අඟහරු ලෝකේ වතුර? | Page 2 | සිළුමිණ

අඟහරු ලෝකේ වතුර?

අඟහරුගේ දකුණු අර්ධගෝලයේ කෙළවරට නුදුරින් සෙලවෙමින්, කැලතෙමින් පවතින ලවණමය ජලය සහිත විශාල විලක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. මේ විල පිහිටා ඇත්තේ අඟහරු මතුපිට නොව අඟහරුගේ මතුපිට ස්ථරයේ සිට සැතපුමක් පමණ අභ්‍යන්තරයේ වීම විශේෂයකි. මෙතෙක් කලක් අඟහරු මතුපිට ජලය සොයමින් සිට එය අසාර්ථක වූ තැන අඟහරු අභ්‍යන්තරයේ හෝ ජලය පැවතිය යුතු යැයි සැක කළ බැවින් අඟහරුගේ පාෂාණ ස්ථරයට යටින් රේඩාර් පර්යේෂණ සිදු කරමින් ජලය සෙවීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ අනුව රේඩාර් තරංග යොදා ගනිමින් අඟහරු මතුපිට ස්ථරය සිසාරා ජලය සොයමින් සිටි පර්යේෂයන්ට අඟහරු මතුපිට සිට සැතපුමක් අභ්‍යන්තරයේ පිහිටා ඇති මේ විශාල විල හමුවී තිබේ.

මේ විල කිලෝමීටර් විස්සක් පමණ විශාල ප්‍රදේශයක පැතිර ඇති බවත් එහෙත් එහි ගැඹුර හුදෙක් මීටරයක් පමණ විය හැකි බවත් විද්‍යාඥයෝ මේ වන විට ජනමාධ්‍යයවලට මුදා හැර ඇති වාර්තාවල සඳහන් වේ.

අතීතයේ අඟහරුගේ මතුපිට ජලය තිබූ බවට විද්‍යමාන සාක්ෂි රැසක් හමුවී තිබුණු අතීතයේ පමණක් නොව වර්තමානයේදීද අඟහරු මත ජලය ස්ථිරවම පැවතිය යුතු බව විද්‍යාඥයන් ගේ මතය විය.

ඒ අනුව 2004 වසරේ සිදු කළ පර්යේෂණවලින් ජලය පවතින බවට ඉතා කුඩා සාක්ෂි සොයා ගැනීමට ඔවුහු සමත් වී තිබේ. එසේ ලැබුණු සාක්ෂි අතර මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත ගංගා සහ විල් පැවති බවට සාක්ෂිද විය.

2009දී අඟහරු මතට ගොඩබස්වන ලද යානයකින් අඟහරු මතුපිට ලවණ ජලය පැවති බවට සාක්ෂි තහවුරු කරන ලදී.

කෙසේවුවද මේ ලැබුණු අලුත්ම වාර්තා අනුව අඟහරු මතුපිට ජලය පැවතීම සනාථ වීම නිසැකයෙන්ම විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමට සමත් වන බව කිව යුතුය.

ජලය පැවතීම යනු ඔක්සිජන් පැවතීම වන බැවින් මේ පර්යේෂණ මාලාවේ මීළඟ පියවර අඟහරු මත ජීවය සොයා යෑම වන බව නම් නිසැකය. එබැවින්ම නුදුරු අනාගතයේදී සෞරග්‍රහ මණ්ඩලයෙන් අපේ අසල්වැසියන් හමුවුවහෛාත් එය ප්‍රථිවි වාසීන් වන අපට සමත් සතුටක් ගෙන දෙන කරුණක් වනු ඇත.

ටිරෝනි වෑවලගේ

 

 

Comments