
නිවෙස හැරුණු කොට කොට තම දරුවන්ට තවත් ආරක්ෂිත ස්ථානයක් ඇත්දැයි යමකු ඔබෙන් විමසුවොත් ඊට නිසැක පිළිතුර ලෙස ලැබෙන්නේ ‘එය තම දරුවාගේ පාසල’ බවයි. එය මට හෝ ඔබට හෝ පමණක් පොදු දෙයක් නොව, නිවෙස හැරුණු කොට දරුවන්ගේ දෙවැනි ආරක්ෂිතම ස්ථානය නිසැකයෙන්ම පාසලය. ඒ ආරක්ෂාව ලක්ෂ 42ක් වන සියලු පාසල් දරුවන්ට පොදුය. එහෙත් කිසිවකුටවත් ලොකු-කුඩා භේදයකින් තොරව සලකන ස්වභාව ධර්මයේ විපර්යාසයක් හේතුවෙන් යම් යම් අවස්ථාවල දරුවන්ගේ මේ ආරක්ෂාව එලෙසින්ම ඉටු වේද යන ගැටලුව පැනනඟී. මේ මහනුවරින් ඇසෙන එවන් කතාවකි.
දරුවන්ට ක්ෂේමභූමියක් විය යුතු පාසල මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පෑම අතිශය සංවේදි කරුණක් බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.
දින තුනක් පුරා නොකඩවා ඇදහැලෙන අධික වර්ෂා දිනවල කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ගෙන දෙන්නේ දැඩි අවදානමකි. නායයෑම් මෙන්ම කණ්ඩි හා කඳු කඩාවැටීම් මේ පළාත්වල සුලබ දසුනකි. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විටින් විට අනතුරු හැඟවීම් නිකුත් කරන්නේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු හොඳම දැනුම්දීම එය වන නිසාය. පසුගියදා මහනුවර දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ හා සම්බන්ධ යම් අනතුරු ඇඟවීමක් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක් සම්බන්ධයෙනි. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් හා කණ්ඩි කඩාවැටීමේ අවදානමට ලක්වූ පාසල් 48ක තොරතුරු අනාවරණය කරමිනි.
මහනුවර පාසල්වල පවත්නා සුළු නායයෑම් තත්ත්වයන් මෙන්ම කණ්ඩි කඩාවැටීම් අවදානම මුලින්ම මාධ්‍ය වෙත නිකුත් කළේ මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවයි. එහි සහකාර අධ්‍යක්ෂ අයි.ඒ.කේ රණවීර මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි:
“අවුරුදු 3කට පෙර සිටයි අප මේ පාසල්වල මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළේ. එහිදී මෙවැනි අවදානම් පාසල් 48ක් අප හඳුනාගත්තා. එහෙත් ඒ කිසිම පාසලක් මුළුමනින්ම අවදානම් තත්ත්වයේ නැහැ. අවදානම් තත්ත්වයන් තියෙන්නේ ඒ ඒ පාසල්වල හඳුනාගත් කොටස්වල පමණයි. මේවා කණ්ඩි කඩාවැටීම් මෙන්ම නායයෑම් අවදානම් තත්ත්වයන්. මේ නිසා අප මහනුවර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ම ආවරණය වන ආකාරයට වඩාත් අවදානම් පාසල් 18ක් තෝරාගෙන අවදානම අඩු කරන්න කටයුතු යෙදුවා. ඒත් ඉතිරි පාසල්වල අඩු-වැඩි වශයෙන් ගැටලු තිබෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයක් කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පස් වැටීම් තත්ත්ව. එක දිගට දින තුනකට වඩා අධික වර්ෂාපතනය පවතිනවා නම් අවදානම් තත්ත්ව මතු වන බව කිව යුතුයි. අප මේ පිළිබඳව පළාත් අධ්‍යාපන බලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පවා දැනුම්වත් කර තියෙනවා.’’
මේ වන විට මේ පාසල් 48න් 8ක අවදානම් තත්ත්ව නැති කිරීමට ගත් ක්‍රියා මාර්ග අවසානයක් දැක ඇති අතර, තවත් 10ක වැඩකටයුතු ආරම්භ කර තිබෙන බව අපට සැල විය. මේ අතර පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 10ක්ද, මහනුවර පාසල් පාසල් 7ක්ද, ගම්පොළ පාසල් 5ක්ද ඇති අතර; ගිරාගම, පිළිමතලාව, ගෙලිඔය, පැණිදෙණිය, මැණික්දෙණිය, හෝඩියාදෙණිය, වටදෙණිය, කඩුගන්නාව, හන්දෙස්ස, තැන්නේකුඹුර, උඩුනුවර, යටිනුවර, කිරිබත්කුඹුර, බඹරබැද්ද, පුස්සැල්ලාව, අකුරණ, පූජාපිටිය, හන්තාන, මාවිල්මඩ හා පාතහේවාහැට ආදි ප්‍ර ෙද්ශවල පාසල් කිහිපයක්ද ඒ අතර වෙයි.
ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන අන්දමට මහනුවර දිස්ත්‍රිත්කයේ ජනප්‍රිය පාසල් කිහිපයකද මේ තර්ජනය පවතියි. මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ගොඩනැඟිල්ලක් ඇත්තේ අවදානම් තත්ත්වයකය. එසේම මහනුවර කිංස්වුඩ් විදුහලේ ක්‍රීඩා පිටියට යම් අවදානමක් ඇත්තේය. මහනුවර උසස් බාලිකා විදුහල, මහනුවර ඩීඑස් සේනානායක විදුහල, ලුම්බිනි රාජකීය විදුහල, ගම්පොළ සහිරා හා බෞද්ධ විදුහල් ඒ අතර වෙයි. හන්තාන ශිවානන්ද දෙමළ විදුහලේ ගුරු නිවාසය එක දිගට ඇදහැලෙන වැස්සේදී අවදානම්ය. ගඟවට තිස්ස මහා විදුහලේ ක්‍රීඩාපිටිය හා ගඩලාදෙණිය මහ විදුහලේ ක්‍රීඩා පිටිය ආශ්‍රිත භූමියද වැසි දිනවල අවදානම්ය. සමහර පාසල්වල අවදානම් වන්නේ වැසිකිළි පද්ධතියයි.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වූ මේ අවදානම් පාසල් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයද විධිමත් අධ්‍යනයන් සිදු කර තිබේ. මේ අවදානම් පාසල් හඳුනාගෙන ඇත්තේ 2014 දි ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟය. 2015, 2016, 2017 හා මේ වසරේ මෙවැනි අවදානම් තත්තව මතු වී තිබේ.
“මේ පාසල්වල අවදානම් තත්ත්ව කණ්ඩි කඩාවැටීම් මිස මහා පරිමාණයේ නායයෑම් තත්ත්ව නොවෙයි. ඒ කියන්නේ මේවා අවධානයට නොගත යුතු බව නොවෙයි. මේ ප්‍රදේශවල නායයෑම් අවදානම් පවතින නිසා අප පාසල්වලට කියා තිබෙන්නේ ගොඩනැඟිලි හදන්න කලින් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ගන්න කියලයි. ඒත් ගොඩාක් පාසල් මේ අනුමැතිය ගන්නේ ඉදිකිරීම් සැලසුම් සකස් කළ පසුවයි. සමහර පාසල් අලුතින් ගොඩනැඟිලි තනන්නේ පරණ ගොඩනැඟිලි ඉවත් කළ තැන්වල. ඉඩකඩ ප්‍රශ්නය තියෙන්න පුළුවන්. එහෙත් මෙවැනි දේවල් අවදානම්. මධ්‍යම කඳුකරයේ අලුතින් ඉදිකිරීමක් කරනවා නම් හෝ කන්දක් කපා යම් ගොඩනැඟිල්ලක් සාදනවා නම් අනුගමනය කළ යුතු නීති තියෙනවා. සාමාන්‍යයෙන් කණ්ඩියක් ආසන්නයේ සිට මීටර් තුනක් නුදුරින් තමයි ගොඩනැඟිල්ලක් තැනිය යුත්තේ. එහෙම බැරි අවස්ථාවල ඒ කණ්ඩිය හෝ කන්ද ස්ථාවර කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුයි. එහෙත් රජයේ පාසල්වලට මේ ස්ථාවර කිරීම් සඳහා අමතර මුදලක් යොමු වන්නේ නැහැ. ඒ වගේම පාසල් භූමියට වතුර ගලා බසිනවා නම් එයත් නායයාමේ අවදානමට ලක් විය හැකියි. මෙවැනි තත්ත්ව භූමිය අස්ථාවර කිරීමට හේතුවක් වෙනවා. එසේම නායයෑම් විය හැකි කලාපයක් තුළ පාසල් ඉඩමක් සංවර්ධනය කරනවා නම් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ගත යුතු වුවත් 2011න් පසු මහනුවර නගරයේ ඉදි කළ පාසල් මේ අනුමැතියට යටත් වී නැහැ. මේ නිසයි අද මහනුවර පාසල් රැසක් මේ තත්ත්වයට පත්ව ඇත්තේ...’’
එසේ පැවැසූයේ මහනුවර දිස්ත්‍රික් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් නිලධාරීනි, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නිමාලි වීරසිංහ මහත්මියයි.
ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ 2011/3 දරන චක්‍රලේඛයට අනුව ක්‍රියාත්මක කළ යුතු මේ නීති-රීති රාශියක් පාසල් විසින් අනුගමනය නොකිරීම මේ තත්ත්වයට හේතුවක් වී ඇති බව වාර්තා වෙයි. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මේවා වැඩි ප්‍රමාණයක් අනුමැතියකින් තොරව ඉදි වූ එවා බවයි. විශේෂයෙන්ම මෙවැනි පළාත්වල ඉදි කිරීමක් කරන්නේ නම් ක්‍රමවත් ඉඩම් පරිහරණ රටා සහ ක්‍රමවත් පෘෂ්ඨීය ජල පරිවහන රටා අනුගමනය කළ යුතු බවට විවාදයක් නැත. එසේම මෙවැනි බිමක කණ්ඩි ස්ථාවර කිරීම්ද කළ යුතුම වූ දෙයකි. ආධාරක වැටි හෝ කොන්ක්‍රීට් බැමි හෝ යෙදීමෙන් නැති නම් තෘණ වගා කිරීමෙන් මේ ස්ථාවර කිරීම් පාලනය කරගත හැකි බව ප්‍රායෝගික අවබෝධයයි.
ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයට මෙවැනි පැමිණිලි ලැබෙන මහනුවර නගරයේ පාසල් අතර කිසිදු අවදානමකින් තොර පාසල්ද වෙයි. භූමියේ යම් යම් තත්ත්ව මත ගොඩනැඟිලි ඉරිතැළීම්වලට ලක් වනු දුටු පමණින් සමහරු ඒවාද නායයෑම් අවදානම් සහිත පාසල් ලෙස හඳුන්වති.
“අපේ පළාතේ ප්‍රශ්න සහිත පාසල් තිබෙනවා. සමහර පාසල් පිහිටා තිබෙන්නේ කඳු මුදුන්වල. සමහර පාසල්වල පන්ති වැසි දිනවල වෙනත් තැන්වල පවත්වනවා. එත් අපි මේ තත්ත්ව නිවැරදිව නිරවුල් කරගත යුතුයි. අවදානම ඇත්තේ කුමන පාසල්වලද, ඒ පාසල්වල කුමන කොටස්වලද යන්න අප සොයා බැලිය යුතුයි. පළාත් අධ්‍යාපන කාර්යාලයත් පාසල් මට්ටමින් ආපදාවන්ට ලක් විය හැකි හා ලක් වූපාසල් ලයිස්තුගත කරමින් යනවා. සමහර පාසල් බයටත් අනාරක්ෂිතයි කියලා කියනවා. ඒ නිසා අප මේ තොරතුරු විධිමත්ව සොයා බැලිය යුතු වෙනවා...’’ පළාත් අධ්‍යාපන ෙල්කම් රත්නායක මහතා පවසයි.
මේ තත්ත්වය මහනුවර අධ්‍යාපන කලාපයට පමණක් පොදු වූවක් නොවේ. මාතලේ මෙන්ම නුවරඑළිය අධ්‍යාපන ලේකම් කාර්යාලවලටද මේ අවදානම් සහගත තත්ත්ව පැනනැඟී ඇත්තේ මේ පාසල් වැඩි හරියක් කඳු ආසන්නයේ හා කඳුකරයේ ඉදි කර ඇති නිසයි. මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දක්වන ආකාරයට මාතලේද අධික වර්ෂාව මත නායයෑමට හා ගිලාබැසීමට ලක් විය හැකි පාසල් 10ක් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙවැනි අවදානම් තත්ත්ව පිළිබඳ ආපදා කළමනාකරණ බලධාරීන් මෙන්ම ගොඩනැඟිලි පර්යේෂණ බලධාරීන්ද පාසල් දැනුවත් කර ඇත්තේය. ඒ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයෙනි.
“පාසල්වල මෙවැනි තත්ත්ව පිළිබඳව අප පාසල් මට්ටමින් දැනුම්වත් කළා. විවිධ පාසල්වලට විවිධ නිර්දේශ දුන්නා. සමහර විට අදාළ අංශ භාවිත කරන්න එපා කිව්වා. අපට සියලු කටයුතු ආවරණය කරන්න අපහසුයි. ඒ වගේම මේ කටයුතු ඉක්මනින් ක්‍රියාවට නැංවීම අපහසුයි. අධ්‍යාපන කාර්යාලත් අපත් සුහදව තමයි මේ කටයුතු කරන්නේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ පාසල්වලට රාජකාරි බහුලයි. දිනෙන් දින පාසල්වල ඉඩකඩ මඳි වෙනවා. මේ තත්ත්ව නිසා පාසල් බලධාරීන් අපහසුතාවට පත් වෙනවා. ඒ කෙසේ වෙතත් විදුහල්පතිවරුන් දිගින් දිගටම වැසි ඇති විට අවදානම් ගොඩනැඟිලිවලින් දරුවන් ඉවත් කරනවා. ඒ වහින විට තත්ත්වය ටිකක් අවදානම් විය හැකි නිසා. කෙසේ වෙතත් මේ තත්ත්වය නැති කරන්න මේ වන විට අප අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනිමින් පවතිනවා. කිව යුතු දෙයක් තිබෙනවා. මේ කිසිම පාසලක් සම්පූර්ණ පාසලම අවදානම් තත්ත්වයේ නැහැ.’’ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අයිඒකේ රණවීර මහතා පවසයි.
මේ වන විට අදාළ පාසල්වල පවත්නා අවදානම් තත්ත්ව පිළිබඳව පාසල් ප්‍රධානීන්, ගුරුවරුන්, සිසුන් මෙන්ම දෙමවුපියන්ද දැනුම්වත් වී ඇත්තේය. එසේම මේ පාසල්වල අවදානම් තත්ත්ව පිළිබඳ භූ විද්‍යා වාර්තාද නිකුත් කර ඇත්තේය. සියලු දෙනා වෙහෙසෙන්නේ මේ පාසල්වල සුළු අවදානමක් හෝ ඇත් නම් එය ඉවත් කරන්නටය. එහෙත් එයට යම් කාලයක් ගත වන්නේය. එසේ හෙයින් අවදානම ගැන අවධානයෙන් සිටීම කොයි හැටි වෙතත් යහපත් වන්නේය.