පණු පැටව් එක්ක ලංකාවට ආපු චීන ටින් මාළු | සිළුමිණ

පණු පැටව් එක්ක ලංකාවට ආපු චීන ටින් මාළු

ශ්‍රී ලංකාවට ආනයනය කළ ටින් මාළු වර්ග කීපයක මැරුණු පණුවන් සිටින බවට පුවතක් පසුගියදා අනාවරණය විය. එම ටින්මාළු බහාලුම් මෙරටට ගොඩබෑම තහනම් කළ බවත් ආපසු යැවීමට කටයුතු කරන බවත් අපට තවදුරටත් දැනගන්නට ලැබිණි.

ආහාර පනතේ බලතල අනුව එහි බලධරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාය. මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ එබැවිනි.

“රටේ ආහාරපාන පිබඳව සොයා බලා කටයුතු කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වගේම ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් යොදා තිබෙනවා. ඒ අය රට ඇතුළත වගේම වරාය සහ ගුවන්තොටුපළවල් වලත් ස්ථානගත කර තිබෙනවා. ආහාර පානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම වගේම දැනුවත් කිරීම්, ඒ සම්බන්ධයෙන් අවවාද කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් සිදු කෙරෙන්නේ ඔවුන්ගෙන්. රට අභ්‍යන්තරයට රැගෙන එන ආහාර පරික්ෂා කරනු ලබන්නේ ඔවුන් විසින්. චීනයෙන් මෙරටට ගෙන්වූ ටින් මාළු කන්ටේනර් 190 ගණනකින් 150 ගණනක ප්‍රශ්නයක් තිබුණා. ඒ ටින්මාළු ඇතුළේ පුංචි පුංචි මැරුණු පණුවන් හිටියා. ඒ නිසා අපි ඒවා අපසු යවන්න කියලා උපදෙස් දුන්නා. රට ඇතුළට ගන්න එපා කියලා අවධාරණය කළා.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.

එහෙත් පණුවන් සිටින ටින් මාළු රට තුළට, නැතිනම් මෙරට වෙළෙඳපොළට පැමිණ ඇති බව ද වාර්තා වෙයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ පවසන්නේ දිවයින පුරා තිබුණු ටින් මාළු 20,000 කට ආසන්න ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එකතු කළ බවය. රට අභ්‍යන්තරයේ ඇති ටින් මාළු වෙළෙඳ නාම වර්ග 17 ක් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන් බැවින් දිවයින පුරා සේවයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකී කාණ්ඩ යටතේ ඇති ටින් මාළු එකතු කළ බව ඔහු තවදුරටත් පැවසීය. එම නියෝගය ලැබීමට පෙර මැරුණු පණුවන් සිටින ටින්මාළු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මහජනතාවගෙන් පැමිණිලි ලැබී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ ගැන දැනුම් දෙනු ලබන්නේ ඒ අතරවාරයේදීය.

ටින්මාළු බහාලුම් තුළ තිබියදී මළ පණුවන් සහිත ටින්මාළු වෙළෙඳපො‍ළට පැමිණියේ කෙසේද ? ප්‍රශ්නය එයයි.

සාමාන්‍යයෙන් වරායට අයත් බහාලුම්වල පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඒවා වරායේ රඳවා තැබෙනු ඇත. එහෙත් ඉඩකඩ ප්‍රශ්න ඇති වන විට දී වරායෙන් පිටත ඇති බහාලුම් පර්යන්තයක හෝ පෞද්ගලික ඉඩමක එය රඳවා තැබීමට අවසර ලබා දෙනු ලැබේ. නමුත් මෙම අවසරය ලබා දෙන්නේ මෙකී බහාලුම් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් බහාලුම් ඇතුළත තිබෙන ද්‍රව්‍ය පිටතට ගැනීම, විකිණීම හෝ මුදා හැරීම නොකරන බවට සඳහන් ලිඛිත පොරොන්දුවකට අත්සන් ලබා ගැනීමෙනි. එම පොරොන්දුව කඩ කරමින් ටින්මාඵ බහාලුමක තිබූ ටින්මාළු වෙළෙඳපොළට මුදා හැරියාදැයි යන සැකය මතු වන්නේ වෙළෙඳපොළේ මැරුණු පණුවන් ඇති ටින්මාළු අලෙවි වූ නිසාය. එම ටින්මාළු වෙළෙඳ‍පොළට පැමි‍ණියේ කෙසේද යන්න පිළිබඳ දැන් පරීක්ෂණ සිදු වෙමින් පවතී. වරායෙන් නිෂ්කාශනය කිරීමට පෙර බහාලුම්වල තිබෙන භාණ්ඩ වෙළෙඳපොළට අලෙවි කර තිබේ නම් ලැබෙන දඬුවම් ද සුළුපටු නැත. එක්කෝ විශාල දඩයක් ගෙවීමට සිදුවේ. නැතහොත් අසාදු ලේඛනයට ඇතුළත් විය හැකිය.

ආනයනික භාණ්ඩවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සිදු කෙරෙන කාර්යභාරය ගැන දැන ගැනීමට සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නයනා සතරසිංහ ය.

“ආනයන හා අපනයන දෙපාර්තමේන්තු රෙගුලාසි අනුව ප්‍රමිතිය සහතික කිරීම සඳහා අද වන විට රේගුවෙන් අපට භාණ්ඩ 122 ක් යොමු කරනවා. ආනයනික හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය සහතික කිරීම අපි ආරම්භ කළේ 1988 දී. එතකොට භාණ්ඩ 8 කින් තමයි අපි පටන් ගත්තේ. හැබැයි1988 ඉදලා අද දක්වාම ආනයනික ටින්මාළුවල ප්‍රමිතිය සහතික කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්. ඒ අනුව මළ පණුවන් සිටින ටින්මාළුවල ප්‍රමිතිය සහතික කිරීමට රේගුවෙන් අපිට භාණ්ඩ එවලා තිබුණා. ඇත්තටම මළ පණුවන් ශරීර සෞඛ්‍යයට අහිතකර දෙයක් නොවෙයි. මෙතනදී ගොඩක් අය හිතන්නේ පොළොවේ සිටින පණුවන් වගේ පණුවො කියලා. ඒත් ටින්මාළුවල ඉන්නේ ස්වාභාවික සංසිද්ධියකින් උපන් පණු වර්ගයක් . පණුවාගේ ජීවන චක්‍රයේ කොටසක් මාළුවාගේ ශරීරය තුළ තිබෙනවා. මාළුවා මිය යන විට උගේ ශරීරය තුළ සිටින පණුවන් මිය යනවා. මේ පණුවො සෙන්ටි මීටරයක් තරම් දිග, හීනි, නූලක් වගෙයි. ඇත්තටම ටින්මාළුවල පණුවො ඉන්නේ මාළු නරක් වීමෙන් පණුවො ගහලා නොවෙයි. ටින් එක ඇතුළේ පණුවො කිව්වාම ගොඩක් දෙනා හිතන්නේ නරක් වෙලා පණුවො ගහලා කියලා. මේ අනවබෝධය මුලින්ම නැති කළ යුතුයි. ඒත් අපි මළ පණුවන් සහිත ටින්මාළු කන්ටේනර්වලට ප්‍රමිතිය දුන්නේ නැහැ. ඒ, එය ශරීර සෞඛ්‍යයට අහිතකර නිසා නොවෙයි. පණුවන් සිටින ටින්මාළු මිනිසුන්ට අප්‍රසන්න තත්වයක් ඇති කරන නිසා.” යනුවෙන් ඈ දීර්ඝ වශයෙන් විස්තර කළාය.

මෙරට එක්තරා සමාගමකින් චීනයෙන් ගෙන්වූ මෙම ටින්මාළු බහාලුම් 150 ගණනම නැවතත් චීනය බලා පිටත් වූයේද යන්න සොයා බැලීමේදී අපට වාර්තා වූයේ බහාලුම් දෙකක් පමණක් ආපසු නැව්ගත කළ බවය. සෙසු බහාලුම් තවමත් මෙරට රැඳී තිබෙන්නේ ආනයනකරුවන් රේගුවට ගෙවු මුදල් ආපසු ලබා ගැනීමට වැනි මුල්‍ය ගනුදෙනු අවසාන කර ගත යුතු නිසාය. එම කටයුතු නිමා වූ සැණින් එකී බහාලුම් ආපසු නැව්ගත කෙරෙනු ඇත.

“කොහොම වුණත් ටින්මාළු මිල දී ගැනීමේදී පාරිභෝගිකයන් සැලකිලිමත් වීම ඉතා වැදගත්. පියන පිම්බිලා තියෙනවාද, ටින් එක තැලිලා එබිලා තිබෙනවාද, මළ බැදිලා තියෙනවාද, කල් ඉකුත් වූ දිනය හා නිෂ්පාදිත දිනය ගැන කවදාද කියලා පරීක්ෂා කරලා බලලා මිල දී ගන්න පෙලඹෙනවා නම් හුඟක් හොඳයි. එතකොට ප්‍රශ්න අවම කරගන්න පුළුවන්.”

හතර වටින් මහ මුහුද තිබෙන, මත්ස්‍ය සම්පතෙන් ආඩ්‍ය වූ අපේ රටේ ටින්මාළු මිල දී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කාරණා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ උපදෙස් දුන්නේ එසේය.

Comments