අපට ඉන්නේ පොලීසියෙන් අතමාරුවට ගත්ත විමර්ශකයෝ | සිළුමිණ

අපට ඉන්නේ පොලීසියෙන් අතමාරුවට ගත්ත විමර්ශකයෝ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

රට පුරා සැම ක්ෂේත්‍රයකම පිළිකාවක් සේ පැතිර ඇති අල්ලස හා දූෂණය පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනා නඟන චෝදනාවක් නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අකාර්යක්ෂමතාව නිසා ආර්ථික දූෂකයන්ට නිසි දඬුවම් නොලැබීම මේ ව්‍යසනයට හේතුව බවයි. ඇත්තෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ආකාර්යක්ෂමද? එය දේශපාලනීකරණය වී ඇත්ද? මේ පිළිබඳ සිළුමිණට අදහස් දක්වනුයේ එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාය.

* අපරාධ වළක්වන්න උණු උණුවෙම දඬුවම් ඕනෑ
* හැමදේම ඉල්ලලා නිලධාරීන්ට කන්නලව් කරන්න බෑ

 සාමාන්‍යයෙන් අල්ලස අතේ මාට්ටු වන්නක්. ඒත් දූෂණය යන වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න විධිමත් විමර්ශනයක් කිරීම අවශ්‍යයි. මේ කටයුතු කොයි ආකාරයෙන්ද සිදු වන්නේ?

ඔව්, දූෂණය යන වරද අනෙක් එවාට වඩා ඉතා සංකීර්ණයි. මෙය තනි පුද්ගලයකුට එල්ල කිරීම මෙන්ම එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම අපහසු දෙයක්. ඒ වගේම මූල්‍ය දූෂණ පිළිබඳ පැමිණිලි එන්නේ අවුරුදු ගණනාවකට පසුවයි. මේවා බහුතරය ලේඛනගතව තිබීම නිසා සොයාගැනීම අපහසුයි. එසේම මේ සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ වගකීම එහාට මෙහාට පෙරළිය හැකි නිසා මේ පිළිබඳ හොඳ වෝහාරික ඇසක් ඇති පිරිස් අප සතු විය යුතුයි. සාමාන්‍ය කෙනකුට දූෂණ විමර්ශනය කිරීම අපහසුයි.

අල්ලස් හෝ දූෂණ කොමිසමට මේ අසීරු කටයුත්ත සර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය තිබේදැයි විමසුවොත්...

1994 වන විට අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව තිබුණේ අධිකරණ අමාත්‍යාංශය යටතේ. එදා මේ යටතේ හිටියේ විමර්ශනය කරන්න පොලිස් නිලධාරීන් පමණයි. ඉන් පසු සියලු විමර්ශන යවන්නේ නීතිපති යටතට. මේ නිසා නඩු දාන නොදාන එක තීරණය කරන්නේ නීතිපතිවරයා. ඒත් 1994දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව මෙය ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත් කෙරුණා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු ඇති වූ නීතියට අනුව මෙහි කොමසාරිස්වරුන් ජනාධිපතිවරයා විසින් පත් කළත් ඔහුට සිදු වනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගන්න. ඒත් මේ දේවල් කරද්දි ප්‍රායෝගිකව බලපාන කරුණු ගැන හිතුවේ නැහැ. මෙය ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත් කරද්දී ඔවුන්ගේ අදහස වුණේ නීතිපති දෙපාර්මේන්තුවටත් වඩා උසස් කණ්ඩායමක් මෙහි ඇති කරන්න. මේ නිසා අඩුම තරමින් මෙය ආකර්ෂණිය තැනක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දුන් වැටුපවත් අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දිය යුතුව තිබුණා. මේ සඳහා වැටුප් චක්‍රලේඛයකුත් හැදුවා, මේ ආයතනය දුර්වල නොකරන්න. එහෙත් එදා සිට අද දක්වාම නීතිපති දෙපාර්තමේන්තුවේ අයට දී ඇති වැටුප් අපේ අයට ලැබුණෙත් නැහැ, දීමනා ලැබුණෙත් නැහැ, පහසුකම් ලැබුණෙත් නැහැ.

■ අදටත් පවතින්නේ මේ තත්ත්වයමද?

මෙහි සිටින නිලධාරීන් ඒ අයගේ දක්ෂතා මත ඉහළම මට්ටමින් රාජකාරි කටයුතු කරනවා. එහෙත් යථාර්ථය නීතිපති දෙපාර්තමේන්තුවේ අයට තරම් ආකර්ෂණයක් අපට නොලැබෙන බවයි.

අල්ලස් කොමිසම පණ මදි කියලා ජනතාව වගේම විවිධ දේශපාලනඥයනුත් එල්ල කරන චෝදනාවලට හේතුවත් මෙයද?

ඒ චෝදනාවලට මෙයත් එක් හේතුවක්. අවුරුදු විසි ගණනක්ම මෙහි තිබුණේ වැසුණා වූ තත්ත්වයක්. පසුගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුව කඩාවැටෙන තත්ත්වයට පත් වුණා. මේ අවස්ථාවේ රජය මැදිහත් වෙලා ඒ අයගේ වැටුප් වැඩි කළා. මේ නිසා ඒ කඩාවැටීම නතර වුණා. මේ සම්බන්ධ කමිටුවේදීත් තීන්දුවක්ට ආවා නීතිපති දෙපාර්තමේන්තුවේත්, අල්ලස් දෙපාර්තමේන්තුවෙත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේත් වැටුප් වැඩි විය යුතුයි කියලා. ඒත් අපේ අවාසනාවට ඔවුන් අධිකරණ අමාත්‍යාංශය යටතට වැටුණා. අපට යන්න තැනත් නැති වුණා. මේ නිසා අපි ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටුණා. අපේ වැටුප් ප්‍රශ්නය ගියා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව යටතට. එදා සිට මෙය අනුමත කරන්නැතුව තියාගෙන ඉන්නවා. රටේ අල්ලස් ප්‍රශ්න විසඳන්න නම් අප ඉහළම තලයේ නීතිඥවරු බඳවාගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල මේ අයතනවල ඉන්නේ අටේ ඉහළම නීතිඥවරු. ඒත් අපේ ඒ ප්‍රමිතිය අඩුයි. අද අල්ලස් කොමිසමේ සමහර තීන්දු තීරණ ගන්නේ රාජ්‍ය නිලධාරීන්. ජකාර්තා ප්‍රකාශයට අනුව අල්ලස් කොමිසමක් ස්වාධින වීමේදී තමන්ට අවශ්‍ය ගුණාත්මක සේවක පිරිස තමන්ට අවශ්‍ය පරිදි බඳවාගැනීමට හැකි විය යුතු අතර, මූල්‍ය ස්වාධීනත්වයක් තිබිය යුතුයි. ඒත් අපට මේ දෙකම නැහැ.

ඔබ පවසන ආකාරයට අල්ලස් කොමිසම පණ ගන්වන්න තව කොපමණ කාර්ය මණ්ඩලයක් අවශ්‍යද?

අද හොංකොං රාජ්‍යයේ ඉන්නේ මිලියන 6ක ජනතාවක්. ඒ පිරිසට විමර්ශකයන් ඉන්නවා 1000ක්; නිවාරණ ඒකකයට 220ක් ඉන්නවා. මැලේසියාවේ ජනගහනය මිලියන 29ට ඉන්නවා විමර්ශකයන් 3000ක්. අපේ රටේ මිලියන 21ට ඉන්නේ පොලීසියෙන් අතමාරුවට ගත්තු විමර්ශකයන් 200යි! මෙයින්ම අපේ තත්ත්වය පේනවානේ. මූල්‍යමය තත්ත්වය පැත්තෙන් ගත හොත් ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයේ 0.1ක් වත් අල්ලස තුරන් කරන ආයතනයට වෙන් කළ යුතුයි. බොහෝ රටවල මේ ප්‍රමාණය වෙන් කරන කොට අපේ රටේ වෙන් කරන්නේ දශම .00001ක්!

මේ ලැබීම් කෙසේ වෙතත් ඔබ ආයතනයට දිනෙන් දින ලැබෙන අල්ලස්, දූෂණ නඩුවල අඩුවක් නැහැ නේද?

නඩු නම් ගොඩගැහෙනවා. 2015දී හැමෝටම ලොකු උනන්දුවක් තිබුණා හොරු අල්ලන්න. ඒ අදහස හොඳ වුණත් අප සිටින තැන ගැන අපම අධ්‍යයනයක් කළ යුතුයි නේද? දේශපාලනඥයන් හැමදාම උනන්දු වන්නේ තමන්ගේ විරුද්ධවාදියා කවද්ද අත්අඩංගුවට ගන්නේ කියලා විතරයි. ඒත් ඒ හඬ නැඟීමේදී මෙය ශක්තිමත් කරන්න කවුරුවත් කතා කරන්නේ නැහැ.

මේ ආයතනය ගොඩනංවන්න ඇති බාධාව කුමක්ද?

ජනාධිපතිතුමාට වුවමනාව තිබෙනවා මෙය ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්න. ඒත් මේ තීන්දු-තීරණ ගන්නේ රාජ්‍ය තන්ත්‍රයේ යම් යම් නිලධාරීන්. අපිට හැමදේම ඉල්ලගෙන ගිහින් කන්නලව් කරන්න බැහැ දෙන්න, දෙන්න කියලා.

මේ තත්ත්වය මත වුවත් ඔබ ආයතනයේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ලබා නැතිද?

අප ගොඩාක් දේ කළා. මේ වන විට අපට ලැබී ඇති ප්‍රතිපාදනවලින් විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට අප පසුගිය වසරේ අධිකරණවලින් විත්තිකරුවන් 57 දෙනකු වැරදිකරුවන් කළා. මේ වසරේ මේ දක්වා 50 දෙනකු වැරදිකරුවන් කළා. මින් පෙර කවරදාවන් 10-15කට වඩා වැරදිකරුවන් කරන්න පුළුවන් වෙලා නැහැ. මෙය වාර්තාවක්. මෙය කරන්න පුළුවන් වුණේ අපට ලැබුණු ප්‍රතිපාදනවලින් අපේ අයට හොඳ පුහුණුවක් දීමට හැකි වූ නිසා. අපේ විමර්ශකයන් ලෙස ඉන්නේ පොලිස් නිලධාරීන්. ඔවුන් දක්ෂයි වැටලීම් කරන්න. එහෙත් දූෂණය ගැන සොයන්න වෝහාරික දැනුම ඇත්තන් සිටිය යුතුයි. අද සිටින සුදුකරපටි විත්තිකරුවන් හරිම දක්ෂයි. මේ අය අබිබවා යා හැකි නිලධාරීන් අපට සිටිය යුතුයි. ඒත් කවරදාවත් එවැනි අය අප ළඟ සිට නැහැ; අදටත් නැහැ. අද එවැනි එක් අයකු බඳවාගැනීම පහසු නැහැ. ඒ සඳහා තනතුරක් ඇති කළ යුතුයි. මේ තනතුරු ඇති කරන්න අපිට ගිරිදුර්ග රාශියක් පසු කරන්න සිදු වනවා. මේ රටේ හොරු අල්ලන්න කියලා කෑගහන අය මේ කිසිවක් දන්නේ නැහැ.

ලංකාවේ දැවැන්තම වැටලීම පසුගිය දිනවල සිදු කළා. මෙහි ප්‍රගතිය කොහොමද?

ලංකාවේ සිටි ඉහළම නිලධාරියකු අප පසුගිය කාලයේ අත්අඩංගුවට ගත්තා. මිලියන 20ක අල්ලස් ගැනීමේ ඒ නඩුවේ විමර්ශන කටයුතු සිදු වනවා. ඔහු දැන් අත්අඩංගුවේ සිටින්නේ. මේ සඳහා ටික දිනක් ගත වෙයි.

වසරකට අධිකරණවල අල්ලස් හා දූෂණ යන දෙකින්ම නඩු කොපමණ ප්‍රමාණයක් ගොඩ ගැසෙනවාද? ඒවා කොතෙක් විභාග වනවාද?

මේ නඩු බහුතරයක් කොළ කෑලි විතරයි; නැති නම් හුදු ආරංචි පමණයි. සමහර අය එන්නේ මාධ්‍යවේදීනුත් සමඟයි. එහෙම කොළ කෑලි උස්සගෙන ආවත් ඒවායේ තියෙන දේ කියන්න සාක්කිකාරයන් සිටිය යුතුයි. සමහර විට ඒ සාක්කිකාරයනුත් සැකකාරයාගේ පැත්තේ අය. ඒ කොතරම් බාධා තිබුණත්, අප දින 15න් 15ට අපේ ප්‍රගතිය පිරිස්කසවා.

මේ තොරතුරු ලබා දීමේදී ජනතාවට ඇති දැනුවත්බව ප්‍රමාණවත් නොවන බවද ඔබ පවසන්නේ?

මෙහෙමයි. අල්ලසක් ගනිද්දී එතැන අපරාධ වින්දිතයකු ඉන්නවා. එහෙත් දූෂණයේදී අපරාධ වින්දිතයකු නැහැ. වින්දිතයා රජය නිසා මේ ගැන බොහෝ දෙනකුට කැක්කුමක් නැහැ. ලේඛනවලින් ඔප්පු කරනවා නම් සාධාරණ සැකයෙන් ඔබ්බට මෙය ඔප්පු කළ යුතුයි. අපට පැමිණිලි දහස් ගණනක් ලැබෙනවා. ඒත් අවසානයේ නඩු දාන්න හැකි වන්නේ එයින් අතළොස්සකට පමණයි. එහෙත් අල්ලසක් වෙනුවෙන් අප පැය 24 ම ක්‍රියාත්මකයි. පමාවක් වනවා නම් වන්නේ දූෂණ නඩුවලයි. ආයතනයක වරදක් වුණාම එහි ප්‍රධානියාට වරදක් පටවන්න බැහැ. ඒත් ආයතනයක ප්‍රධානියා නිද්‍රාශීලිව සිටිනවා නම් ඒ ආයතනයට තුළ අල්ලස දූෂණය රජ කරනවා.

අද බොහෝ දේශපාලනඥයන් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නේ බලයෙන් පහ වූ පසුයි. මේ නිසා බොහෝ දෙනකුගේ මතයක් තිබෙනවා, මේ ආයතනය දේශපාලනීකරණය වී ඇති බව...

එයම තමා අපට තිබෙන අවාසිය. අද මේ පැමිණිලි කරන්නේ ය‍මකු දේශපාලනයෙන් බැහැර වුණාට පසුවයි. මේ පැමිණිලි ආවාම අපට විභාග කරන්න සිදු වනවා. මේ නිසා ජනතාව හිතනවා අප දේශපාලනඥයන් පසුපස පන්නනවා කියලා. මෙවැනි පැමිණිල්ලක් ආවාම අපට නතර කරන්න බලයක් නැහැ. 17 වැනි වගන්තියට අනුව මේ හෙළිදරව් කිරීම් පිට කරන්න අපට තහනම්. මේ නිසා ජනතාව හිතනවා අප කිසිවක් කරන්නේ නැහැ කියා. එවිට ඔවුන් අපව සසඳනවා පොලීසිය සමඟ. පොලීසිය කෙනකු උසාවි දැම්මහම මාධ්‍ය ගිහින් ෆොටෝ ගහනවා. අපෙ මේ මොකුත් කරන්නේ නැහැ. මිනිස්සු හිතනවා පැමිණිල්ලක් කළ ගමන්ම පසුවදාට නඩුවක් වැටෙයි කියලා. ඒත් එහෙම කරන්න බැහැ. ක්‍රමවේදයක් තිබෙනවා. මාධ්‍ය අප කරන දේ ප්‍රසිද්ධ කළ යුතුයි.

පසුගිය කාලයේ අල්ලස් හා දූෂණ නඩු විභාග කරන්න වෙනම අධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව ගැන කතා කළා. තවමත් එය අදහසක් පමණද?

අද අපරාධයක් වළක්වාගන්න නම් උණු-උණුවේම දඬුවම් කළ යුතුයි. එය පිළිගත යුත්තක්. එයට අවුරුද්දක් හොඳටම ප්‍රමාණවත්. 1994දී මේ සංකීර්ණ නඩු ගොන්න අහන්න දැම්මේ මහා නඩු කන්දරාවක් තිබෙන මහේස්ත්‍රාත් අධිකරණයට. ඒවායේ නඩු වැඩියි. ඒ වගේම දූෂණ නඩුවල සාක්කි මෙහෙයෙවීම නීරසයි. මේ නිසා මේවා නිරායාසයෙන්ම කල් ගියා. මේ තත්ත්වය වළක්වන්න ක්‍රමවේද කිහිපයක් ගත්තා. මේ නඩු ඉක්මනින් ඇසීම සඳහා අධිකරණ සංවිධාන පනතට සංශෝධනයක් ගෙනාවා. ඒ අනුව නීතිපතතුමාගේ වපසරියට වැටෙන මෙන්ම දරුණු ගණයේ වැරදිවලට නීතිපතිතුමාට හැකියාව තිබෙනවා අගවිනිසුරුතුමාගේ අනුමැතිය යටතේ මේවා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකට යොමු කරන්න. එසේම අපි ළඟ ඇති දරුණු ගණයේ නඩුත් අගවිනිසුරුගේ අනුමැතිය මත මේ විනිසුරු මඬුල්ලට යැවීමේ හැකියාව තිබෙනවා. මේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිසා නඩු ගොඩ නොගැසී එදිනෙදා ඇසීම සිදු කෙරෙනවා. මේ කටයුතු පටන් ගන්න අවශ්‍ය කටයුතු දැන් සූදානම්.

එයට මේ ප්‍රධාන අල්ලස් හා දූෂණ නඩු යොමු කරන්න බලාපොරොත්තු වෙනවාද?

අනිවාර්යෙන්ම කාලීන අවශ්‍යතාව පවතින නඩු සියල්ල යොමු කරනවා. නීතිය අනුව මට වැඩි දෙයක් පවසන්න බැහැ. සමහර විමර්ශන අවසන් අදියරේ තිබෙන නිසා අපට ටිකක් බලා සිටින්න සිදු වනවා. අල්ලස් නඩු අප මහාධිකරණයට යොමු කරනවා. එසේම තවත් සංශෝධනයක් ගේනවා. ඒ අනුව මධ්‍යම ප්‍රමාණයේ දූෂණ නඩු අප අනාගතයේ පවරන්න බලාපොරොත්තු වනවා තනි විනිශ්චයකාරවරයකු සිටින මහාධිකරණයකට. මේ නිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පමාව අපට වළක්වාගන්න පුළුවන් වනවා. සුළු පරිමාණයේ නඩු පමණක් මහේස්ත්‍රාත් අධිකරණයකට යොමු කරනවා. මේ ක්‍රමවේද තුන මඟින් ඉදිරියේදී මේ ප්‍රශ්නය නිරාකරණය වේවි. අප මේ සෑම දේම කරන්නේ නීති නිලධාරීන් 28ක් තියාගෙන බව සඳහන් කළ යුතුයි.

සුභාෂිණි ජයරත්න

Comments