
මුළු මහත් ලෝකයේම අවධානය තායිලන්තයේ උතුරු කඳුකරය වෙත යොමු කරගනිමින් දින දොළහක් තිස්සේ පොළොව යට උමගක හිරවී සිටි දරුවන් කණ්ඩායම මුදා ගැනීමේ මෙහෙයුම පසුගියදා අවසන් වූයේ ඉතිහාසයේ අභියෝගාත්මක පොළොව යට මෙහෙයුම ලෙස ඉතිහාසයට සටහනක් එක්කරමිනි. එහෙත් තව මොහොතක් පමාවූයේ නම් එය මහත් ඛේදවාචකයක් විමට ඉඩ තිබූ බව වාර්තා විය.
‘‘ ඒ වෙලාවේ අපි හිටියේ උමගේ තුන් වැනි කුටිය (Chamber 3) ලෙසින් නම්කර තිබූ ස්ථානයේ. අපගේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය වුණේ එතැනයි. දොරටුවේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ ඇතුළේ. දරුවන් අවසන් කණ්ඩායමත් පිටතට ගෙන අවසන්ව තිබුණා. ඒ වෙද්දීත් මෙහෙයුමට සම්බන්ධව සිටි තායි නේවි සීල් භටයන් හා වෛද්‍යවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් ඇතුළේ සිටියා. සමහරු සිටියේ උපකරණ ගලවමින් තාවකාලික පඩිපෙළ හා ඉණිමං ඉවත් කර සියල්ල අස්පස් කරමින්. එක වරම අපට ගුහාව ඇතුළෙන් මහා ඝෝෂාවක් ඇසුණා.
ඒ සමඟම හැමෝම කෑ ගසන හඬක්. ඒ එක්කම අප දුටුවේ හිස් ආවරණවල පැලැඳි ටෝච් එළි සියල්ල වේගයෙන් ගුහා කට දෙසට එනබවයි. ඒ සමඟම වතුර වේගයෙන් ගලා ආවා. සියල්ලෝම උමතුවෙන් මෙන් ගුහා කට දෙසට දිව ආවා. කෙසේ හෝ පැයකට අඩු කාලයකදී අප එළියට පැන ගත්තා. ගුහාවේ පිරෙන ජලය ඉවත් කිරිමට යොදා ගත් විශාල ජල පොම්පයක් අක්‍රීය වෙලා. වේගයෙන් වතුර පිරෙන්න ගත් බව අප දැන ගත්තේ අපි එළියට පැන ගත් පසුයි. තව මොහොතක් පමා වූවා නම් මහා බිහිසුණු දෙයක් සිදුවීමට ඉඩ තිබුණා.” මෙහෙයුම නිමාවීමෙන් පසු ප්‍රථම වරට එංගලන්තයේ ‘ද ගාඩියන් ’පුවත්පතට අදහස් දක්වමින් මෙහෙයුමට එක්ව සිටි ඔස්ට්‍රේලියානු කිමිදුම්කරුවන් තිදෙනකු ප්‍රකාශ කර තිබිණ.
තායිලන්ත පාපන්දු කණ්ඩායමේ දරුවන් ගුහාවේ අතුරුදන්ව ඇති පුවත වාර්තා වූ සැණින් පෙරමුණ ගනිමින් ක්‍රියාත්මක වූයේ කවුරුන්ද යන්න ද දැන් අනාවරණය වී තිබේ. ඔහු වර්නන් අන්ස්වර්ත්ය. එංගලන්ත වැසියෙකි. ශාන්ත ඇල්බාන්ස් හි පදිංචිව සිටි වර්නන් මේ සිදුවීම වූ කාලවකවානුවේ පදිංචිව සිටියේ තායිලන්තයේය. තායි දරුවන්ගේ වාසනාවට මෙන් ඔවුන් අතුරුදන් වූ තාම් ලුආන්ග් ගුහාව ආසන්නයේය. දරුවන් පිළිබඳ පුවත සවනත වැකුණු සැණින් එතැනට පැමිණි තායි නාවික හමුදාවේ සීල් භටයෝ ගුහාවට ඇතුළුවී දරුවන් ගැන සොයා බැලූහ. මඩ වතුරින් ගුහාවේ බොහෝ තැන් පිරී තිබූ නිසා ඔවුන්ට කිසිවක් දැක ගැනීමට නොහැකි විය. එහෙයින් ඔවුහු ආපසු පැමිණියහ. වර්නන් කරළියට පැමිණියේ එතැන් සිටය. ඒ මොහොතේ වර්නන්ගේ සිතට පිවිසියේ එංගලන්තයේ සිටින සිය මිතුරු කිමිදුම්කරුවන් කීපදෙනෙකි. අත්හැර දමනු ලැබූ පතල්වල දැඩි සීතල වතුරේ කිමිදීමේ හසළ පළපුරුද්දක් හා අත්දැකීම් සහිත එම මිතුරන් සත් දෙනා මේ කර්තව්‍යය සඳහා වහාම කැඳවන ලෙස තායිලන්ත බලධාරීන්ගෙන් වර්නන් ඉල්ලා සිටියේය.
වර්නන්ගේ දැනුම් දීම මත පළමුවෙන්ම පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් වූයේ ජෝන් සහ රිචඩ් ය. බ්‍රිතාන්‍ය ගුහා ගලවාගැනීමේ කවුන්සිලය මේ දෙදෙනා හඳුන්වනුයේ ‘ඒ ටීම්’ ලෙසිනි. 2011 වසරේදී මේ දෙදෙනා ලොව දිගුම ගුහා කිමිදුම එනම් කිලෝ මීටර් 9ක් දිග ගුහාවක කිමිදී ලෝක වාර්තාවක් තැබූහ. තාම් ලුආන්ග් ගුහාවේ සැතපුම් දෙක හමාරක් කිමිදී දරුවන් හා පුහුණුකරු සොයා ගනු ලැබුවේ ද ඔවුන් හා මුලින්ම කතා කරනු ලැබුවේ ද ඒ දෙදෙනා විසිනි. එතැන් පටන් දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ පෙරමුණ ගනිමින් ඔවුහු දරුවන් රැඳී සිටින ගුහාවට යෑමට හා ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. පසුව ඔවුනට බ්‍රිතාන්‍ය ජාතික තවත් කිමිදුම් විශේෂඥයෝ තිදෙනෙක් එක්වූහ. එතැන් පටන් ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු, ජපාන, චීන හා බ්‍රසීල කිමිදුම්කරුවෝ මේ මහා මෙහෙයුමට එක්වූහ.
මේ සෑම දරුවකුම පිටතට ගැනීමට පෙර ඔවුන් ඒ සඳහා සුදුසුද යන්න සහතික කළේ ඔස්ට්‍රේලියානු ජාතික වෛද්‍යවරයකු වන රිචඩ් හැරිස්ය. වෛද්‍ය රිචඩ් තායිලන්තයේ මෙහෙයුමට එක් වෙද්දී සිය අතිජාත කිමිදුම් මිතුරකු වන ක්‍රෙග්ට ද තමා හා එක්වන ලෙස ආරාධනා කළේය. පැමිණි දින සිට එක දිගට කිමිදෙමින් ඔවුහු අවසාන දරුවා පවා පිටතට ගන්නාතුරු ඔවුන් හා රැඳී සිටියහ. දරුවන් පිටතට ගත් සෑම අවස්ථාවකදීම ඔවුන් ගුහා කට කරා ගෙනගොස් ආපසු යෑමට පැය 9ත් 11ත් අතර කාලයක් ගතවිය. පළමු දරුවන් කණ්ඩායම පිටතට ගත් 10 වැනිදා වෛද්‍ය රිචඩ්ගේ පියා මියගියද ඔහු තම කාර්ය අවසන් වනතුරු ආපසු සියරට බලා නොගියේය. දරුවන් මුදා ගැනීමේ අවසන් මෙහෙයුමට විදෙස් කිමිදුම්කරුවන් 13දෙනෙක් හා තායි නාවික සීල් සෙබළු පස් දෙනෙක් එක් වූහ. මුල සිටම මෙහෙයුමට 10000ක් පමණ එක්ව සිටියහ. පළපුරුදු කිමිදුම්කරුවන් සංඛ්‍යාව 90කි. ඒ අතරින් 40ක් තායි සහ 50ක් විදෙස් කිමිදුම්කරුවෝය. ඔවුනට කිමිදීමට අමතරව රැහැනක ආධාරයෙන් පටු තැන්වල ඇවිදිමින් උස්තැන්වල නගිමින් හා බර දරාගෙන දියේ ඇවිදිමින් දරුවන් රැගෙන ඒමට සිදුවිය.
“මේ කඳුවැටියේ පිටවීමේ වෙනත් තැනක් තිබුණේම නැහැ. අපට මුහුණ දීමට සිදුවූ අපහසුම කාර්යය වූයේ ගුහාවේ වූ T හන්දිවල කිමිදීමයි. ඒ වගේම S හැඩයේ වංගු සහිත තැන් බොහෝ තිබුණා. ඇතැම් තැන් සෙන්ටි මීටර් 40ක් තරම් පටුයි. එවැනි තැන්වලදී ඔක්සිජන් ටැංකි ගලවා කිමිදීමට හා රිංගා ඒමට සිදු වුණා. සමහර පටුතැන්වලදි දරුවන් ඉහළට ඇදලා ගත්තා. අප අවශ්‍ය සියලුම උපකරණ එක්රැස්කර තිබුණේ තුන්වැනි කුටියේයි. ඔස්ට්‍රේලියානු කිමිදුම් කණ්ඩායම එතැනට ඔක්සිජන් ටැංකි පමණක් සිය ගණනක් ඇද්දා. එක් දරුවකුට කිමිදුම්කරුවන් දෙදෙනා බැගින් යොදවමින් සම්පූර්ණ කිමිදුම් කට්ටල, මුහුණු ආවරණ හා ඔක්සිජන් ටැංකි යොදා ගනිමින් තමයි දරුවන් ගෙනාවේ. තුන්වැනි කුටියට රැගෙන ආ දරුවන්ට මද විවේකයක් දී එතැන් සිට කිලෝ මීටර් එකහමාරක් ගුහා කට දක්වා ස්ටෙචර්වල තබා ගෙන මිනිසුන් පේළියක් සෑදී අතින් අත මාරු කරමින් එළියට ගෙනාවා.” මෙහෙයුමට එක්වූ ඔස්ට්‍රේලියානු කිමිදුම්කරු රික් ටැන්සන් සීඑන්එන් මාධ්‍යයට මෙහෙයුමේ අන්තිම මොහොත විස්තර කරමින් පැවසීය. දරුවන් සියලු දෙනාම එළියට රැගෙනවිත් ඇත්තේ පැය බාගයක පමණ අර්ධ නිද්‍රාවකට පත්කරය.
ගුහාවේ කොටුවී දින 17කට පසු ඇරැඹුණු දින තුනක මෙහෙයුම අවසන් වනතුරුම දෙමවුපියෝ තාම් ලුආන්ග් ගුහාව අවට දිවා රෑ නොබලා රැඳී සිටියහ. ඒ සියලු දෙනාට ආහාර සඳහා බැදපු කුකුළු මස්, බිත්තර, බත්, නුඩ්ල්ස් හා සුප් සපයනු ලැබිණි. ඒ අවට පදිංචි ගම්බද තායි ජනයා හැකි පමණින් යුතුකම් ඉටු කරමින් කෝපි කඩ හා තායි සම්භාහන පවත්වමින් පැමිණ සිටි අයට පහසුකම් සැපයීමට වගබලා ගත්හ. වැන්දඹු ගෙවිලියක වූ මායි බුආ ද එලෙස ගුහා කට ආසන්නයට පැමිණියේ ස්වෙච්ජා සේවයේ යෙදීමටය. යළි කෙතට ගිය ඇය දුටුවේ සිය අලුත අස්වැද්දූ කුඹුර ජලයෙන් යටවී ඇති අන්දමය. දරුවන් බේරා ගැනීම සඳහා ගුහාවේ ජලය ඉවතට පොම්ප කරද්දී ගලාගිය ජලය ඔලිම්පික් පිහිනුම් තටාක 80ක් පිරවීමට තරම් සෑහෙන බව පළවිය. මායි ගේ කුඹුරු යටවී තිබුණේ එසේ ඉවතට පොම්ප කළ ජලයෙනි.
‘‘කමක් නෑ. මට ආයිත් කුඹුර අස්වද්ද ගන්න පුළුවන්. ඒත් දරුවන් යටවුණානම් නැවත ලබා ගන්න බෑනේ” මායි පැවසුවේ එලෙසය.
මේ අතරවාරයේ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට එක්වීමට ඇමෙරිකානු ප්‍රකෝටිපතියකු වන එලන් මස්ක් ද තායිලන්තයට ගියේය. ලෝක ප්‍රසිද්ධ ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදකයා වන මස්ක් දරුවන් ගලවා ගැනීම සඳහා සිය ධනය වැය කරමින් කුඩා දරුවකුගේ ප්‍රමාණයේ සබ්මැරීනයක් නිර්මාණය කර එය තායිලන්තයට රැගෙන විත් පිහිනුම් තටාකයක දමා පරික්ෂා කර බැලීය. රොකට් කොටස්වලින් නිෂ්පාදනය කර තිබූ එය ඔහු නම් කර තිබුණේ ‘වයිල්ඩ් බෝ’නමිනි. ඔහු ගුහාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ තෙවැනි කුටිය කරා එය රැගෙන ගියද දරුවන් ගලවා ගැනීම සඳහා භාවිත නොකළෙන් උපකරණය තායිලන්තයේ තබා ඔහු යන්නට ගියේය.
පළමුවෙන්ම බේරා ගත යුත්තේ කුමන දරුවාදැයි දරුවන් බේරා ගන්නා අනුපිළිවෙළ තීරණය කර ඇත්තේ දරුවන් සමඟ සිටි සහකාර පාපන්දු පුහුණුකරුය. ඔහු නම් කළ දරුවන් සිවු දෙනා මුලින්ම බේරා ගනු ලැබ රෝහල් ගත කළ පුවත දැන ගත්තද කිසිම දෙමවුපියෙක් ඒ බේරා ගත්තේ කාගේ දරුවාදැයි නොදත්හ. මෙහෙයුමේ නිලධාරීන් දරුවන් නම් කරනු ලැබුවේ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ නම අනුව යමින් මූ 1, මූ 2, මූ 3 යනාදී ලෙසිනි. දැන් දරුවෝ රෝහලේ අටවැනි තට්ටුවේ විශේෂිත වාට්ටුවක රඳවා සිටිති. රෝහල්ගත කළ සැණින් සෑම දරුවකුම දැඩි පරික්ෂාවට ලක් කෙරිණි.
‘‘අපට දරුවන් බලන්න ලැබුණේ වීදුරුවට එපිටින්.” දරුවකුගේ පියකු වන සොම්බූන් පැවසීය. එහෙත් ඔවුනට ළඟඳීම සිය දරුවන්ට ළංවීමට අවසර ලැබෙනු ඇත.
දැන් දරුවෝ රෝහලේ අටවැනි තට්ටුවේ විශේෂිත වාට්ටුවක රඳවා සිටිති.
රෝහල් වෛද්‍යවරයකු ප්‍රථම වරට මාධ්‍යයට අදහස් දක්වමින් සියලු දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටී යැයි දැනුම් දෙද්දී ඒ අවට සිටියෝ සතුටින් ඔල්වරසන් දුන්හ.
තායි සෞඛ්‍ය බලධාරීන් මේ දරුවන් හා පුහුණුකරුගේ සෞඛ්‍ය ගැන කෙතරම් සැලකිලිමත් වන්නේද යත් ඔවුන් සති දෙකක කාලයක් රෝහලේ රඳවා ගැනීමට කටයුතු යොදා ඇත්තේය. අපිරිසුදු ජලය පානයෙන් හෝ ගුහාවේ ලැගුම් ගෙන සිටින වවුලන්ගේ හා වෙනත් කුරුලු වසුරු නිසා හෝ මේ දරුවන්ට යම් ආසාදන ඇතිවේද යන්න ගැනත් වෛද්‍යවරු නිති අවධානයෙන් සිටිති. දිගු කලක් අඳුරේ සිටීම නිසා එක්වරම හිරු එළියට දෑස් ආවරණය නොකිරීමටත් දිගු කලක් ගන ආහාර නොගැනීම නිසා දියර ආහාර දෙමින් පුරුදු ආහාර රටාවට හුරු කිරීමත් මේ කාලයේදී සිදු කෙරේ.
‘‘දරුවන් සාමාන්‍ය ජීවිතයට එක්වීමේදී මේ අත්දැකීම දැඩි මානසික අභියෝගයක් විය හැකියි. ”යනුවෙන් දරුවන්ට ප්‍රතිකාර වෛද්‍ය විශේෂඥයෝ පවසති.
දින නවයක් තිස්සේ හරිහමන් අහරක් නොමැතිව සිටි මේ දරුවන් දැන් බරෙන් අඩුය. දැන් ඔවුහු තමන් කෑමට ප්‍රිය කරන ඌරු මස්, පාන් හා චොකලට් කෑමට ඉල්ලති.
චියන් රායි හි ප්‍රාචානුක්රෝහ් රෝහල අවට මේ දිනවල තායි ජනයා බොහෝය. ඒ සැවොම මේ දරුවන්ගේ සැපදුක් බැලීමට හා ඇසීමට පැමිණියෝ වෙති.
සරිරාට් ලැබ්ලෝයි එම රෝහල ඉදිරිපිට වසර ගණනාවක සිට ලොතරැයි පත් අලෙවියේ නිරත වන්නීය. මේ දිනවල ඇගේ ලොතරැයි ආදායම සරුවී ඇත්තේ අන් කවරදාටත් වඩාය.
‘‘මෙතැනට එන හැමෝම මගෙන් විශේෂ අංක තුනක් සඳහන් ටිකට් ගන්නවා. 13, 23 හා 38 ඒ අංකයි. ගුහාවේ සිරවුණු දරුවන් සංඛ්‍යාව ඉන් මුල් අංකයයි. දෙවැනි අංකය ඒ දරුවන් මුලින්ම සොයා ගත් දිනය. 38 කියන්නේ තායි නාවික හමුදා සීල් අංකයයි. මේ අංක තුන වාසනාවන්තැයි කියා හැමෝම ඒ අංක සඳහන් ලොතරැයි ගන්න පොරකනවා.” ඇය විදෙස් මාධ්‍ය හා පවසා තිබිණ.
මේ මහා මෙහෙයුම අවසන් වුවද තවමත් ලෝක මාධ්‍ය මේ දරුවන් ගැන පුවත් පළ කරයි. ඒ අතර සිටි දරුවන් අතරින් අයෙක් මියන්මාර ජාතිකයෙකි. අඩුල් නම්වන 14 හැවිරිදි ඔහු තායිලන්තයට පැමිණියේ සිය උපන් ප්‍රදේශයේ පවතින වර්ගවාදී අරගලවලින් බේරී හොඳ අධ්‍යාපනයක් ලැබීමටය. බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනා හා ඉංග්‍රිසි බසින් මුලින්ම කතා කළේ අඩුල් ය. කණ්ඩායමේ සිටි ඉංග්‍රිසි කතා කිරිමට දන්නා එකම දරුවා වන අඩුල්ට භාෂා පහක් කතා කිරීමේ හැකියාවක් ඇත්තේය. අඩුල්ගේ විනීත කතාබහ ගැන බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් කතා කර ඇත්තේ දැඩි පැහැදීමකිනි. කණ්ඩායමේ නායකයා ඩුගාන්පෙට් කා අතරත් පිළිගැනීමට ලක්වූ දරුවෙකි. දහතුන් හැවිරිදි වුවද ඔහු විවිධ කණ්ඩායම් මගින් සෙවුම් බැලුම් කටයුතු සඳහා යොදා ගන්නා තීක්ෂණ බුද්ධියකින් යුතු දරුවකු බව පැවසේ. එදින මේ පාපන්දු කණ්ඩායම ගුහාවට පිවිස ඇත්තේ 17 හැවිරිදි පීරාපැට්ගේ උපන් දින සැමරුමටය. ඔවුන් ගුහාවට ඇතුළු වූ ජූනි 23 වැනිදා ගුහා ප්‍රදේශයේ පැවත ඇත්තේ වියළි කාලගුණයකි. එහිදී ආහාරය පිණිස ඔවුහු සුළු ආහාර වර්ග කීපයක් රැගෙන ගොස් ඇත්තාහ. ඔවුන් සොයා ගන්නාතෙක් දින නවයක් තිස්සේ දරුවන් යැපුණේ එම ආහාරවලිනි. ඔවුන් බීමට දිය සපයා ගෙන ඇත්තේ ගුහා බිත්ති දිගේ ගලා එන දිය දහරාවලිනි. තායි බලධාරීහු අඩුල් හා පුහුණුකරුට තායි පුරවැසිභාවය ලබාදීම කෙරෙහි දැන් සලකා බලමින් සිටිති.
කණ්ඩායමේ සහකාර පුහුණුකරු එකැපොල් 25 හැවිරිදිය. දහවැනි වියේදී මවුපියන් මිය යෑමෙන් පසු ඔහු හදාවඩා ගෙන ඇත්තේ නැන්දණියක විසිනි. පාපන්දු පුහුණුකරුවකු වීමට පෙර පැවිදි දිවියක් ගෙවූ මේ තරුණයා දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව රැක ගැනීම සඳහා ගුහාවේ දී දරුවන් භාවනාවට හුරු කළ බව වාර්තා විය. එපමණක් නොව තමා ආහාර නොගෙන දින නවයේදී තමන් සතු කෙටි ආහාරද දරුවන්ට දීම නිසා සොයා ගනු ලබද්දී වැඩියෙන්ම දුර්වලව සිට ඇත්තේ ද ඔහුය. සිරවී සිටි කාලයේදී මේ කණ්ඩායම ඉතා බුද්ධිමත්ව එකිනෙකා ගැන සොයා බලමින් කටයුතු කර ඇත්තේය. ගුහා ඇතුළත සීතලෙන් ආරක්ෂා වීමට එකට පොදි ගැසී සිටිමින් රැඳී සිටි ස්ථානයේ ගල් ඉවත්කර කුඩා කුටීරයක් සාදාගෙන එයට ඇතුළු වී සීතලෙන් ආරක්ෂා වී සිට ඇත.
දැන් සියල්ලන්ම සිටින්නේ සතුටිනි. බේරා ගැනීමේ මෙහෙයුමේදී මියගිය තායි ජාතික විශ්‍රාමික නාවික භටයාගේ අවමඟුල පැවැත්වෙද්දී දරුවන්ගේ දෙමවුපියන් ඊට සහභාගි වූයේ සිය දරුවන් ලද සතුට යටපත් කරගනිමිනි.
ඔහු මිහිදන් කරනු ලැබුවේ රටේ වීරයකු ලෙස නම්කරනු ලැබ ගෞරව සහිතවය. දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට එක්වූ සියලුම රටවලට සිය ස්තුතිය පුද කරන්නට තායි බලධාරීන් පමණක් නොව ලෝක බලධාරිහු ද අමතක නොකළහ.
ඛේදවාචකය සැලවූ සැණින් ලෝක පාපන්දු සම්මේලනය දරුවන්ට බේරා ගත් දිනක අවසන් මහා තරගය නැරැඹීම සඳහා ආසන වෙන් කළේය. නමුත් දරුවන්ට ගමන් තහනම්ය. ලෝක පාපන්දු කුසලාන පැවැත්වෙද්දී සිදුවූ මේ සිදුවීමත් සමඟ මුළු පාපන්දු ලෝකයේම අවධානය ඒ කෙරෙහි යොමු විය. පෘතුගාලයේ පාපන්දු සමාජයක් දැන් මේ කණ්ඩායමට එරටට පැමිණ සතියක පුහුණු සැසියක් සඳහා ආරාධනා කරයි. එංගලන්තයේ සුප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම තමන් සමඟ සුහද තරගවාරයකට මේ දරුවන්ට ආරාධනා කර තිබේ. ගුහාවේ සිරව සිටි දරුවකු සැරසී සිට ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ සලකුණ සහිත ටී ෂර්ටයකිනි. ඒ දුටු එංගලන්ත ක්‍රීඩකයන් කණ්ඩායම සඳහා ටී ෂර්ට් තොගයක් එවා ඇත්තේය.
මේ වෙද්දී දරුවන් ගැන මුළු ලොවම කතා කරයි. එහෙත් වැඩි දිනක් ගතවීමට මත්තෙන් මේ සිද්ධිය ලොව පුරා සිනමා ලෝලීන්ට චිත්‍රපටයක් ලෙසින් නැරැඹීමට ලැබෙනු ඇත. ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ Pure Flix හිමිකරු දැන් තායිලන්තයට පැමිණ සිටින්නේ සිද්ධිය අලළා සැමට පෙර හොලිවුඩ් චිත්‍රපටයක් තැනීමටය. ඉදිරියේදී දරුවන්, දෙමවුපියන් හා මෙහෙයුමේ නියමුවන් සමඟ කතාබහ කර ඊට අවශ්‍ය පියවර ආරම්භ කිරීමට ඔහු සැරසේ. වැඩි කලක් ගත වීමට පෙර එනම් ලබන වසරේදී චිත්‍රපටය තිරගත කිරීම ඔහුගේ අභිප්‍රායයි. චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වනු ඇතැයි ඔහු පවසයි.