දියවැඩියාවට උත්තර දෙන්න හොයාගත්තු අපූරු සහල | සිළුමිණ

දියවැඩියාවට උත්තර දෙන්න හොයාගත්තු අපූරු සහල

වර්ගයක් අම්බලන්තොට වී පර්යේෂණායත‍නයෙන් හඳුන්වා දී ඇති බව පසුගියදා මාධ්‍යයේ සකාච්ඡාවට භාජනය වූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහි කළ නිරීක්ෂණ චාරිකාවකදීය. “නිරෝගා” නමින් හැඳින්වෙන මෙම සහල් වර්ගය මෙරට ප්‍රචලිත කළ යුතු බවට ද අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබිණි. ඊට හේතු වූයේ මෙම සහල් වර්ගය ආහාරයට ගත් පසුව ශරීරයට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු බැවින් රුධිරයට අව‍ශෝෂණය වන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වීමය. අද වන විට ශ්‍රී ලංකාවේ මරණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ විට ඉහළ අගයක් වාර්තා වන්නේ බෝ නොවන රෝගවලට භාජනය වීමෙනි. එනම් අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘදයාබාධ යන බෝ නොවන රෝගවලින් සිදු වන මරණ වැඩි අගයක් ගන්නා බව පෙනී යයි. “නිරෝගා” සහලෙහි වැදගත්කම ගැන කතා කළ යුතු වන්නේ එබැවිනි.

“නිරෝගා කියන සහල් වර්ගයේ ස්වාභාවය ගැන කියනවා නම් රතු සහල් වර්ගයක්, දිගටි සිහින් හැඩයක් තියෙනවා; සුවඳයි. ඒ වගේම රසවත්. ගුණාත්මක තත්ත්වය ගැන කතා කරනවා නම් මෙම සහල් වර්ගයේ ග්ලයිසීමිය අගය අඩුයි. රුධිරයට එකතුවන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වෙන්නේ ඒ හේතුව නිසයි.” යනුවෙන් පවසමින් සාකච්ඡාවට පිවිසියේ අම්බලන්තොට වී පර්යේෂණයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂ්නි හසීල් ය.

ඈ පවසන ආකාරයට වී ප්‍රභේදයක් වැඩි දියුණු කිරීම සඳහා අවුරුදු 10 ක් මුළුල්ලේ පර්යේෂණ කටයුතු සිදු කෙරේ. “නිරෝගා” එවැනි එක් පර්යේෂණයක ප්‍රතිඵලයකි. වසර 10 ක් පුරා සිදු කළ පර්යේෂණයකින් සැකසුණු වී ප්‍රභේදය වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නිර්දේශ කිරීමේ කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවය. “නිරෝගා” සහල් ප්‍රභේදයට නිර්දේශය ලැබී තිබෙන්නේ 2015 වර්ෂයේදීය මේ අනුව “නිරෝගා” සහල් ප්‍රභේදය මේ වන විට වසර තුනක් සපුරා තිබේ.

“ නිරෝගා සහල් වෙළෙඳපොළට හඳුන්වලා දීලා දැන් අවුරුදු තුනක් වෙනවා. හම්බන්තොට පැත්තේ කුඹුරුවල මේ වී වර්ගය වගා කරනවා. වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, ප්‍රදේශවලටත් අපි වී බුසල් 5-10 ප්‍රමාණයක් ලබා දුන්නා. හම්බන්තොට ගොවීන් අක්කරයට බුසල් 150 ක අස්වැන්නක් නෙළාගෙන තිබුණා. මේ වී වර්ගය ගැන ගොවීන් දැනුවත් නැහැ. ඒ වගේම පාරිභෝගිකයන් දන්නෙක් නැහැ. පාරිභෝගිකයන් දැනුවත් නම් “නිරෝගා” සහල් වෙළෙඳපො‍ළෙන් මිල දී ගනිවී‍.” යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂ්නි හසීල් සඳහන් කළාය.

එහෙත් මෙම අවස්ථාවේදී අපට පාරම්පරිකව උරුම වූ සහල් වර්ග අමතක කළ නොහැකිය. සුවදැල්, පච්ච පෙරුමාල්, කළු හීනටි, සුදු හීනටි ඉන් වර්ග කීපයක් පමණි. අපට උරුම වූ දේශීය සහල් වර්ග අතරින් මඩතවාලු, කුරුලු තුඩ, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග දියවැඩියා රෝගය පාලනය සඳහා සුදුසු බව පිළිගත් සම්මතයයි. එවැනි සහල් වර්ග වැඩි දියුණු කර, ව්‍යාප්ත කළ හැකිව තිබියදී අලුත් සහල් වර්ගයක් නිපදවන්නේ මන්දැයි අපට ඇති වන්නේ කුකුසකි. ඒ පිළිබඳව විමසනු ලැබුවේ එබැවිනි.

“ ලංකාවේ ජනතාවගේ ආකල්පයක් තියෙනවා අලුත් දේට වඩා පාරම්පරික දේ හොඳයි කියලා. අපි පාරම්පරික දේ අගය කරන්න ඕනෑ. ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒත් අපි ඒ මතම යැපිය යුතුද ? . අලුත් අලුත් දේවල් නිපදවන්න බැරිද?. පාරම්පරික සහල් වර්ගවල ගුණය තියෙනවා. පෝෂණය තියෙනවා. ඒත් ඒ වී වර්ග අස්වද්දන්න අමාරුයි. ගොයම් ගහ බිමට පාත් වෙනවා. කඩාගෙන වැටෙනවා. ලෙඩරෝගවලට ඔරොත්තු දෙන්නේ නැහැ. අනික පාරම්පරික වී වර්ග වගා කළාම අක්කරයකට වී බුසල් 30-40 ක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ගොවියාට මොකද වෙන්නේ?. ගොවියා‍ පොහොසත් කිරීමත් රටට පෝෂණයෙන් පිරුණු ගුණාත්මක දේවල් ලබා දීමත් අරමුණ කරගෙන තමයි අපි නව වී ප්‍රභේද හඳුන්වා දෙන්නේ.” යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂ්නි හසීල් විස්තර කළේ “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොවැ නොනගී” යන කුමාරතුඟුවන්ගේ කියමන සිහිපත් කරමිනි.

50 දශකයේදී පාරම්පරික වී වගා කළ නමුදු සහල් වැඩි වශයෙන් ආනයනය කිරීමට සිදු වූයේ දේශීය සහලෙහි අස්වැන්න අඩු නිසා බව පෙන්වා දෙන ඈ එයින් රටේ මුදල් විදේශයට ගලා යෑමෙන් ආර්ථීකයට සිදුවන අවාසිය පැහැදිලි කළාය. පාරම්පරික සහල් ප්‍රභේදවල ගුණය ගැන පරීක්ෂණ සිදු කරනු ලබන අම්බලන්තොට වී පර්යේෂණාතනය එවැනි ප්‍රභේද දෙසීයය ගණක් වගා කරනු ලබන්නේ ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම වටහාගෙන ඇති නිසාය.

වී පර්යේෂණ‍ායතනයෙන් හඳුන්වා දෙනු ලබන වී ප්‍රභේද කෘත්‍රීම වී නොවේ. මේවා නිපදවන්නේ ස්වභාවික වී වර්ග මුහුන් කිරීමෙනි. සහල්වල දෙමවුපියන් හඳුනාගෙන මුහුන් කිරීමෙන් බිහිවන දරු පරම්පරාව පර්යේෂණයට භාජනය කිරීමෙන් නව වී වර්ග නිපදවීම සිදු වේ. මෙම වී වර්ගවල ස්වභාව ධර්මයෙන් දායාද වන ගුණයන් ගැබ් වී තිබේ. කිසිම ආකාරයකින් දෙමුහුන් සහල්වල ගුණාත්මක අගය ඉවත් නොවන බව අවධාරණය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂ්නි හසීල් පෞද්ගලික සමාගම් විසින් දෙමුහුන් වී වර්ග ගැන මිථ්‍යා මත වපුරන බව සඳහන් කිරීමට අමතක ‍කළේ නැත.

“ ලංකාවට දෙමුහුන් වී වර්ගයක් හැටියට ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ H4 ම රජය වියදම් කරලා වී පර්යේෂණාතන පවත්වාගෙන යන්නේ රටට ප්‍ර‍‍යෝජනවත් දෙයක් බලාපොරොත්තුවෙන්. එතනදී අපි ගොවියාගේ පැත්තෙනුත් පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් හිතනවා. ඒ දෙපක්ෂයටම යහපතක් වන විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඒත් රජයේ ආයතනවලින් කරන දේවල්වලට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වේගයකින් තරගකාරී සමාගම් විසින් කරනු ලබන දේවල්වලට ප්‍රචාරය හිමි වෙනවා. සාම්ප්‍රදායික සහල් වර්ග අලෙවි කරන ආයතන වී පර්යේෂණායතන හඳුන්වා දෙන දෙමුහුන් සහල් වර්ගවල ගුණ නැහැ, සාම්ප්‍රදායික සහල් වර්ගවල තමයි පෝෂණය තියෙන්නේ කියලා ප්‍රචාරය කරනවා. දෙමුහුන් කළ පමණින් වී වර්ගවල පෝෂණය නැති කරන්න හෝ ලොකු වෙනසක් කරන්න බැහැ. අනික ස්වාභාවධර්මයෙන් පවා දෙමුහුන් වෙනවා. එහෙනම් ඒවායෙත් ගුණාත්මක තත්ත්වයන් නැති වෙන්න ඕනෑනේ. සුළු වෙනස්කමක් වුණත් ඔය කියන විදිහෙ දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. යනුවෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂ්නි හසීල් විස්තර කළේ පාරිභෝගික ජනතාවගේ සිත් තුළ පවතින දුර්මත ඉවත් කරනු පිණිසය.

වී ගොවියාගේ අස්වැන්න වැඩි කිරීම සහ රටේ ජනතාවට ගුණාත්මක බවින් යුක්ත සහල් ලබා දීමේ අරමුණින් කටයුතු කරන අම්බලන්තොට වී පර්යේෂණායතනය හඳුන්වා දී තිබෙන “නිරෝගා” සහල් නිරෝගි පරපුරකට මහඟු දායාදයකි. එහෙත් “නිරෝගා” සහල් නිෂ්පාදනය මෙරට ප්‍රචලිත නොවීම කනගාටුවට කරුණකි.

 

Comments