
පසුගිය දින කිහිපයක්ම පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ යුද හමුදාවේ භට පිරිස් අඩු කිරීමට සැලසුම් සකස් කිරීම ගැන හා උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීමක් ගැනයි. විවිධ කථිකාවන් තිබූ කරළියේ හඬ නැඟුණු මේ කරුණ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සපයා දීමේ අරමුණින් අපි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුවුණෙමු. මේ එතුමා සමඟ කළ සාකච්ඡාවකි.
• මේ දිනවල රටේ බොහෝ දෙනාගේ විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වන දෙයක් තමයි යුද හමුදා භට පිරිස් අඩු කර උතුරේ කඳවුරු අඩු කිරීමට යන බව, ඒ ගැන ඔබේ පැහැදිලි කිරීම කළොත්.....
පළමුවෙන්ම කියන්නට අවශ්‍යයි හමුදාවට කිසිදු දේශපාලන මතයක් නැහැ. ඒ වගේම යුද හමුදාවේ වගේම අනෙකුත් හමුදාවලත් හමුදා අවශ්‍යතා පිළිබඳව තීන්දු තීරණ ගනු ලබන්නේ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්. මම පැහැදිලිව පවසනවා උතුරේ හෝ අනෙකුත් කිසිම ස්ථානයක කඳවුරු ඉවත් කිරීමට අපි පියවර ගෙන නැහැ.
• ඔබ එසේ කිව්වත් මේ වන විට කඳවුරු අඩු කිරීම සම්බන්ධව විවිධ ප්‍රකාශ මතුව තිබෙනවා. හමුදාව තුළත් හමුදාවන් ඒකාබද්ධ කිරීමේ යම් යම් කටයුතු සිදු කෙරෙන බව අපට දැන ගන්නට තිබෙනවා.
යුද හමුදාවට දැන් අවුරුදු 69ක්. මේ දශක 7කට ආසන්න කාලයක් තුළ ඒ ඒ අවස්ථාවන්ට අවශ්‍ය හා උචිත ක්‍රමවේදයන් අනුවයි හමුදාවේ බළ ඇණි හා සේනා සංවිධානය කෙළේ. උදාහරණයක් ලෙස පවසනවා නම් මම හමුදාවට බැඳුණු 1981 වසරේදී යුද හමුදාවේ 10000ක භට පිරිසක් පමණයි සිටියේ. රෙජිමේන්තු 6ක් පමණයි තිබුණේ. නමුත් 1983න් පසුව මේ තත්ත්වය වෙනස් වෙලා හමුදාව ශක්තිමත් කළ යුතු වූ නිසා අවශ්‍ය පරිදි ශක්තිමත් කළා. ඒ අනුව අවශ්‍යතාව පරිදි හමුදාවේ සැකසුම් සිදු කරනවා. ඒ ගැනයි ඔය කතා බහ ඇති වන්නේත්.
• ඍජුවම කියන්න හමුදා බළ ඇණි අඩු කරනවාද? නැත්නම් කඳවුරු ඉවත් කරන කතාව ඇත්තක්ද?
හමුදාපතිවරයා ලෙස ඍජුවම පවසන්නේ කිසිසේත්ම එකම කඳවුරක්වත් ඉවත් කරන්නේ නැහැ. එකම භටයෙකුවත් අඩු කරන්නේ නැහැ. විශ්‍රාම යන අය හැර.
• නමුත් පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරයකු පැවසුවා ‘මම වගකීමෙන් කියන්නෙ කඳවුරු 39ක් ඉවත් කරන්න සැලසුම් හදලා තියෙනවා‘ කියලා.
මම යළිත් පවසනවා හමුදාවට දේශපාලනයක් නැහැ. කවුරුන් හෝ පවසනවා නම් හමුදා ශක්තිය අඩු කරනවා කියා. ඔහු හමුදා ක්‍රියාන්විත ගැන කිසිවක් දන්නා අයෙක් නෙමෙයි. මා පෙර සඳහන් කළාක් මෙන් යුද්ධය අවසන් වීමෙන් පසුව යම් යම් වෙනස් කම් සිදු කරනවා. ඒ අවශ්‍යතාව අනුව හැඩ ගැසෙන්නයි. උදාහරණයක් ලෙස දැන් කොළඹ ප්‍රදේශයේ හමුදා මුරපොළ යොදා සෝදිසි කිරීම් සිදු වෙනවාද? කවුරුහරි කියනවද ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. රටම දන්නවා දැන් එවැන්නක් අවශ්‍ය නොවන බවට. නමුත් ඒ සෝදිසි මෙහෙයුම් කරපු හමුදා භටයන් ඉවත් කර නැහැ. ඔවුන් කඳවුරු තුළ ස්ථානගත වෙලා ඉන්නවා. නැත්නම් ක්ෂේත්‍ර රාජකාරි තුළ නියැළී සිටිනවා.
• යුද්ධය පවතිද්දී පවා සංග්‍රාමික ලෙස කටයුතු කළ යුතු ‘යුද උපක්‍රමයන්ගේ‘ ඇති නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් සමන්විත බළ ඇණි සංඛ්‍යාත්මක ලෙසින් මේ වන විට වෙනස් කර තිබෙනවා නේද?
හමුදා බළ ඇණියක නිලධාරීන් 48ක් සහ සෙසු නිලයන් 1102ක් සිටිය යුතු වනවා. ඒ යුද උපක්‍රම පොතට අනුවයි. බළ ඇණි තුනක් එකතු වී බළ සේනාවක් සකස් වනවා. බළ සේනා තුනක් එකතු වී ආරක්ෂක සේනාංකයක් සකස් වෙනවා සේනාංක තුනක් එකතු වී ආරක්ෂක සේනා මූලස්ථානයක් සැකසෙනවා. මේ ක්‍රමවේදය පසුගිය යුද සමයේදී ක්‍රියාන්විත පහසු කර ගැනීම පිණිස සංශෝධනය වුණා. ඒ නිලධාරීන් 25ක් හා සෙසු නිලයින් 650ක් ලෙසින්. වර්තමනායේ යුද හමුදාවේ නිලධාරීන් 25ක් හා සෙසු නිලයින් 650ක් සිටින බළ ඇණි තිබිය යුතු වුවත් මේ වන විට ඇතැම් බළ ඇණිවල එයින් අඩක්වත් නැහැ.
නමුත් මේ බළ ඇණි පරිපාලනයේදි ගැටලු මතු වෙනවා. උදාහරණයක් ලෙස පිරිස 1000ක් සිටියත් පරිපාලනයට 90ක පමණ පිරිසක් අවශ්‍ය වනවා නම් 500ක් සිටියත් පරිපාලනයට 90ක පිරිසම අවශ්‍ය වනවා. 300ක් සිටියත් ඒ පිරිසම පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය වනවා. මේ නිසා එක් අණ දෙන නිලධාරියකු යටතේ බළ ඇණි දෙකක් එකතු කිරීමේ ක්‍රමවේදයකට අප කටයුතු කරනවා. එවිට පරිපාලනමය වශයෙන් අවශ්‍ය වන පිරිස අඩු වෙනවා. එවන් කටයුත්තක් මිස හමුදා භට පිරිස් හෝ නිලධාරීන්ගේ අඩුවීමක් වන්නේ නැහැ. අණ දෙන නිලධාරියා බළ ඇණි දෙකටම එක් අයෙක් වේවි.
• ඇයි මේ හැටියේම මෙවන් ක්‍රමයක් සිදු කරන්න කටයුතු කෙළේ.
මේ ක්‍රියාදාමය හිටි හැටියේම කළ දෙයක් නෙමෙයි. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව මේ කටයුතු සිදු කළා. 2009 වසරේ සිට 2015 දක්වාත් එතැනින් පසුවත්, මේ රජයන් දෙකම යටතේ ඒ කටයුතු හමුදාවට අවශ්‍ය පරිදි සිදුවෙනවා. 2009න් පසුව හමුදාවේ ක්‍රියාකාරීත්වය කුමනාකාරයෙන් කළ යුතුද යන්න ගැන කටයුතු කරන්නේ හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මිස රජය නෙමෙයි. එදා සිටම වසර 2020 පමණ වන විට යුද හමුදාවේ ව්‍යුහය කුමනාකාරයෙන් බල පැවැත්වීම සිදු වන්නේද යනාකාරයෙන් කටයුතු කළා. දැන් එහි බළ ඇණිවල පිරිස් විශාල ලෙසින් නොසිටීම නිසා අවශ්‍ය පරිදි ඇතැම් බළ ඇණි ඒකාබද්ධ කිරීමක් සිදු කෙරෙනවා. මේ ක්‍රියාදාය නිසා කාර්යක්ෂමතාව දෙගුණ වනවා. පරිපාලනයට සිටින පිරිස අඩුවී ක්ෂේත්‍ර කටයුතු සඳහා සිටින පිරිස් වැඩි වෙනවා. උදාහරණයක් ලෙස කඳවුරේ 500 තබා ගෙන 150ක් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යෙදවිය හැකියි.
• බළ ඇණි ඒකාබද්ධ කිරීමේදී කඳවුරු පරිශ්‍රයන් ඉවත් කෙරෙන්නේ නැත්ද?
පෙර පැවසුවාත් මෙන් කිසිදු කඳවුරක් ඉවත් කෙරෙන්නේ නැහැ. මම මීට යම් උදාහරණයක් ලබා දෙන්නම්. පාසලක් තියෙනවා එහි දරුවන් 35ක් ඉගෙනුම ලබනවා. ආසන්න ප්‍රදේශයක තවත් පාසලක් තිබෙනවා, එහි සිසුන් 45ක් සිටිනවා. මේ පාසල් දෙකේම විදුහල්පතිවරුන් දෙදෙනා වෙනුවට එක් අයෙක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා. සඳුදා ගණිතය උගන්වන ගුරුවරයා පසු දින අනෙක් පාසලට ගොස් ගණිතය උගන්වනවා. පාසල් දෙකයි නමුත් එක විදුහල්පතිවරයායි. එවිට පරිපාලනය පහසු වෙනවා.
• නමුත් හමුදා කඳවුරු සතු උතුරේ ඉඩම් ලබා දීම ගැනත් දකුණේ කතා වුණා. මේ තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඔබ දකින්නේ නැත්ද?
උතුරේ යුද්ධය පවතිද්දී එහි තත්ත්වය ඉතා හොඳින් දැන කටයුතු කෙළේ අපි. ඒ ගැන අපට අටුවා ටීකා අවශ්‍ය නැහැ. හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකනු ලබන සාධක දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න ජනගහනය දෙවැන්න භූමිය. මේ නිර්ණායකයන් අනුව හමුදා කඳවුර ස්ථාපිත කිරීමයි සිදු කරන්නෙ. උදාහරණයක් ලෙස යාපනය නගරය හෝ අවට ප්‍රදේශය සලකා බැලුහොත් එහි කඳවුර ඉදි කිරීමේදී ජනගහනය අනුව කඳවුර ඉදි කළ යුතුයි. නමුත් වඩමාරච්චි ප්‍රදේශයේ ඇති කැලෑවන් අනුව එහි ඉදිකිරීම් කළ යුතුයි. ජනතාවගේ ඉඩම් අප ලබා ගෙන කඳවුරු බවට පත් කර ගත්තේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය ස්ථානවල. අපි දන්නවා මර්මස්ථාන මොනවාද? හමුදාව වැඩි වශයෙන් රැදී සිට හමුදා කටයුතු කළ යුතු ස්ථාන මොනවාද යන්න ගැන. ඒ ගැන නොදැන කරන මේ කතා ගැන අපටත් සිනහ යනවා.
• නමුත් ඇතැම් පිරිස් පවසන මේ හමුදා සංඛ්‍යාවේ අඩුවීම් ගණන නිර්ණය කරනු ආකාරය කුමක්ද යන්න ගැන ඔබට වැටහීමක් තිබෙනවාද?
මටත් දින ගණනාවක් ගියා මේ කුමන කතාවක් කරනවාද යන්න සොයා ගන්න. මම හිතන්නේ සමහර විට යුද උපක්‍රම යටතේ බල ඇණියක සිටිය යුතු නිලධාරීන් 48ක් සහ සෙසු නිලයන් 1102 ලෙසින් සලකා දැනට සිටින නිලධාරීන් 25 සහ සෙසු නිලයන් 650 සලකා ගණන් හදන්නට ඇති. ඒ විදියට බලා 30000ක පමණ පිරිසක් ඉවත් කරන හෝ අඩු කරන බවක් උපකල්පනය කළා වන්නට පුළුවන්. එසේම බළ ඇණි දෙකක එකතුවක් වන විට එහි එක් බළඇණියක අණ දෙන නිලධාරී ඇතැම් විට එහි පරිපාලන නිලධාරීන් සංඛ්‍යාව සලකා මේ ගණනය කිරීම කළා වන්නට පුළුවන්. කුමක් වුවත් වැරැදි ප්‍රකාශ හා සංඛ්‍යාවක් ගැන නිසි අර්ථකතනයක් ලබා දෙන්නට හැකියාවක් නැහැ.
• කිසිදු ආකාරයක හමුදා පිරිස් අඩුවක් වන්නේ නැතිද?
ඉවත් කරනවා නම් හෝ අඩු කරනවා නම් අලුතින් බඳවා ගැනීම් කළ යුතුද? අපි මේ වන විටත් බඳවා ගැනීම් සිදු කරනවා. මේ වන විට 4000ක පිරිසක් බඳවා ගන්නට කටයුතු කර තිබෙනවා. යුද්ධයෙන් පසුව හමුදාවෙන් විශ්‍රාම යෑම් පමණයි සිදු වන්නේ. මිය යෑම් හෝ තුවාල සිදුවීම් නොවන නිසා පිරිස ප්‍රමාණවත් වනවා. දකුණු අතින් 100ක් ගියොත් වම් අතින් 70ක් ගැනීමයි මෙහිදී සිදු වන්නේ. සංග්‍රාමික අවශ්‍යතාවක් නොවන නිසා අපට 100%ක්ම අවශ්‍ය වන්නේ නැහැ. මා මුලින් කිව්වා වගේ 1981 වසරේදී යුද හමුදාවේ සිටියේ 10000ක් පමණයි.
• එසේ නම් යළික් බඳවා ගැනිම් සිදු කරන්නෙ ඇයි?
යුද හමුදාව කියන්නේ සියල්ලටම පෙරමුණ ගෙන ක්‍රියා කරන අද වැඩේ හෙටට කල් තියන පිරිස් ඉන්න තැනක් නෙමෙයි. මේ වන විට ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් සංහිඳියාවට අවශ්‍ය කටයුතු සිදු කරනවා. හමුදා බළ ඇණි මේ වන විට ගම් පෙරළිය, ග්‍රාමෝදය පිඹිදෙමු පොළොන්නරුව වගේම රෝහල් ඉදි කිරීම සිද්ධස්ථාන සම්බන්ධ කටයුතු මෙන්ම ජාතිය ගොඩනැඟීම ඇතුළු අනෙකුත් වැඩ පිළිවෙළ සඳහා කටයුතු කරමින් ඉන්නෙ.
• නමුත් පසුගිය සතියේ පුවත්පතක පළ වුණා කඳවුරු ඉවත් කරනු ලබන කතාවක්. ඒ ගැන යමක් පැහැදිලි කළොත්...
ඔය කියපු ටිකම තමයි කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නෙ නැහැ. හමුදාවේ අඩුවිමක් වන්නෙක් නැහැ. එහෙම කඳවුරු ඉවත් කරනවා නම් පළමුවෙන්ම ඉවත් කළ යුත්තේ මමයි. ඉවත් වන්නෙත් මමයි. දැන් තියෙන්නේ සංග්‍රාමික වාතාවරණයක් නෙමෙයි. ඒ කාලයේ අක්කර 15ක භූමියක අපි හිටියා නම් දැන් අපට අක්කර 5ක් එහෙමත් නැත්නම් අක්කර 2ක් තිබුණා නම් ඇති. ඉස්සර අපි වැඩි භූමියක සිටියෙ ත්‍රස්තවාදීන් මෝටාර් ගහන නිසයි. කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන නිසයි. දැන් එවැනි තත්වයක් නොමැතිව විදුලිය ජලය වැඩි වශයෙන් භාවිතා කරමින් භූමිය වැඩියෙන් තබා ගෙන ක්‍රියා කළ යුතු නැහැ. එසේම මේ වන විට උතුරේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් පොලිස් සථාන ආරම්භ කර තිබෙනවා. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායත් කඳවුරු ස්ථාපිත කර තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම පිණිස.
• නමුත් මේ අඩු කිරීම් ගැන කියන අය පවසන්නෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් හඬ නඟන බවක්..
දැන් සමහරු අපිටත් වැඩිය දේශප්‍රේමියො වෙලා. මම කරුණාවෙන් කියන්නෙ අපිටත් වැඩිය දේශප්‍රේමියො වෙන්න යන්න එපා. පුළුවන්නම් හමුදාවට බඳව ගන්න තමන්ගෙ ආසනයෙන් තුන් හාරදාහක් සොයා දෙන්න. ඒ අයට පුළුවන් අපට පුළුවන් විදිහට සහාය වන්න.
• ඔබ පවසා තිබුණා විපක්ෂයේ අයට මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර දීමට සූදානම් බවක් කවුරුන් හෝ ඔබට ඒ ගැන බලපෑමක් කළාද මේ ගැන පවසන්න කියා..
මම රාජකාරිය කරන්නෙ හමුදා විනයට අනුවයි. කිසිම දේශපාලනඥයකු සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැහැ. මොකද හමුදාවට දේශපාලනයක් නැති නිසා. හමුදාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන වැරැදි මත වැරැදි ප්‍රචාර ගැන කරුණු කාරණා පැහැදිලි කිරීම යුතුකමක් ලෙස මා සිතනවා. එම නිසයි මා ඒ බව ප්‍රකාශ කෙළේ.
• උතුරේ මේ දිනවල සැරිසරන විවිධ කල්ලි අනාගතයේ සාමයට මෙන්ම ජාතික ආරක්ෂාවට බාධාවක් වන බවක් ඔබ දකින්නේ නැත්ද?
ඒ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරනවා. සිවිල් පරිපාලන කටයුතු සිදු කිරීම පොලිසිය විසින් කරාවි. දකුණේ ඊට වඩා දරුණු පිරිස් ඉන්නවනේ. අවශ්‍ය වුණොත් අපෙන් උදවු ඉල්ලුවොත් අපට අවශ්‍ය සහාය ලබා දෙන්න පුළුවන්. මහනුවර දිගන ඇතුළු ප්‍රදේශවල සිදුවූ සිදුවීම් සියල්ල යුද හමුදාව පැමිණි විගසම පාලනය කරන්න හැකි වුණා. හමුදාවේ වැඩ කටයුතු සැලසුමක් ඇතිවයි සිදු කරන්නේ. අපට යුද්ධය අවසන් කරන්න අවුරුදු 3ක කාලයක් ලබා දුන්නා. අපි අවුරුදු දෙකයි මාස 9ක් මාවිල් ආරුවෙන් පටන්ගෙන යුද්ධය අවසන් කළා.
• හමුදා නිලධාරීන් ලෙස සිටින සංඛ්‍යාව විස්තර කළොත් ...
ලුතිනන් ජනරාල්වරුන් එක් අයෙක්, මේජර් ජෙනරාල්වරුන් 51යි. බ්‍රිගේඩියර්වරුන් 167යි කර්නල් තනතුරේ 213යි ලුතිනන් කර්නල්වරුන් 577යි. මේජර් තනතුරේ සිට පහළ නිලධාරීන් 6738 යි. මේ එක නිලයක්වත් අඩු වන්නේ නැහැ.
• සමහරු කියනව හමුදාවේ ඉහළට යෑම සිහිනයක් වගේ වෙනව කියල.
හමුදාවේ සිට දේශපාලනය කරන්න ගියොත් වැරැදි වැඩ කරන්න ගියොත් සිහිනයක් වෙයි. ඒත් අවංක නිලධාරීන්නට එහෙම වෙන්නෙ නැහැ.
• උතුරේ ජනතාවට හමුදාවෙන් විශාල සේවාවක් කරන්නේ ඇයි දැන් අවුරුදු ගණනක් ගියානෙ?
උතුරේ වැඩිම පිරිස් බලයක් ඇත්තෙ යුද හමුදාවටයි. ඒ වගේම අනෙකුත් සියලු උපකරණ ඇත්තේත් යුද හමුදාවටයි. ඒ නිසා උතුරේ රෝහලක් ඩෙංගු මර්දන වැඩසටහනක් ලේ දන්දීමක් එසේත් නැත්නම් පාසලක උත්සවයක් වේල් පෙරහරක් ෙහා් ඕනෑම අවස්ථාවක අපෙන් උදවු ඉල්ලනවා. අපි ඒ සියල්ලටම උපකාර කරනවා.
• ඒත් ජනතාවගේ හිත දිනා ගන්න තවමත් බැරිවෙලා තියෙන්නෙ අැයි?
ඒකට හේතුව යුද හමුදාවේ ගැටලුවක් නෙමෙයි. යුද හමුදාව සංහිඳියාවට අවශ්‍ය කටයුතු සියල්ලම කරනවා. නමුත් උතුරේ බලය බෙදීම හෝ වෙනත් දේශපාලන විසඳුමක් ලබා දීම අපට අයත් කාර්යයක් නෙමෙයි. ඒ නිවැරැදි විසඳුම ලබා දී උතුරේ ජනතාවගේ හිත දිනා ගැනීම දේශපාලන කාර්යයක්.
• යුද හමුදාව අව තක්සේරු කරන හෝ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන අයගේ කටයුතු සම්බන්ධයෙන් හමුදාව සම්බන්ධ නොවන බවට ඔබ පවසා තිබුණා. එයින් ගැටලු මතු වන්නේ නැත්ද?
ගැටලු මතු වන්නේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන අයගේ කටයුතුවලට අපි සහභාගි වුණොත්නෙ. හමුදාවෙන් හදල දෙන ‘ටෙන්ට්‘ එකේ ඉදගෙන හමුදාවෙන් ලබා දෙන පුටුවල වාඩිවෙලා ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්න ඒ අයට උදවු උපකාර කරන්න කියල මම කොහොමද සොල්දාදුවන්ට කියන්නෙ. ඒ අය මටත් දොස් කියයි. අපි එවන් අයගේ කිසිදු කාර්යයකට හවුල් වන්නෙත් නැහැ. උපකාර කරන්නෙත් නැහැ.
• උතුරේ දේශපාලනඥයන් විසින් හමුදාව උතුරින් ඉවත් විය යුතු බවත් පවසනවා. හමුදාව විසින් සහාය ලබා දෙනවා නම් ඇයි මේ ලෙසින් ඒ අයගේ විරෝධයක් මතු වන්නේ.
උතුරේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මතය නෙමෙයි ජනතාවගේ මතය වන්නේ. ඒ වගේම පැවසිය යුතුයි ඇතැම් දේශපාලනඥයන්ගේ වචන දෙක තුනක් අල්ලාගෙන රටේම අය කලබල වෙනවා. ඒ වගේ අයට ත්‍රී වීල් දෙකකටවත් උතුරේ සෙනඟ හොයා ගන්න බැහැ.
• තැන් තැන්වලින් මතුවන කොටි ඇදුම් වගේම විවිධාකාර ක්‍රියාකාරකම් මේ නැඟී සිටීමේ යම් ආරම්භයන් විය නොහැකිද?
ගුවන් යානා තිබුණු, නැව් තිබුණු, කාල තුවක්කු තිබුණු එල්ටීටීඊ සංවිධානයක් දැන් නැහැ. නමුත් ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, කැනඩාව වැනි රටවල සිට මේ ක්‍රියාකාරකම් ආරම්භ කරන්න උත්සාහ කරන ඩයස් පෝරාව ඉන්නවා. ඒ අයගේ අවශ්‍යතාව වන්නේ මේ වගේ යම් යම් සිදුවීම් මවා පාන එක. එසේ නොවුණහොත් ඔවුන්ට පැවැත්මක් නැහැ. දැන් උතුරට වඩා භයානකයිනෙ ආමර් වීදිය, ජම්පටා වීදිය වගේ තැන්.
• හමුදාවට පොලිස් බලතල දෙන්න යනවා. ඒ යටතේ සිවිල් පාලනයට ලබා දිය හැකි සාමය රැකීමේ ක්‍රමවේදය කුමක්ද?
හමුදාවේ යම් පිරිසකට පමණක් ලබා දීමයි කළ යුත්තේ. එසේ නොමැතිව පොලිසිය මෙන් තුන් ගුණයකට ආසන්න යුද හමුදාවටම පොලිස් බලතල ලබා දීම ගැටලුවක් වනවා.
සේයාරූ - විපුල අමරසිංහ