ගාලු ක්‍රීඩාංගණය ඉවත් කරන බව යුනෙස්කෝවට කිවුවෙ 2008 දි | සිළුමිණ

ගාලු ක්‍රීඩාංගණය ඉවත් කරන බව යුනෙස්කෝවට කිවුවෙ 2008 දි

ලෝක උරුම ස්ථානයක් හඳුනාගෙන කළමනාකාරණය කිරීමේ සංකල්පය ආරම්භ වෙන්නෙ මොන වකවානුවේ ද?

මේ සංවාදය ආරම්භ වෙන්නේ 1960 දශකයේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළේ අපේ උරුමය සහිත ස්ථානවලට ඇති තර්ජන සම්බන්ධව ඇති වෙන මේ කථිකාවට නිමිත්ත වුණේ අස්වාන් වේල්ල හදන්න ඊජිප්තු පිරමීඩයක් ඉවත් කිරීමේ සිද්ධිය. එහිදි සංස්කෘතික උරුමය ගැන පමණක් නොවෙයි, ස්වාභාවික උරුමය ගැනත් ලෝකය අවධානය යොමු කළා. ලෝක උරුම සම්මුතිය නමින් කටවහරේ එන සම්මුතිය 1972 දි ඇතිවන්නේ ඒ අනුවයි.

මිනිසා විසින් විසින් නිර්මාණය කරන ලද හෝ ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද හෝ මිනිසා හා ස්වභාවධර්මය විසින් එක්ව නිර්මාණය කරන ලද, කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් (outstanding universal value) සහිත ස්ථාන පිළිබඳව අන්තර්ජාතික සහයෝගය ලබාගෙන ලයිස්තුවක් සෑදීමේ අදහස මුල්කරගෙන තමයි එක්සත් ජාතීන් විසින් මේ සම්මුතිය හැදුවේ.

ලෝක උරුම ස්ථානයක් යුනෙස්කෝව විසින් නම් කරන ක්‍රමවේදය කුමක්ද?

සරලව කියනවා නම් තමන්ගේ භූමියෙන් ඔබ්බට ගිය විශ්වීය වටිනාකමක් සහිත උරුම බිම්කඩක් තමන්ගෙ රට ඇතුළෙ තියනවා කියලා විශ්වාස කරනවා නම් ඔවුන් ඒ සඳහා නාමයෝජනා පත්‍රයක් යුනෙස්කෝවට ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඒ නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කළ යුතු ආකාරය සම්බන්ධ නිර්නායක හා ආකෘතිය යුනෙස්කෝව විසින් ඉදිරිපත් කරලා තියනවා.

අද පවතින ආකාරයට එක් රටකට එක් උරුම භූමියක් සඳහා පමණක් අවුරුද්දකට නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ හැකියි. එහෙම නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් වුණාම ඒ සම්බන්ධව කටයුතු කරන්න ලෝක උරුම කමිටුවක් තියනවා. ඒ කමිටුව සකස් වෙන්නෙ යුනෙස්කෝවෙ රටවල් 197 දෙවසරකට වරක් එක් වී පත් කරන්නා විද්වතුන් 21 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයකින්. මේ විද්වත් මණ්ඩලය සෑම වසකරට වරක්ම එකතු වෙනවා.

ලෝක උරුමයක් නම් කිරීම සඳහා ඉදිරිපත් වන නාමයෝජනාවක් පිළිබඳ විශේෂඥ දැනුම සපයන්න අයිකොමොස්, ඊක්‍රොම් හා අයි.යූ.සී.එන් කියන ආයතන තුන තියනවා. විශේෂඥ උපදෙස් ලබාගෙන අදාළ නිර්ණායක අනුව යමින් යම් භූමියක් ලෝක උරුම ලයිස්තුවට එක් කිරීම සඳහා අවසාන තීන්දුව ගන්නෙ මේ කමිටුව. අනතුරුව ඔවුන්ට එම ලෝක උරුම ස්ථාන අධීක්ෂණයට හා නිරීක්ෂණයට බලය පැවරෙනවා.

මේ ලැයිස්තුවට තමන්ගේ රටේ තියන උරුම ස්ථානයක් ගියාට පස්සෙ ලෝක උරුම ස්ථානයක වටිනාකම ආරක්ෂා කරගෙන එය කළමනාකරණය කළ යුතු ආකාරය ගැන යුනෙස්කෝව විසින් ඉදිරිපත් කරලා තියන උපදෙස් පිළිපදින්න රජයක් බැඳිලා ඉන්නවා.

කුමක් හෝ හේතුවකින් මේ උපදෙස් පිළිපැදීම රජයක් විසින් අතපසු කළොත් යුනෙස්කෝවට කළ හැකි උපරිම දේ මොකක්ද?

කළ හැකි අවසාන දේ ලෝක උරුම ලයිස්තුවෙන් එම ස්ථානය ඉවත් කිරීම පමණයි. ඔවුන්ට අයිතියක් නෑ සම්බාධක පනවන්න.

එහෙම ඉවත් වුණොත් සිදු වෙන හානිය මොකක්ද?

ලයිස්තුවෙන් ඉවත් කළා කියලා වැඩි දෙයක් වෙන්නෙ නෑ. ලෝක උරුම ස්ථානයක් ලෙස භූමියක් ලයිස්තුගත වෙන්නේ යුනෙස්කෝවෙ වුවමනාවටම නොවෙයි. එය අදාළ රට කරන ඉල්ලීම. යුනෙස්කෝව කරන්නෙ ඒ පිළිබඳ සලකා බලලා අවශ්‍ය නිර්ණායක සපුරා තියනවා නම් එම භූමිය ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කිරීමයි. එය ඒ භූමියේ මිනිස්සුන්ගේ ඉල්ලීමක්. ඔවුන්ගේ අභිමානයට විශ්වීය ගැඹුරක් ලබා දෙන ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් හා වින්දනයන් සම්බන්ධ සංකල්පයක්.

ඒ භූමිය නිසි ලෙස කළමනාකරණය වෙන්නෙ නැති බව ලෝක උරුම කමිටුව අධීක්ෂණය කළොත් ඔවුන් අවවාද කරලා, වැරදි හදාගන්න කාලයක් දීලා ඒත් වෙන්නෙ නැත්නම් ලයිස්තුවෙන් ඉවත් කරනවා. එපමණයි. තමන් නෛතිකව බැඳිලා ඉන්න සම්මුතියක් කඩ කරලා තමන්ට ලෝකයෙන් හිමි වෙලා තියන වටිනාකම විනාශ කරගන්නවා නම් එය යුනෙස්කෝවෙ ප්‍රශ්නයක් නොවෙයි, ඔවුන්ගේ ප්‍රශ්නයක්.

ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධව මතුවෙලා තිබෙන ප්‍රශ්නය කුමක් ද?

ගාලු කොටුව ලෝක උරුම ස්ථානයක් විදිහට ලයිස්තුගත වෙන්නෙ කොටුව තුළ ඇති 17 වන සියවසට යන විශේෂ නරග සැලැසුම නිසා. මේ නගර සැලසුම අති සුවිශේෂී ජනාවාස සාම්පලයක්. සාමාන්‍යයෙන් ලෝක උරුමයක් සම්බන්ධව යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරද්දිම තියෙන්න ඕන එම භූමිය සමාජය හා බද්ධ කරමින් කළමනාකරණය කරන ක්‍රමවේදයක්. ගාලු කොටුව ගත්තොත් ගාල්ල කොටුවෙ ජනාවාස පද්ධතියට වගේම ස්මාරකය කේන්ද්‍ර කරගත් ස්වාරක්ෂක කලාපයට එකිනෙකට වෙනස් විදිහට ඒ ක්‍රමවේදය සකස් කළ යුතුව තිබුණා. එහෙත් ලෝක උරුමයක් විදිහට ගාල්ල කොටුව හෝ ස්වාරක්ෂක කලාපය කළමනාකරණය කරගන්න අවශ්‍ය ක්‍රමවේදයක් අප ඉදිරිපත් කරලා තිබුණෙ නෑ. අදත් නෑ.

මේ ගැටලුව පැන නගින්නෙ එම උරුම භූමියට පිටින් ඇති ස්වාරක්ෂක කලාපය තුළ කරන ඉදිකිරීමක් සම්බන්ධවයි. ගාල්ල ක්‍රීඩාංගණය හදන කාලේ ක්‍රියාත්මක වුණ පුරාවිද්‍යා නීතියට අනුව මේ ඉදි කිරීම යාර 400 සීමාවට වැටෙනවා. ස්මාරකයක් මුල් කරගෙන ක්‍රියාත්මක වන යාර 400 සීමාව සම්බන්ධ නීතියෙදි එම කලාපය තුළ යම් ඉදිකිරීමක් වෙනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන ඔවුන්ගේ අධීක්ෂණය යටතේ එය සිදුවිය යුතුයි. එහෙත් මේ ඉදිකිරීම් කළ අය එවැනි අවසරයක් අරගෙන නෑ කියන චෝදනාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් මතු වුණා.

ප්‍රශ්නකාරී ඉදිකිරීම වෙන්නෙ සුනාමියෙන් පස්සෙ. ඒ කියන්නෙ 2008 දි. මේ ඉදිකිරීම ගැන මුලින්ම වාර්තා වන්නෙ ඉන්දියාවෙ දිල්ලිවල තියෙන යුනෙස්කෝ කාර්යාලයට. ඔවුන් මේ සම්බන්ධව යුනෙස්කෝ ආයතනයට වාර්තා කළා.

ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු වෙන්නෙ මොනවද?

ඒ වාර්තාවෙ සඳහන් වෙනවා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙතැනින් ඉවත් කරන බවට රජය කළ සඳහනක්. ඒ අනුව වාර්තාව සපයන විශේෂඥවරයා ඉදිරිපත් කළා කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් දෙකක්. 2008 ලෝක උරුම කමිටු තීන්දුවෙ ප්‍රධානම වශයෙන්ම නිර්දේශ කරලා තිබුණෙ නීති විරෝධී කියලා කියන ගොඩනැගිලි ටික ඉවත් කරන්න කියන එක.

එතැනදි ඇතිවුණ සංවාදය මොන වගේ ද?

එදා ලෝක උරුම කමිටුව නියෝජනය කරපු බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඊශ්‍රයාල් මහාචාර්යවරයෙකු වුණු මයික් ටර්නර් කිව්වා ක්‍රිකට් කියන්නෙත් ලංකාවෙ මිනිස්සුන්ගෙ උරුමය තමයි කියලා.

2008 දි මේ ගැටලුව විසඳුණේ නැත්තෙ ඇයි?

මේ වගේ වෙලාවක යුනෙස්කෝව වගේ ආයතනයකට උත්තර දෙන්න රටක් විදිහට අපට ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ ක්‍රමවේදය අපට තිබුණෙ නෑ. ඒ හින්දා ආයෙ වර්ෂ 2009 දිත් ලෝක උරුම කමිටුව රජයෙන් ඇහුවා යුනෙස්කෝ නිර්දේශ ගැන රජය පැත්තෙන් මොනවද කියන්නෙ කියලා.

ඒ වෙලාවෙ රජය පැත්තෙන් යුනෙස්කෝවට දැනුම් දීලා තිබුණෙ ගාලු ක්‍රීඩාංගණය එතැනින් ඉවත් කරනවා කියලා. එතකොට යුනෙස්කෝ එකෙන් කිවුවා ක්‍රීඩාංගණය මෙතැනින් ඉවත් වෙනවා නම් මේ ගොඩනැගිලි කඩන්න හදිස්සි වෙන්න ඕන නෑ කියලා.

ඒත් කිසිම දෙයක් වෙන්නෙ නැති නිසා වර්ෂ 2010 තවත් යුනෙස්කෝ කණ්ඩායමක් ස්ථානය නිරීක්ෂණය කරන්න ආවා. ඒ ආපු විශේෂඥවරයාට තේරුණා මෙතැන කිසි දෙයක් වෙන්නෙ නෑ කියලා. ඒ නිසා ඔහු මේ විදිහෙ වාර්තාවක් ඉදිරිපත් කළා. එහි සඳහන් වෙන්නෙ

“ඔවුන් සමහර ගොඩනැගිලි අඩු කරලා තියනවා. නමුත් ප්‍රධාන ක්‍රීඩාගාරය රාජපක්ෂ ක්‍රීඩාගාරය කියලා නම් කරලා තියනවා. වර්ෂ 2007 දි විවෘත කළ මේ ගොඩනැගිල්ල සුනාමිය සිහිවෙන්න හැදූ ස්මාරකයක් ලෙසයි ඔවුන් හඳුන්වන්නෙ. එමෙන්ම මේ ගොඩනැගිල්ල තියෙන්නෙ ස්මාරක තුළ නොව පිටත ස්වරාක්ෂක කලාපයෙ. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනාව අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සූරියවැව හදනවා කියලා. එතකොට මේ ප්‍රශ්නය ඉවරයි. දැන් කළ යුත්තේ මෙතැන අලුතින් ගොඩනැගිලි හදන්න එකඟ නොවෙන එක විතරයි කියලා. නව ක්‍රීඩාංගණය හැදුවට පස්සෙ අවශ්‍ය නම් නීති විරෝධී ගොඩනැගිලි ඉවත් කරන්න පුළුවන්” කියලා.

ක්‍රීඩාංගණයෙ අනවසර ඉදිකිරීම් නිසා ගාලු කොටුව ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරීමේ යෝජනාවක් යුනෙස්කෝවෙ ගෙනත් තිබුණ ද?

යුනෙස්කෝව නම් එදා සිට අද දක්වා කිසිම වේලාවක ඒ වගේ තීන්දුවක් අරන් තිබුණෙ නෑ. වර්ෂ 2010 දි දුන්න තීන්දුවෙන් පස්සේ ඔවුන් ගාල්ල ගැන කිසිදෙයක් කියන්නෙ නෑ. ඔවුන් කියන්නෙ අලුත් ගොඩනැගිල්ලක් හදනවා නම් ඒකට අවසර ගන්න කියලා. වර්ෂ 2011 දි යුනෙස්කෝව මේ ගැන සාකච්ඡා කරන්නෙ අවුරුදු දෙකක් තිස්සෙ කිසිම වාර්තාවක් අපි ඉදිරිපත් කරලා නැති නිසා. වර්ෂ 2012 දි ඔවුන් කියනවා ගාලු ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධව කිසිම දෙයක් වෙන්නෙ නෑ කියලා. 2013 සාකච්ඡාවෙදි ලංකාවෙ පිළිවෙත ගැන ඔවුන් මතක් කරනවා. ඔවුන් එතැනදි කියනවා අපි කැමතියි ලංකා රජයෙන් මේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගණය ගැන කියන්නෙ මොනවද දැනගන්න කියලා. අවශ්‍ය නම් කවුරු කවුරුත් එකතු වෙලා දැන්වත් මේ සම්බන්ධව රට වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් හොඳයි කියන හැඟීම මා තුළ තියනවා.

ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරද්දි ඔවුන් නගන ශාස්ත්‍රීය කාරණා සම්බන්ධව අපි මේ තරම් නිරුත්තර වෙන්නෙ ඇයි.

ඒකට හේතුවක් තියනවා. මේ රට ඇතුළෙ අපට ලෝක උරුම ස්ථාන අටක් තියනවා. ඒත් ඒ ලෝක උරුමය පිළිගත් නිර්ණායක ඇතුළෙ කළමනාකරණය කරන්න, යුනෙස්කෝ එක එක්ක ගනුදෙනු කරන්න කිසිම ක්‍රමවේදයක් අපට නෑ. ඒ හින්දා යුනෙස්කෝව එවන යෝජනා ක්‍රියාත්මක කරන්න කෙනෙක් නෑ. ඊට වගකියන්න කෙනෙක් නෑ.

ඔබ දන්නවද?. මේ වනවිට අපේ උරුමය සම්බන්ධ බරපතළම ප්‍රශ්නය ඇවිත් තියෙන්නෙ ගාල්ලෙ නොවෙයි. දඹුල්ලෙ. දඹුල්ලෙ ලෙනේ සිතුවම් බරපතළ අවදානමක. යුනෙස්කෝව දඹුල්ල සම්බන්ධව නම් කියලා තියනවා ඔවුන්ගෙ යෝජනාවල ප්‍රගතිය ලබන අවුරුද්දෙ පෙබරවාරි 1 වෙනකොට පෙන්වන්න බැරි නම් මේ ලෝක උරුම ස්ථානය අවදානම් කලාපයට යොමු කරනවා කියලා.

අපට මෙහෙම වෙන්නෙ ලෝක උරුම කළමනාකරණය සම්බන්ධව ලෝකයම පිළිගත්තු විශිෂ්ට විද්වතුන් අප අතර ඉද්දි.

ආචාර්ය ගාමිණී විජේසූරිය ලෝකඋරුම කළමනාකරණය සම්බන්ධව

දැනට ලෝකයේ සිටින විශිෂ්ටම විද්වතුන්ගෙන් කෙනෙකි. රෝමයේ පිහිටි සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ (ICCROM) ලෝක උරුම කටයුතු පිළිබඳව නියෝජ්‍ය සම්බන්ධීකරණ

නිලධාරියා ලෙස වර්ෂ 2014 සිට 2017 දක්වා ඔහු කටයුතු කළේය.

ලෝක උරුම කමිටුවට විශේෂ උපදෙස් සපයන ප්‍රධානම ආයතනය වන ICOMOS ආයතනයේ පුරාවිද්‍යා කළමනාකරණය පිළිබඳ විද්‍යාත්මක

කමිටුවේ දකුණු ආසියාතික කලාපයේ උප සභාපතිවරයා ලෙස මෙන්ම

ලේකම්වරයා ලෙසද, ලෝක පුරාවිද්‍යා කොංග්‍රසයේ උපසභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. ඔහු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය සම්බන්ධව යුනෙස්කෝව ඇති කළ සංවාදය නිරීක්ෂණය කළ විද්වතුන්ගෙන් කෙනෙකි. මේ සංවාදය අද වන විට මේ රටේ ලෝක උරුමය සම්බන්ධව ඇති වී ඇති ගැටලු මුල් කරගෙන පවත්වන ලද්දකි.

 

Comments