
අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ව්‍යාපාරිකයන්ට කියූ බණ 04
අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්‍රිය බෞද්ධ යතිවරුන් අතර අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ප්‍රමුඛයෙකි. කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට අදාල කමටහන් ලබන්නේ තායිලන්තයේ සුප්‍රසිද්ධ ථෙරවාද භික්ෂුවක වන අජාන් චා හිමියන්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කාලීන ලෝකයට සරලව බෙදන උන්වහන්සේ ලොව පුරා මුල් පෙළේ ව්‍යාපාරික වැඩමුළු සම්මන්ත්‍රණ ආදියෙහිද නොවරදින දේශකයකු බවට පත්ව ඇත්තේ බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කාලීන වූත් ආකර්ෂණීය වූත් දේශන රටාව නිසාය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී බ්‍රහ්මවංසෝ හිමියෝ අරලිය ගහ මන්දිරයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිකයන් අමතා දේශනයක් කළහ. විශාල පිරිසක් හමුවේ උන්වහන්සේ විසින් කරන ලද දේශනයේ මුල් කොටස් පසුගිය කලාපවල පළවු අතර අද පළවන්නේ එහි හතරවන කොටසයි.
කළමනාකරණයේ දී අද සුලබ ව සිදු කෙරෙන දෙයක් තමයි, කාර්ය ඇගයීමකට ලක් කිරීම. එනම් යම් පුද්ගලයකු ඔහුට පවරන කාර්යය කෙතරම් ඵලදායී ලෙස, කාර්යක්ෂම ලෙස පිරිසිදු කරනවාද නොකරනවාද යන්න ඇගයීමකට ලක් කිරීම. එය ඇත්තටම සිදුවිය යුත්තක්. එහිදී යමකු අපේක්ෂිත ආකාරයකට අදාළ කාර්යය ඉටු කර නැතිනම් ඔහු අකැමැත්තෙන් හෝ විවේචනය කරන්න වෙනවා. ඔහුට මේ බව සන්නිවේදනය කරන්නට වෙනවා. එය ඇතැම් විට අසීරු කරුණක් විය හැකියි. පන්සල්වලත් මේ කාර්ය ඇගයීමේ එක් අවස්ථාවක් පවතිනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලාත් තමන්ට දෛනික ව පැවරෙන වගකීම්වලින් බැහැර වන අවස්ථා තිබෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා උදෑසන අවදි වන්නට ප්‍රමාද වෙනවා. එය තරමක ප්‍රශ්නයක්. උන්වහන්සේලා දාන මාන පිණ්ඩපාතවලට ප්‍රමාද වෙනවා. අධ්‍යාපන හෝ භාවනා වැඩසටහන්වලට ප්‍රමාද වෙනවා නම් එයත් ප්‍රශ්නයක්. මේ වගේ අවස්ථාවලදී බොහෝ විට කරුණා සහගතව ඔවුන්ට මේ සම්බන්ධයෙන් සන්නිවේදනය කරනවා. ඒ ආකාරයෙන්ම යම් ගැටලුවක් පවතින්නේ නම් ඔවුන්ට කරුණා සහගත ව මේ සන්නිවේදනය සිදු කළ යුතුයි.
නමුත් මේ කාර්ය ඇගයීමේදී අදාළ කාර්ය ඇගයීමට ලක් කරන්නා ආදර්ශමත් විය යුතුයි. අපි පන්සලක වුණත් පවුලක් තුළ වුවත් පාසලක් තුළ වුවත් අප තවකකුගේ කාර්යයක් සම්බන්ධයෙන් විවේචනය කරනවා නම් ඔවුන් හොඳ මඟක ආදර්ශවත් ලෙසින් කටයුතු කළ යුතුයි. එසේ නැතිනම් ඒ දෙන අවවාදයෙන් වැඩක් නෑ. මම කලක් පාසලක ගුරුවරයකු වශයෙන් වැඩ කළා. අපි දන්නවා පාසලේ කිසිදු සිසුවකුට දුම් පානය කිරීමට අවසර නෑ.ඒ ගැන ගුරුවරුන් තදින් ඉන්නවා. තදින් කටයුතු කරනවා. නමුත් පාසලේ ගුරු විවේකාගාරයේ ජනේලයෙන් දුම් රොටු පාසල් බිමට මුසු වෙන බවට ළමයින් පිරිසක් පැමිණිලි කළා. ඉතින් කොහොමද මේ ගුරුවරු ළමයින්ට ආදර්ශයක් දෙන්නේ ? අපි නිවැරදි නොවෙන තාක් කල් අපි තවත් කෙනකුට දෙන අවවාදවලට වටිනාකමක් බලයක් ලැබෙන්නේ නෑ. මේ නිසා මුලින්ම අපි නිවැරදි විය යුතුයි. ඒ වගේම අපි අන් අය ගේ කාර්යය ගැන යම් විවේචනයක් කරනවා නම් එය කරුණා සහගත ව සිදු කිරීම ඉතා වැදගත්. ඒ වගේම මේ විවේචනය හරවත් විය යුතුයි. කරුණු කාරණා සහිත එකක් විය යුතුයි.
කලක් තායිලන්තයේ සංඝ සමාජයට විශාල අපවාදයක් තිබුණා. ඒ සමහර භික්ෂූන් වහන්සේලා කාන්තාවන් සමඟ අයුතු ඇසුරක් පවත්වන බවට. නමුත් මේ සමහර චෝදනාවලට පදනමක් තිබුණේ නෑ. මට ඕන වුණා මේ කිසිදු සොයා බැලීමකින් තොරව සිදු කරන විවේචන ගැන යම් අත්හදා බැලීමක් කරන්න. ඒ අනුව මම ස්වයං පාපොච්චාරණයකට සූදානම් වුණා. මම අජාන් බ්‍රාහ්ම් . මමත් මගේ ජීවිතේ සතුටින්ම ගත කළ කාලය තවත් පුද්ගලයකුගේ බිරිඳක් සමඟ ඇසුරු කළ කාලය කියල මම කිව්වා. ඇයගේ දැවටෙමින් ඇයම හාදු දෙමින් පගත කළ ඒ කාලය හරිම ප්‍රීති ජනක එකක් කියල මම කිව්වා. මේ කාන්තාව කවුද අජාන් බ්‍රාහ්ම් එහෙම කළේ ඇයි කියල හොයන්නේ නැතිව මට ලොකු චෝදනාවක් ඒ වෙලාවේ සිටි අයගෙන් එල්ල වුණා. මොකක්ද අජාන් බ්‍රාහ්ම් මේ කළේ.? ඔයා ඔය තරම්ම සවුත්තු කෙනෙක්ද ක්ෂණික ව එල්ල වූ අපවාද එමටයි. මම මේවා බැහැර කළේ නෑ. තවදුරටත් කිව්ව. ඔව් මම එහෙම කළා. ඇය මගේ අම්මා. මගේ පියාගේ බිරිඳ. මම මේ කිවේ මගේ ළමා කාලය ගැන. මම මව් සෙනෙහස වින්ඳ ආකාරය ගැන. මම මෙහෙම කියනකොටයි කට්ටියට තේරුණේ අපි චෝදනා කරන්න කලින් ඇත්ත නැත්ත හරිහැටි සොයල බලන්න ඕන කියල. බොහෝ දේ වෙන්නේ ඒ ආකාරයට. මේ වෙලාවේ මට මතක් වෙනවා අපි අන් අයගේ සිත කළකිරීමකට පත් නොකර කාර්යය ඇගයීමක් කරන ක්‍රමය. මෙය අපේ පන්සල්වල ක්‍රියාත්මක වන එකක්. මම මේ ක්‍රමයට කියන්නේ සැන්ඩ්විච් ක්‍රමය කියල. ඔබ කවුරුත් මේ පාන්වලින් හදන සැන්ඩ්විච් ගැන දන්නවා. සැන්ඩ්විච් ක්‍රමයට මෙය සිදු කරන්නේ කොහොමද කියල මම විස්තර කරන්නම්. මෙහිදී සැන්ඩ්විච් එකේ උඩ පාන් පෙත්ත වෙන්නේ කෙනකුගේ හොඳ ඔහුගේ වැඩපිළිවෙළ ගැන අගය කිරීම. අපි කෙනකුට කියනවා ඔබ ඉතා හොඳයි, ඔබේ වැඩ හොඳයි ඔබ අපේ ආයතනයට තියන සම්පතක් . ඊළඟට දානවා මැදට තැවරුම ඒ මොකවත් නෙවෙයි නමුත් කියන වචනේ විතරයි.
ඔබ අතින් මේ වැරදි තිබෙනවා. ඔබේ මේ අඩුපාඩු ටිකත් තියෙනවා අපි කොහාම හරි මේ ටික නිවැරදි කර ගනිමු. මෙවැනි ප්‍රවේශයකින් අදාළ පුද්ගලයාගේ හිත ලොකුවට පෑරෙන්නේ නෑ. ඒ තමයි සන්ඩ්විච් එකේ යටින් කියන පාන් පෙත්ත. ඔහු ගේ මනස මේ වැරැද්ද නිවැරදි කර ගැනීමට සෙමෙන් යොමු වෙනවා.
මොකද ව්‍යාපාර කියන්නේ අපේ රාජකාරිය කියන්නේ අපි ගන්න මාසික වැටුප නෙවෙයි. අපි ගන්න අත්දැකීම් තවත් සම්පතක්. එයට අනාගතයේ ලොකු ඉල්ලුමක් තියන දෙයක්. අපි හැම විටෙකම අපේ අඩුපාඩු හදාගෙන අපේ අත්දැකීම් තුළින් ඉහළට පැමිණිය යුතුයි.
අපි හැම වෙලාවේම තවත් කෙනකුට අඩුපාඩු හදා බැලීමට ආයතන තුළ ඉඩක් දිය යුතුයි. මෙහිදී මට මගේ ගුරු වෘත්තියේ අත්දැකීමක් සිහියට එනවා. අලුත් ගුරුවරයකු ලෙස පාසලට එක් වූ මට උගන්වන්න වුණේ ගණිතය විෂය. පළමු වරට එක් වාර විභාගයකදී මට ප්‍රශ්න පත්‍රයක් හදන්න සිදු වුණා. එය එක්තරා අභියෝගයක්. මම ජ්‍යෙෂ්ඨ ගුරුතුමකුගෙන් උදව්වක් ගත්තා. ඔහු කිව්වා ළමයින්ට ලේසි වෙන්නෙත් නැතිව අමාරු වෙන්නෙත් නැතිව මේක හදන්න කියල. ඔහු කිව්වේ උපරිම වශයෙන් ලකුණු 70ක් 75ක් විතර ලැබෙන විදිහට ප්‍රශ්න පත්‍ර හදන්න කියල. මොකද ලකුණු 90ක් විතර ගත්තොත් ළමයි හිතනවා ගණිතය හරිම ලේසියි කියල. ඔවුන් එවිට වැඩිදුර ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. ලකුණු 30ක් 40ක් 50ක් ගත්තොත් ඔවුන් ගණිතය අමාරු විෂයයක් කියල ඒ ගැන අකැමැත්තක් සිතේ ඇති කර ගන්නවා. නමුත් 70ක් කියන්නේ හොඳ මට්ටමක් . ශිෂ්‍යයාත් සතුටු වෙනවා. ඒත් එක්කම ඔහු ඉතිරි සියයට 30 ගැන උනන්දු වෙනවා. ඒ සියයට 30 ලබා ගන්න උත්සාහ කරනවා. අපි සෑම විටෙකම ඒ ආකාරයට යමකුට උනන්දුවෙන් අදාළ කාර්යය සඳහා ඔහු පෙලඹවිය යුතුයි.
තවත් කොටසක් ලබන සතියේ