වරදේ බැඳී මියගිය මව දරුවා ඉල්ලා හඬයි | සිළුමිණ

වරදේ බැඳී මියගිය මව දරුවා ඉල්ලා හඬයි

මේ දිර්ඝ වූ සංසාර ගමනේ මුණ ගැසුණු ඒ සියල්ලෝ අපට බො‍හෝ උදව් උපකාර පිහිට වන්නට ඇත. ඒ සියලු දෙනාට අප ණය ගැතිය. මේ ජීවිත ණය ගනුදෙනුවකි. ඒ ණය ගෙවා නිදහස් වන තුරු නිවනක් විමුක්තියක් නැත. අපට ණය වූවෝ ද මේ අතර ඇත. මේ සියලු දෙනාට අපෙන් සිදු වූ අනන්ත වැරදි, හිංසා, පාඩු, අපහාස, උපහාස, කරදර, හානි සහ ණයවීම්වලට අප උදේ හවස සමාව ගත යුතුය. අප පින් අනුමෝදන් කරන්නේ අපට මතක, මේ ජාතියෙ මිය ගිය ඥාති මිත්‍රාදීන්ට පමණ ය. එය වැරදිය. අපෙන් පින් බලාපොරොත්තු වන ප්‍රකෝටි සංඛ්‍යාත ඒ මවුපිය ඥාති මිත්‍රාදීන්ටද පින් අනුමෝදන් කළ යුතුය. ඒ අයගෙන් ද අපට අඩුපාඩු වැරදි හිංසා අපහාස උපහාස ණය සිදුවන්නට ඇත. ඒ සියල්ල සිතින් අත් හැර අපද සමාව දී ඔවුන් නිදහස් කළ යුතුය. මේ ණය ගනුදෙනුව අවසන් කරනතුරු ඇවිළෙන ගිනි දැල්වල නිවීමක් නම් නොවේ. නිවනක් නොවේ.

අප කරන, කියන, සිතන සියල්ල නිවැරදි යැයි සාධාරණ යැයි අශ්‍රැතවත් පෘතග්ජනයෝ සිතා සිටිති. ඒ නොදන්නාකමය. අවිද්‍යාව ය. මිථ්‍යාව ය. මිථ්‍යා යනු මිදී නිදහස් විය යුතු අත්හැරිය යුතු දේ කැමැත්තෙන් ම අත් නොහැර චිත්ත සන්ථානය තුළ තියා ගැනීම ය. අප නිතර ම හිතන්නේ මම හරිය මම නිවැරදිය කියාය. අනුන්ගේ ම වැරදි දකිති. වැරදි සොයති. විවේචනය කරති. අපේ ඇසේ ඇණී ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇසේ රැඳුණු තුත්තිරි මල් ගැන සොයති. මෝහයක මෝඩකමක මහත.

සියලු ලෝක සියලු සත්ත්වයන්ගෙන් සිතෙන් කයෙන් වචනයෙන් සිදුවූ සියලු වරදට කමාව අයදිමි. මට කමා කරත්වා. කමාව ලැබේවයි උදේ හවස සමාව ගත යුතුය. ඒ සියල්ලන් ණයෙන් නිදහස් කරමි. මට කළ වරදට ද කමාව දෙමි. කමාව දෙමි. කමාව දෙමි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යි ණය ගනුදෙනු අවසන් කළ යුතුය. බුද්ධ ධම්ම සංඝ සහ තෙරුවනින් ද එසේ ම සමාව ගෙන නිදහස් විය යුතුය.

තමන්ගේ අඩු පාඩු වැරදි තමන් සිටින දුක්ඛිත තත්ත්වය නොසිතා අනුන්ගෙන් පළිගන්නට යන ප්‍රේතියකගේ කතාවකි මේ.

රත්නපුරයේ ප්‍රකාශ් ගණකාධිකාරීවරයෙකි. ඔහුගේ බිරිය රංගා ගුරුවරියකි. ඔවුන් දෙදෙනාගේ එක ම පුතා මනුල සය හැවිරිදි ය. මනුල මාස හයක සිට කතාබහෙන් තොර විය. ඒ නිසා පාසල් අධ්‍යාපනයේ ද දුර්වලකම් මතු විය. ඔහු කතා නොකළත් අඬන්නට පුළුවන. කවුරු හෝ ‍නිවෙසට ආවොත් ඇඳක් යට හෝ සැඟවෙයි. අම්මා රංගා රාත්‍රියට හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වෙන්නට විය. මේ හේතු නිසා පවුල අවුල් වී මත ගැටුම් ද හට ගැනිණි. යහපත් ආර්ථිකයක් හා උගත්කමක් ඇති බැවින් ඔවුහු මේ ගැන නුවණින් කල්පනා කොට මනුලටත් රංගාටත් වෛද්‍ය ප්‍රතිකාර ගත්හ. වෛද්‍යවරුන්ට රෝගය අසු නොවන විට මනෝ වෛද්‍යවරුන් වෙත තල්ලුකිරීම සිරිතය. එයින් ද සුවයක් නොවීය. වත් පිළිවෙත් වලින් ද සහනයක් නොවීය.

අවසානයේ ඔවුහු ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී සාකච්ඡා කළහ. පළමු රෝග පරීක්ෂාවේදී ම දරුවා දෙපසට පැද්දී විසි වී වැටුණේ ය. එදින ඊට එහා යමක් මතු නොවූයෙන් ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ප්‍රතිකාර ආරම්භ කරන විට මනුලගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට පටන් ගත්තේ ය. ගවේෂකවරයා භූතාත්මය සමඟ අදහස් හුවමාරු කරන්නට විය.

“කවුද මේ දරුවාගේ ඇඟට ඇතුළුවෙලා අඬන්නේ?” යි ඇසීය.

“මහත්තයා, මාව පන්නන්න නේද හදන්නේ; ඒකයි අඬන්නේ” යි පිළිතුරු ලැබුණි.

“මම ඇහැව්වේ මේ කවුද කියලා?” යි නැවත ඇසීය.

“මම ටාන්‍යා මේ පුතාගෙ අම්මා.”

“බොරු කියන්න එපා. මෙ ඉන්න රංගා තමයි මේ පුතාගෙ අම්මා.”

“නෑ......... නෑ........ මමයි මේ පුතා වදපු අම්මා” යි ප්‍රේතිය උත්තර දුන්නා ය.

ප්‍රශ්න කිරීම් නතර කළ ගවේෂකවරයා මේ ගැන මවු පිය දෙදෙනාගෙන් ප්‍රශ්න කළේ ය.

“ඔව් මහත්මයා. අපි දෙන්නට දරුවො ලැබුණෙ නෑ. ළමා නිවාසයකින් මවු පියෝ නැති දරුවෙක් විදිහට මේ පුතාව වයස මාස දහයෙන් අරගෙන හදාගත්තා. හැබැයි දරුවා ලබාගත්ත ගමන් අපි දෙන්නා පිටරට ගිහින් කාලයක් ඉඳලා ආවා. මේ වෙනතුරු රහසක්. මෙයා අරන් හදා ගත්ත දරුවෙක් බව කිසි ම කෙනෙක් දන්නෙ නෑ” යි ප්‍රකාශ් කීවේ ය.

“හොඳයි. දැන් විස්තරය කියන්නැ” යි ගවේෂකවරයා ප්‍රේතියට කීවේ ය.

“ඔව් මහත්මයා. මම පාප මිත්‍ර සේවනය නිසා වරදට බැඳුණා. එහෙම යන කොට මේ පුතා උපන්නා. මගේ මවුපියන් සහෝදරයන් මාව අතහැරලයි තිබුණේ. පුතා උපදින කොට ම මම මැරුණා. මැරුණු හැටියෙ ම පුතා ළඟ උපන්නා. මගේ සීයා දරුවා ගැන අනුකම්පා කර දරුවා පරිවාස භාරයට ගිහින් දුන්නා. එතැනින් ළමා නිවාසයකට බාර දුන්නා. පරිවාසය හරහා මේ දෙන්නා මගේ පුතා ළමා නිවාසයෙන් අරගෙන රට ගියා.”

“ඉතින් මේ ළමයාගෙ තාත්තා කවුද?” යි ප්‍රේතියගෙන් ඇසීය.

“ම්........... ම්.......... හරියට ම දන්නෙ නෑ.”

“වැරැදිවැඩ කරලා කාලකන්නිවෙලා දැනුත් මේ ළමයාට පාඩුවක් නේද පෙරේතියෙ උඹ කරන්නේ?”

“මගේ දරුවා මට ඕනැ. මට අරගෙන යන්න ඕනෑ. මගේ දරුවා තියා ගෙන ඉන්නවාට මම මුන්ගෙන් පළිගන්නවා.” යි ප්‍රේතිය කීවාය.

“උඹ දැන් කොහෙද ඉන්නෙ?”

“මම ඉන්නේ මගේ දරුවා ළඟ. මුන්ගෙ ගෙදර ඇවිද ඇවිද ඉන්නවා.”

“මොනවද කරන්නේ?”

“මට කෑමක් නැහැ. මේ ගෑනිගෙ ශරීරයෙ අපද්‍රව්‍ය උරා බොනවා.”

“උඹට මොනවද ඕනෑ?”

“මට මගේ දරුවා ඕනෑ. මට අරගෙන යන්න ඕනෑ.”

“කොහොමද දරුවා ගෙනියන්නේ?”

“මරලා ගෙනියනවා.”

“උඹ ජීවත්ව ඉන්දැද්දි වල්කමේ ගිහින් දරුවො හදා ගෙන අනාථ කරලා පවුලෙ අයටත් එපා වෙලා මැරිලා ගිහින් පෙරේතියක් වුණා මදිවට මේ මිනිස්සුන්ටත් හිරිහැර කරනවා. දරුවා මරන්නයි කල්පනාව නේද?” යි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතිය දවාලන්නට විය. පිච්චෙනවා.... පිච්චෙනවා... දැවිල්ලයි දැවිල්ලයි කියද්දී ප්‍රේතිය දුර්වලවන තුරුම දවාලීය.

“අනේ මහත්තයා පුච්චන්න එපා” යි වැඳ වැටුණා ය.

“පුච්චන්න එපා නම් මේ අය අතහැර ඉවත්ව යන්න ඕනෑ.”

“පුතා හොඳට රැක බලාගන්න පොරොන්දු වෙනවා නම් මම ඉවත්වෙලා ‍යනවා” යි ප්‍රේතිය කීවා ය.

“ඔව්: ඔව්: අපි පුතාව ඇහැවගේ ආරක්ෂා කරනවා” රංගාත්, ප්‍රකාශුත් එක්වරම කීහ.

“ඔව් උඹ වගේ නරක ගති තියෙන අය නෙමෙයි, මේ වැදගත් අය. යමක් කමක් තියෙන උගත් අය. මේ අයට අයිති සියලු දේපළත් කවදා හරි මේ දරුවාට. ඊටත් වඩා හොඳට උගන්වාවි. මේ දරුවාගේ වාසනාවට, පෙර පින් මහිමයට ලැබුණු නියම මවුපිය දෙන්නෙක්. ආයෙත් මේ පළාතෙ එන්න එපා. පුච්චලා දුර්වල කරලා බැඳලා මුහුදට දමනවා” යි කී ගවේෂකවරයා පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතිය එයට සම්බන්ධ කොට අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.

රංගාටත්, ප්‍රකාශ්ටත්, මනුලටත්, නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය. මෝහයෙන් අන්ධ වූවෝ ගණන්ධකාරයේ ම දුක් විඳිති.

Comments