
කිසියම් තැනකදී යම් පුද්ගලයකු හෝ යම් පිරිසක් කුරිරු ආකාරයේ වධයකට ලක් කෙරේ නම් ඒ ස්ථානය ‘වධකාගාරයක්’ ලෙස අර්ථ විවරණය කිරීමට කිසිදු බාධාවක් නැත්තේය. මිනිසත්කම අගයන්නන් හට අතිශය සංවේදි කරුණක් වූ මෙවැනි වධකාගාර සංකල්ප උගත්යැයි පිළිගත් ජන පිරිසක් වසන බිමකින් නැවතත් ඉස්මතු වේ නම් අනිවාර්යයෙන්ම පිළිගත යුත්තේ ඒ ජන සමාජය නැවතත් ම්ලේච්ඡ යුගයකට පියමැන ඇති බව පමණි. විශේෂයෙන් සකල ශිල්ප-කලාවලට අධිපතිනිය වන සරසවියගේ නාමයෙන් හැඳින්වෙන ඇතැම් විශ්වවිද්‍යාලයන්හි තවමත් දරුණු ආකාරයෙන් මේ වධය ක්‍රියාත්මක වෙමින් පවතීම කණගාටුදායකය. වහාම බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු මේ හෙළිදරවු කරන්නට යන සිද්ධි දාමයත් එවැන්නකින් තවත් එකක් පමණක් වන අතර, තවමත් මේ අවනීතිය ක්‍රියාත්මක වන බවට මේ කතාව මනාව සාක්ෂි දරන්නේය.
‘සෙමිය’ හා අමානුෂික වධ
මඩකලපුව, චෙන්කලාඩිහි පිහිටි නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ‘සෙමිය’ මේ වන විට තවත් නවකයන් පිරිසකට වධකාගාරයක් වී ඇත්තේ ඉතා දරුණු අමානුෂික අන්දමිනි. එය මේ වසරට පමණක් අලුතින් සිදු වූවක් නොවන අතර, කාලාන්තරයක් තිස්සේ පැවත එමින් පවතින දෙයකි. එහෙත් ගැටලුව වී ඇත්තේ මේ ප්‍රශ්නයට නිසි විසඳුම් දෙන්නට බලධාරීන් උනන්දු නොවීම නිසා මේ වන විට මේ වධය විඳීමට නොහැකිව සිසුන් බහුතරයක් තමන් අමාරුවෙන් ලබාගත් ශිෂ්‍යභාවය පවා හැරගොස් සිටීමය. මෙම වධ-හිංසාවලට ලක් වූ දරුවන් මේ වන විටත් පසු වන්නේ දැඩි මානසික කම්පනයකිනි.
“ගෙවල්වලින් ගොඩාක් ඈත පළාතක් නිසා අපි නැවතුණේ හොස්ටල්වල. ගිය මුල් සතිය අපිට කිසිම කරදරයක් තිබුණේ නැතුව නිදහසේ ගෙවිලා ගියා. බයෙන් ගැහිගැහී ගිය අපිට මේක හරිම සහනයක් වුණා. ඒ සතිය හැඳින්වුණේ ‘මල් සතිය’ කියලා. ජ්‍යෙෂ්ඨයෝ ඇවිත් විවිධ දේශන තිබ්බා විශ්වවිද්‍යාලය ගැන, පරිසරය ගැන. අපි අපේ පාඩුවේ මේවා හරිම ආසාවෙන් අහගෙන හිටියා. ඒත් එහෙම ඉන්න වුණේ හරියටම සතියයි. ඒ සතියෙන් පස්සේ අපි පත් වුණේ හිතන්නත් බැරි අන්ත අසරණ තත්ත්වයකට.
“මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා වධකාගාරයක් වගේ තැනත්. ගොඩාක් ළමයි ඒකට කියන්නේ ‘සෙමිය’ කියලා. එක තියෙන්නේ ගෑනු ළමයින්ගේ නේවාසිකාගාරයෙන් අනිත් පැත්තේ. මේ සෙමිය මොකක්ද කියලා අපිත් හරියට දන්නේ නැහැ. ඒත් සමහර විට මේක සිසුන්ගේ නේවාසිකාගාරයක් වෙන්න ඇති කියලත් හිතෙනවා. මේකේ කොරිඩෝඑකක් එක්ක කාමර කිහිපයක්, බාත්රූම්එකක් එහෙමත් තියෙනවා. ළමයිනුත් ඉන්නවා දැකලා තියෙනවා. මේක තනි තට්ටුවේ බිල්ඩිංඑකක්. මේකට එක්කගෙන ගිහින් තමයි අපට දසවධ දෙන්නේ. දේශන ඉවර වුණාම අපි අනිවාර්යයෙන් මේකට අහු වෙනවා. පැනලා යන්න කිසිම ක්‍රමයක් නැහැ. අනිවාර්යයෙන්ම අපි අපේ නේවාසිකාගාරවලට යන්න ඕනෑ මේ සෙමිය පහු කරගෙන...”
බොහෝ දරුවෝ මේ පිළිබඳ තොරතුරු පවසන්නට මැළිය. එසේ වන්නේ අසු වුව හොත් සිසුන්ට වඩාත් දරුණු වධ දෙන්නට මේ යමපල්ලන් සූදානම් නිසාය.
‘හොස්ටල් ෆන්ක්ෂන්’
කෙසේ වෙතත් මේ වධකාගාරයේ තවත් අමානුෂිකම කටයුත්තක් සිදුවන බව මේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දැන නොසිටීම ප්‍රශ්නයකි. ඒ නවකවධය දෙන්නන්ගේ වචනයෙන්ම පැවැසුවොත් ‘හොස්ටල් ෆන්ක්ෂන්’ ය. ඒ නවකවධයේ ‘බකට්’ එකෙන් (බකට් යනු විශ්වවිද්‍යාල උප-සංස්කෘතියේ වචනයකි. නවකවධය අවසන් කෙරෙන්නේ බකට් දීමෙනි. එහෙත් මේ විශ්වවිද්‍යාලයේ තත්ත්වය එයින් වෙනස්ය) පසු ආරම්භ වන්නේ දරුවන්ගේ මානුෂිකත්වය ඍජුවම බිඳදමන ක්‍රියාවකි. මේ ‘හොස්ටල් ෆන්ක්ෂන්’ යනු විශ්වවිද්‍යාලයේ දරුණු ලිංගික අඩම්තේට්ටම්වල ආරම්භයකි.
“බකට් එකෙන් පස්සේ පටන් ගන්නේ ‘හොස්ටල් ෆන්න්ෂන්’ එක. රෑට ඒ අයගේ හොස්ටල්එකට එක්කගෙන ගිහින් ලිංගිකව අපිට හරියට හිරිහැර කරනවා. සාමාන්‍යයෙන් නවකයන් ඉන්න හොස්ටල් එකට ජ්‍යෙෂ්ඨයන්ට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ අය කලින්ම ළමයින්ව යූනියන් වැඩවලට, පෝස්ටර් ගහන්න කියලා හොස්ටල්වලින් එළියට ගන්නවා. එහෙම නැත් නම් ක්‍රීඩා කරන්න කියලා හතර දෙනා බැගින් ජ්‍යෙෂ්ඨයන්ගේ නේවාසිකාගාරවලට ගෙනියනවා; ගිහින් ලිංගිකව දරුණු වද දෙනවා. ඒවා කෙනකුට කියන්නත් ලජ්ජයි. මේ ක්‍රියාව හොස්ටල්එකේ ඉන්න හැම දෙනාටම විටින් විට කරනවා. ඒත් කවුරුත් බයට මුකුත්ම කියන්න යන්නේ නැහැ. සමහර කාලවල ප්‍රශ්නයක් වුණොත් මෙය ටිකක් අඩු වෙනවා. පෝස්ටර් ගහන්න කියලා ගෙනිගිහිල්ලා ලිංගික හිරිහැරවලට ලක් වුණු ගොඩාක් ළමයින් මේවා දරාගන්න බැරිව ලෙඩ වුණා. මේ ලිංගික වධය කෙනෙක්ට ලේසියෙන් දරා ගන්න බැහැ. දෙයියනේ අපි දහදුක් විඳගෙන කැම්පස් ආවේ මේ අපා දුක් විඳින්නද?”
‘සයන්ස් පාර්ක්’
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ පළමුවසර සිසුන් සිටින්නේ ‘නිව් ඉන්’ නම් වූ නේවාසිකාගාරයේය. නේවාසිකාගාර හා ක්‍රීඩාපිටි ඇත්තේ සරසවි බිමේම වෙනත් පැත්තකය. මේ නිසා පාලනාධිකාරයෙන් මේ නේවාසිකාගාර වෙන්ව ඇති අතර, තරමක් පාළු බවක් උසුලයි.
“අපි දේශන ඉවර වෙලා යනකොට මඟ රැකගෙන ඉඳලා අපි අල්ලගන්නවා. අල්ලගෙන ගෙනිහින් පරිසරයට හුරු කරන්න කියලා අත දිගහැර ගහනවා. මුල් කාලයේ නිදියන්න දුන්නෙම නැහැ. කාලයක් මුළු රෑම ඇහැරිලා හිටියා, බයට. රෑට හොස්ටල්වලට ඇවිත් ජනේල අරින්න කියලා අත දිග හැරලා ගහලා යනවා. සමහර විට දෙවැනි කණ්ඩායමට අපි හදන්න බැහැ කියලා කිව්වොත් තුන්වැනි බැච් එකේ අය ඊටත් වඩා දරුණුවට අපි හදන්න කියලා හිරිහැර කරනවා. සමහර විට නිරුවත් කරලත් ගහනවා. එහෙමත් නැතිනම් ‘සයන්ස් පාර්ක්-එකට’ ගිහින් දරුණුවට හිරිහැර කරනවා. පැමිණිලි කෙරුවොත් බලාගෙනයි කියනවා. මේ වධකාගාරය එදා ඉඳන් දරුණුවටත් තිබිලා තියෙනවා. ඒත් විශ්ව විද්‍යාල ලොක්කෝ මුකුත් කියන්නේ නැහැ. අපි විඳින දුක බලන්න ඒ කවුරුවත් නැහැ...”
සිංහල සිසුන්ගේ හැදියාව
මේ විශ්වවද්‍යාලයේ කලා මෙන්ම වාණිජ අංශයේ බහුතරයක් මුස්ලිම් හා දමිළ සිසුහු වෙති. එහෙත් නවකවධයට ගොදුරු වන සිසුන්ගේ අත්දැකීම වන්නේ මේ අමානුෂික නවකවධයට මුස්ලිම් හෝ දමිල සිසුන් සහභාගි නොවන බවයි. සිංහල සිසුන් වැඩිපුර සිටින පීඨවල මෙයාකාරයෙන් අමානුෂික නවකවධ පමුණුවන්නේ සිංහල සිසුන්ම බව පවසන්නේද සිංහල සිසුන්ය. එසේම මෙයාකාරයෙන් වධයට ලක් වන්නේ සිංහල දරුවන් වීමද විශේෂත්වයකි.
සමහර සිසුන් මේ වධකාගාරයේ දැඩි අමානුෂික වදයන්ට ලක්වුවද ඒවා තම නිවෙස්වලට පවසන්නට මැළිව ඇත්තේ කියා හසු වුව හොත් ඊට නොදෙවෙනි වධයන්ට ලක් වන්නට සිදු වන නිසාය. මෙසේ හෙයින් ඇතැම් සිසුන් තාවකාලික විකල්පයක් ලෙස ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් ඉවත්ව පෞද්ගලික වියදමින් නවාතැන් ගැනීමය. එහෙත් ඒවායේ සිටියද සිතූ තරම් ගැලවිල්ලක් නැත.
“මේ සෙමිය තනි තට්ටුවේ බිල්ඩිං-එකක්. මේකට යද්දි ජ්‍යෙෂ්ඨ සිසුන් අපේ පස්සේ එන්නැහැ. අපි යවලයි ඒ අය පස්සෙන් එන්නේ. මේ හිරිහැර කළායින් පස්සේ ඒ අය අපිට තර්ජනය කරනවා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. ඒත් කියලා යම් ප්‍රශ්න වෙන්න වෙන්න මේ අය පළි ගන්නෙත් අපෙන්. අපේ හොස්ටල්වල පාලකයන් හිටියත් මේ දේවල් කරන්නේ ඒ අයට අහු නොවෙන්න. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ නීතියට අනුව ජ්‍යෙෂ්ඨයන්ට අපේ හොස්ටල්වලට එන්න බැහැ. මේ නිසා ඒ අය දන්නවා කල් තියා අප හොස්ටල්එකින් එළියට ගන්න විදිය. අපි බැරි වෙලාවත් එළියට ආවේ නැති නම් පස්සේ තවත් දරුණු විධියට අපිට මේ වධය දෙනවා.”
බලධාරීන්ගේ අදහස
කෙසේ වෙතත් මේ වන සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙන්ම උසස් අධ්‍යාපන අමත්‍යාංශයද මේ පිළිබඳව තරයේ අවවාද කර ඇතත් මේ වන විටද මේ දරුණු වධකයන්ගේ වධ දීමේ පිපාසයන් සංසිඳී නැත්තේය. එබැවින් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරය මේ පිළිබඳ අවබෝධයෙන් පසු වේද නැද්ද යන්න අපි විමසුවේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, ආචාර්ය කරුණාකරන් මහතාගෙනි.
“මම නැහැ කියන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලයේ මෙවැනි දේවල් සිදු වෙනවා. අලුත් සිසුන් ආවාම නැවත නැවතත් මෙවැනි දේවල් පටන් ගන්නවා. අපි නිතරම නේවාසිකාගාර පාලකයන්ට කියලා තියෙන්නේ මේ වගේ දේවල් වුණොත් දැනුම් දෙන්න කියලා. රැග් කරලා වැරදිකාරයන් වුණොත් නීතියෙන් කිසිම ගැලවිමක් නැහැ. අපේ විනය ගැන ගොඩාක් තදින් බලනවා.”
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙමින් පවතින සිසු වධකාගාරය හෙවත් සෙමිය පිළිබඳ බලධාරීන්ගේ දැනුවත් බව පිළිබඳවත් එයට ගෙන ඇති පියවර පිළිබඳවත් අදහස් දැක්වූ ඔහු, “මේ සෙමිය කියන්නේ සිසුන්ගේ හොස්ටල් එකක්. අපිටත් ඔය වගේ දේවල් වාර්තා වුණා. මේවා බොරු නෙමේ ඇත්ත. ඒ දරුවෝ පවු. සමහර දරුවෝ මේවා විඳගන්න බැරිව මුළු රෑම ඇහැරගෙන ඉඳලා දේශන ශාලාවලට ඇවිත් දවල්ට නිදාගන්නවා. අපිත් මේ ගැන කල්පනාවෙන් ඉන්නේ. ඒත් අපට දරුවන්ගෙන් තොරතුරු ලැබෙනවා අඩුයි. ගොඩාක් ළමයි බයට මේ ගැන අපට පැමිණිලි කරන්නේ නැහැ. මේ නේවාසිකාගාරය පැත්තේ රෑට අපේ අය නැහැ. මුලදි මේ ප්‍රශ්න නිසා සෙමිය පැත්තට තදට ආරක්ෂාව දැම්මා. ඒත් දැන් ආරක්ෂකයොත් රෑට නිදි. මේ කරන අය දන්නවා ලේසියෙන් ගැලවෙන විදියට මේ දේවල් කරන්න. අපි මේ දේවල් ලොකුවට ගත්තොත් මේ ළමයි අපිට විරුද්ධව පෙළපාළි යනවා, ළමයින්ගේ නිදහසට විරුද්ධව අපි කටයුතු කරනවා කියලා. එහෙම නැති නම් ජාති භේද අවුස්සනවා කියනවා. මේ ළමයිම තමයි ජාති භේද අවුස්සන්නේ. මේ විශ්වවිද්‍යාලයේ සිංහල,මුස්ලිම්, දෙමළ දරුවන් තුන්ගොල්ලම ඉන්නවා. ඒ හැමෝම අපිට එකයි. ඒත් මේ දේවල් කරන්නේ සුළු පිරිසක් බව අපි දන්නවා. අපි මේ ළමයින්ගේ හොස්ටල් කාමරවල ඉන්න පුළුවන් 4 දෙනකුට පමණයි කියලා සීමාවක් දැම්මා. ඒ වගේම රෑ 7න් පසුව ජ්‍යෙෂ්ඨයන්ට නවකයන් ඉන්න හොස්ටල්වලට යන්න දෙන්නෙ නැහැ. ඒත් මේ තත්ත්වය නිසා අපි දේශන ශාලාවලට ගිහින් සිසුන් දැනුම්වත් කළා ,මේව කරලා අහුවෙන්න එපා කියලා. අපේ ශිෂ්‍ය සුබ සාධක නිලධාරීන් මෙන්ම පීඨාධිපතිවරුන් නිතරම කල්පනාවෙන් ඉන්නේ මේ නවකවධය ගැන. මෙහිදී යමක් කිව යුතුයි: මේවා කරන අයගේ වෙන වෙන අභිමතාර්ථ තියෙනවා. මෙහි එන සමහර ළමයි ඉන්නවා, කවදාවත් විභාග පාස් වෙන්නේ නැති අය. සමහර ළමයින්ට නිවාඩු දිනවලත් ගෙවල්වලට යන්න දෙන්නේ නැහැ. ඒ ළමයි මේ අයගේ විවිධ දේවල්වලට යොදාගන්නවා. මින් ඉදිරියට මේ විදියට දරුණු වධ දීලා අහු වුණොත් අපේ නීතිය තදයි.”
උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාටද විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන මේ නවකවධයට විරුද්ධව කටයුතු කිරීමට දැඩි අවශ්‍යතාවක් ඇත්තේය. 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ වසර 10ක සිර දඬුවම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඔහු දැනුම් දී ඇත්තේ ඒ නිසාය.
විසඳුම?
“විනය සම්බන්ධයෙන් 1998 නවකවධ පනත තියෙනවා. එය ඉතා හොඳ නීතියක්. ඒ යටතේ මෙවැනි කුරිරුකම් කර චෝදනා ලැබුව හොත් මහේස්ත්‍රාත්වරයකුට වත් ඇප දෙන්න බලයක් නැහැ. වරදිකාරයා වුණොත් අවුරුදු 10ක් සිරගත කරන්න පුළුවන්. දැන් මේ නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ සියලු පොලිස් ස්ථාන මේ ගැන දැනුම්වත් කර තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරු සේම පාලක පන්තිය කටයුතු කරනවා. මෙවැනි නවකවධ දෙන්නන්ට කිසිදු අනුකම්පාවක් නැතිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි යන මතයේ අපි ඉන්නවා. සමහර විශ්වවිද්‍යාලවල වධකාගාර තියෙනවා. මේ හරහා සිසුන්ට විශාල පීඩාවක් එල්ල කරලා. මේ නිසා සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල හැර ගිහින්.
අප මේ සමහර දරුවන් මානසික වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළා. මේ වන විට මේ තත්ත්වය මර්දනය කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පැය 24ම ක්‍රියාත්මක වන සේවාවක් ආරම්භ කළා...” ඇමැති විජයදස රාජපක්ෂ මහතා පවසන්නේය.
මෙවැනි වධකාගාර මෙන්ම වධකයන්ද නැඟෙනහිර විශ්වවිද්‍යාලයටම පමණක් සීමා වූවක් නොවන බව නොරහසකි. ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සමහර පීඨවල මෙවැනි අසහනකාරීහු තවමත් වෙසෙති. ඒ නිසා අඩු-වැඩි ප්‍රමාණයෙන් විවිධ අරමුණු සාධනයෙහිලා මෙවැනි කුරිරු අභිමතාර්ථ සපුරාගැනීමට මෙවැනි අහස පොළොව නූහුලන අපරාධ සරසවි බිමෙන් වාර්තා වන්නේය.