
අත්‍යවශ්‍ය ඖෂධ මිල සියයට දෙසීයෙන් තුන්සීයෙන් පමණක් නොව සියයට හත්සියයක පමණ ඉහළ අගයකින් පහළ යෑම නිසා වර්ෂයකට මිලියන 4400ක මුදලක් මුළු රටේම ලාභ ලෙස රෝගීන් අත රැඳෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 2016 වර්ෂයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහළ දැමුණු අතර පසුගියදා තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල පහළ දැමිණි. මෙසේ ඖෂධ මිල පහළ දැමීම නිසා ඖෂධ මිලදී ගැනීමේදී විදේශයන්ට ගලා ගිය අධික මුදල් කන්දරාවෙන් රුපියල් මිලියන 9000ක පමණ මුදලක් රටට ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇති බව කී ඇමැතිවරයා මෙරට ඖෂධ මිල පහළ යෑම නිසා ඖෂධ ආනයනය කරන්නන් සහ විදේශයන්හි ඖෂධ නිෂ්පාදකයන් අතර විශේෂ මිල ගණන් යටතේ ලංකාවට ඖෂධ සැපයීමට එකඟතා ඇතිකරගෙන ඇති බවද කීවේය.