
ප්‍රතිකාර පතා එන රෝගීන් පෞද්ගලික රෝහලකට හරවලා!
අක්ෂි රෝග සඳහා විශේෂයෙන් ස්ථාපිත සීදූව විජය කුමාරතුංග රෝහලේ පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් සහ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් කිහිපදෙනකු එක් වී රෝගීන් පෞද්ගලික රෝහලකට යොමු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් නිසා එම රෝහලේ ක්‍රියාකාරිත්වය මේ වන විට දැඩි සේ අඩපණව ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෙම රෝහලට දෛනිකව පැමිණෙන අක්ෂි රෝගීන් විවිධ හේතු පෙන්වමින් ප්‍රතිකාර කිරීම් මඟහරින මේ පිරිස රෝගීන් සැත්කම් සහ ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත පෙලඹවීමේ වැඩපිළිවෙළක් දියත්ව ඇති බවද, විජය කුමාරතුංග රෝහලේම සේවය කරන වෛද්‍යවරුන් අතරින් ඇතැමුන් මේ පෞද්ගලික රෝහලේ සේවය කිරීම හේතුවෙන් කොමිස් ලබාගැනීමේ අරමුණින් මෙසේ සිදු කරන බවද මේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට විජය කුමාරතුංග රෝහල වෙත එන රෝගීන්ගෙන් පෙර වසරවල සාමාන්‍යයෙන් වසරකට 10,000ක පමණ පිරිසක් සඳහා අක්ෂිකාච බද්ධ කිරීම් සිදු කෙරුණද මේ වසරේ ගත වූ කාලය තුළ සිදු කර ඇත්තේ අක්ෂිකාච බද්ධයන් 294ක් පමණක් බවත්, වාර්ෂිකව අක්ෂි ශල්‍යකර්ම ක්‍රියාවලීන් 1000ක් පමණ සිදු කෙරුණද මේ වසරේ සිදු කර ඇත්තේ වෙනත් ශල්‍යකර්ම 10කටත් අඩු ප්‍රමාණයක් බවත් අනන්‍යතාව එළි කිරීමට අකැමැති වූ වෛද්‍යවරයෙක් 'සිළුමිණ' වෙත පැවසීය.
මේ සංඛ්‍යාලේඛනවලට අනුව පිළිවෙළින් 2015 වසරේදී සිදු කෙරුණු අක්ෂි සැත්කම් ප්‍රමාණය 10,039කි. 2016 වසරේදී මේ සංඛ්‍යව 9,537ක් වූ අතර, එය 2017 වසරේදී 1,622ක් දක්වා අඩු වී තිබේ.
එමෙන්ම 2015දී අක්ෂි සැත්කම් 1,302ක්ද, 2016 වසරේදී 1,201ක්ද සිදු වුවද 2017 ඒ ගණන වසරේදී 190ක් දක්වා අඩු වී ඇත.
මේ පිළිබඳව ‘සිළුමිණ' කළ විමසීමේදී රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ආර්.යූ. විමලරත්න මහතා සඳහන් කළේ ඇතැම් අක්ෂි වෛද්‍යවරුන්ගේ සහ අක්ෂි තාක්ෂණවේදීන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝගීන්ට යම් අසාධාරණයක් සිදුව ඇති වග තමා පිළිගන්නා බවයි.
එසේම ඉකුත් සමයේ රෝහලට පැමිණෙන රෝගීන්ගේ අඩුවක් සිදු වූයේ අක්ෂි ශල්‍යාගාරයේ සිදු කළ යම් අලුත්වැඩියා කිරීම් නිසා බව පැවසූ අධ්‍යක්ෂවරයා රෝහලෙන් අස්ව ගිය වෛද්‍යවරයකු වෙනුවට අලුතින් ශල්‍ය වෛද්‍යවරයකු පැමිණීමට මාස හතක පමණ කාලයක් ගත වීමද මෙසේ රෝහලේ සැත්කම් අඩු වීමට හේතු වූ බව කියා සිටියේය.
දසුන් රාජපක්ෂ