කෝටි ගණන් ගිල රට පැන ‘ගල්’ වූ සරසවි ඇදුරෝ | සිළුමිණ

කෝටි ගණන් ගිල රට පැන ‘ගල්’ වූ සරසවි ඇදුරෝ

ලංකාවේ පවත්වන විභාගවලට ඇති ජාත්‍යන්තර පිළිගැනීම නිසා ශ්‍රි ලාංකීය විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් බිහිවන සිසුන් පමණක් නොව ඒවායින් බිහිවූ සරසවි ඇදුරන්ටද ජාත්‍යන්තර ලෝකය තුළ ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. මේ පිරිසට ජාත්‍යන්තරය තුළ ඇති ඉල්ලුම කෙසේ වේ දැයි පැවැසුවොත් විදේශ රාජ්‍යයන් ඉතා ඉහළ වැටුප් ලබා දෙමින් මේ පිරිසගේ සේවය ලබා ගන්නට කැමැතිය. එය රටක් වශයෙන් අපේ ආඩම්බරයටද කරුණකි.

නමුත් මේ කතාන්තරයේ තවත් පැත්තක් වෙයි. ඒ වගකීම හා යුතුකම් අතර කතාවකි. නමුත් රටේ දුප්පත් ජනතාවගේ මුදලින් වැඩිදුර අධ්‍යාපනය ලද මේ පිරිසෙන් ඉතා සුළු පිරිසක් සිය වගකීම් හා යුතුකම් වලින් පැහැර හැරීමේ කතාවක් පසුගියදා මාධ්‍යයට අනාවරණය කළේ උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාය. ඒ මේ වන විට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනයම් අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් උදෙසා විදේශගත වූ මේ පිරිසෙන් 486 දෙනෙකු නැවතත් තමන් උගත් රටට සේවය ලබා දීමේ වගකීම පැහැර ඇති බවයි. එනම් මේ විශ්වවිද්‍යාල ඇදුරන් 486 දෙනා විදෙස්ගත වීමේදි අත්සන් කළ ගිවිසුම කඩ කර ඇති අතර නැවතත් ලංකාවට පැමිණ නැත.

ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් මේ පිරිසෙන් රුපියල් මිලියන 813 ක් විශ්වවිද්‍යාල පද්ධතියට අය කැර ගැනීමට සිදුව තිබෙන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන පරිදි එයින් පිරිසක් ගිවිසුම්ගත දඩ මුදල් මේ වන විටත් ගෙවමින් සිටින බවයි. නමුත් ප්‍රශ්නයේ බරපතළකම වී ඇත්තේ ගිවිසුම්ගත දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් පමණක් නොව මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට ඉන් ඇතිවි ඇති අහිතකර ප්‍රතිලාභයයි.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ඇදුරෙකු සිය අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන්නේ එය සිය තනතුරට අවශ්‍යම සුදුසුකමක් වන නිසාය. එක් අතකින් ඔහු දැනුමින් සපිරි පුද්ගලයකු වුවහොත් ඒ ලාභය රටටත් රටේ දරුවන්ටත්ය. මේ නිසා සෑම වසරකම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධති 15 න්ම විවිධ විෂය ක්ෂේත්‍රයන් උදෙසා විවිධ අධ්‍යාපන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනිමට විවිධ ඇදුරෝ, විවිධ කාලයන්වලට, විවිධ රටවලට විදේශගත වෙති. එසේම එයින් බොහෝමයක් ලංකාවේ මුදලින්ම සිදුවන අතර වැටුප් හා රාජකාරි නිවාඩුද ඒ වෙනුවෙන්ම හිමි වෙති.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි දළ වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය ,මහාචාර්යවරුන් වසරකට 160 දෙනෙකු Phd හා Master උපාධි කටයුතු වෙනුවෙන් විදෙස් ගතවෙයි. එසේම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, කතිකාචාර්යවරු මෙන්ම රෙජිස්ටාර් වැනි තනතුරු දරන අය වසරකට 4900 ක් පමණ විදෙස්ගත වෙති. මෙයින් බහුතරයක් යුරෝපා රටවලට යන අතර තවත් පිරිස් ආසියානු රටවල් වන ඉන්දියාව, චීනය මෙන්ම මැලේසියාවටද යති.

“ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ඇදුරන්ට ශිෂ්‍යත්ව ක්‍රම කිහිපයකට ලැබෙනවා. විදේශ රටවලින් ලැබෙන ශිෂ්‍යත්ව තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙන්ම උසස් අධ්‍යාපන ආයතනය විසින් ලබා දෙන ශිෂ්‍යත්ව තියෙනවා. එහෙමත් නැති නම් තම තමන්ගේ හිතවත්කම් හා ඉල්ලීම් අනුව ලබාගන්නා ශිෂ්‍යත්ව තියෙනවා. මේ කොයි ආකාරයෙන් ගියත් ඒ අය යන්නේ අපේ රටේ මුදලින්. මොකද මේ අය වෙනුවෙන් ඒ කාලයට විශ්වවිද්‍යාලය වැටුප් ගෙවනවා. ඒ වගේම ආජකාරි නිවාඩු ලබා දෙනවා. එසේම සමහර අවස්ථා වල අනෙකුත් සියලු වියදම්ද ගෙවනවා. එසේ රට යෑමේදි විශ්වවිද්‍යාල ඇදුරන් ගිවිසුම්ගත විම අනිවාර්ය දෙයක්. නමුත් එසේ ගිවිසුම් ගත වුවත් මේ වන විට ඒ ගිය අයගෙන් 486 දෙනෙක් මේ ගිවිසුම කඩ කර අවසන්. “ එසේ පැවැසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි.

අද විශ්වවිද්‍යාල ඇදුරන් කිහිප දෙනෙකු රටේ මුදලින් විදෙස්ගත වූ පසු නැවතත් ලංකාවට පැමිණ නැත. බරපතළ ගැටලුව ඇත්තේ එතැනය.

“ විදෙස් ශිෂ්‍යත්වයකට යනවා නම් තම විශ්වවිද්‍යාලයේ පීඨ කමිටුවෙන් අවසර ගත යුතුයි. එසේම අධ්‍යයන මණ්ඩල කවුන්සිලයෙන්ද අවසර ගත යුතුයි. ඒ වගේම ඔවුන් විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙන්ද අවසර ගත යුතුයි. ඉන්පසු ඒ අය මුල්‍යමය බැඳීමක් හා සේවා බැඳීමක් මත ගිවිසුම්ගත වෙනවා. මේ ගිවිසුමේ අන්තර්ගත නීතිරීති විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙනවා. එසේම මේ ගිවිසුමට අනුව ඔහු විදෙස්ගත වු පසු නිශ්චිත කාලයේදි නැවත නොපැමිණියේ නම් ඔහු මේ ගිවිසුම උල්ලංඝනය කළ පුද්ගලයන් වෙනවා. මේ අනුව ඔහුට විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ නීති රීතීන්ට අනුව සැකසුණු දඩ මුදල ගෙවීමට සිදුවෙනවා.

ඔහුගේ ගිවිසුමට ඇපකාරයන් සම්බන්ධ වෙනවා. අන්තිමේදි මේ ඇපකාරයනුත් අමාරුවේ වැටෙනවා. විදේශගව වු ඔහු හෝ ඇය යළිත් සේවයට ලංකාවට නොපැමිණෙන්නේ නම් ගෙන්වා ගැනීමේ ක්‍රමවේද මේ ගිවිසුමේ අඩංගු වෙනවා. ඒයා සාර්ථක නොවුවහොත් අවසන් පියවර වශයෙන් විශ්වවිද්‍යාලයට සිදුවෙනවා අධිකරණයේ පිහිට පතන්නට. නමුත් රටක් වශයෙන් මෙයින් දරුවන්ට සිදුවන පාඩුව මුදලින් තක්සේරු කරන්න බැහැ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ඇදුරෙකුට සප්ත වාර්ෂික නිවාඩු හිමියි. ඊට අමතරව අවශ්‍යතා අනුව විදේශ නිවාඩු හිමියි. කෙසේ වුවත් මේ අය රටේ මුදලින් නොගියත් මේ අයට රාජකාරි නිවාඩු හිමි වෙනවා වගේම මේ අය වෙනුවෙන් ඒ කාලයට වැටුප් ගෙවීමක් සිදුකරනවා. මේ නිසා ඔහු රටට හා විශ්වවිද්‍යාලයට බැඳිලයි, මේ සංචාරයට යන්නේ....“ ඒ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතාය.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් එසේ විදෙස්ගත වුවද කොතරම් ගිවිසුම් ගත වුවද නැවත ලංකාවට නොපැමිණිමේ අදහස ඇතිවන්නේ විදෙස්ගත වු පසුවය. බොහෝ විට එරටදී තමන්ට ස්ථිර වැටුපක් හිමිවන රැකියාවක් ලැබීම, තම දරුවන් එරට පාසල්වලට ඇතුළත් කිරිම ආදි පෞද්ගලික කරුණු කාරණා මත ඒ අයට මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ලැබු වරප්‍රසාද මෙන්ම මෙරට දරුවන්ගේ අනාගතය ගැනද අමතක කරති.

“ සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සුදුසුකම් සහිත විශ්වවද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් විශ්වවිද්‍යාලකට සිටීම ඒ ඒ විශ්වවිද්‍යාලයකට හරිම වැදගත්. ඒ වගේම අපේ රටේ සරසවි ඇදුරෙකුට ශිෂ්‍යත්වයක් ලබා දිම ඒ රටටත් හරිම වැදගත්. නමුත් මේ අය විදේශ රටවලට ගියා කියලා අපි ඒ අයගේ වැටුප් නවත්වන්නේ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ඇදුරෙකුගේ සප්ත වාර්ෂික නිවාඩුවේදි වසර 6 ක්ම මේ අයට වැටුප් ගෙවනවා. එක වසරයි වැටුප් රහිත නිවාඩු හිමි වන්නේ. මේ අවුරුදු 6 ම ගෙවන්නේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි. මේ නිසා විදෙස් ගත වීමේදි ඔහුට සිදුවෙනවා, මුල්‍යමය හා සේවා ගිවිසුමකට යටත් වෙන්න. ඒ ගිවිසුමට අනුව ඔහු පැමිණ නිශ්චිත කාලයක් විශ්වවිද්‍යාලයේ සේවය කළ යුතු වෙනවා.

1996 දි මම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ජපානයට ගිය අවස්ථාවේදි මගේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් ලක්ෂ 98 යි. එය තීරණය වෙන්නේ තමන්ට ලැබෙන වැටුප හා ශිෂ්‍යත්වයේ වටිනාකම අනුව. ඒත් එදා අපි මේ ගිවිසුම කැඩුවේ නැහැ. නිශ්චිත දිනයේ ඇවිත් වසර 7 ක් සේවය දුන්පසු මේ බැදුම්කරය ඉබේම අහෝසි වෙලා ගියා. එදා මම මෙය කැඩුවා නම් රුපියල් ලක්ෂ 98 ක් මට ගෙවන්න සිදුවෙනවා. යම් ඇදුරෙකු විදෙස්ගත වුවොත් ඔහුට වැටුප් ගෙවන නිසා මේ වෙනුවෙන් වෙන අයෙකු බඳවා ගැනීමේ හැකියාව විශ්වවිද්‍යාලයට නැහැ. මේ නිසා ඔහු සේවය කරන අංශයේ අනෙකුත් අය ඔහු වෙනුවෙන් වැඩ බැලිය යුතුයි. සමහර විට එක් අංශයකින් දෙතුන් දෙනෙක් විදේශ ගත වුවත් ඉන්න අයම මේ අයගේ වැඩ බැලිය යුතු වෙනවා. මේ නිසා ඒ අයට වෙන්ත් දේවල් මෙන්ම පර්යේෂණ ආදිය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

අන්තිමේදි මේ ගිය අය නෝනට බබා ලැබුණා කියනවා, දරුවගේ ඉස්කෝලේ ගැන කියනවා. නැතිනම් දරුවගේ විභාගේ කියනවා, නැතිනම් අසනීප වුණා කියනවා. මේ වගේ වැල් වටාරම් කියලා නෑවිත් ඉන්නවා. තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටුණු පසු අන්තිමේදි විශ්වවිද්‍යාලය මතම වරද පටවනවා. නමුත් කිහිප දෙනෙක් ගිවිසුම්ගත මුදල් ගෙවනවා. ඒත් සමහරු දුරකථන, ඊමේල්, ලිපිනයන් සියල්ල වෙනස් කරනවා. කෝටි ගණනක ප්‍රතිලාභ අරගෙන අන්තිමේ හැමෝම අමාරුවේ දානවා. ඒත් එකක් පැවැසිය යුතුයි. මේ හැමෝම නොමෙයි . අතලොස්සක් පමණයි. ඒවගේම මෙසේ යළි නෑවිත් ගිවිසුම්ගත මුදල් ගෙවා අවසන් කර ලංකාවේ සිසුන්ට එරට සිට උදවු කරන පිරිසකුත් ඉන්නවා. ඇත්තෙන්ම ඒ අය රටට වාසනාවක්. නමුත් එසේ නොකරන පිරිස රටට බරක්...“ඒ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි විශ්වවිද්‍යාල ඇඳුරෙකුට Phd උපාධි සුදුසුකම් ලබා ගන්නට දළ වශයෙන් වසර 2-3 ක් විදෙස්ගතව සිටීමට සිදුවෙයි. Master උපාධිය ලබා ගැනීම අවම වශයෙන් අවුරුදු 1-2 ක් සිටීමට සිදුවෙයි. එසේම ඩිප්ලෝමා සඳහා මාස 6 සිට අවුරුද 1 ක් දක්වා සිටිමට සිදුවෙයි. නමුත් මෙය අවස්ථානූකූලව වෙනස්වන සුළුය. නමුත් බොහෝමයක් විශ්වවිද්‍යාල තුළ විශ්වවිද්‍යාල ඉතිහාසයේම මෙවැනි ගිවිසුම්ගත මුදල් නොගෙවූ පිරිස්ද ඇති බව සැලය.

“යම් අයෙකු ශිෂ්‍යත්වයකට රට යනවා නම් එම ශිෂ්‍යත්වයේ වටිනාකම, එකි කාලයට ගෙවන වැටුප් හා දීමනා මෙන්ම නිවාඩු ද මෙම ගිවිසුමට ඇතුළත්. එසේම එසේම ගිවිසුම් ගතකාලය අවුරුදු 2 ක් නම් ඔහු එවැනි හතර ගුණයක පමණ කාලයක් නැවත පැමිණ සේවය කළ යුතුයි. මේ ගිවිසුම ගණනය කරන ක්‍රමවේදය එකිනෙකට වෙනස්. විශ්වවිද්‍යාල ඇදුරෙකු ශිෂ්‍යත්වයකට ගොස් සිටියදි ඔහු වෙනුවෙන් එරට සිටින සුපවයිසර් හරහා මාස 6 න් 6ට අපි ප්‍රගතිය වාර්තා ගෙන්වා ගන්නවා. විදේශගත ඔහුගෙන් පිළිතුරක් නැති නම් අපි ඒ පිළිබඳ විමසීම් කරනවා. ඔහු නියමිත දිනට ආවේ නැති නම් අපි දැනුම් දෙනවා නියමිත දිනට පැමිණෙන ලෙස. මේ ලියුමේ පිටපත් ඇපකාරයන්ටත් යැවෙනවා. අන්තිමේදි මේ සියල්ලටම සාර්ථක පිළිතුරක් නැතිනම් අපි අධිකරණයට යනවා. ඇපකාරයන්ටත් එක්කයි නඩු දාන්නේ. අපේ විශ්වවිද්‍යාල වල මෙවගේ අය 25 ත් 30 ක් විතර ඉන්නවා. ඒත් එයින් පිරිසක් දඩ මුදල් ගෙවමින් ඉන්නවා. ඉස්සර කතිකාචාර්යවරු බඳවා ගත්තේ උපාධිය ඉහළින් සමත් අය. මන්ද පශ්චාත් උපාධි සුදුසුකම් ඇති අය අඩු නිසා. නමුත් දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තනතුරු සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් ඇති අය ඕන තරම් ඉන්නවා. ඒ අය බඳවා ගැනීමෙන් මේ ප්‍රශ්නයට විසදුම් සොයා ගත හැකියි. මේ අය කරන්නේ ජාතික අපරාධයක්...“ ඒ කලණිය විශ්වවිද්‍යාලයේ අදහසයි.

නිදහස් අධ්‍යාපනයෙන් උගත් බොහෝ දෙනෙක් මේ අපරාධයට දායක වන්නේ නැත. බහුතර පිරිසක් එවැනි උතුම් ගුණාංගයන්ගෙන් සපිරි ආචාර්ය මහාචාර්යවරු පිරිසකි. ඔවුන් නිදහස් අධ්‍යාපනයට බරක් නැත. ඔවුන් රටේ මුදල් කිසිසේත් සිය පෞද්ගලික ලාභ අපේක්ෂාවන්ට වෙන්කර ගන්නේ නැත. ඇත්තෙන්ම ඔවුහු ගුරු දෙවිවරුය. ආරක්ෂක හමුදාවන්හි මෙවැනි ගිවිසුම්ගත නීති කඩ කළ විට ඔවුහු ගුවන්තොටුපළේදිම අත්අඩංගුවට ගැනෙති. නමුත් අපේ රටේ තවමත් එවන් නීතියක් නැත. එහෙත් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙ සූදානම් වන්නේ මෙම දඩ මුදල් අය කර ගැනීමේ කටයුතු වේගවත් කරන්නටය. ඒ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය.

“මේ වන විට අපි මේ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් කරමින් යනවා. ඉදිරියේදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි, උසස් අධ්‍යාපන කොමිසමයි එකතු වෙලා මේ කටයුතු විධිමත්ව අධීක්ෂණයකින් යුතුව කරන්න යාන්ත්‍රණයක් සකසනවා. ඉදිරියේදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟයි ගිවිසුම් ගත වන්නේ. මේවා අපි අය කර ගත යුතුයි. මේ මුදල් රටේ අහිංසක ජනතාවගේ මුදල්. මේ නිසා දරුවන්ගේ වටිනා කාලය විනාශ වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදි මේ වගේ කටයුතු සිදු නොවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා....“ ඒ උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපතක්ෂ මහතාය.

රටින් බිහි කළ බුද්ධිමය දේපළ අයිති රටටය. විශ්වවිද්‍යාල ඇදුරෙකු බිහි කරන්නට විය පැහැදම් වන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැයේ දරුවන්ට වෙන් කළ මුදල් පමණි. විදෙස් ශිෂ්‍යත්ව ලැබ දැනුමින් පෝෂණය වීමේ කිසිදු වැරුද්දක් නැත. එහෙත් රටේ දරුවන්, ලොවම පිළිගත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇපයට තබා ගනිමින් එසේ කිරීම උගතුන්ට තරම් නොවටී.

Comments