අනගාරික ධර්මපාලතුමා මහා සෑ ප්‍රතිසංස්කරණයට විරුද්ධ වුණේ ඇයි? | සිළුමිණ

අනගාරික ධර්මපාලතුමා මහා සෑ ප්‍රතිසංස්කරණයට විරුද්ධ වුණේ ඇයි?

රුවන්මැලි මහා සෑය යළි පෑදු යතිවරයාණන්ගේ කතාව (3)

මහා සෑ රදුන් යළි ප්‍රතිසංස්කරණය කොට බැබළවීම වෙනුවෙන් රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සංගමය දියත් කළ ව්‍යාපාරය මේ අවධිය වනවිට අනගාරික ධර්මපාලතුමන් විසින් නිර්මාණය කළ මහාබෝධි සමාගමට වඩා වැඩි ආකර්ශණයක් සහිතව ගම් දනව්වල ජන හදවත්වලට දැනෙමින් පැවතිණි. ඒ අතරතුර මහාබෝධි සමාගමේ බලය සහිත නියෝජනයක් වූ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් හා රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම අතර යම් මතවාදී ගැටුම් ඇතිවන්නට විය. වර්ධනය වෙමින් පැවැති විසංවාදය දෙදරා යෑමක් දක්වා තල්ලු වී යන්නේ මහජන මුදල් සම්මාදම් කර රුවන්වැලි චෛත්‍ය කර්මාන්තයට සහභාගී වූ අනගාරික ධර්මපාල තුමාගේ මෑණියන් ගේ කටයුතු පිළිබඳව සංගමය තුළ ඇතිවන විවේචනයත් සමගය. සංවිධානයේ ඉහළ නියෝජනයට ගරු නොකර අනිසි බලයක් සහිතව සිදුවන ඇයගේ හැසිරීම පිළිබඳව තදබල විවේචනයක යෙදෙන රුවන්වැලි චෛත්‍යවර්ධන සමාගමේ ලේකම් රාජපක්ෂ නොතාරිස් තැන අවසානයේ තනනතුර හැර ගියේය.

මරණය බඳු ව්‍යසනය

මේ ආකාරයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම තුළ මහාබෝධි සමාගමේ බලය පැතිරීමේ අදහස රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම තුළින්ම ඇතිවන ප්‍රතිරෝධය හරහා ව්‍යර්ථ වෙමින් පවතින විට සිදුවිය හැකි අතිශය අවාසනාවන්ත සිදුවීම නාරන්විට සුමනසාර හිමියන් විෂයෙහි සිදුවිය. ඒ ව්‍යසනය මරණය හා සමාන විය. වනදහන හා හුදකලාව ගැටෙමින්, මැසි මැදුරු පීඩාවන් විඳ දරාගනිමින්, නිරහාරව දින ගණන් ගතකරමින් ආරම්භ කර, දශක හතරක අප්‍රමාණ කැපකිරීම්මත ගොඩනැන්වූ රුවන්වැලි සෑයේ නව බැම්මේ නැගෙනහිර කොටස 1910 මහා වර්ෂාවත් සමඟ මුළුමනින්ම බිඳ වැටුණේය. ස්වකීය ජීවිත කාලය තුළ මේ මහා දාගැබ ගොඩනන්වා එහි ආශ්චර්යය දැකීම සඳහා සුමනසාර හිමියන් දුටු සිහිනය සපුරා වියැකී ගියේය.

නිසි ඉංජිනේරු අධීක්ෂණයෙන් තොරව බැතිමතුන්ගේ ශ්‍රද්ධාව හා නාරන්විට සුමනසාර හිමියන්ගේ අධිෂ්ඨානය මත දශක හතරක් තිස්සේ ගොඩනැංවුණු බැම්ම දුර්වලව බිඳවැටීමට හැකි ප්‍රායෝගික යථාර්ථය තේරුම් ගන්නට මහාබෝධි සමාගමේ සිංහල බෞද්ධයා පත්තරය අපේ රටේ මිනිස්සුන්ට ඉඩ දුන්නේ නැත. අනගාරික ධර්මපාල තුමා අතිශය රුවන්වැලිසෑය ගොඩනැංවීමේ ව්‍යාපාරය විවේචනය කළේය. ඔහුගේ පුවත්පත රුවන්වැලි සෑය ගොඩනැංවීමට පිටරට සිමෙන්ති හා ද්‍රවිඩ ජාතික කම්කරුවන් යොදවා කළ ‘‘විනාශය’’ ගැන බිහිසුණු ප්‍රකාශ කරමින් රටවැසියන්ගේ විචාර බුද්ධිය පලවා හරින තැනට වැඩ කළේය. බුදුන් දහම් දෙසුවා මිස පන්සලකට වී හිඳ වෙහෙර විහාර නොසෑදු බව කියමින් සිංහල බෞද්ධයා පුවත්පතට ලිපියක් ලියූ අනගාරික ධර්මපාල තුමා රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට යමක් දීමෙන් කෙනකු අපාගත වනබව කීමට තරම් විටෙක අගතිගාමී විය.

මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ලංකාව වටා පිහිටවූ රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගමේ ශාඛා සිය කටයුතු නවත්වා දැමීමය. රට වටින් පැමිණි ආධාර නැවතී යෑමය. අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය සියවසකට පෙර අතීතයේදීත් අද වගේමය. නාරන්විට සුමනසාර හිමියන් දශක හතරක් කළ ජීවිත පරිත්‍යාගයේ ප්‍රමාණය රටට අමතකව ගොස් තිබිණි. එල්ලවන නිර්දය විවේචන හා ගර්හාවන් අතිශය සාහසික විය. ඕනෑම වීර්යවන්ත මනුෂ්‍යයකුට වුවද බිඳවැටීම් දරාගත හැකි සීමාවක් තිබේ. මීටත් වඩා සිදුවිය හැකි නපුරක් නැත. නාරන්විට සුමනසාර හිමියෝ තමන්වහන්සේ මැදිහත්වීමෙන් කළ චෛත්‍ය ගොඩනැංවීමේ කටයුතු නවතා දැමීමට තීන්දු කළහ.

ඇවරියවත්තේ වෙදමහත්තයා හා හේනේගම සිටු අප්පුහාමි

කටුනායක ඇවරිවත්තේ පදිංචිව සිටි කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා නමැති ප්‍රභූ සිංහල වෛද්‍යවරයෙක් සුමනසාර හිමියන් බැහැදැකීමට පැමිණෙන්නේ මේ අතරය. දාගැබ් බැම්ම බිඳවැටීමෙන් සිදුවූ ව්‍යසනයෙන් හේ කම්පා වී සිටියේය. කටුනායක ඇවරිවත්තේ ශ්‍රී සුමිත්‍රාරාම විහාරාධිපති මිනුවන්ගොඩ රතනනජෝති සහ ඇවරියවත්තෙ ජිනරතන යන නා හිමිවරුන්ගේද උපදෙස් සහිතව අනුරාධපුරයට එන ඔහු සුමනසාර හිමියන් හා කථිකා කරගෙන 1910 වසරේ අග භාගයේදීම යළි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කළේය. එම වසරේම අග භාගයේ යළිත් වැඩ කටයුතු ඇරඹිණි.

වර්ෂ 1912 දී රුවන්වැලි සෑ චෛත්‍යවර්ධන සමාගමේ සභාපතිත්වය කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙදරාළහාමි භාර ගත්තේය. රන්සිරිනෙල් වෙදරාළහාමි වැඩ ආරම්භ කරනු ලැබුවේ ඉහළ දැනුමක් සහිත ඉංජිනේරු උපදෙස් ලබාගනිමිනි. ඒ වකවානුව වනවිට ඒ සඳහා අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය වී තිබිණි. එම උපදෙස් ප්‍රකාරව සුමනසාර හිමියන් වසර හතලිහක් තිස්සේ බැන්දවූ ගඩොල් බැම්ම මුළුමනින් ඉවත් කිරීමට සිදුවූයේය. යළි අලුතින්ම ඉදිකිරීම් ආරම්භ විය. රන්සිරිනෙල් වෙද රාළහාමි රුවන්වැලි චෛත්‍යවර්ධන සමාගමට අලුත් පරමාර්ථයක් එක් කළේය. ඔහු ඒ වකවානුවේ දී ස්වකීය ධනයෙන් රුපියල් ලක්ෂයක් පමණ දාගැබ් කර්මාන්තය වෙනුවෙන් වැය කරනු ලැබුවේය.

මේ කාලයේ දී අනුරාධපුරය දක්වා දුම්රිය ගමනාගමනය ඇරඹී තිබිණි. දහස් ගණන් සැදැහැතියෝ අතීත නගරය වන්දනා කරන්නට මුල් වරට නිදහසේ අනුරාධපුරයට පැමිණෙමින් සිටියහ. මේ උද්‍යෝගීමත් ප්‍රභූවරයා වසරක් පාසා මුලූ දුම්රියක්ම වෙන් කර ගත්තේය. එම දුම්රියෙන් ඇවරියවත්ත, අමන්දොළුව, රද්දොළුව, උදම්මිට වැනි ගම්වල තරුණයන් පුරවාගෙන අනුරාධපුයට පැමිණියේය. දින ගණන් ශ්‍රමදාන පිංකම් සංවිධානය කර මහා සෑයේ වැඩ කටයුතු කළේය. මේ අතර අසිරිමත් සිදුවීමක් සිදුවිය.

වර්ෂ 1912 දී රුවන්වැලි සෑ වන්දනාව සඳහා අකුරැස්ස ප්‍රදේශයේ සිට සිටුගේ දොන් හේන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි නමැති සිංහල ප්‍රභූ වරයෙක් පැමිණියේය. හේ වැවිලි කර්මාන්තයෙන් ධනවතෙක් වූ ශූර ව්‍යාපාරිකයෙකි. සරල ගැමි පෙනුමකින් යුතු මේ දානපති ව්‍යාපාරිකයා රුවන්වැලිසෑ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් පරිත්‍යාග කළේය. එය ඇදහිය නොහැකි තරම් දැවැන්ත ප්‍රදානයක් විනි. මේ මුදල එවකට රුවන්වැලි සෑ චෛත්‍ය කර්මාන්තය සඳහා ඇස්තමේන්තුගත මුදලින් පහෙන් එකකට ආසන්න විය.

ප්‍රතිසංස්කරණ සඳහා ජලය ගර්භය ඉහළට රැගෙන යෑමට ජල යන්ත්‍ර සාධන සමිතිය නමින් සමිතියක් ආරම්භ කෙරිණි. ඊට මුල් වූයේ පානදුරේ වත්තල්පල පඤ්ඤානන්ද හිමියන්ය. කොළඹ ජිනසේන සමාගම මේ කටයුත්තට තාක්ෂණික අංශයෙන් මැදිහත්ව සිටියේය. සුමනසාර හිමියෝ රුවන්වැලි සෑ මළුවේ අද දක්නට නොමැති පස් පිළිම මාලිගාව තැනූහ. අනුරාධපුරයේ එවකට පැවැති ප්‍රධානම විශ්‍රාම ශාලාව ලෙස ධර්ම ප්‍රසාද විශ්‍රාම ශාලාව සැදැහැතියන් වෙනුවෙන් ගොඩනැන්වූහ. රටේම අවධානය සහිතව රුවන්වැලිසෑයේ කටයුතු සීඝ‍්‍රව ගොඩනැගෙමින් පැවතිනි. වර්ෂ 1916 වනවිට බැමි සකස් කිරීමේ කටයුතු නිමාවට පත්විය. සෑයේ ගර්භ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙමින් පැවතුණු වර්ෂ 1921 දී නාරන්විට සුමනසාර හිමියෝ රෝගාතුර වූහ. ඒ වනවිට උන්වහන්සේ හැත්තෑ දෙහැවිරිදි විය පසුකරමින් සිටියහ. ස්වකීය ජීවිතයෙන් පුරා අඩසියවසක් පූජාකළ මහා චෛත්‍ය කර්මාන්තයේ අවසන් මහත්ඵළ නොදැක වර්ෂ 1921 දී මේ ශ්‍රේෂ්ඨ හිමිනම අපවත්වූහ.

තවත් කොටසක් ලබන සතියේ

Comments