
පෑලියගොඩින් රාජගිරියට විනාඩි 3යි
කැලණි පාලමේ සිට විනාඩි 4න් ගාලු මුවදොරට
ඉඟුරුකඩේ හන්දියෙන් වරායට වරායෙන් මල්වත්ත පාරට
කොළඹ නගරයට දිනකට ඇතුළු වන වාහන සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවෙමින් පවතින හෙයින් ඒ ගැටලුවට කාලාන්තරයක් තිස්සේම විසඳුම් සොයන්නට පසුගිය රජයන් විසින් කටයුතු කරන ලදී. කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදි කිරීමට යෝජනා වූයේ ද ඒ අතරය. කොළඹ පිටත වටරවුම් මාර්ගය විවෘත වූ පසුව කොළඹ හා තදාසන්න නගරවල අධික වාහන තදබදය අවසන් වනු ඇතැයි සිතුවද ඒ මාර්ගය විවෘත කළ පසුව වුවද එවැන්නක් සිදු වන බවක් නම් පෙනෙන්නට නැත.
කොට්ටාව සහ කඩුවෙල අතර හා කඩුවෙල සිට කඩවත අතර කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අදියර දෙකක් මේ වන විටත් විවෘතව ඇති අතර එහි අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය මාර්ගයද ලබන වසරේ විවෘත කෙරේ.
පළමුවන හා දෙවන අදියර විවෘත කර ඇතත් රථ වාහන තදබදය එන්න එන්නම වැඩි වන හෙයින් එම අධිවේගී මාර්ගයේද තවත් වසර දෙක තුනක් යන විට සාමාන්‍ය පරිදි ගමන් කළ නොහැකි තත්ත්වයට පත් වන බවට මේ වන විටත් ලකුණු පහළව තිබේ.
විශේෂයෙන්ම කොළඹ නගරයේ හා ආසන්න නගරවල පවත්නා අධින වාහන තදබදයට ස්ථාවර පිළියමක් සොයන්නට කාලාන්තරයක් තිස්සේම කටයුතු කළත් ඒ සඳහා ස්ථාවර විසඳුමක් පෙනෙන මානයක නොවීය. මේ නිසා විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා මහ නගර රථ වාහන තදබදයෙන් තොරව ජනතාවට කඩිනමින් වැඩ කටයුතු කර ගැනීම පහසු කිරීම පිණිස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අරඹන ලදී.
ඒ අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම කොළඹ හා සදාසන්න නගරවල අධික රථවාහන තදබදය මැඬලීම පිණිස පියවර රැසක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන ලදී.
එහි පළමු පියවර වූයේ දුම්රිය සේවාව සංවර්ධනය කර ඒ හරහා මඟී සේවාව තර කළ නොහැකි මාර්ග හඳුනාගෙන එම මාර්ගයන් සඳහා සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියක් ස්ථාපනය කිරීමයි. ඒ අනුව මාලඹේ සිට පිටකොටුව දක්වා වන මාර්ගය හා ඒ හා සම්බන්ධ තවත් සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියක් සකස් කිරීමට ජපානයේ ආධාර ඇතිව එම සංවර්ධන ක්‍රියාදාමයේ මුල් අදියර ආරම්භ කරන ලදී.
තදබදය මැඬලීමේ මීළග පියවර ලෙසින් සිදු කරන ලද්දේ අධිවේගී ගුවන් මාර්ග ඉදි කිරීමට පියවර ගැනීමයි. ඒ යටතේ විශේෂයෙන්ම කොළඹ කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණ කොළඹ නගරයට ඍජුව අධිවේගි මාර්ගයෙන්ම ඇතුළු විය හැකි ක්‍රමවේදයක් අනුව මේ මාර්ග ස්ථාපනය කිරීමට අදාළ සැලසුම් සකස් කරන ලදී.
කඩිනමින් මේ මාර්ග කටයුතු ඉදි කිරීම කළ යුතු බවත් ඒ මාර්ග පද්ධතිය මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සැලකිල්ලට ගෙන සකස් කළ යුතු බවටත් යෝජනා කෙරිණි.
ඒ අනුව අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ විය හැකි ආකාරයෙන් මෙන්ම කොළඹ නගරයටම පැමිණිය හැකි ලෙසින් අධිවේගී ගුවන් මාර්ග සංකල්පයක් ගෙන එන ලදී. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පැමිණ ඍජුවම කොළඹ නගරය දක්වාම පැමිණිය හැකි ගුවන් මාර්ගයක් හා මෙරට අධිකම තදබදයක් ඇති රාජගිරිය බත්තරමුල්ල මාර්ගය ගුවන් අධිවේගී මාර්ගයක් ඔස්සේ සංවර්ධනය කිරීමට යෝජනා විය.
ඒ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මෙහිලා අගය කළ යුත්තකි. එසේම ඒ සඳහා මෙරට ජනතා මුදල් හෝ ණය ආධාර ලබා ගෙන ඒවා වැය කිරීමකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධතා ( P P P) සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ මේ ගුවන් අධිවේගී මාර්ග ඉදි කෙරෙන අතර කටුනායක සිට පැමිණෙන අධිවේගී මාර්ගයේ නිමාවෙන් නව කැලණි පාලමක් මංතීරු 6කින් ඉදිවන අතර ඒ පාලම සහ ඒ හා සම්බන්ධිත කෙටි මාර්ගය අවසන් වීමෙන් පසුව මේ ගුවන් අධිවේගී මාර්ග ඉදි කෙරේ.
ගුවන් අධිවේගී මාර්ගයේ එක් මාර්ගයක් ඉගුරුකඩේ හන්දිය අසලින් ආරම්භ වී කොළඹ වරායේ මාර්ගයට ඉහළින් ගාලු මුවදොර (පෝර්ට් සිටි යාබඳව) නිමාවට පත් වේ.
අනෙක් මාර්ගය අදියර දෙකකින් ඉදි වන අතර 1 අදියර යටතේ නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදි කෙරෙන අතර බේස්ලයින් මාර්ගයෙන්ද ඒ සඳහා පිවිසීමට පහසුකම් සැලසෙනු ඇත.
එහි දෙවන අදියර රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරේ. අතුරුගිරිය අධිවේගී පිවිසුම දක්වාම මේ මාර්ගය ඉදි කිරීමට යෝජිත අතර එම මාර්ගය නිමා වීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා හම්බන්තොට සිට පැමිණෙන වාහනවලට අතුරුගිරියෙන් මේ නව ගුවන් අධිවේගී මාර්ගය හරහා කොළඹ නගරයටම පිවිසිය හැකිය.
නව කැලණි පාලමේ සිට කොළඹ නගරයේ ගාලු මුවදොර දක්වා පැමිණෙන අධිවේගී ගුවන් මාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක් වූ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.එච්.එම්. නිසාර් මහතා පැවසුවේ මේ ගුවන් අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදු වන ලොකුම පහසුව වන්නේ එම මාර්ගය වරාය පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් ගමන් ගන්නා නිසා ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලු කිසිවක් ඇති නොවන බවයි.
මං තීරු 4කින් යුක්තව ඉදිවන එම මාර්ගය දිගින් කිලෝමීටර් 5.3ක් වන අතර මාර්ගය ඉදි කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බවද ඒ මහතා කීය. ඒ අනුව නව කැලණි පාලමේ සිට විනාඩි 4කින් පමණ කොළඹ කොටුවට ළගා විය හැකිය
ඉඟුරු කඩේ හන්දියෙන් ඇරැඹෙන මේ මාර්ගයෙන් වරායට පිවිසීමට හා වරායෙන් ඇතුළු වීමට පිවිසුම් මාර්ග ඉදි කෙරේ. එසේම මල්වත්ත පාරේ අවසානයට වන්නට ඔරලෝසු කණුව අසල කෙළින් වීදිය ආරම්භයට මේ අධිවේගී මඟෙන් පිවිසුම් මාර්ගයක් ස්ථාපනය කෙරෙන අතර මාර්ගය ගාලු මුවදොර පෝර්ට් සිටි අසලින් අවසන් වනු ඇත.
මාර්ගය සෑදීමට අදාළ ටෙන්ඩර් මේ වන විට විවෘතව ඇති අතර ටෙන්ඩර් පිරිනැමූ විගස මාර්ගය තැනීමේ කටයුතු ආරම්භ කරනු ලබන බවත් නිසාර් මහතා පැවසීය. මේ මාර්ගය ඉදි කිරීමේදී ජනතාවට කිසිදු කරදරයකින් බාධකයකින් තොරව ගමන් කළ හැකි වන්නේ එය වරායේ ප්‍රධාන මාර්ගයට ඉහළින් ඉදි වන නිසාය.
මල්වත්ත පාර අවසානයේ පිවිසුම් මාර්ගය ඍජුවම කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට යොමු වන නිසා ගැටලුවකින් බාධාවකින් තොරව කොළඹින් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයකුට ගමන් කළ හැකිය. මේ ගුවන් අධිවේගී මාර්ගයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට මෙන්ම කොළඹ පිටත වටරවුම් මාර්ගයටත් එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයටත් පිවිසීමට හැකි වනු ඇත.
ඒ ගුවන් අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු එසේ සැලසුම් වෙද්දී මේ වන විට නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා වන අධිවේගී ගුවන් පාලමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. සෙල්වනාදන් මහතා පවසයි.
මංතීරු 4කින් සමන්විත මේ මාර්ගය ගුවන් අධිවේගී මාර්ගයක් ලෙස මෙට ඉදි වන පළමු අධිවේගී මාර්ගයයි. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් එහි ගමන් කළ හැකි අතර මේ මාර්ගය අදියර දෙකක් යටතේ ඉදි වනු ඇත. පළමු අදියර නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදි වන අතර එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 6.9 කි. එතැන් සිට 2 අදියර අතුරුගිරිය දක්වා දිව යන අතර එහි දිග කිලෝමීටර් 10.3කි. මෙහි පළමු අදියර වසර 2020 වන විට ජනතා අයිතියට පැවරීමට නියමිතය.
නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා වන 1 අදියරට සමගාමීව බේස්ලයින් පාරෙන්ද මේ මාර්ගය හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනු ඇත.
රාජගිරියෙන් පසුව අතුරුගිරිය දක්වා ඉදි වන මාර්ගයේ තවමත් ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවත් බත්තරමුල්ලෙන් හෝ ඒ ආසන්න ස්ථානයකින් පිවිසුම් මාර්ගයක් ලබා දිය යුතු ද නැද්ද යන්න පිළිබඳ තීරණය එම අධ්‍යයනයෙන් පසුව ලබා දෙන බවද ද සෙල්වනාදන් මහතා කීය. පළමු අදියර වන කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා වන මාර්ග කොටසට රුපියල් බිලියන 40ක මුදලක් වැය වන බවද සෙල්වනාදන් මහතා පවසයි.
ඒ සඳහා විදෙස් ආයෝජකයන්ගෙන් ලබා ගන්නා අතර එම මුදල් ආයෝජකයන්ට ගැටලුවක් හො රටේ ආර්ථිකයට ගැටලුවක් ඇති නොවන පරිදි වසර 30කදී ආදායම මත ගෙවීමට කටයුතු කෙරෙනු ඇත. කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ නිමාවත් සමඟම ඉදිවන නව මංතීරු 6කින් සමන්විත නව කැලණි පාලමේ වැඩ කටයුතු මේ වන විටත් ආරම්භව ඇති අතර එම පාලමේ වැඩ කටයුතු අවසන් වීමට පෙර මේ අධිවේගී ගුවන් මාර්ගයන් ඉදි කිරීම ආරම්භ වී වැඩ කටයුතු සිදු කරනු ලබන බව සෙල්වනාදන් මහතා පවසන අතර කොළඹ නගරයට පිවිසීමට අවශ්‍ය අය හැරෙන්නට අනෙක් අයට කොළඹ නගරය හරහා යාමට කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත.
එමෙන්ම බොරැල්ල හන්දියට නොගොස් ඍජුවම රාජගිරිය දක්වාම යාමට හැකිවන නිසා බත්තරමුල්ල මාර්ගයේ පවත්නා අධික තදබදය නිමා වනු ඇත.
2020දී මේ මාර්ග පද්ධතියේ නව කැලණි පාලමේ සිට ගාලු මුවදොර දක්වා සහ රාජගිරිය දක්වා මාර්ගය ඉදි වීමෙන් පසුව මාතර සිට කොට්ටාව පිවිසුමෙන් පිටව කොළඹට පැමිණීම අවශ්‍ය නොවන අතර මාතර සිට කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් කෙරවලපිටියට ගොස් එතැනින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයෙන් නව කැලණි පාලම අසලට පැමිණ ගුවන් අධිවේගයෙන් කොළඹට පැමිණීමට ගත වන සම්පූර්ණ කාලය පැය දෙකකටත් අඩු වනු ඇත.
අතුරුගිරිය දක්වා වන ගුවන් මාර්ගය ඉදි කිරීමෙන් පසුව මේ කාලය පැය එකහමාරකට මඳක් වැඩි වන අතර අධිවේගී මාර්ග පද්ධතියේ නිසි ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ ඒ සමඟය.
අප බලා සිටින්නේ වසර 2020 එනතුරුය. ඒ රාජගිරිය දක්වා වන ගුවන් අධිවේගයේ වැඩ නිම වී එහි ගමන් කිරීමටය. අපේ නාගරික බොහෝ සැලසුම් හමස් පෙට්ටියට වැටුණු බව අතීත කතා දෙස බැලූ විට පැහැදිලි විය. එසේ වුවත් මේ ගුවන් අධිවේගී මාර්ග පද්ධතිය නම් මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් නියමිත දිනයන්හිදි වැඩ අවසන් කරන්නට හැකි වන බව පෙනෙන්නට ඇත.
නාගරික රථ වාහන තදබදයෙන් විනාශ වන රටේ ජාතික ධනය විශේෂයෙන්ම එතෙරට ඉන්ධන සඳහා ඇදී යන අපේ විනිමය රැක ගැන්මට මේ පද්ධතියෙන් හැකි වනු ඇත.
සේයාරූ - විපුල අමරසිංහ