
* මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ
* වසර 30කට පසු මෙරට ඉදි කළ ලොකුම ජලාශ දෙක පුරවයි
* ලක්ෂ 10කට සෙත; පවුල් 150000කට ආර්ථික ප්‍රතිලාභ
* දිස්ත්‍රික්ක 6කට වාරි ජලය සමඟ පිරිසුදු පානීය ජලය
* වැව් 1820කට මහවැලි දියවර
* අලුත් මහ ඇළ කිලෝමීටර් 250ක්
* වසරකට රුපියල් කෝටි 800ක ප්‍රතිලාභ
* මහමාර්ග කිලෝ මීටර් 275ක් අලුතින් ඉදි වෙයි
* ලග්ගල - මැදිරිගිරිය අලුත් නගර සංකීර්ණ දෙකක්
කළුගඟ රන්දියවර මංගල්‍යය පසුගියදා අවසන් වූයේ අපේ මුළු රටටම පරාක්‍රම සමුද්‍රයක් මෙන් දෙගුණයක් විශාල තවත් ජලාශයක් රටට දායාද කරමින් ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව මත ඉදිවෙන මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය තනිකරම ජලය සම්බන්ධ ව්‍යාපෘතියකි. එය මෙරට වාරි කර්මාන්තයේ 21 වැනි සියවසේ අපේ රටේ විස්මිත වාරි වික්‍රමය ලෙස හැඳින්විය හැකිය.
මේ විස්මිත වාරි විප්ලවය සිදු කරන්නට ජලය ලැබුණේ කෙසේද? එය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුම ය.
අක්කර අඩි 66000ක් විශාල 30 වසරකට පසු මෙරට ඉදිවූ මේ මහා ජලාශ දෙක පිරවීමට ජලය ලැබුණේ අඹන් ගඟ හා නකල්ස්හි සිට ගලා එන මාතලේ කළුගඟ මඟිනි.
පසුගිය 2017 වසර වන තෙක් ම අඹන්ගඟෙන් හා කළු ගඟින් මහවැලි ගඟට වැටි කිසිම වැඩ නොගෙන රටට ප්‍රයෝජනවත් නැතිව මහ මුහුදට ගිය ජල ධාරිතාව ජලය ඝන මීටර් කෝටි 140 කි. ඉහත ජලාශ දෙක පිරවුමේ ඒ ජලය ප්‍රමාණයෙන් ජලය ඝන ලීටර් කෝටි 81 ක් ලබා ගනිමිනි. ඒ ප්‍රමාණය මගින් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක් බව වාර්තා වී ඇත.
වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ සිදුකළේ මහවැලි ගඟින් මහ මුහුදට කිසිම වැඩක් නොගෙන ගලාගිය ඒ ජල ප්‍රමාණය නිසි පරිදි මොරගහකන්ද හා කළුගඟ ජලාශ තුළ ගබඩා කර රටට ප්‍රතිලාභ රැසක් ඇති කර දීමයි.
පසුගිය රජයන්වලින් රජරට ජනතාව පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් වත්මන් ජනාධිපතිතුමා රජරට උපන් ගොවි පවුලක අයකු ලෙස මේ ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කර ඒ නිරපරාදේ මහ මුහුදට ගිය ජල ප්‍රමාණය මොරගහකන්දට ගබඩා කර සම්පත් කන්දක් අපේ රටට දායාද කළේ ය.
“මගේ ජීවිතයේ සතුටුම දිනය ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් දවස නොවේ. මොරගහකන්දෙන් රජරටට මහවැලි දියවර ලබාදුන් දවසයි” යනුවෙන් වත්මන් ජනාධිපතිතුමා පසුගියදා පැවසුවේ මොරගහකන්ද ව්‍යාපෘතිය ඉදිකිරීමේ වැඩිම සතුට භුක්ති විඳි පුද්ගලයා වශයෙන් යැයි මට සිතේ.
ඒ අනුව නිරපරාදේ මුහුදට ගලා ගිය ඒ සුපිරිසුදු ජලය ඝන මීටර් කෝටි 81 දැන් මොරගහකන්ද - කළුගඟ ජලාශවල ගබඩා කර ඒ මඟින් රටට ප්‍රතිලාභ රැසක් ලබාදීම ඓතිහාසික කටයුත්තකි.
ඒ අතරින් ප්‍රධානම ප්‍රතිලාභය අපේ රටට මේ ව්‍යාපෘතියෙන් වසරකට රුපියල් කෝටි 800 ක පමණ ප්‍රතිලාභ ලැබීමයි ඒ අනුව අලුත් ඉඩම් අක්කර ලක්ෂ 2 ක් සඳහා මේ ව්‍යාපාරය නිසා අලුත් දියවර ලැබේ. විදුලිබල උත්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභය වසරකට ලැබෙන ඉන්ධන පිරිවැය ලාභය රුපියල් මිලියන 1545 යි. මත්ස්‍ය නිෂ්පාදන හැකියාව ටොන් 4700 කි. එහි වටිනාකම රුපියල් මිලියන 940 කි.
හෙක්ටයාර් 8200 ක යල මහ අස්වද්දා වගා තීව්‍රතාවයේ සාමාන්‍ය අගය 181 දක්වා වැඩි කරනු ඇත.
මීට අමතරව මේ නිරපරාදේ මහ මුහුදට ගිය ජලය මොරගහකන්දේ හා කළුගඟ ජලාශවල ගබඩා කිරීම නිසා අපට ලැබුණු තවත් ප්‍රතිඵල ප්‍රතිලාභ බොහෝය. මේ අතර ප්‍රමුඛස්ථානය ගන්නේ උතුරු මැද, වයඹ, මධ්‍යම, නැගෙනහිර පළාත්වල ගොවි පවුල් 150000 කට පමණ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ පිළිවෙළයි.
පාරිසරික කළමනාකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම ද ව්‍යාපෘතියේ වැදගත් අංගයකි.
මොරගහකන්ද ජලධාරා ප්‍රදේශයෙහි ගංගා, ඇළ දොළ රක්ෂිතයන් හෙක්. 1.365 ක පමණ නැවත වන වගා කිරීම, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100 ක රක්ෂිත ප්‍රදේශයන් වෙන් කිරීම හා එහි හෙක්. 650 ක නැවත වන වගා කිරීම, මින්නේරිය - ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, අලිමංකඩ දෙපස විදුලි වැටවල් පිහිටුවීම, අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කරවීම හා මින්නේරිය - ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සත්ත්ව වාසභූමි වැඩි දියුණු කිරීම ඒ අතර ප්‍රමුඛත්වයක් ගනී.
මේ අනුව මේ කළු ගඟ ව්‍යාපෘතිය හුදෙක් මේ නිජ බිමේ සුවහසක් දනන්ගේ ‘ජල දුක නිවන ජන සෙත සදන, සැබෑ අර්ථ පූර්ණ සංවර්ධන මෙහෙයුමක් මෙන්ම සදාචාර සම්පන්න ජල පරිහරණයකට මූලාරම්භයක් ඇති කරන බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය.
එමෙන්ම මේ ව්‍යාපෘතිය අපේ රටේ ජලහිඟය වැළැක්වීමට හා රට ස්වයංපෝෂිත කිරීමට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස හැඳින්වීමට පුළුවන.
සේයාරූ - සුදත් මලවීර