කවුද මේ ෂෙමාරා | Page 2 | සිළුමිණ

කවුද මේ ෂෙමාරා

එකම කෙනකුට මේ වගේ දැනුමක් සහ දක්ෂතාවක් පිහිටන්නේ කලාතුරකින්; ෂෙමාරා ගැන මේ තරම් පසසන්නේ ඈටත් වඩා බොහෝ කාලයක් මැක්වරී වෙනුවෙන් කැපවුණු ‘ලොකු පුටු හිමි සුදු මහත්වරු‘ ය.

ඈ සිහින දකින්නට ඇත; සිහින වල ජීවත්වන්නට ද ඇත; ඈ දුටු ඒ සිහින ඈට පාර පෙන්වන්නට ද ඇත. ආ මඟෙහි හමු වූ කිසිවක් බාධාවක් නොවන්නට ඇත්තේ ඒ නිසා ම ය. ‘ෂෙමාරා වික්‍රමනායක‘ වන ඇගේ කතාව නම් සිහින වලින් මඟ කී කතාවක් ම වැන්නේ යැයි සිතෙන්නේ ඇගේ ගමනේ ඈට නොපෙණුනා. ලෝකයට පෙණුනු ‘මහා සටන‘ නිසා ය. අද දුටු හැටියේ ම ඇය ව හදුනා ගන්නා සිඩ්නි නුවරට එදා ඈ අලුත් ම අලුත් අමුත්තියකි. සිරුරින් කුඩා, කළු කෙස් ඇති තද පැහැ සමක් ද තිබූ මේ අමුත්තිය සිඩ්නි නුවර සුළු ජනයා අතරට අප්‍රසිද්ධියේ ම එක්වී සිටියා ය. ඇගේ අදුරු පැහැ සම සහ තද කළු පැහැ කෙස් ඇගේ ශ්‍රී ලාංකේය උරුමය ඈට යළි යළිත් මතක් කරන්නට ම වූයේ ඈ අභිමානනීය පරපුරක තවත් එක් පුරුකක් බව නිහඩ ව ම ලෝකයට පෙන්වමිනි. අප්‍රසිදිධියේ නිහඬ ව තිබුණු ඒ අභිමානය වසර තිහක් තිස්සේ සෙමෙන් සෙමෙන් ඉහළට මතුවී අද ඈව ඔසවා තබා ඇත්තේ, සිඩ්නි නුවර ම නොව ඕස්ට්‍රේලියාව ම බලා සිටිද්දී ය. ඕස්ට්‍රේලියාවේ විශාලතම වත්කම් ඇති බැංකු ජාලයක් වන මැක්වරී බැංකු ජාලයේ අභිනව ප්‍රධාන විධායක නිලධාරිනිය ඇයයි. මැක්වරීහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් පළමු කත වන ඈ, බැංකු ලෝකය අලුත් මාවතකට ගෙන ගොස් තිබෙන්නියකි.

‘බැංකු රස්සාව‘ ‘පිරිමි රස්සාවක්‘ වන්නේ කිසිවකු කිසිදා නොකී ලෝක සම්මතයකට ය. රස්සාවක ගැහැනු පිරිමි බව කෙසේ සොයම්දෝ යි නොදනිතත් ෂෙමාරා පිරිමි රස්සාවක් සිය ජීවන වෘත්තිය කරගන්නට තීන්දු කරන්නේ එකී පිරිමි රස්සාව, සුදු පිරිමින්ට ම අයිති වී තිබෙනා රටක ය. ඈ මැක්වරී බැංකු හා ආයෝජන ජාලය සිය රැකියාව වෙනුවෙන් තෝරා ගන්නේ 1987 අවුරුද්දේ ය. ඒ ඈ සිය උසස් අධ්‍යාපනය හමාර කළ අලුත ම ය. ශ්‍රී ලාංකේය දෙමාපියන් දෙපළකගේ දියණිය වී එංගලන්තයේ ඉපැදුණු ඇයට පියාගේ අඩිපාරේ ගියා නම් දකින්නට තිබුණේ ‘වෛද්‍ය සිහිනය‘ යි. සිහින දුටුවද සිහින වලට වඩා සැබෑවට ආදරය කළ ඇය ලන්ඩන්යේ උගනිද්දී ඇගේ සිතේ බොහෝ ඉලක්කයන් නොඅනුමානවම තිබෙන්නට ඇත. සිය පවුලත් සමඟ ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට එද්දී ඈ සිටියේ විශ්වවිද්‍යාලක ඉගෙනුමට තරම් සුදුසුකම් ඇතිවය. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ෂෙමාරා වාණිජ්‍ය සහ නීතිය පිළිබඳ උපාධියක් තමන් සතු කර ගත්තා ය.

ඈ හාවඩ් ව්‍යාපාර පාසලේ උසස් කළමණාකරණ වැඩසටහන සම්පූර්ණ කරන්නේ ද මේ අතරදී ය. ඉගෙනීම අවසන් කළ ෂෙමාරා 1986 අවුරුද්දේදී බ්ලේක් ඩව්සන් වැල්ඩ්‍රෝන් නීති ආයතනයට සම්බන්ධ වූවා ය. මාස 12ක කාලයක් ඈ එහි ගත කළේ ඒකාබද්ධ කිරීම්, අත්පත් කරගැනීම් සහ ව්‍යාපාරික ගැටලු පිළිබද නීතිවරියක ලෙසයි. ඇගේ ජීවිතයට අලුත් පාරක් පෙන්වූ නීති වෘත්තියට සමුදී ඇය මාස හයකට මේ සියල්ලෙන් මිදී යන්නට තීන්දුවක් ගත්තා ය. දකුණු අප්‍රිකාවේ විවේකී ව ගෙවා දැමූ මේ කාලයේ අවසන ඈ අවිවේකී මාවතකට පිවිසියා ය. ඒ මැක්වරී ආයෝජන බැංකු සමාගමේ දොරටු ඈ වෙනුවෙන් විවර වෙද්දී ය. තැන ඇයට හුරු පුරුදු නොවූවත් පැවරුණු රාජකාරිය ඈට හුරු පුරුදු වූයේ ය. ආයෝජන ව්‍යාපාර ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ගැන ඈට වූ දැනුමත් පළපුරුද්දත් එකට ගළපා අලුත් ම ගමනක් යන්නට ෂෙමාරාට මඟ හෙළි පෙහෙළි වී තිබූයේ ය. පෙනුණේ ඇගේ ඇති හැකි දස්කම් වලින් බිඳක් වූ නමුදු ඈ ඉන් මැක්වරීහි දී අසීමිත ගෞරවයක් උපයා ගනිමින් සිටියා ය.

”එකම කෙනකුට මේ වගේ දැනුමක් සහ දක්ෂතාවක් පිහිටන්නේ කලාතුරකින්. තොරතුරු විශ්ලේෂණය කිරීම අතින් වගේම කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් එක්ක ඉතා ම හොඳින් සන්නිවේදනය කරන්න තියෙන හැකියාවත් පුදුම හිතෙන තරම්. අනික අයෝජන බැංකුකරණය ගැන පළපුරුද්දක් තියෙන කෙනෙකුට වුණත් රැකියාවක් සොයාගන්න පහසු ම නැහැ. නමුත් ෂෙමාරා වගේ හැමදේ ගැනම හොඳ වැටහීමක් තියෙන දක්ෂ කෙනෙක් තමන්ගේ තැනට ගන්න කවුරුත් අකමැති වේවි කියලා හිතන්න නම් බැහැ; ඇය ඒ තරමට දක්ෂයි.”ෂෙමාරා ගැන මේ තරම් පසසන්නේ ඈටත් වඩා බොහෝ කාලයක් මැක්වරී වෙනුවෙන් කැපවුණු ‘ලොකු පුටු හිමි සුදු මහත්වරු‘ ය. මේ කිසිවක් අතිශෝක්ති නොවේ. ෂෙමාරාගේ දැනුමත්, දස්කමුත් දකිනා කාටත් සිතෙනා දේ ය. ඇගේ දැනුම කිසිවිටෙකත් දක්ෂකමට දෙවෙනි නොවන්නා සේම දක්ෂකම් ද කිසි විටෙකත් දැනුමට දෙවෙනි නොවන්නේ ය.”ඇය හොද කළමණාකාරිනියක්. ක්ෂේත්‍රයේදී තිබිය යුතු තාක්ෂණික දැනුම වගේම විශ්ලේෂණ හැකියාවත් උපරිමයෙන් ම තියෙන කෙනෙක්. ඒ නිසයි ඇය ගනුදෙනු කරුවෙක් ඉස්සරහදි කාටවත් දෙවෙනි නොවෙන්නේ” ඈ දෙස බලා සිටිනා කෙනකු එසේ කීව ද පුදුම වන්නට හේතුවක් නැත. දස්කම් කෙතරම් තිබූ මුත් සුදු හමක් ඇති ඉංග්‍රීසි මහත්වරුන් හා යුදෙව්වන් අත තිබුණු ආයෝජන බැංකු කලාවේ තමන්ගේ ම සලකුණක් තැබීමට නම් දුඹුරු සමක් ඇති මේ පුංචි කතට බොහෝ වෙහෙසෙන්නට සිදුවන බවක් පෙනෙන්නට වූයේ ය.

කැපකිරීම්, වෙහෙසවීම් බොහෝමයක් අතීත මතකයන්ට එකතු කරමින් ඈ මැක්වරී හි තමන්ගේම තැන වෙනුවෙන් ආ ගමන ඉක්මන් ගමනක් නොවූ මුත් වසර දහයක් දොළහක් ගතවූ තැන ඈ වෙහෙසට පත් වී සිටියා ය. ආපසු හැරී අතීතය එබුණු ඈ දුටුවේ ‘බැංකු රස්සාව‘ සේම බොහෝ ලැදිකම් තිබූ තවත් බොහෝ දේ ඇයට මඟ හැරී ගොස් ඇති බවකි. 2000 අවුරුද්දේ ෂෙමාරා මාස දොළහක නිවාඩුවක් ඉල්ලා ගත්තේ ‘බැංකු වගකීම්‘ වලින් නිදහස් වී ගොස් සිතේ කොනක සිරවී තිබුණු අපූරු දේ අත්දකින්නට ය. ඈ වර්ල්ඩ් විෂන් ඕස්ට්‍රේලියා සහ මැක්වරී හි පැරණි සාමාජිකයන් එකට එකතු කර ටිම් බර්ක් නම් මිතුරකු හා එක්ව දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ඇරඹුවා ය. සංවර්ධනය වෙමින් පවතින රටවල තෘතීක අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මේ අරමුදල තෑගි කරන්නට ද ඈ කටයුතු කළා ය.”කෙනකුට තමන්ගේ ජීවිතේ ලොකු ඉලක්ක වලට අරගෙන යන්න තෘතීක අධ්‍යාපනයෙන් ලොකු උදව්වක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ නීති පාසලේ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස වරෙක එහි උපාධිධාරීන් අමතමින් ඇය ඒ කතාව කීවේ සිති තිබූ ආසාව ඉටු වී කලකට පසුව ය. ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවා දරුවන්ට අත්වැලක් දීමට වෙහෙසෙනා අතර ම ඈ ලැබුණු නිවාඩුවේ බොහෝ තැන් වල සංචාරය කරමින් ලෝකය විඳ ගත්තා ය; සිය කලා හැකියාවන් තහවුරු කර ගන්නට මෙන් චිත්‍ර අඳින්නට උගත්තා ය. සිතේ මහත් වූ ළැදියාවකින් පැලපදියම් වී තිබුණු දේ ඉටු කර ගන්න අතරම ඇගේ ජීවිතයේ ‘හොඳ ම අර්ධය‘ ද මේ කාලය වන විට ඈට මුණ ගැසී සිටියේ ය. එඩ් ගිල්මාර්ටින් වූ ඔහු ද කලකට පෙර මැක්වරී පවුලේ සිටියෙකි.

සිත්සේ විඳගත් නිදහසකින් ඉක්බිත්තේ ෂෙමාරා මැක්වරී වෙනුවෙන් කැපවීම අලුත් තැනකින් ඇරඹුවා ය. මැක්වරී හි ආයෝජන බැංකු අංශය අලුත් මාවතක ගෙන යන්නට උපාය මාර්ගික දායකත්වය ලබා දුන්නේ ෂෙමාරා ය. සමාගමේ සාමාන්‍ය කොටස්, ඒකාබද්ධ උපදේශන, යටිතල ව්‍යුහයන්, වත්කම් කලමණාකරණ ආදී වූ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමේ වගකීම පත්වූයේ ෂෙමාරා අතට ය. වගකීම් වලට වගවන්නට කවදත් ප්‍රිය කළ ඈට මැක්වරී ජ්‍යෙෂ්ඨයන්ගේ ඇස් ඉදිරියේ දීප්තිමත් තරුවක්ව බැබළෙන්නට මෙය කදිම ඉඩක් තනා දී තිබුණේ ය. සිය වගකීම අකුරට ම ඉටු කරමින් ඉක්මන් ඉදිරි පිම්මක් පිනූ ෂෙමාරා මැක්වරී හි ‘දක්ෂයන්ගේ නැතිනම් වැඩකාරයන්ගේ කණ්ඩායමට‘ එකතු කරන්නට මැක්වරී ජ්‍යෙෂ්ඨයන් දෙවරක් සිතුවේ නැත! දක්ෂයන්ගේ කණ්ඩායමේ ඈ වෙත පැවරුණු සෑම වගකීමකින් ම ඈ සිය හැකියාවන් මුවහත් කර ගනිමින් ඉදිරියට ම ආවා ය.

මැක්වරී හි උතුරු ඇමෙරිකානු කොට්ඨාසයේ යටිතල ව්‍යුහයන් සහ සත්‍ය වත්කම් අංශ වල ඇතිවෙමින් තිබුණු ගැටලු වලට විසදුම් සොයන්නට ෂෙමාරා නිව්යෝක් වෙත යැවෙන්නේ 2004 අවුරුද්දේ දීය. එක්සත් ජනපදය සහ කැනඩාව අතර වූ පුද්ගලික සමකොටස් ව්‍යුහයන් සහ යටිතල ව්‍යුහයන් පිහිටුවීමටත් , කළමනාකරණය කිරීමටත් නිසි කාලීන ප්‍රායෝගික ක්‍රමවේදය සොයා දෙන්නට ෂෙමාරා සමත් වූවා ය. ලබාදෙන ඉලක්ක සපුරා ගැනීමේ අපූරු දස්කම සැමවිටම පෙන්වූ ෂෙමාරාට අසීරු ම යැයි පෙනුණු ඉලක්කය ලැබෙන්නේ ලෝකයේ ම ආර්ථිකය අර්බුදකාරී වී තිබුණු කාලයේ ය. මැක්වරී හි ආයෝජන බැංකුවේ, යටිතල ව්‍යුහය, පුද්ගලික සම කොටස් සඳහා වූ විශේෂිත අරමුදල, ව්‍යාපාරික අරමුදල ඒකාබද්ධ කර මැක්වරී වෙත ද පැමිණෙමින් තිබුණු මූල්‍ය අර්බුදයෙන් මැක්වරී බේරා ගැනීමේ කටයුත්ත බාරකරන්නට ඈ තරම් ශක්තිවන්තයෙක් මැක්වරී සතුව නොවීය. කරමත පැටවුණු වගකීමත් සමඟ මැක්වරී ව්‍යාපාර ජාලයේ සැලකිය යුතු තරමේ පාලනයක් ද ෂෙමාරා වෙත පැවරී තිබුණේ ය. අසීරු ඉලක්කය වෙත පහසුවෙන් ළඟා වූ ඇය 2008 වසර වෙද්දී මැක්වරී විධායක කණ්ඩායමයමට එක් වන්නට ඕනෑවටත් වඩා දස්කම් ඒ වන විටත් පෙන්වා තිබුණා ය.

ෂෙමාරා මැක්වරී හි තම නියම සලකුණ නොමැකෙන ලෙස ම තබන්නට තරම් පෙළහර පාන්නට වූයේ විධායක කණ්ඩායමට එක්වූ පසු ව ය. මැක්වරී අරමුදල් පුළුල් කිරීමේ හා කළමනාකරණය කිරීමේ ප්‍රධානියා ලෙස වගකීම් ලැබූ ඇය 2009 දී එක්සත් ජනපදයේ ඩීලවෙයා ආයෝජන සමාගම මැක්වරී වෙත අත්පත්කර දුන්නේ උතුරු ඇමෙරිකාවේ වත්කම් කළමනාකරණ ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ ඉලක්කයේ එක් පියවරක් ලෙස ය. ඉන් ඇය මැක්වරී වෙත උපයා දුන් වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 428 විය. එක්සත් ජනපදයෙන් නොනැවතුණු ඇය යුරෝපය වෙත ද සිය දෑත් දිගුකරමින් මැක්වරී වෙත වත්කම් උපයා දුන්නේ ඉලක්ක සපුරාගත් ජයග්‍රාහිකාවක් වෙමිනි. මැක්වරී වෙනුවෙන් නවසීලන්තයේ, හොං කොං හි සහ මැලේසියාවේ උපදේශන කාර්යාල පිහිටුවන්නටට කැපවූයේ ෂෙමාරා ය. ”මැක්වරී වෙනුවෙන් හොඳ ම ගනුදෙනු කෙරුණේ ෂෙමාරා අතින් කියලා කිව්වට වරදක් නැහැ”. ඇය මැක්වරී හි තැබූ නොමැකෙන සලකුණකි ඒ!.ලෝකයට ම එකසේ බලපා තිබුණු දුර්වල ආර්ථිකය හමුවේ ආයෝජන බැංකු සහ සුරැකුම්පත් දිගින් දිගට ම සිය වත්කම් අහිමි කරගනිමින් සිටි කාලයක මැක්වරී දිළිසෙන්නට වූයේ ෂෙමාරා නිසා ම ය.

සිතේ තිබූ අසීමිත කැමැත්ත නිසාම බැංකුකාරිණියක වූ වද ඒ කැපකිරීම් කිසිවක් සිය සැමියා හා දරු දෙදෙනා වෙනුවෙන් ඈ කැප කළ කාලය සොයා ගන්නට වැට බැඳ තිබුණේ නැත. කවදත් ප්‍රසිද්ධියට අකමැති වූ ඇය, මීට වසර දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියන් බොස් සගරාවේ කවරය ඇගේ රුවකින් සැරසෙන තුරුම සිය නමින් මුත් රුවින් නොහදුනන වීරවරික ව සිටියා ය.” මම මගේ පුද්ගලිකත්වය හරි ඉහළින් අගය කරන කෙනෙක්. විශේෂ කෙනෙක් විදියට ජීවත්වෙනවා ට වඩා සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වීම හරි ම සුව පහසු දෙයක්. මම යන යන තැන ඉන්න අය මා දිහා බලනවාට වඩා මට හිතුණු ඕනෑම වෙලාවක මගෙ දුවවත් අරගෙන කඩවල් ගානෙ රස්තියාදුවෙන්න තියෙන නිදහස මට ගොඩක් වටිනවා ”.මූල්‍ය විචාරකයන් ‘අතිවිශිෂ්ට මොළයක්; අතිවිශිෂ්ට ගනුදෙනුකාරියක්‘ ලෙසින් පසසනා මැක්විනී ආයෝජන හා බැංකු සමාගම්හි තිස් වසරක අත්දැකීම් සමඟ හයවන ප්‍රධාන විධායක නිලධාරී පුටුවේ වගකීම කරට ගන්නා 56 හැවිරිදි ‘අපේ ෂෙමාරා‘ ගේ සැබෑ ලෝකයේ ඇත්ත ම කතාව කියන්නට ඇගේ ඒ වචන ඕනෑවටත් වැඩි ය.

ෂෙමාරා වික්‍රමනායක , අපේ කෙනෙකු බව කියන්නට තරම් අප ව ආඩම්බරකාරයන් කළ බව අපේ මතක පොතේ සටහන් කරගත යුතු ම නොවේද!

නෙලූෂා සිල්වා

Comments