
සිය පාසල් ජීවිතයේ අවසන් කඩඉම පසු කරමින් හෙට දින තවත් සිසු පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, විභාගාපේක්ෂකයන්ට කිසිදු අවාසියක් ඇති නොවන ආකාරයෙන් මෙවරද විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අන් වසරවලට වඩා සුවිශේෂ ආකාරයෙන් විභාග වංචා වැළැක්වීමේ බාධක රැසක්ද පනවමිනි.
ශ්‍රී ලංකාවේ විභාග අතුරින් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට අන්තර්ජාතිකවද ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එය නිකම් ඇති වූවක් නොව, කාලාන්තරයක් තිස්සේ අපේ විභාග රැකගෙන ආ ඉහළ ගුණාත්මක බව නිසාම ගොඩනැඟුණකි. එහෙත් පසුගිය කාලවල විභාග අපේක්ෂකයන් සුළු පිරිසක් අතින් සිදු වූ විවිධ නොමනාකම් හේතුවෙන් මේ පිළිගැනීමට කළු පැල්ලම් ඇති වන්නට විය. අපේ විභාගවලට ඇතිව තිබූ මේ පිළිගැනීම යම් හේතුවක් නිසා පලුදු වූයේ නම් එහි ආදීනව අත්විඳින්නට සිදු වන්නේද අපේ දරුවන්ටමය.
වර්තමානයේ ලොව තාක්ෂණය අතිශයින් දියුණුය. එහෙත් ඇතැමකු මේ තාක්ෂණය නරක අතට යොදාගන්නේ වඳුරන් අතට දැළි පිහියක් ලැබුණා සේය. අද ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මේ තාක්ෂණික උපකරණ මඟින් විභාග වංචා සිදුවීම අතිශය සුලභ කරුණක් වී ඇති අතර ලංකාවේද පසුගිය වසර කිහිපය තුළ මේ ව්‍යසනය වේගයෙන් පැතිර යන්නට විය. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේදී මෙලෙස අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදු කළ මහා පරිමාණ විභාග වංචාවක් හෙළිදරවු වූයේ නගරයේ ජනප්‍රිය පාසලක දරුවෙකුගෙනි. ඒ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයටය. එවන් භයානක වංචාවක් ඉන් පෙර සිදු වූයේ නැත. 2017 වසරේ උසස් පෙළ සිසුන් 152 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවන්නට සිදු වූ අතර, එයින් 26කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත්තේ ජංගම දුරකතන භාවිතය හේතුවෙනි. එවසරේම සාමාන්‍ය පෙළ විභාගයේදී 294 දෙනකුගේ විභාග ප්‍රතිඵල අවලංගු වූ අතර, ඉන් 30කටම හේතු වී ඇත්තේ ජංගම දුරකතන වැනි තාක්ෂණික උපාංග භාවිතයයි.
මේ නිසා අධ්‍යාපන හා විභාග බලධාරීහු දැන් දෙලොවක් අතර සිර වී සිටිති. එක් පැත්තකින් ලංකාවේ විභාගවල ගුණාත්මකබව ආරක්ෂා කරගත යුතුය. අනෙක් අතට අනවශ්‍ය බාධා පමුණුවා දරුවන්ගේ විභාග මානසිකත්වයට තවත් පීඩා එක් කරන්නද නොහැකිය. මේ භාරධුර වගකීම හමුවේ ගැටලුවට විසඳුම් සේ විභාග දෙපාර්තමේන්තුව මෙවර සැරසෙන්නේ තාක්ෂණික විභාග වංචාවන්ට අධිතාක්ෂණයෙන්ම පිළිතුරු දෙන්නටය. ඒ අධිතාක්ෂණය භාවිත කර විභාග මධ්‍යස්ථාන අසල දුරකතන සංඥා සියල්ල අහෝසි කිරීම මාර්ගයෙනි. මේ වෙනුවෙන් යුද හමුදා සංඥා බළකාය මෙන්ම සියලු ජංගම දුරකතන ජාල ආයතන හා විදුලි සංදේශ නියාමන කොමිසමද සූදානමින් සිටියි. මේ නිසා දැන හෝ නොදැන හෝ විභාග ශාලාවට විද්යුත් උපාංගයක් ගෙන ගියද එමඟින් අපේක්ෂකයන්ට වැඩක් ගන්නට බැරිය. මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලුද මතු වී ඇතත් මේ කාර්යයට දායක වන්නට ජංගම සේවා සපයන ආයතනද එක පයින් කැමැතිව ඇත්තේ දරුවන් බහුතරයකගේ යහපත උදෙසාය.
කෙසේ වෙතත් දුරකතන සංඥා අවලංගු කිරීමේ නිශ්චිත කාල පරාසයක් හඳුනාගැනීමේ අපහසුතා පැවැතීම මේ කටයුත්තේදී එල්ල වූ එක් බාධාවකි. සාමාන්‍යයෙන් එක් මධ්‍යස්ථානයකට එවැනි බාධකයක් සවි කරන්නට රුපියල් 50,000කට අධික මුදලක් වැය වන බව සැලය. විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ දුරකතන සංඥා අවලංගු කිරීම දිවයින පුරා සිදු කිරීමේ අවශ්‍යතාවක් ඔවුන් නොදකින අතර, අවශ්‍ය වුව හොත් හදිසි අවශ්‍යතාවකදී වහා ක්‍රියාත්මක කිරීමේ සූදානමකින්ද ඇත. මේ සඳහා විකල්ප ක්‍රමවේද සොයා බැලීමේදි metal detector භාවිතය යොදාගැනීම පිළිබඳවද මුලින් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව පැවැතිණි. එසේම මෙවැනි ස්කෑන් කිරීමේ ක්‍රමවේද භාවිතය මිල අධික කටයුත්තකි.
සාමාන්‍යයෙන් විභාග මධ්‍යස්ථානයකට සිසුන් පිවිසීමේදී දරුවන්ගේ අඟ-පසග අතගා පරීක්ෂා කරන ක්‍රමවේදයක් ලංකාවේ විභාග මධ්‍යස්ථානවල තිබුණේ නැත; අදටත් එසේමය. එසේ කළ හැකි වුවත් එය කිරීමට විභාග බලධාරීන් උනන්දු නොවූයේ දරුවන්ගේ විභාග මානසිකත්වයට ඉන් අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි නිසාය. විභාග බලධාරීන් විභාග මධ්‍යස්ථාන නිලධාරීන් දැනුම්වත් කර ඇත්තේ දරුවන්ට තහනම් දෙයක් ගෙන යෑමට ඉඩ නොදෙන ලෙසයි. එසේම සෑම විභාග මධ්‍යස්ථානයකම දරුවන්ට විභාග වංචා පිළිබඳ දැනුවත් වීම සඳහා පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති අතර, විභාග ආරම්භ වීමට මත්තෙන් විභාග ශාලාධිපති විසින් අපේක්ෂකයන් දැනුවත් කිරීමද සිදු කෙරේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ මෙවර උසස් පෙළ විභාග වංචා වැළැක්වීමට සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයකු යොදා ඇති බවයි. විභාග කටයුතු නිරීක්ෂණය කරන අතර, විභාග වංචා පිළිබඳ උකුසු ඇසින් නිරීක්ෂණය කිරීම ඔහුගේ වගකීම වෙයි. මේ කටයුතු සඳහා සම්පත් දායකයන් වශයෙන් විශේෂ පුහුණුව ලත් කැඩෙට් නිලධාරිගේ සහායද, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහායද ගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
හෙට පැවැත්වෙන උසස් පෙළ විභාගයේදි විභාග දෙපාර්තමේන්තුව මේ සියලු පියවර ගන්නේ දරුවන්ගේ යහපතටය; නැති නම් දරුවන්ට හොඳ විභාග පරිසරයක් සදන්නටය. එසේත් නැති නම් හොඳ විනයකින් යුතුව කිසිවකුටත් අසාධාරණයක් නොවන පරිදි අවශ්‍ය විභාග පරිසරයක් තනන්නටය.
කෙසේ වෙතත් මෙය විභාග අපේක්ෂකයන්ට කිසිදු බියක් ඇති කරගන්නට කාරණයක් නොවන්නේ ඒ බොහෝ දෙනා උගත් මතක ශක්තියෙන් විභාගයට මුහුණ දෙන්නට සූදානමින් සිටින බැවිනි. සද්භාවයෙන් විභාගයට මුහුණ දෙන බහුතරයකට මෙවැනි දුරකතන ජාල අවලංගු කිරීමෙන් පාඩුවක්ද නැත්තේය. ඒ නිසා දරුවන් කළ යුත්තේ සුපුරුදු පරිදි තම මතක ශක්තියෙන් හා ආත්ම විශ්වාසයෙන් යුුතුව හෙට දින සිට විභාගයට මුහුණ දීමයි.
ස්තුතිය - විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාට.