
සියවසින් සියවසට කාලය ඉගිළ ගොස්, එකොළොස්වැනි සියවසේදී පොලොන්නරුව රාජධානිය බිහි විය. ඒ රාජකීය නාමාවලියේ විශිෂ්ටතම භූමිකාව හිමි වූයේ මහා පරාක්‍රමබාහු නරපතිඳුන්ටය. පොලොන්නරුව කෘෂිකාර්මිකව හා ආර්ථිකව දේශ-දේශාන්තරයෙහි පතළ ආඪ්‍ය ප්‍රෞඪ පුරවරයක් බවට පත් කරන ලද්දේ මහා පරාක්‍රමබාහු නිරිඳුන් විසිනි. ඔහුගේ මේ විශිෂ්ට හා විස්මිත මෙහෙවර ඉතිහාසඥයන්ගේද නොමඳ පැසසුමට ලක්ව තිබේ. පරාක්‍රමබාහු නරපතිඳුන් පොලොන්නරුවට උදා කළ ඒ ශ්‍රී විභූතිය නූතන පොලොන්නරුවට නැවත අත් කර දීම සඳහා මෙකල්හි මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳු කැප වී සිටී.
චූලවංශ කතුවරයා විසින් පරාක්‍රමබාහු නිරිඳුන් හඳුන්වන ලද්දේ ‘කිසිවකින් කම්පා නොවන, ජන දුක් මුල් සිඳ ලීමට කැප වූ නරපතියකු’ ලෙසය. නිසැකයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳු හැඳින්වීමටද ඒ අකම්පිත ගුණය, අධිෂ්ඨානශීලි බව හා පොදු ජන දුක් නැසීමට ඔසු සෙවීම සඳහා කැප වීමේ අභිලාෂය යන යෙදුම් අතිශයින්ම උචිතයැයි හැඟේ. හේ නූතන යුගයේ රජරටින් බිහි වූ ප්‍රභාසම්පන්නතම ප්‍රජානායකයාය.
පොලොන්නරුවේ යශෝරාවය බඳු මහා පරාක්‍රමබාහු නිරිඳුගේ භෞතික හා ආධ්‍යාත්මික න්‍යාය පත්‍රයට අනුව සැකැසුණ ‘පිබිදෙමු පොලොන්නරුව’ මෛත්‍රීපාල සිරිසෙින ජනපතිඳුගේ පිළවෙත වී තිබේ. ‘පිබිදෙමු පොලොන්නරුව’ ශ්‍රී ලංකාවේ ඉපැරණි ශිෂ්ටාචාරයේ අක්-මුල් පාදාගනිමින් ඒවා නවීන තාක්ෂණ හා විද්‍යා ඥාන ගවේෂණයේ සාධනීය පල සමඟ ඓන්ද්‍රීය ලෙස බද්ධ වූ සැලසුමක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය. ශ්‍රී ලාංකික ප්‍රජාව වැවත්, ජලයත් සමඟ අවියෝජනීය ලෙස බැඳුණු ශිෂ්ටාචාරයක හිමිකරුවන් බව වඩාත් නිවැරදිව වටහා ගත් රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳුය.
ක්‍රි.පූ. 3 වැනි සියවස තරම් ඈතට දිව-යන වාරි සංස්කෘතික උරුමය මඟහැර අභිනව සංවර්ධනය ළඟා කරගත නොහැකි බව ‘මෛත්‍රී දැක්ම’ වී තිබේ. මේරට වාරි සංස්කෘතියේ විජයභූමියක් ලෙස දුටු ඩී.ඇස්. සේනානායක වැනි පාලකයකුගේ ප්‍රබල හා සාර්ථක අනුප්‍රාප්තිකයකු වන්නේද රජරටින් බිහි වූ මේ ප්‍රජානායකයායැයි මම සිතමි. සැබැවින්ම මෛත්‍රීගේ දේශපාලනය සම්ප්‍රාප්තිය සිදු වන්නේද රජරට ජන ජීවිතය වසාගත් දුක් අඳුරු වේදනා තුළින් ලද සංවේදි අත්දැකීම්වල පලයක් වශයෙනි.
මෙරටේ සැබෑ සංවර්ධනයේ පිවිසුම් මාවත වැව, ජලය හා පරිසරය මෙන්ම කෘෂිකර්මය ඔස්සේ පාදා ගත යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳු අතැඹුලක් සේ පසක් කරගෙන සිටියි. ළමා වියත්, යොවුන් වියත් ඒ සකල විධ මූලයන් හා බැඳුණු රජරට ජනතාව සමඟ බෙදාගත් ප්‍රජා නායකයකුට කිසි විටෙක ඒ යථාර්ථයට හා සත්‍යයට පිටුපෑමටද නොහැකිය. වාරිතාක්ෂණයෙන්ද සංස්කෘතික ආඪ්‍යත්වයෙන්ද සුපෝෂිත ඓතිහාසික පුරවරයකට යළිත් ඒ සංවර්ධනය කැඳවීම නිසි සැලසුමකට අනුව කළ යුතු බව නිවැරදිව වටහාගත් ප්‍රජා නායකයකුගේ නූතන මෙහෙයුම වන ‘පිබිදෙමු පොලොන්නරුව’ සැලසුම හා සමගාමීව ජනපති විසින් දියත් කරන ලද උතුම් ජල සැලසුමක මියුරු පල දැනටමත් ජනතාවට ලැබෙමින් තිබේ. ඒ මොරගහකන්ද ජාතියේ ධන නිධානයක් බවට පත් කිරීමත් සමඟිනි.ජාතික කෘෂි ආර්ථිකය යථාර්ථයක් බවට පත් කරගැනීමේ අභිලාෂය නූතනයේ පුරෝගාමි දේශපාලනඥයන් කීප දෙනකුටමද විය. දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ ඒ සිහිනය දුටු වමේ නායකයාය. ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යන අග්‍රාමාත්‍යවරුන් දෙපළ තුළද ඒ දැක්ම විය. ඩඩ්ලි සේනානායක, සී.පී. ද සිල්වා, මෛත්‍රීපාල සේනානායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද ඒ සාර දැක්මට දායක වූවෝය. මෙරට විවෘත ආර්ථිකයේ පිතෘ ලෙස හැඳින්විය හැකි ජේ.ආර්. ජයවර්ධනටද ඒ සිතිවිල්ලෙන් බිඳක් හෝ නොවූයේ නම් ඔහු කිසිවිටෙක ‘මහවැලි යෝජනා ක්‍රමය’ නමැති මල් වට්ටියට අතගසන්නේ නැත. ජේ.ආර්. සිය අතිශය සමීපතමයකු වූ ගාමිණි දිසානායකයන්ටම ‘කඩිනම් මහවැලිය’ භාර කළේ එය සාධනීය සැලැස්මක් වූ හෙයිනි.
‘කඩිනම් මහවැලියේ’ සාර ඵල ලෙස ජාතියට හිමි වූ කොත්මලේ, වික්ටෝරියා, මාඳුරුඔය, රන්දෙණිගල, රන්ටැඹේ පංච මහා ජලාශ සමඟ මොරගහකන්ද ජලාශයද නිම කිරීමට සැලසුම් කර තිබිණි. එහෙත් එය දේශපාලන කුහකකම් නිසා ‘හුදු පිඹුරුපතක්’ පමණක්ම විය. ඉකුත් පාලන සමයේ මහවැලි ඇමැතිවරයා ලෙස පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහති එය යථාර්ථයක් කර-ලීම සඳහා නොවිඳි දුකක් නැත. එහෙත් මොරගහකන්ද දියවර රජරට සනහමින් ගලා බසිනු දැකීමට ඔහුට වසර හතළිහක් බලා සිටීමට සිදු විය! මහවැලි ඇමැති ධුරය මෛත්‍රීට භාර වුවද ඒ සඳහා ප්‍රතිපාදන හෝ එය ඉටු කරලීම සඳහා රාජ්‍ය නායක ආශීර්වාදය හෝ ඔහුට නොලැබිණි.
මොරගහකන්ද ජලාශය මෙරටේ බිහි වූ යෝධ නිමැවුමකි. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාලය. උතුරුමැද පළාතේ හා වයඹ ඇතුළු තවත් දුෂ්කර ප්‍රදේශ ගණනාවක ජනතාවට පානීය ජලය ලබා දීමට එම ව්‍යාපෘති සමත්ව ඇත. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ අද පොදුවේ රටටම ලැබී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අසාමාන්‍ය කැප වීම හා අධිෂ්ඨානය නිසාමය. අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ යන දිස්ත්‍රික්කවල ගොවීහු අද මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳුන්ට පින් දෙති. නව කෘෂිකාර්මික භූමි ප්‍රදේශ සංවර්ධනය වී, දස ලක්ෂයකට අධික ජනතාවකට පානීය ජලය ලැබීම හා ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 25ක ධාරිතාවක් එක් වීම ආදි ප්‍රතිලාභ රැසක් එයින් රටට හිමි වනු ඇත. මොරගහකන්ද - කළුගඟ අනාගතයට ගලා බසින්නේ මේ විශිෂ්ට ප්‍රජා නායකයාගේ මතක රළ නඟමින් බව කීම අතිශයෝක්තියක් නොවේ. වසභ, මහසෙන්, පරාක්‍රමබාහු වැනි නිරිඳුන් ගැන ලියූ වංශකථාවට ‘මෛත්‍රීපාල සිරිසේන’ නාමය එක් වනු කවුරු වළකත්ද?
කෙසේ හෝ අප මේ කරුණු වඩාත් අවධාරණය කළේ පැරකුම් යුගයක අසිරියෙන් යළි පොලොන්නරුව පිබිදීම තම අදිටන කරගත් රජරට ප්‍රජා නායකයකුට හිමි විය යුතු බුහුමනක් ලෙසය. දැන් අපි එහි සාධනීය දිගුවක් වන ‘පිබිදෙමු පොලොන්නරුව’ වෙත හැරෙමු.
නූතන ලිබරල් ආර්ථික හා දේශපාලන රටාව සමග අපගේ කෘෂිකර්මාන්තය හා එයින්ම උපන් සංස්කෘතික අධ්‍යාත්ම ප්‍රබෝධයක්ද එක් කළ යුතුය. යන්න මෛත්‍රීගේ දැක්ම බව මීට පෙරද සඳහන් කළෙමු. අධිවේගි මාර්ග, අලුත් සංවර්ධන ව්‍යාපෘති, කර්මාන්ත, නවීන තාක්ෂණය හා විද්‍යාඥානය සමග බැඳුණු ප්‍රතිලාභ තම දේශපාලන සම්ප්‍රාප්තියට මංපෙත් හෙළි කළ රජරට ජනතාවට අත්පත් කර දීම මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳුන්ගේ පරම අදිටන වී තිබේ. කොළඹ සිට කිලෝ මීටර් 216ක පමණ දුරින් පිහිටි බෞද්ධ හා හින්දු ප්‍රභවයන්ගෙන් මතු වු සැමරුම් දැකගත හැකි ජාතික හා සාමයික සහ ජීවනයේ සංකේතයක් බඳු පොලොන්නරුවෙන් බිහි වූ නූතන රාජ්‍ය නායක මෛත්‍රීපාල සිරිසේන යනු රජරට පොදු ජන ජීවිතයේ කඳුළ-සුසුම හා සියලු සුඛ-දුක්ඛ වේදනා පිරිසිඳ දත් ජන නායකයෙකි. පොලොන්නරුව මතු නොව, රජරට පොළොවත් ඒ පොළොව සමඟ පොරබදන අධිෂ්ඨානශීලි මිනිසුන් හා ගැහැනුන් මෙන්ම ඔවුන්ගේ ඉරණම හා බැඳුණු සනාතන ශෝකාන්තයන් පිළිබඳවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති තරම් සංවේදි වූ රජරට නායකයන් සිටිත් නම් ඒ දෙ-තුන් දෙනකුටත් වඩා අඩු සංඛ්‍යාවකැයිද මම සිතමි. රාජකීය පුරවරයක අතීත ශ්‍රී විභූතිය විදහා පාන්නාක් බඳු පොලොන්නරුවේ ප්‍රාසාද, මාළිගා, බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන, මහා වැවු, බලකොටු ආදියෙහි විස්මිත සිහිවටන මැදින් පිය නඟා යන හැම මොහොතකම තරුණ මෛත්‍රීගේ සිත සියවස් ගණනක් දුර අතීත සිහිනයක නොගැටිණි නම් කිසි සේත් මේ පොලොන්නරු නවෝදයෙහි උදාව සිදු නොවනු නිසැකය.
පොලොන්නරු ජනතාවට සිහිනයක් වූ නවීන මාර්ග පද්ධතියක්, සංකීර්ණ ගොඩනැඟිලි පන්ති, සංස්කෘතික මධ්‍යස්ථාන, නවීන පහසුකම්වලින් යුත් පාසල් පද්ධති, සම්මන්ත්‍රණශාලා, විදුලි බල පහසුකම්, ගමනාගමන හා සෞඛ්‍ය සේවා, තරුණතරුණියන්ගේ අනාගතයට රැකියා ප්‍රතිලාභ ‘පිබිදෙමු පොලොන්නරුව’ සමග ඔවුන්ට හිමි වනු ඇත.
රජරට ජන ජීවිතයේ පරම ආයුෂ තීරණය කළ වකුගඩු මාරයා පරාජය කිරීම සඳහා වූ වකුගඩු රෝහල පොලොන්නරුවට ලබා දීම මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳුගේ විශිෂ්ටතම මෙහෙවරක් බව නිසැකය. මොරගහකන්ද ජලාශය මෙන්ම රජරට වකුගඩු රෝහලද මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳු දුටු සිහිනයක් සැබෑ වීමකි. ‘ආරෝග්‍යපරමා ලාභා’ යන්න කිසි දිනක සිය ජීවිත මායිමට වත් නොපැමිණෙනු ඇතැයි සිතූ රජරට ජනයාගේ හෙට දවස සුරක්ෂිත කිරීම සඳහා ඉදි කෙරෙන මේ වකුගඩු රෝහල චීන රජයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපති භූමිකාව අගයමින් පිරිනැමෙන තිළිණයකි. මේ රෝහල ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 12,000ක් වැය වන බවද සඳහන් වේ. නවීනතම පරීක්ෂණාගාර, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100ක් සමඟ රෝගීන් 200ක් සඳහා වූ වාට්ටු සංකීර්ණයකින්ද මේ රෝහල සමන්විතය. උතුරුමැද පළාතට පමණක් නොව, මුළු මහත් ජනතාවටම මේ වකුගඩු රෝහල ශාන්තියක් වනු ඇත. 2020 වසරේදී අවසන් වන මේ ව්‍යාපෘතිය මෙරටේ රෝහල් ඉතිහාසයේ විශිෂ්ටතම වාර්තාවක්ද වනු නිසැකය.
රජරට නවෝදය උදෙසා වූ මේ ‘පිබිදෙමු පොලොන්නරුව’ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලද කාර්යභාරයද අප වෙසෙසින් අගය කළ යුතුය. මේ සැලැස්මේ පල ලෙසින් පොලොන්නරුව ජනතාව සතු වන විවිධ ව්‍යාපෘති 170ක් පමණ දැනටමත් නිම වී අවසන්ය. එළඹෙන අගෝස්තු 1, 2, 3 යන දිනවල ඒ සියල්ල ජනතා අයිතියට පවරා දීම සඳහා මෛත්‍රී ජනපතිඳුන් ප්‍රමුඛ මැති-ඇමැතිවරුන් හා වෙනත් විද්වතුන්ද, කලාකරුවන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන්ද මේ ඓතිහාසික පුරවරයට සැපත් වීමට නියමිතය. පොලොන්නරුව අසිරිමත් පුරවරයක් බවට පත් කළ පරාක්‍රමබාහු නිරිඳුන් මෙන්ම ඒ රමණීය පරිසරය විඳිමින් ධර්මප්‍රදීපිකාවල, අමාවතුර වැනි ගද්‍ය කාව්‍ය නිමැවූ ගුරුළුගෝමීන්ද සිංහලයේ අග්‍රගණ්‍ය ප්‍රේම කාව්‍යය රචනා කළ පැරකුම් නිරිඳුන්ද අනන්ත අවකාශයේ කොතැනක හෝ රැඳී සිටිමින් එදා එපුර වූ අතීත අසිරිය යළි මෙපුර ජන ඇසට පාන්නට කැප වී සිටින මෛත්‍රීපාල සිරිසේන ජනපතිඳුන්ට ආසිරි පතනු නිසැකය.