච්ඡ ජන කොටසක් පමණක් අප රටට ඉතිරි වනු ඇත.

Comments