
බිත්තර ටික රකින්නට ගිජු ලිහිණියෙක් තැබූ සේය. අවසානයේදී සොයාගත් ආකාරයට ඉස්කෝලෙ මුරකාරයා ලෙස පත්වී ඇවිත් තිබුණේ කුඩු කාරයෙකි. කුඩු ජාවාරම් කාරයෙකි. අවුරුදු ගානක් තිස්සේ බාල වයස්කාර දරුවන් හා තරුණයන් ඉලක්ක කරගෙන කුඩු විකිණූ අපරාධකාරයෙකි.
කුඩුකාර මුරකාරයා
කුඩු විකුණන්නට පෙර කුඩුකාර මුරකාරයා විකුණා තිබුණේ කසිප්පු ය. කසිප්පු විකුණා පොලිසි ගානේ ගිය ඔහු අවසානයේ ගමෙන් පිටවී කැලණිය ප්‍රදේශයට ගොස් තිබුණේය. කැලණියේදී හෙතෙම රැකියාව කර තිබුණේ සුපිරි වෙළෙඳසලකය. මොහුට කුඩු ජාවාරමට අවශ්‍ය පරිසරය තැනෙන්නේ කැලණියේදීය.
කුඩු ජාවාරමට සම්බන්ධ වූ පසු මේ තැනැත්තා සිය ජාවාරම පවත්වාගන්නේ කුලියාපිටියේය. ජාවාරම පහසු කරෙන රස්සාවක්ද ඔහුට ලැබුණේය. ඒ කුලියාපිටිය ප්‍රධාන පාසලක මුරකාරකමය. මේ ප්‍රධාන පෙළේ පාසල පිහිටා තිබුණේ වයඹ විශ්විද්‍යාලය අසලය. ඒ නිසා ජාවාරම වඩාත් පහසු වී තිබුණේය.
මේ පුද්ගලයා සම්බන්ධව කුලියාපිටිය විෂ මත්ද්‍රව්‍යය වැටලීම් ඒකකයට ඉව වැටෙන්නේ මේ අතරය. එම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෝමතිලක ඇතුළු කණ්ඩායම විශේෂ අවධානයකින් යුතුව මේ සැකකරුව හඹා ගියේය. කාලයක් තිස්සේ කළ නිරීක්ෂණයකින් අනතුරුව ඔහුව කොටු කරගැනීමේ සැලසුම පසුගිය 18 දා ක්‍රියාත්මක විය. පොලිසිය උපාය දූතයෙක් යොදවනු ලැබුවේය. ඒ හෙරොයින් ප්‍රමාණක් මිලදී ගැනීමටය. මෙහෙයුම දියත් වන්නේ මුරකරුගේ රාජකාරි වෙලාව තුළය.
ගැනුම්කරු ලෙස පැමිණි පොලිස් දූතයා මඳක් එළියේ තබා ඔහු පාසල තුළට ගියේය. අනතුරුව ගැණුම්කරුට අවශ්‍ය කුඩු ප්‍රමාණය රැගෙන ඔහු යළිත් එළියට පැමිණියේය. ඒ සමඟම පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. රැගෙන පරීක්ෂා කළේය. හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 200ක් ඔහු සන්තකයේ තිබිණි. සැකකරු කුලියාපිටිය පොලිස් කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මඟින් අත් අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය විසින් පසුගිය 19 දා බ්‍රහස්පතින්දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය ගල්පොල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ නිරංජන් දීපාල් ද සිල්වා නැමැත්තෙකි. මුරකරු සිකුරාදා දක්වා කුලියාපිටිය පොලිස් ස්ථානයේ රඳවා තබාගැනීමට කුලියාපිටිය පොලිසිය කළ ඉල්ලීමකට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක අවසර ලබා දුන්නේය. පොලිස් ප්‍රශ්න කිරීම් වලදී මේ තැනැත්තා කියා ඇත්තේ තමන් පාසල් දරුවන්ට කුඩු විකිණුවේ නැති බවය. මේ ජාවාරමට හුරු වන්නේ කැලණිය ප්‍රදේශයේ රැකියාව කළ කාලයේදී බවය. එදා සිට කුලියාපිටියට කුඩු ගෙන ඒම සඳහා ඔහු සතියකට වරක් දෙවරක් කැලණියට යන එන බවය.
කුඩුකාරයන් නම් මේ රටේ කොතෙකුත්ය . කුඩු විකුණනන පාදඩයෝත් එපමණක්ය. කුඩු ජාවාරම්කාර කෙරුමන් හිර ගෙදර තුළ පෝරකය දකිමින්ම කුඩු ජාවාරමේය. කුඩු කිලෝ ගණන් හසුවුවත් දැන් මේ රටට එය දැනෙන්නේ නැත. පඳුරකට ගැසුවත් පනහක් හැටක් විසිවෙන කුඩු ජාලයේ පහළම තැනක ඉන්නා කුඩු බිස්නස් කාරයෙක් කුඩු ග්‍රෑම් 2 ක් සමඟ හසුවන විට රට කම්පා වන්නේය. එසේ වන්නේ මේ කුඩු ග්‍රෑම් දෙකත්, කුඩු ග්‍රෑම් දෙක සමග හසුවන මුරකාරයාත් රට පත්වී ඇති ඛේදනීය ඉරණමේ යථාර්ථය අපට පැහැදිලි කරන නිසාය.
පාසලට ගිය ජාවාරම
කුඩු ජාවාරම්කාරයා රජයේ පත්වීමක් සහිත පාසල් මුරකරුවෙකි. ඔහුට එල්ලවන චෝදනාව පාසල් දරුවන්ට කුඩු විකිණීමය. මේ රටේ ජීවත්වන සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තිගස්වනු ලැබුවේ තම දරුවා සමාජය තුළ අනාරක්ෂිතව ඇති ආකාරය පිළිබඳ අවබෝධය විසිනි. කොළඹ දී රුපියල් හයසීයයකට පමණ පහළම මට්ටමේ අලෙවි කරුවකුට විකිණෙන කුඩු මුලක් කුලියාපිටියට යනවිට රුපියල් දාහක් එක්දහස් පන්සීයක් වන්නේය. මේ මිල පාසල් දරුවෙකුට ලබා දිය හැකි මිලක් නොවේ. බැලූ බැල්මටම මේ ජාවාරම් කරු කියන කතාව ඇත්තක් ඇතැයි සිතෙන්නේ ඒ නිසාය.
කුඩා දරුවන් මතට හුරු කරගැනීම ඉලක්ක කරගත් මත් ටොෆි, තූල්, මාවා, විවිධ පෙති වර්ග පසුගිය වකවානුව පුරාම පාසල් අවටින් හමුවිය. ඒ සෑම අවස්ථාවකදීම ඒ මත්ද්‍රව්‍යයක මිල උපරිම වශයෙන් රුපියල් දෙසීයක් නොවුණි.
එහෙත් අද මත්කුඩු ජාවාරම රටේ දියත් වී ඇත්තේ අප බලාපොරොත්තු වන තරම් සරල ආකාරයට නොවේ. රට තුළ සංසරණය වන මත්කුඩු ප්‍රමාණය අතිශයින්ම විශාලය. විෂ මත්ද්‍රව්‍යය වැටලීම් ඒකකය විසින් නිශ්චිත වැටලීම් ප්‍රමාණයක් කළ පසුගිය සති කීපයේදී රට පුරා කුඩු අත්අඩංගුවට ගැනුණේ කිලෝ ගණනිණි. උඩප්පුවේ වෙරළින් පමණක් නොව, සේරුවිල ලී මෝල් වලත් කුඩු කිලෝ ගණන් මතුවන ආකාර රට බලාගෙන සිටියේය. බත්තරමුල්ලෙන් ලංකාවේ ගොඩබිමක දී හමුවන ලොකුම කුඩු තොගය හමු විය; එය කිලෝ 102 බව කියැවිණි; වටිනාකම කෝටි 125 ක් විය. වාකරේදී කෝටි 12 කුඩු හසු විය. ගුවන්තොටුපලේදී කෝටි 5 ක කුඩු තොගයක් සමඟ ජාවාරම්කාර පකිස්තානුවා අත්අඩංගුවට පත් වුණේය.
එමෙන්ම මේ වනවිට පාතාලය හරහා සිදුවන කොන්ත්‍රාත් මිනී මැරීම් ඇතුළු පාතාල කටයුතු සඳහා ගෙවීම් කරනු ලබන්නේ මුදලින් නොව, කුඩු වලිනි. රටට විශාල වශයෙන් ගලා එන මේ කුඩු තොග අලෙවි කර ව්‍යාපාර පවත්වාගෙන යෑමට කුඩුකාර මුරකාරයාගේ මට්ටමේ බෙදාහරින්නන් අවශ්‍යය.
මේ වනවිට එම බෙදාහැරීමේ කෘත්‍යය කරන වැඩි පිරිසක් කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන්ය. මේ තරුණයන් බෙදාහරින්නන් වන්නට පෙර කුඩුවලට හුරුවුණ හෝ හුරු කරන ලද ඇබ්බැහි වූ කුඩු කාරයන්ය. ඔවුන් කුඩු බෙදා හරිමින් ජංගම අලෙවිය කරන්නේ තම දෛනික කුඩු අවශ්‍යතාවට මුදල් සොයා ගැනීම සඳහාය. එබැවින්ම මේ ජාලය ශක්තිමත්ය; විශ්වාසවන්තය. බෙදාහැරීම් ජාලය නිර්මාණය කරගැනීමට කුඩු කාර මුදලාලිලා අවශ්‍ය ප්‍රමාණයක් වියදම් කරති. පාසල් දරුවන්ට මුල් අවස්ථාවලදී මිලක් නොගෙන කුඩු ඉරීමේ අවස්ථා සැපයීමට මේ බිහිසුණු ජාවාරම් කරුවන් සූදානම්ය. මුරකාර කුඩුකාරයා කියා ගියේ ඒ පණිවුඩය ය.