හැම බැංකුවකටම පාඩමක් ඉගැන්වූ තලාවේ කොල්ලකරුවෝ | සිළුමිණ

හැම බැංකුවකටම පාඩමක් ඉගැන්වූ තලාවේ කොල්ලකරුවෝ

රටේ වරින් වර සිදු වන බැංකු කොල්ලයන් ගැන අප අසා තිබේ. ඒ බොහෝ කොල්ලයන් සිදු වන්නේ බැංකුවේ ගනුදෙනු සිදු කරනු ලබන අවස්ථාවන්හිදීය. බැංකු වසා තබා ඇති අවස්ථාවන්හිදී බැංකු බිඳ එහි මුදල් හෝ රන් ආභරණ කොල්ලකෑම් පිළිබඳව මෑත ඉතිහාසයේ වාර්තා නොවූ තරම්ය.

එහෙත් ඒ වාර්තා නොවීම් අතරට කාලයකට අමතක නොවන පාඩමක් ලබා දෙන්නට එක්තරා කොල්ල කණ්ඩායමක් පසුගිය දිනක කටයුතු කළේය.

දිනයද නිසි අයුරින් අපට පැවසිය නොහැකි තරමට මේ සොරුන් දස්කම් දක්වා තිබේ.

පසුගිය 2 වැනි දා තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයා උදෑසන බැංකුව විවෘත කිරීමෙන් අනතුරුව එහි සේප්පු කපා මුදල් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව දැක ගැනීමෙන් අනතුරුව තලාව පොලීසියට දුරකතනයෙන් අමතා පසුව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. තලාව පොලිසියේ විශේෂ කණ්ඩායමක් පැමිණ මූලික පරීක්ෂණ පවත්වන්නට විය.

බැංකුවේ කළමනාකාරවරයා ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් බැංකු නිලධාරීන් විසින් පවසන ලද තොරතුරු මත පොලිසියට පැහැදිලි වූයේ මේ සොරකම ජූනි 29 වැනිදා සිකුරාදා පස්වරු 6.40ත් ජූලි 2 වැනිදා උදෑසන 7.10ත් අතර කාලයකදී සිදුව ඇති බවයි. සොරුන්ට මේ සොරකම සිදු කර අවශ්‍ය තැනකට යන්නට ඕනෑ තරම් කල්වේලා තිබී ඇති බව අපට මෙයින් පැහැදිලිය. අවශ්‍ය නම් විදෙස් රටකට හෝ යන්නට වුවද ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය.

29 වැනිදා පස්වරු ගනුදෙනු අවසන්ව ගිණුම් කටයුතු නිම කිරීමෙන් පසුව පස්වරු බැංකුව වසා ආරක්ෂක නිලධාරීන්ද බැංකුවෙන් සේවය නිමවා ගොස් ඇති අතර ඔවුන්ද යළි බැංකුව වෙත පැමිණෙන්නේ බැංකුවේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන අවස්ථාවන්හිදීය. නිවාඩු දිනයන්හිදී ආරක්ෂක නිලධාරීන් රාජකාරියෙහි නොයෙදවීම මේ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය වී ඇත.

ඒ අනුව පසුගිය 29 වැනිදායින් පසුව යළි බැංකු ගනුදෙනු සිදු කරන ලද පසුගිය ජූලි 2 වැනිදා වන තුරු රාත්‍රී 3ක්ම අවශ්‍ය තරම් කාලයක් සොරුන්ට මේ කාර්යය කරගෙන යන්නට අවකාශ සැලසී ඇත.

සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාර මහතා විසින් සිද්ධිය පිළිබඳ මූලික පරීක්ෂණ පවත්වන අතරතුරදීම ඒ සම්බන්ධව තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි අනුර ද සිල්වා වෙත සිද්ධිය සැල කරන ලද අතර ඒ මහතා විසින් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාට සිද්ධිය පිළිබඳව වාර්තා කරන ලද්දේ සිදුවීමේ බරපතළ තත්ත්වය වටහා ගෙනය. පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ මේ සොරකමට සම්බන්ධ පිරිස් තමන්ට අවශ්‍ය තරම් වේලාවන් ලබා ගෙන මේ සොරකම සිදු කර ඇති බවයි. මේ සංවිධානාත්මක සොර කල්ලිය බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී එම දොරින් පසුව ඇති ආරක්ෂක යකඩ දොර කපා බැංකුවට ඇතුළු වී ආරක්ෂිත සේප්පු ගබඩා කාමරයට ඇතුළු වී ඇති බව තහවුරු විය.

ඒ සියල්ලටම වඩා පුදුම සහගත සිදුවීම ලෙස පොලිසියට නිරීක්ෂණය වූයේ හදිසි අවස්ථාවකදි හඬ නැඟෙන ආරක්ෂක සංඥා පද්ධතිය (සයිරන් නළාව) ගලවා දැමීමට මේ සොර කණ්ඩායම කටයුතු කර තිබූ ආකාරයයි.

යම් කිසිවකු අනවසරයෙන් බැංකුවට ඇතුළු වුවහොත් එම නළාව හැඬවෙන පරිදි සවිකර තිබේ. එසේ තිබියදී මේ පිරිස් සයිරන් නළාව හැඬ නොවන ලෙස පිටුපස දොර කඩා ඇතුළු වූයේ කෙසේද යන්න විශාල ගැටලුවක්ව ඇත. සයිරන් නළාව හැඬවීම වැළැක්වීම සිදු කළ හැක්කේ බැංකුව ඇතුළේ සිටින අයකුට පමණක් වන නිසා මේ වන විට ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කෙරේ.

එහෙත් අප අමතක නොකළ යුතු තවත් කරුණක් ඇත. ඒ සොරුන්ට ගණ දෙවි නුවණ තිබෙන බවයි. මේ සොරුන් කණ්ඩායම මනා ලෙසින් සංවිධානය වී මනා සැලසුමක් සහිතව ඉතා සූක්ෂ්ම ලෙස මේ කාර්යය සිදු කර ඇති බව පොලිසියට පෙනී ගොස් ඇත. එම නිසා නළාව හැඬවීම වැළැක්වීමට ඔවුන් කුමන උපක්‍රමයක් ඒ සඳහා භාවිත කෙළේද යන්න ගැන අප පූර්ව විනිශ්චයන් ලබා දිය යුතු නැත.

නළාව පමණක් නොව බැංකුවේ ආරක්ෂාව පිණිස ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා එහි දත්ත ගබඩාවද මේ සොර කණ්ඩායම විසින් රැගෙන ගොස් ඇති බව පොලිස් නිරීක්ෂණවලදී හෙළිව ඇත.

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව පොලිස් මුරපොළ පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි මේ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇති පිරිස් බැංකුවේ අධි ආරක්ෂිත සේප්පු හතරෙන් තුනක් ගෑස් කටර් ආධාරයෙන් කපා එහිවූ රුපියල් අට කෝටි හැත්තෑ හත් ලක්ෂයක් (ලක්ෂ 877) වටිනා ගනුදෙනුකරුවන් විසින් බැංකුවේ උකස් කරන ලද රන් ආභරණ කිලෝ ග්‍රෑම් 22.5 ක් සමඟ බැංකුවේ මුදල් රුපියල් ලක්ෂ 107ක් සොරා ගෙන ගොස් ඇති පොලිස් මූලික පරික්ෂණවලදී හෙළි විය. කෙසේ වෙතත් ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව බැංකුවෙන් සොරා ගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම කෝටි 16කට අධිකය.

මෙම සොරකම උතුරු මැද පළාතේ මූල්‍ය ආයතනයක් කඩා සොරා ගත් වැඩිම මුදල වන අතර පරීක්ෂණ පවත්වන අතුරේම සිද්ධිය සම්බන්ධව අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත හා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාටද සිදුවීම් පිළිබදව දැනුවත් කරන ලදී. ඔවුහුද ක්ෂණිකවම බැංකුවට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළහ.

මුදල් - රන් අාභරණ, සීසීටීවී කැමරා දත්ත පද්ධතිය පමණක් නොව මේ සොර කණ්ඩායම විසින් බැංකුවේ සවිකර තිබූ වයි - ෆයි අන්තර්ජාල සංඥා පද්ධතියත් ගලවාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. මේ බැංකු කොල්ලය සාමාන්‍ය පිරිසකට කළ නොහැකි බවත් එය පළපුරුදු සංවිධානාත්මක සොර කල්ලියක් විසින් සිදු කරන ලද්දක් බවත් පෙනී ගොස් ඇති බව පොලිසිය පෙන්වා දෙයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ සොරු කණ්ඩායම විසින් මුදල් හා රන් ආභරණ සහිත සේප්පු පමණක් කපා දමා මුදල් හා භාණ්ඩ රැගෙන ගොස් ඇති බවත් බැංකුවේ ආරක්ෂක අංශය භාවිතා කරන අවි ආයුධ සහිත සේප්පුවට කිසිදු හානියක් සිදුකර නොමැති බවත්ය.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ ප්‍රධාන කරුණක් වූයේ මේ සොර කල්ලිය බැංකුව තුළට වී ගෑස් කටර් ආධාරයෙන් සේප්පු 3ක් කපා දමා ඇතත් අසල පිහිටි කිසිදු වෙළඳ ආයතනයකට එහි හඬ ඇසී නොමැති බවයි. අපරාධකරුවන් විසින් මේ කොල්ලය සඳහා රැගෙන විත් තිබූ උපකරණ අතර තිබී දමා ගිය ඉස්කුරුප්පු නියනක් හා රෙදි කැබැල්ලක් පොලිස් භාරයට ගෙන තිබිණි.

එම භාණ්ඩවලට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිල සුනඛ ‘හීරෝ’ ඉව කිරිමෙන් අනතුරුව පෞද්ගලික ඉඩමක පිහිටි පාළු නිවසකට හීරෝ ගොස් ඇති අතර එහි සිට නැවතත් තලාව අනුරාධපුර මාර්ගයට පැමිණ නැවතුණු බවත් පොලිසිය පෙන්වා දෙයි.

සැකකරුවන් බැංකුවේ සේප්පු කපා රන් ආභරණ හා මුදල් රැගෙන යන අවස්ථාවේ එම පාළු නිවසේ රැඳී සිටින්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

සොරකම සිදු කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැති අතර බැංකු සේවකයන් හා බැංකුව අසල පිහිටි වෙළද ආයතනවල හිමිකරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. මේ සම්බන්ධව මේ වන විට 15 දෙනකුගෙන් පමණ කට උත්තර ලබා ගෙන ඇත.

එමෙන්ම ප්‍රදේශයේ ආයතන හා නිවාස වල ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ.

බැංකුව තුළ තිබුණු රුධිර පැල්ලම් කිහිපයක් නිසා මේ අපරාධයට පැමිණි පුද්ගලයෙකු හෝ කිහිප දෙනකු හෝ සේප්පු කැපීමේදී තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ සඳහා 5 දෙනකු හෝ 8 දෙනකු අතර පිරිසක් පැමිණෙන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

මේ අපරාධය සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් 08ක් යොදවන ලදී. බැංකුවේ ආරක්ෂාව දුර්වල තත්ත්වයක ඇති බවට පොලිසිය විසින් අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද ඒ සම්බන්ධයෙන් බැංකුව අවධානයක් යොමු කර නොමැති බව පොලිසිය පවසයි.

විශේෂයෙන්ම ආරක්ෂිත කැමරා පද්ධතිය යාවත්කාලීන කරන ලෙසත් ආරක්ෂක දොරවල් ඉතාම දුර්වල තත්ත්වයක පවතින හෙයින් සුදුසු ආරක්ෂාකාරී පියවරක් ගන්නා ලෙසත් පොලිසිය විසින් මේ සම්බන්ධව දැනුවත් කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. එසේම පවත්වන ලද පරීක්ෂණ අනුව මේ වන විට සිදු කළ පරීක්ෂණ වාර්තා අනුව පොලිසියේ මතය වී ඇත්තේ මේ සොරකම බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා දැනුමක් නොමැතිව සිදු කිරීම අපහසු බවයි.

දැන් මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. ඒ සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකය, රාජාංගණය, තඹුත්තේගම, එප්පාවල, තලාව පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරින් හා අනුරාධපුර අපරාධ පරීක්ෂණ ස්ථානාගාරයේ (සොකෝ) නිලධාරින් නිල සුනඛ අංශය හා ඇඟිලි සලකුණු නිලධාරින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කර ඇත. දැන් සියල්ල සිදුවී අවසානය. සොරුත් නැත. පත්‍රය මුද්‍රණයට යන විටත් කිසිවකුවත් අත් අඩංගුවට ගෙන නොතිබිණි. අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීම අපේ රටේ සිරිතය. මෙවර අශ්්වයා පැන ගොස් ඇත්තේ ලෙහෙසි පහසු ආකාරයෙන් නම් නොවේ. ඉදිරියේදී හෝ මේ ආකාරයෙන් සිදු කෙරෙන දැවැන්ත කොල්ලකෑම් මැඬ පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. එය නීතියට හෝ පොලිසියට හෝ බාර දී අත පිස දා ගැනීමට කිසිවකුට නොහැකිය.

සේයාරූ - අන්තර්ජාලයෙනි.

Comments