
පසුගිය සතියේදී යාපනයේ ක්‍රියාත්මක වන ''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලද බවට හඳුනාගත් සැකකරු ඇතුළුව දස දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. මේ අත්අඩංගුවට ගැනීම සමඟ මේ මැර කල්ලි සම්බන්ධව යාපනයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්පය කුමක් දැයි කාටත් දැක ගත හැකි විය.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිස් ජීප් රථය ඇති ස්ථානයට රැගෙන යෑමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට යාපනයේ සාමාන්‍ය වැසියන්ගෙන් සැකකරු බේරාගැනීමට විශාල වෙහෙසක් දරන්නට සිදු විණි. ''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලදැයි කියන තැනැත්තාට යාපනයේ සාමාන්‍ය වැසියෝ එක්ව පහර දීමට සූදානම් වූහ. ඔහු සාමාන්‍ය මිනිසුන් අතින් මැරුම් නොකා බේරාගත්තේ අනූ නවයෙනි.
මේ මැර කල්ලි පිළිබඳව නිශ්චිත තොරතුරු මෑතකදී සිට පොලිසියට ගලා එන්නට වූයේය. යාපනයේ ප්‍රධාන පොලිස් ස්ථාන තුනකට පසුගිය සතියේදී මහජනතාවගෙන් විවිධ තොරතුරු ලැබීමට පටන් ගත්තේය. ඒ පොලිසි තුන මනිපායි, කෝපායි හා චාවාකච්චේරි ය. ''ආවා ගෲප්'' කල්ලියෙන් බිඳී ගොස් මේ දිනවල යාපනයේ වැඩකරුවන් යැයි ඔවුන්ම කියා ගන්නා ''අයි කල්ලිය'' යාපනයේ හැසිරෙමින් ඇති අශිෂ්ට ආකාරය සාමාන්‍ය මිනිස්සුන්ට හිසරදයක් වූවිට ඔවුහු මේ තොරතුරු රහසේම පොලිසියට ලබා දෙන්නට ඉදිරිපත් වූහ.
ආවා ලීඩර්
ලැබුණු තොරතුරුවලට අනුව මෙහෙයුමක් දියත් විය. යාපනයේ ''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලද තැනැත්තා සමඟ තවත් තරුණයන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ එහිදීය. ඔවුන් ළග තිබී කඩු හතරක්, පිහියා දෙකක්, කිණිස්සක් හා අපරාධ සඳහා ගමන් බිමන් යාමට භාවිත කරන ලද යතුරු පැදියක් පොලීසිය බාරයට ගැනිණි.
''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලද බව කියන පුද්ගලයා වයස අවුරුදු විසි දෙකක තරුණයෙකි. ආරූඪ නාමය ''දාස්'' ය. ඔහුගේ මාමා වන කෙනෙකු පදිංචිව සිටින්නේ ස්විට්සර්ලන්තයේය. ''ආවා ගෲප්'' කල්ලියේ හදන්නට සල්ලි එවූ, එය සංවිධානය කළ අජන්තන් නැමැති පුද්ගලයා සිටින්නේත් ස්විට්සර්ලන්තයේය.
''ආවා ගෲප්'' කල්ලිය අජන්තන්ගේ අදහසක් අනුව බිහි වූපසු ඔහු වරක් යාපනයටද ඇවිත් ගියේය. නමුත් කල්ලිය විසින් අජන්තන්ට බොරු කිරීම නිසා ඔහු ඒ කල්ලිය මෙහෙය වීමෙන් හා ඔවුන්ට උදව් කිරීමෙන් ඉවත් විය. දාස් අජන්තන්ව හඳුනා ගන්නේ ඔහු ආවා කල්ලිය මෙහෙයවන කාලයේය. මේ සම්බන්ධය ඇති වන්නේ ස්විට්සර් ලන්තයේ සිටින තම මාමාගේ මාර්ගයෙනි. දාස් කල්ලියට එක්වෙන්නේ අජන්තන්ගේ ඇරයුමෙනි. අජන්තන් ආවා කල්ලිය අත්හැර ගිය නමුත් දාස් අවා කල්ලියේ නැවතුණේය. එක එකා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ආවා කල්ලිය මෙහෙයවීමේ කොටස ඔහු බාර ගත්තේය.
දාස් ඇතුළු පිරිස මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. පසුව ඔවුන් ලබන දාසය වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට පොලිසියට හැකි විණි. ඒ අනුව මේ කඩු කල්ලිවලට සම්බන්ධ 22 දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
උසස්පෙළ ගැටවු
''ආවා කල්ලියේ '' අත්අඩංගුවට පත් වූ විසි දෙදෙනාම අවුරුදු 23 ට අඩු අයය. හතර දෙනෙකුම මෙවර අ.පො.ස, උසස් පෙළ විභාගයට පෙනී සිටින අයය. යාපනයේ මේ කල්ලි ගැසී සිටින්නේ ලෝකය ගැන මෙලෝ හසරක් නැති, දේශපාලන කියැවීමක් හෝ සමාජ මතවාදයක් නැති කිරිකජු කොලු ගැටව් පිරිසකි. ඔවුන් මේ කල්ලිවලට සම්බන්ධ වීමේ අරමුණු හිතා ගන්නටවත් නොහැකි තරමට ප්‍රාථමිකය. මේ විසි දෙදෙනා ද දැන් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ. ඔවුන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදීහෙළි වන තොරතුරු බලාපොරොත්තු වන මට්ටමටත් වඩා ග්‍රාම්‍යය.
කල්ලිවලට සාමාජිකයන් බඳවා ගැනීමේදී මුලින්ම ඔවුන්ට මුදල් පිළිබදව ආශාව තණ්හාව ඇති කිරීමට දේශන පවත්වා තිබේ. පොලීසියට ලැබී ඇති තොරතුරුවලට අනුව පිරමීඩ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තැනින් තැන දේශන පවත්වා රුපියල් කෝටි ගණනින් මුදල් හම්බ කරගත හැකි අන්දම විස්තර කරන්නාක් මෙනි.
සාමාජිකයන් එම කල්ලියේම රඳවා ගැනීමට සිදු කොට ඇත්තේ අලුතින් බඳවාගත් සාමාජිකයාගේ තරහකරුවන් හෝ විරුද්ධකාරයන් සිටී නම් ඔවුන්ට ප්‍රහාර එල්ල කර සිත දිනාගැනීමෙනි. මේ ප්‍රහාර නිසා උද්දාමයට පත් සාමාජිකයා කල්ලිය වෙනුවෙන් ඊට පසුව බොහෝ දේ ඉටු කොට තිබේ.
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් හතර දෙනෙකු ආවා කල්ලියට සම්බන්ධ වී ඇත්තේ ද ඔවුන්ගේ විරුද්ධවාදීන්ට පහර දීමේ චේතනාවෙනි. ඔවුන්ට මුදල් මංකොල්ල කෑමේ අදහසක් නොවන බව කියන්නේ පොලීසිය ය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් තිදෙනකුට මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයට පෙනී සිටීමට අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
මින් සිසුන් දෙදෙනෙක් ආවා කල්ලියට බැඳී ඇත්තේ පාසලක පරිගණක සොරකමකට තමන් හවුල් වීමෙන් පසුව එය පාවා දීමට මුල් වූ සිසුවාට පහර දීමටය. නමුත් ඔවුන් කල්ලියට බැඳී දින කීපයකින්ම පොලීසියට කොටු වී තිබේ. ඒනිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්ව ගොස් ය.
කොල්ල කෑම
කල්ලිවල සංවිධානගත අරමුණ කොල්ල කෑමය. ඊට ප්‍රමිතියක් නැත. කප්පම්කරුවෝ ව්‍යාපාරිකයන්ගෙන් පමණක් නොව, ගොවීන්ගෙන්ද රජයේ සේවකයන්ගෙන්ද කප්පම් ගෙන තිබුණු අයුරු කියැවිණි. විවාහ මංගල උත්සවයක් සංවිධානය වන විටම එම නිවසේ මුදල් හා ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් එකතු වන බව මේ කල්ලිකරුවෝ ඉතා හොදින් දනිති. ඔවුහු එවැනි අවස්ථාවල එම දේපළ කොල්ල කෑ ආකාරය වාර්තා විය. මේ නොහික්මුණු තරුණ පිරිස් යාපනය සෝමාලියානු මොඩලයකට ගෙන ගොස් තිබිණි.
දිසාපතිගේ පැමිණිල්ල
මේ කල්ලි වහාම අත්අඩංගුවට ගත යුතු බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් යාපනයේ පොලිස් ප්‍රධානීන්ට කියා සිටියේ ඒ නිසාය. ඔහු ඊට හේතු වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ යාපනයේ ජනතාව යුද්ධයත් සමග ඉතා අසීරු කාලයකට මුහුණ දී යළි ජීවත් වීමට සූදානම් වීමත් සමඟම එවැනි කප්පම් කල්ලි ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම අපරාධයක් බවය.
මේ වන විට අවස්ථා තුනක්ම යාපනය දිසාපතිවරයා පොලිස් ප්‍රධානීන් හා යාපනයේ සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් දිසාපති කාර්යාලයට කැඳවා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව සාකච්ඡා කොට තිබේ.
ඒ සමගම යාපනයේ ස්වේච්ඡා සංවිධාන වලින් හා මහජනතාවගෙන් දිසාපතිවරයාටත්, පොලිස් ප්‍රධානීන්ටත් ලිපි ලැබෙන්නට පටන් ගෙන තිබේ. ඒ ලිපි වලින් ඉල්ලා ඇත්තේද මේ කප්පම් කල්ලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසය. යාපනයේ කාර්ය බහුලම හා මේ කඩුකාර කල්ලි ගැවසෙන පළාත් වශයෙන් දැනට හඳුනාගෙන ඇත්තේ මනිපායි, කෝපායි, වඩුක්කෝඩෙයි, චාවාකච්චේරි හා චුන්නාකම් යන පළාත් පහය. දැන් මේ පොලිසි මේ අපරාධකරුවන් සම්බන්ධව පරීක්ෂණ කටයුතු පුළුල් කර ඇත.
පළමු අත්අඩංගුවට ගැනීම
මේ වාර්තා වන්නේ මේ කඩුකාරයන් මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාවය. මීට පෙරයාපනයේ ක්‍රියාත්මක බුද්ධි අංශ වාර්තා කළ අන්දමට යාපනයේ මුලින්ම බිහි වූකඩු කල්ලිය වන ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයන් සංඛ්‍යාව හැට පහක් පමණ බව කීවේය. ඔවුන්ගෙන් හතළිස් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
යාපනයේ ආරක්ෂක අංශ විසින් ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයන් හතළිස් හයක් අත්අඩංගුවට ගැනීමත් සමඟම එදා යාපනයේ තිබූ භීෂණකාරී තත්ත්වය මදක් ඉවත් විණි. එහෙත් මාස හතරක් වැනි කෙටි කාලයකින් යළිත් වරක් යාපනයේ තැනින් තැන කඩුකාරයෝ මිනිසුන් කපා කොටා තුවාල සිදු කරන්නට පටන් ගත්හ.
තැන තැන කඩු කල්ලි
මේ අපරාධ සිදුවී තිබුණේ ආවා කල්ලියෙන් බිඳී ගොස් වෙනත් කණ්ඩායම් ඇති කරගත් මැරයන්ගෙන් බව පසුව ආරක්ෂක අංශ හෙළි කරගත්තේය. දැන් ආවා කණ්ඩායම යළිත් අත්අඩංගුවට පත් වුවත් මේ අනෙක් මැර කල්ලි යාපනයේ ක්‍රියාත්මකය.
'''ආවා ගෲප් ''කල්ලියේ පළමු අතුරු කණ්ඩායම වූ ''වික්ටර්'' කල්ලිය ය. කලින් ''ආවා'' කල්ලිය කළ ආකාරයටම යාපනයේ ව්‍යාපාරිකයන් බිය වද්දා මේ ''වික්ටර් කල්ලිය'' ද කප්පම් ලබාගත් අතර අනතුරුව ඔවුහු එකිනෙකා මරා ගත්හ. අනතුරුව ''ආවා'' කල්ලියේත් ''වික්ටර් ''කල්ලියේත් පිරිස් කෑලිවලට කැඩී ගොස් ''විනෝද් කල්ලිය'' ''පරා කල්ලිය'' වශයෙන් කල්ලි ගණනාවක්ම බිහි විණි.
පසුගිය ජූනි මාසය වන විට මේ කල්ලි වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් යාපනයේ තැනින් තැන පුද්ගලයන් දහනව දෙනෙකුව කඩුවලින් කපා තිබිණි.
ජූනි මාසයේ ආරම්භයත් සමගම යාපනයේ ක්‍රියාත්මක වූයේ අලුත්ම කල්ලියකි. එම කල්ලිය ''ආවා ගෲප්'' කල්ලියෙන් බිඳී ගොස් අලුතෙන් පිහිටුවා ගන්නා ලද '' ධනු රොක්කල්ලිය'' නමින්හදුන්වන ලද ආයුධගත්යතුරුපැදිකණ්ඩායමකි. ඔවුහුයාපනයේකොකුවිල්පළාතේදීපුද්ගලයෙකුවකඩුවකින්කපාතුවාලසිදුකොටඔවුන්ගේ වැඩ ආරම්භ කළහ. පසුව මේ කල්ලියේ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
යාපනයේ බිහි වී ඇති විවිධ කල්ලි වල ස්වභාවය එසේ වුවත් එකී කල්ලිවලින් බිඳී ගොස් අලුතෙන් බිහි වූ තවත් කල්ලි ගණනාවක් යාපනයේ ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත. යාපනයේ මීසාලේ කයිතඩි පළාත ආශ්‍රිතව අලුතින්ම බිහි වී සිටින කල්ලිය ''අජිත් කල්ලිය'' යි. මේ කල්ලිය මෙහෙයවනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ සිටින කලින් ''ආවා ගෲප්'' කල්ලියට සංවිධානය වීමට මුදල් හා ආධාර සැපයූ පුද්ගලයා බවද හෙළි වී තිබේ.
මේ අතරතුර ''ධනුෂ් කල්ලිය''නමින් තවත් කල්ලියක් යාපනයේ කෝපායි ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. ඒ අතරවාරයේ පළාතක් උපතක් නොමැතිව ''මෝහන්-අශෝක්'' යනුවෙන් කල්ලියක් බිහිවී ඇතැයි වාර්තා වේ. පසුගිය ජූලි මාසයේ අවසන් සතිය වන විට යාපනයේ බිහි වූ අලුත්ම කල්ලිය '' අයි කල්ලියයි''. ඔවුන් යාපනයේ මීට පෙර බිහි වූ සෑම කල්ලියකම සාමාජිකයන්ට එරෙහිව කටයුතු කරමින් ඔවුන්ගෙන් පළිගන්නා නිසා මේ දිනවල යාපනය උණුසුම් වී තිබේ. යාපනයේ වත්මන් භීෂණය වැඩි වන්නට හේතූ වූයේ මේ අලුතින් යාපනයට එකතු වූ ''අයි කල්ලිය'' නිසාය.
මේ අලුත්ම කල්ලිය යාපනයට එකතු වීමෙන් පසුව යාපනයේ කිසිම ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් බවට පොලිසියට තොරතුරු ලැබී නොතිබීම විශේෂ සිද්ධියකි. මේ කල්ලිය සම්බන්ධව වඩාත් බරකින් සෙවිය යුත්තේ එසේ නම් ඔවුන්ගේ අරමුණ කුමක් දැයි පැහැදිලි නැති නිසාය. ආරක්ෂක අංශවල ඇති දුර්වලතා ප්‍රයෝජනයට ගෙන මේ පුද්ගලයන් නීතිය අතට ගැනීමේ ප්‍රවණතාවක් ඇත්නම් යාපනයෙන් අපට ඉදිරියේදී ඇසෙනු ඇත්තේ බරපතළ ඛේදවාචකයකි. එය ආවා ඇවිත් ගිය තරම් සරල එකක් නොවනු ඇත.