හිරේ සිට කුඩු විකිණූ කෙසෙල්වත්තෙ ලසාගේ කුඩු ජාවාරම හෙළි වූ හැටි | සිළුමිණ

හිරේ සිට කුඩු විකිණූ කෙසෙල්වත්තෙ ලසාගේ කුඩු ජාවාරම හෙළි වූ හැටි

කෙසෙල්වත්තේ ලොක්කා

දිගින් දිගටම අපරාධකාරයන් පසුපස හඹා යන පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය (නාකොටික්) ඇතුළු සෙසු විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම් ඒකක නිසා සංවිධානාත්මක අපරාධකරුවන් ට මේ වන විට වැඩ වැරැදෙමින් තිබේ.

පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ මෙහෙයවීමෙන් යුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ උකුසු ඇස්වලට වැලි ගසා කිසිදු අපරාධකාරයකුට මේ වන විට ගැලවී යා නොහැකි වටපිටාවක් උදාවී තිබේ. ඒ බව පසක් වනුයේ පසුගිය සමයන්හි එම කොට්ඨාසය අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමෙහිලා සිදුකළ වැටලීම්වල සාර්ථකත්වයෙනි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වාගේ උපදෙස් මත එහි එක් ඒකකයක් වන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඩී.එල්.ඒ. නයනජිත් ඇතුළු උපපොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, කොස්තාපල්වරුන් වන 77036 රත්නායක, 70177 ජයවීර, 70514 සංජය, 70075 ජයසේකර යන නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම පසුගිය 21 වැනිදා හිමිදිරියේ දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල බස් නැවතුමේ රැකවල්ලා සිටියේය. ඒ අපරාධ රැසකටම අත්‍යවශ්‍ය පුද්ගලයකු නීතියේ රැහැනට කොටුකර ගැනීමටයි.

එදින උදෑසන 5.45ට පමණ නිලධාරීන් විසින් බස් නැවතුම්පොළේ සිටියදී රිවෝල්වරයක්, ජීව උණ්ඩ පහක් සහ ගමන් මල්ලක බහා තිබූ ගංජා කිලෝ දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට ගැනිණි. ඔහු 29 හැවිරිදි හෙට්ටිආරච්චිගේ රවීන්ද්‍ර සංජීව නොහොත් කෙසෙල්වත්තෙ ලොක්කා විය. රටේ නම ගිය අපරාධ රැසකටම හවුල් වූ ලොක්කා අත්අඩංගුවට පත් වූයේ තවත් එවැනිම අපරාධයක් හෝ මත්කුඩු බෙදාහැරීම වෙනුවෙන් මහනුවර ප්‍රදේශයට යෑමට සිටියදීයි.

කෙසෙල්වත්තෙ ලොක්කා යනු පිටකොටුව, කෙසෙල්වත්ත, කොටහේන, අලුත්කඩේ ආදි පෙදෙස්වල කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් මෙන්ම මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකටම වගකිවයුතු රටින් පැන සිටින ප්‍රධාන පෙළේ අපරාධ නායකයාගේ දැනට මෙරට රැඳී සිටි ප්‍රධානතම ගෝලයාය. මේ වන විට ඩුබායිහි වෙසෙන 30 හැවිරිදි රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තෙ දිනුකගේ සියලු අපරාධ මෙහෙයවූ ඔහුගේ ප්‍රධානතම ගෝලයා වූයේ කෙසෙල්වත්තෙ ලොක්කාය.

දිනුකට කප්පම් නොගෙවීම නිසා මේ වර්ෂයේ මාර්තු 8 වැනිදා රාත්‍රී 7.45ට පමණ කොටහේනේ බිලින්වත්තෙ නිවෙසකට වෙඩි වරුසාවක් එල්ල විය. අරමුණ කප්පම් නොගෙවූ කෙසෙල්වත්තෙ චානා ඇතුළු තිදෙනකුව ඝාතනය කිරීමය. චානා යනු කලක් දිනුකගේ අතිජාත මිත්‍රයෙකි. එහෙත් එදින දිනුකගේ සහචරයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ චානා සහ චානාගේ හිතවෙතකු වූ කරුණාදාස දිවි ගලවාගත්තේය. චානාගේ ඥාති සහෝදරයකු වූ ඩිලාන් ඝාතනය වූයේය.

එදින එම වෙඩි තැබීම සිදු කළේ දිනුකගේ මෙන්ම කලකට පෙර ගණේමුල්ල සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව නමැති දැනට බන්ධනාගාරගතව සිටින රටේ නමගිය අපරාධකාරයාගේ ගෝලයකු වන රාගම චූලා වසන්තය.

එදින චූලා වසන්තව රාගම සිට මෝටර් රථයකින් අදාළ ඉලක්කය ගැනීමට කෙසෙල්වත්තෙ ලසා නමැත්තාට බාර දී තිබුණේ ලොක්කා විසිනි. එසේම අපරාධය සඳහා ඔවුන් දෙපළ යතුරුපැදියකින් කොටහේන බිලින්වත්තට යැවීම සිදුකර තිබුණේද ලොක්කාය.

ඊට අමතරව ඝාතනය සඳහා යොදාගත් ටී56 ගිනිඅවිය ද ඝාතකයන්ට ලබා දී තිබෙන්නෙ ලොක්කාය. අපරාධය සිදු කිරීමෙන් අනතුරුව නැවතත් ලොක්කා විසින් ටී56 ගිනිඅවිය රැගෙන පලා ගියේය.

ඊට අමතරව ලොක්කාට තිබෙන තවත් ප්‍රධානතම චෝදනාවක් වනුයේ ගිය වර්ෂයේ නොවැම්බර් 29 දා මරදාන පොලිස් වසමේ ජයන්ත වීරසේකර මාවතේදී මාලිගාකන්ද අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ත්‍රීරෝද රථයකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා පලා යාමය. එදා යතුරුපැදියෙන් අපරාධය සිදු කිරීමේ පැමිණි එක් පුද්ගලයකු ලොක්කායි. එසේම එදින වෙඩි තැබීමට යොදාගත් ටී56 ගිනිඅවිය දිනුකගේ අනුදැනුම මත සැකකරුවන්ට ලබා දී නැවතත් අපරාධයෙන් පසුව රැගෙන යන්නේ ලොක්කා විසිනි. කෙසෙල්වත්තෙ ශාන්චිආරච්චි වත්තෙ විසූ ලොක්කා ගැන කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ කාලයක සිටම කරගෙන ආ විමර්ශනයක් මඟින් ඔහුව අත්අඩංගුවට පත්වන විට ඔහු දිනුකගේ මෙරට සිට සියලුම ජාවාරම් මෙහෙයවමින් සිටියේය. මේ වනවිට ඩිලාන්ව ඝාතනය කළ මාර්තු 08 වැනිදා අපරාධයට සම්බන්ධ සියලුම අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවේය. රාගම චූලා සහ ලසා රක්ෂිත බන්ධනාගාරගතවය. ඊට සම්බන්ධ වැන්ඩෝල් ජූඩ් ද අත්අඩංගුවට පත් වී ඇත්තේය.

එදින එම අපරාධයට සම්බන්ධ වූ දිනුකගේ තවත් ප්‍රධානතම ගෝලයෙක් වූ නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක මේ අපරාධයත් සමඟ ඉන්දියාවට පැනගොස් ඇති බවට අනාවරණය වේ.

දිනුක පිටරට සැඟවී සිටියත් සියලු කප්පම් එකතු කිරීම් සිදු කරන්නෙ ඔහුගේ මව වන පොඩි අම්මා නමැත්තිය විසිනි. ඊට අමතරව දිනුකගේ අම්මාගේ බාල සහෝදරයා වන රජා මාමා දිනුකගේ සියලු හොර ජාවාරම් මෙහෙයවන අනෙත් තැනැත්තාය.

රටපුරා හෙරොයින් සහ කේරල ගංජා බෙදාහැරීම මොවුන්ගේ ප්‍රධානතම ජාවාරමයි. කිත්සිරි රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන අරුණජිත් රාජපක්ෂ යන දෙදෙනා රණාලේ සමයං සමඟ එක්ව ඝාතනය කිරීමෙන් පසුව 2011 වර්ෂයේදී දිනුක රටින් පලා යන්නෙ මලයාසියාවටයි. එතැනින් ඩුබායිවලට ගිය ඔහු මේ වන විට මාකඳුරේ මධුෂ්ට එකතු වී ඔහු සමඟ ළඟ ඇසුරක් පවත්වමින් මෙරට සියලුම අපරාධ මෙහෙයවමින් සිටී.

රටින් පිට පැන සිටින අපරාධකාරයන්ට එරෙහිව රජය අන්තර්ජාතික වශයෙන් දැලක් එලීමට සූදානම් වෙද්දී මෙරට සිටින ඔවුන්ගේ ගෝලයන්ගේ සියලු 'ගේම්' වලට එරෙහිවද මෙහෙයුම් දියත් කරමින් ඇත. ඒ සඳහා යුද හමුදාවද එකතු කරගැනීමට අවශ්‍ය කටයුතු යුහුසුලුව සූදානම් වෙමින් තිබේ.

බන්ධනාගාරයේ සිට මෙහෙයවූ තවත් කුඩු ජාවාරමක්...

මේ අතර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ගේ මෙහෙයවීම මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.ඒ.සී. ධනපාල ගේ උපදෙස් අනුව පොලිස් පරීක්ෂක පෙරේරා ඇතුළු පිරිස ද දින කීපයක් මුළුල්ලේ මෙහෙයුමක් සංවිධානය කරමින් සිටියේය. පසුගිය 23 දා රාත්‍රියේ අත්අඩංගුවට මාතර, කඹුරුපිටියේ පදිංචිකරුවකු වූ 44 හැවිරිදි කෝට්ටවත්ත හේවගේ චන්ද්‍රසිරි නමැත්තා අත්අඩංගුවට පත් වන්නේ ඒ අනුවය.

රුපියල් තිස්පන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 160ක් සමඟ චන්ද්‍රසිරිව අත්අඩංගුවට ගැනීමත් සමඟ බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන තවත් මත්කුඩු ජාවාරමක සුලමුල සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවිණි. ඔහු මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණේ තමා රැගෙන ගිය හෙරොයින්වල නියම අයිතිකරුවා කෙසෙල්වත්තෙ ලසන්ත නොහොත් ලසා බවයි.

වයස අවුරුදු 45ක් පමණ වන මහගමගේ ලසන්ත උපුල්සිරි නොහොත් කෙ‍ෙසල්වත්තෙ ලසා යනු මරණ දඬුවමට නියම වූ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවෙකි.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කන ලසා 2011 වර්ෂයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි දක්ෂ නිලධාරියකු වූ පොලිස් පරීක්ෂක පෝල්ගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමකදී කෙසෙල්වත්තෙදී අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් ග්‍රෑම් 150ක් සමඟිනි.

ඊට පෙර 2004 වර්ෂයේදීද හෙරොයින් ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ බන්ධනාගාර ගතවූ ලසා ඇප මත නිදහස ලබා තිබිණි. ඔහු එම වරද වෙනුවෙන් මහාධිකරණයේ විභාග වූ නඩු කටයුත්ත මඟ හරිමින් සිටියේය. ඒ හේතුවෙන් වරෙන්තු පිට අධිකරණය මඟ හැර සිටි ලසාට එම නඩුව වෙනුවෙන් 2008 වර්ෂයේදී ලබා දුන් තීන්දුව වූයේ මරණ දණ්ඩනයයි. එසේ අධිකරණය හැර යමින් කට්ටි පනිමින් සිටි ලසා 2011 දී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මේ වන විට මරණ දඬුවම් හිමිකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ වෙසෙයි.

ලසාට අමතරව චන්ද්‍රසිරිගේ කුඩු ජාවාරම පිටුපස දැනට බන්ධනාගාරගතව සිටින තවත් මහා පරිමාණ කුඩු ජාවාරම්කාර තැනැත්තියක් වන වනාතේ ධම්මිද සිටින බව සැල වේ. ධම්මි යනු 2010 අගෝස්තු 31දා පොලිස් විශේෂ කාර්ය බළකායට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී මිනුවන්ගොඩදී මියගිය ප්‍රකට අපරාධකාරයකු වූ වනාතේ ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා නොහොත් ඕල්කට්ගේ පුංචි අම්මාය. ධම්මි මත්කුඩු සමඟ මෑතකදී බොරැල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නීය.

ලසා කලෙක සිටම ධම්මි සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇතැයි කියවේ. එම ඇසුර නැවතත් බන්ධනාගාරයේදී අලුත් කරමින් මේ දෙපළ රටපුරා මත්කුඩු ජාවාරමටද එක්ව අත ගසා ඇතැයි පොලිසිය සැක කරයි. මේ සියලු ජාවාරම් බන්ධනාගාරය තුළ සිට මොවුන් කරනු ලබන්නෙ නවීන දුරකථන තාක්ෂණ සහ ඊෂි කෑෂ් ක්‍රම හරහාය.

අපරාධකාරයන්ගේ සියලු තොරතුරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල සුලමුල ආරක්ෂක අංශ හෙළි කරගැනීමත් සමඟ රටපුරා මත්ද්‍රව්‍ය සහ අපරාධකාරයන් ගහණ බව පවසමින් ඇතැම් දෙනා චෝදනා නැඟුවත් එවැනි චෝදනා නැඟීමට හැකියාව ලැබී තිබෙනුයේද ආරක්ෂක අංශ දිවා රෑ නොබලා සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්වල සාර්ථක ප්‍රතිඵල නිසාවෙනි.

Comments