
නොමියෙන නොමැකෙන සෙනෙහසක් නම් ඒ මවු සෙනෙහසම පමණි. අම්මා කෙනෙකු නිසා දරුවෙකු ලබන අසීමිත සැනසීම හා අස්වැසිල්ල කියා නිම කළ නො හැකි තරම්ය. දුකට පීඩාවකට පත් වුණ දරුවෙකුට අම්මාගෙන් ලැබෙන සෙනෙහසින් සියලු දුක්ඛ දෝම්මනස්ස පීඩාවන් ක්ෂණයකින් අමතක වන්නේය. ඒ තරමටම මවු සෙනෙහස බලවත්ය. මනුෂ්‍ය ලොව තුළ වගේම තිරිසන් සත්ව ලොව තුළද එහි කිසිදු වෙනසක් නොමැතිය.
අප මේ කියන්නට යන්නේද එවැනිම වු මවු සෙනෙහසක මහිමය පිළිබඳවය. දිනය 2018-07-22ය. උඩමත්තල පදිංචි සුජිත් කුමාර සහ තවත් අයෙකු උදෑසන 7.30ට පමණ ලුණුවරණියා වැව දෙසට ගියේ සිය වගාවට යන්නටය. සාමාන්‍යයෙන් උඩමත්තල යනු වන අලින්ගෙන් බහුල ප්‍රදේශයක් නිසා ගොවීන් සිය වගාව වෙත යන්නේ දැඩි විමසිල්ලෙන් යුතුවය. ඒ වන අලි නිරන්තර මේ පෙදෙස්වල සැරි සරන නිසාය. පසුගිය 22 වන ඉරු දිනද සුපුරුදු පරිදි සුජිත් කුමාරත් යහළුවාත් ගියේ සිය වගාවට යන්නටය. එහෙත් මේ දෙදෙනාට වගාවට යෑමට නොහැකි විය. ඒ ලුණුවරණියා වැව අසලදි ඇතින්න ඔවුන්ගේ මග හරස් කිරිම නිසාය.
ඇතින්නගේ මේ හදිසි ආගමනය නිසා කලබලයට පත් වු දෙදෙනාම හිස්ලු අත දිව ගියේ දිවි ආරක්ෂා කරගැනීමටය. ටික දුරක් දිව ගිය මේ දෙදෙනා නැවතත් පසුපස හැරී බැලුවේ සිදු වන්නේ කුමක්දැයි දැනගැනීමටය. ඇතින්න සිටි තැනම නැවතී නොසෙල්වි සිටියාය. සුජිත් හා යහළුවා නැවතත් පරිස්සමෙන් යුතුව ඇතින්නගේ හැසිරීම් රටාව නිරික්ෂණය කළේ යම් අමුත්තක් ඒ තුළ දක්නට ලැබූ නිසාය. එහිදී මේ අයට දක්නට ලැබුණේ බිම වැතිරී සිටින අලි පැටියෙකි. ටිකක් ළං වී බැලු විට දැක ගත හැකි වුයේ අලි පැටියා නැඟිටීමට නොහැකිව වේදනාවෙන් පසුවෙන බවකි. වහාම ඔවුහු මේ පිළිබදව ලුණුගම්වෙහෙර වනජිවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළහ.
පෙරවරු 10 පමණ වන විට මෙම ස්ථානයට ලුණුගම්වෙහෙර වනජිවි නිලධාරීන් හා අඩලවල ඇත් අතුරු සෙවණේ නිලධාරීන් පැමිණියේ සිදුව ඇති දේ පිළිබඳව සොයා බැලීමටය. එහෙත් වනජීවි නිලධාරින් ලුණුවරණියා වැවට පැමිණෙන විට ඇතින්න හා පැටවා අතුරුදහන් වී තිබුණේ ඔවුන්ගේ අඩි සලකුණු පමණක් වැව අසල ඉතිරි කරමිනි. වන අලින්ගේ පා සලකුණු පරික්ෂා කළ වනජීවි නිලධාරින්ට වන අලි පැටවාගේ ඇවිදීමේ සලකුණු වල විශේෂයක් දැකගත හැකි විය. මේ නිසා වනජිවී නිලධාරීන් විසින් වන අලි පැටියා සෙවීමේ මෙහෙයුම ආරම්භ කෙරුණි. පැයකට පමණ පසුව ලුණුවරණියා වැවට මදක් දුරින් වන්නට කැලෑ කොටසක් තුළ වන අලි පැටියා වැටී සිටිණු දැකිය හැකි වීය. ඇතින්න ඒ අවට සිටීදැයි පරීක්ෂා කළද ඇතින්න අහලකවත් නොවීය.
වන අලි පැටියා ඉතා අපහසුවෙන් සිටිනු දැකිම සියලු දෙනාගේ නෙතටද කදුළක් එක් කළේය. වනජීවී නිලධාරීහු මහත් පරිශ්‍රමයක් දරා වේදනාවෙන් කෑ ගහන අලි පැටියා වනජීවී වාහනය අසලට රැගෙන ඒමට කටයුතු කළහ.
වයස අවුරුද්දක් පමණ වන මෙම වන අලි පැටියාගේ ඉදිරි පාද දෙක උපතින්ම ආබාධිත තත්වයට පත්ව ඇති බවයි වනජිවි නිගධාරීන් පැවසුවේ. පාද දෙක ආබාධිත තත්වයේ පැවතීම නිසා අලි පැටියා මෙතෙක් කලක් ඇවිද ගොස් ඇත්තේ හොඬයේ ආධාරයෙනි. මේ ලෙස ආබාධිත තත්වයට පත්ව මෙතෙක් කලක් අලි පැටියකු ජීවත්ව සිටීමද ඉතා දුර්ලභ සිදුවිමක් බව වනජිවී නිලධාරීහු පැවසූහ.
වන අලි පැටියා සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්‍ය මාලක සිල්වා කීවේ මෙවන් කතාවකි.
″ මීට පෙර අනුරාධපුර හා අම්පාර දිස්ත්‍රික්කවලින් ආබාධිත තත්ත් වයේ වන අලි පැටවුන් දෙදෙනෙකු අපිට හමු වුණා. ඔවුන් වයස මාසයක් පමණ වුවන්. නමුත් ඒ අලි පැටවු දෙදෙනාම මියගියා. ඒ අලි පැටවු දෙදෙනත් අපි උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන විත් ප්‍රතිකාර කළා. නමුත් සුවපත් කරගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අලි පැටියෙකු උපතින්ම ආබාධිත තත්වයට පත් වු පසු දින කිහිපයකින් අනතුරුව මවු ඇතින්න පැටවා අතහැර දමා යනවා. නමුත් පුදුමය කියන්නේ මේ අලි පැටි ආබාධිත තත්වයේ සිටියදී වසරක තරම් කාලයක් ජිවත්ව සිටීමයි. අපිටත් පුදුමයි මේ සතා කොහොමද කිරි බිව්වේ කියලා.
සාමාන්‍යයෙන් මෙච්චර කලක් මේ අලි පැටියට කිරි ලැබුණේ නැති නම් ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. නමුත් වාසනාවකට වගේ ජීවත් වෙලා තියෙනවා. ඇතින්නක් මේ පැටවා සමග සිටිනවා දුටු බවයි අපිට ගම්වාසීන් පැවසුවේ. කොහොම නමුත් ඒ සිටි බව කියන්නේ මේ අලි පැටියගේම මවද නැති නම් වෙන එකෙක්ද යන්න කියන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේවැනි රෝගී තත්වයන් තියෙන අලි පැටව් කාලයත් සමග සුව අතට පත්වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අපි අලි පැටවා සොයා ගන්නා අවස්ථාව වන විට ඌ සිටියේ ඉතා දුර්වල තත්වයේ. ශරීරයේ ස්ථාන කිහිපයකම ආසාදිත තුවාල දකින්න ලැබුණා. අපි දැනට මේ අලි පැටියා උඩලවල ඇති අතුරු සෙවණට රැගෙන විත් තියෙනවා. පළමුවෙන්ම අපි මේ සතාගේ තුවාල සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබනවා. පසුව අපි සොයා බලනවා මේ සතා සුවපත් කර ගැනීමට කුමන ප්‍රතිකර්මයක් සිදු කළ යුතුද කියා. ඇතැම් විට ශල්‍ය කර්මයක් සිදු කිරීමට වේවි. අපි බලනවා මොකද්ද මේ සතා සුවපත් කිරිමට කළ යුත්තේ කියලා″ යැයි පැවසීය.
මෙම අලි පැටියා උපතේ සිට ආබාධිත තත්වයට පත් වුවත් මවු ඇතින්න පැටවා ඇතැර නොගොස් පැටවා පෝෂණය කර ඇති බවට වනජීවී නිළධාරීහු සැක කරති. මවු ඇතින්න මෙම පැටවා ජීවත් කරවිම සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව බොහොම පැහැදිලිය. පැටවාගේ ඉදිරි පාද ආබාධිත තත්වයේ පැවතීම නිසා කිරි උරාබීමට නොහැකිය. එසේ නම් මවු ඇතින්න බිම දිගා වී පැටවාට කිරි ලබා දෙන්නට ඇති බවට වනජිවී නිලධාරිහු සැක පළ කරති.