කුඩු කාරයන්ගේ සල්ලිවලින් නයිට් ක්ලබ් ගිය හිරගෙදර ‘බුද්ධි’ ලා | සිළුමිණ

කුඩු කාරයන්ගේ සල්ලිවලින් නයිට් ක්ලබ් ගිය හිරගෙදර ‘බුද්ධි’ ලා

මිනිස්සුන්ට මොන ප්‍රශ්න තිබුණත් රටේ මොන මොන දේ සිදුවුණත් මේ දිනවල කවුරුත් බලන් ඉන්නේ බන්ධනාගාරය දෙසය. “බන්ධනාගාර බුද්ධි අංශය විසුරවලා. “ ඒ ප්‍රවෘත්තියත් සමඟ කවුරුත් පුදුම වූහ.

“ඉතිං කොහොමද හිරගෙදරට හොර බඩු යන එක අල්ලන්නේ.“ ඒ රටේ මිනිසුන් නැගු ප්‍රශ්නයයි. ඒත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම ඇතැම්හු බුද්ධි අංශය විසුරුවා හැරීම ගැන සතුටු වූහ. ඒ බුද්ධි අංශය කරන බොහෝ අකටයුතුකම් ගැන දන්නා හෙයිනි.

කලකට පෙර බන්ධනාගාර බුද්ධි අංශය ආරම්භ කරන ලද්දේ එවකට සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු විසිනි. මෙම බුද්ධි අංශය සඳහා සෘජුවම නිලධාරීහු බඳවා නොගත්හ. අලුතෙන් දෙපාර්තමේන්තුවට බැඳෙන නිලධාරීන් සහ සේවයේ නියතුව සිටි ජේලර්ලා හා නියාමක වරුන්ගෙන් තෝරා ගත් අය බුද්ධි අංශයට අනුයුක්ත කරගැනුණාහ. මේනිසා බන්ධනාගාරයේ නිල ඇඳුම් දෙකක ඇත්තෝ සේවය කරන්නට වූහ. බන්ධනාගාරයේ මුල්ම බෙදිල්ල ඇති වූයේ මෙතැන් සිටය.

බුද්ධි අංශයට පැවරී තිබුණේ සිරගෙදර නිලධාරින් සෝදිසි කිරීම මෙන්ම සිරකරුවන් සෝදිසි කිරීම හා ඇතුළේ හදිසි මෙහෙයුම් වැටලිම් කිරීමය. වැලිකඩ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙත්, මැගසින් බන්ධනාගාරයේත් බුද්ධි අංශය යොදවා තිබිණි. මීට අමතරව මහර හිරගෙර ද බුද්ධි අංශය සේවයේ යොදවා තිබිණි.

දැන් බුද්ධි අංශයට ඇති ලොකුම චෝදනාව වන්නේ මොවුන් සිටියදීත් හිරගෙදර තුළට මත්ද්‍රව්‍ය, ස්මාට් ෆෝන් ආදිය ගියේ කෙසේද කියාය. මොවුන්ට ඇති අනික් චෝදනාව වන්නේ අපරාධකරුවන්ට සිය ජාවාරම් සඳහා සහාය වීමය.

බුද්ධි අංශය ආරම්භ වූ දා සිට දෙපාර්තමේන්තුවට බුද්ධි නිලධාරීන් ගැන පැවිතියේ දැඩි විශ්වාසයකි. මේ විශ්වාසය නිසාම ඔවුන් හැම විටම සිතුවේ බුද්ධි අංශය සෝදිසි කළ විට සියල්ල හරිය කියාය. සියල්ල හරි ගියේ බුද්ධි අංශය පත්කළ මුල් දිනවලදී පමණකි. එහෙත් ඒ බව ඉහළ නිලධාරීන් නොදැන සිටියේය. පහු පහු වන විට බුද්ධි අංශය කළේ හිරගෙදර බොහෝ අකටයුතුකම්වලට සම්බන්ධ වීමය. ඔවුන්ගේ බුද්ධි මෙහෙයුම් සිදුවූයේ පාතාලයන් හා කුඩු කාරයන් සමග එක්වීමෙනි.

මේ සිදුවීම වන්නේ ඉතාම මෑත දිනකදීය. උසාවි ගොස් පැමිණි සිරකරුවන් රැසක් ඇතුළට ගෙන බුද්ධි අංශ සෝදිසියක් ආරම්භ විය. නමුත් සිරකරුවන් ඇතුළට යාමේදි මුරට සිටි එක් නියාමකවරයකු සිරකරුවෙකුගේ බඩට තට්ටුවක් දමා තිබිණි. නියාමකගේ අතට දැනුණේ සිරකරුගේ බඩේ ගසාගෙන ඇති ගණකම් යමකි.

ඉන් අනතුරුව බන්ධනාගාරයේ සිට ගෙනා රැඳවියන් සියලු දෙනා සෝදිසියට ලක්කරන ලදී. ඒ සෝදිසියේදි සිරකරුවන් සතුව තිබී ජංගම දුරකථන හයක් සොයා ගැනුණි. එයින් මතුවන ප්‍රශ්නය මෙයය. පිටත සිට පැමිණෙන සිරකරුවන් සෝදි කරනු ලබන්නේ ඇඳුම් ගලවාය. බුද්ධි අංශය සිරකරුවන් එසේ සෝදිසි කළේ නම් මේ රැඳවියන් ජංගම දුරකථන සඟවාගෙන පැමිණියේ කෙසේද?

හිරගෙදර කුඩු තිබෙන විට ප්‍රශ්න අඩුය. කුඩුවලට ලොල් වූ සිරකරුවන් කුඩු ටිකක් ගසා මත්වී පැත්තකට වී සිටින හෙයිනි. කුඩු ටිකක් හිරගෙදරට ආවාට කමක් නැතැයි සිතා සිටි පිරිසගේ හිස ගිනි ගත්තේ ඇතුළේ තොග පිටින් කුඩු විකිණෙන විටය. ඇතුළේ ආරක්ෂක නිරීක්ෂණ ලිහිල්වන මොහොතක දී සිර කරුවන් පිටට ලබාදෙන සන්නිවේදන හඳුනාගන්නා ජාවාරම් කරුවන් හිරගෙදර තාප්පය උඩින් බන්ධනාගාරය වෙත කුඩු එවීම සාමාන්‍ය දෙයකි. නමුත් ජංගම දුරකථනයක් තාප්පයෙන් එහා මෙහා කිරීම අසීරුය. ජංගම දුරකථන ඇතුළට එන්නට නම් නිලධාරියෙකුගේ නියාමකවරයකුගේ සහාය තිබිය යුතුමය. ගෙවී ගිය කාලය තුළ බුද්ධි අංශය ගැන තිබූ විශ්වාසය නිසා කිසිවිටෙක බුද්ධි අංශයේ ඇත්තන් සිරගෙදරට යන එන ගමන් වලදී කාගේවත් සොදිසියට ලක්කෙරුෙණ් නැත. සෙසු නියාමකවරු හා ජේලර්ලා හිරගෙය තුළට පැමිණෙන විට සපත්තු මේස් ගලවා හිස පැලැඳි තොප්පියද ගලවා ඉහ ඉණ අතගා බලා සෝදිසි කරන්නේය. මේ සෝදිසි කිරීම බුද්ධි අංශයට නැති නිසා ජංගම දුරකථන ආදිය සිරගෙදරට ගෙන ඒම සුළු දෙයක් විය.

‘සල්ලි වලට මැරිච්ච මිනිස්සුත් දිව දික් කරනවා.‘ පැරැණියන් මේ කතාව කියන්නට ඇත්තේ නිකම්ම නොවේ. මුලදී අවංක නිලධාරීන් ලෙස සේවයට බැඳුනද පසුකාලිනව මොවුන්ගෙන් ඇතැම්හු රටේ නැති දුෂණ හොර වැඩ කරන්නට වූහ. සිරකරුවෙකුගෙන් ලැබෙන සන්තෝෂමකින් රැයක් ගෙවා දමන්නට තරම් ඇතැ­ෙමක් හුරු විය. බුද්ධි අංශයේ ඇතැමෙකු රාත්‍රිය ගතකළේ ලංකාවේ ඉහළම රාත්‍රී සමාජ ශාලාවලය. මධු විතක්, රස නහර පිනා යන කෑම වේලක්, ඇතැම්විට ගැහැනියකගේ පහසක් ලබන්නට ඔවුන්ට අවස්ථාව සලසා දුන්නේ හිරගෙදර ඉන්නා ප්‍රකට කුඩු රජවරුන්ගෙන් කෙනෙකි.මෙවැනි සිදුවීම් කීපයක් පසුගිය වසර අග භාගයේදී වාර්තා වී තිබිණි.

“ මල්ලි මේ අපේ මහත්තයෙක්“ ...

මේ අපේ හොඳ මහත්තයෙක්“..

ආදි වශයෙන් හිරගෙදර බුද්ධි නිලධාරීන් එළියේ සිටින සිය මාෆියා සාමාජිකයන්ට හඳුන්වා දී “සැපක් දෙන්නට “ඇතුළේ සිටින සල්ලිකාර හිරකාරයෝ හුරු වුහ. බුද්ධි අංශයේ ඇතැම් අයට මේ “සැප‘‘ දීමෙන් ඔවුන්ගේ අරමුණ වුයේ කරදරයක් නැතිව නිලධාරින්ට කියා ජංගම දුරකථන ගෙන්වා ගැනීමය. සිරගෙදර සිටින සිය අන්තේවාසිකයන් සඳහා කුඩු ගෙන්වා ගැනීමය. හිරගෙදර තුළ ජංගම දුරකථනයක් භාවිත කළ හැකි පාතාල කෙරුමෙකුට රජයේ ආරක්ෂාව පිටම කළ නොහැකි අපරාධයක් නැත.

මේ සිදුවීම වෙන්නේ මීට වසර කීපයකට පමණ පෙරය. බන්ධනාගාරයේ ඉහළම නිලධාරින් දෙදෙනෙකුට ඇතුළේ කුඩු පාතාලයෙක් එළියේදි “සැපක්“ සැලසුම් කළේය. සැප ලැබෙන්නේ ඉහළ පන්තියේ හෝටලයකය. සුරූපී කාන්තාවන් දෙදෙනෙකු සමග සුඛෝපභෝගී හෝටල් කාමරයත්, මධුවිත හා රාත්‍රී ආහාරයත් ඔහු ගානේය. එහෙත් පාතාලයා විසින් මේ සියලු දේ අතර නිලධාරීන්ගේ අමන රංගනය කාන්තාවන් දෙදෙනා ලවාම වීඩියෝ කරවන ලද්දේය. අවසානයේ සිරකරු අතට පත්වී තිබුණේ සියොලඟ කිලිපොළා යන නිල් වීඩියෝවකි. එය අත්පත් කරගත් සිරකරුවා එතැන් සිට අදාළ නිලධාරීන් දෙදෙනා තමන්ගේ පා යට තබා ගත්තේය. තතු දත් අය පවසන්නේ ඒ වකවානුවේ බන්ධනාගාරය සම්බන්ධ සමහර තීන්දු ගනු ලැබුවේ මේ පාතාල සිරකරුවා බවය. අද වන විට බුද්ධි අංශයේ ඇතමුන් කළ මේ දුෂණ ක්‍රියා සියල්ල බලධාරීහු දනිති. මේ වන විට හිරගෙදර ඉහළ තනතුරු කිහිපයක්ම වෙනස් වී ඇත්තේත් ඒ නිසාය.දැන් කවුරුත් හිරගෙදර දෙස බලා සිටින්නේ ඊළඟට සිදුවන්නේ කුමක්ද කියාය.

අතීතයේ සිටම සිරගෙදරට නියාමකවරුන් ජේලර්ලා බඳවා ගනු ලැබූවේ අධ්‍යාපන සුදුකම්වලට පමණක්ම නොවේ. ඔවුන් මනා පෞරුෂවත් දැයි බැලීය. ඔවුන්ගේ පවුල් පසුබිම කුමක්දැයි බැලීය. පසුගිය කාලයේදී බන්ධනාගාරයට බඳවා ගැනීම් කිරීමේදි මේ නිර්ණායකවලට මුල්තැන දුන් සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා ලද පිරිස් පසෙකට විසි විය. බඳවා ගැනීම් කරන්නට සිදු වුයේ ඇමති ලැයිස්තුවෙන් එවන ලද චන්දයට පෝස්ටර් අලවන, දේශපාලකයන්ට කඩේ ගිය හෙන්චයියලාය. මේ බඳවා ගත් ඇත්තෝ බන්ධනාගාර බුද්ධි අංශයටත් ගියහ. අප හිරගෙදර බුද්ධි විප්ලවයක් බලාපොරොත්තු වන්නේ මේ වැනි උදවියගෙන්ය.

වසර ගණනාවක් තිස්සේ අයාලේ ගිය මේ ගමන දැන්වත් වෙනස් වන ලකුණු පහළවී තිබීම බලාපොරොත්තු ඇතිකරවන්නකි. බන්ධනාගාර පොර්තමේන්තුවේ සිටින සියල්ලෝ පල් හොරු නොවෙති. ගැටළුව ඇත්තේ මේ අවංක නිලධාරීන්ට සේවය කිරීමට ඇති අවස්ථාව මේ ජවාරම්කාරයන් නිසා ඇහිරී යෑමය. ඉවත් කරමින් ඇතිබව පෙනෙන්නේ ඒ බාධකය ය.

සමින්ද නෙළුම්දෙනිය

Comments