
පුංචි දූපතක අයිතිය ඇති අපට මහා සම්පත් ගෙන දෙන මහ සයුර අමතක කරන්නට ම බැරි ය. මහ සයුරේ සියලු සම්පත් අප මහ පොහොසතුන් කරන්නට තරමේ වන නමුදු කිකිළියගේ බඩ පළා රත්තරන් බිත්තර සෙව්වා සේ මහ සයුර කළතා සියලු සම්පත් ගොඩට ගන්නට ඇතැමුන් වෙර දරමින් සිටිති. මුතු ඇටයක් ව දිලිහෙන්නට අපට වරම දෙන්නේ මේ මහ මුහුද ම බව ඇතැමුන්ට අමතක ය. මේ ගැන අප දත යුතුම කතාවක් අපේ රට වට බැදි රන්වැටේ ඇත්තෝ දනිති. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර කවුරුත් දත යුතු මේ කතාව කීවේ ය.
'දූපතක් විදියට අපේ රට පිහිටලා තියෙන්නේ හරිම වැදගත් තැනක. හරියට ම කිව්වොත් පෙරදිග සහ අපරදිග මුහුදු මාර්ගයේ ලංකාව පිහිටලා තියෙන්නේ උපාය මාර්ගිකව හරිම වැදගත් තැනක. අන්තර්ජාතික නීතිවලට අනුව ගත්තාම අපේ රටට අයිති මුහුදු ප්‍රදේශයේ විශාලත්වය අපේ රටේ ගොඩබිම් ප්‍රදේශය වගේ හත්ගුණයක් විතර වෙනවා. විශාල ප්‍රදේශයක සාගර සම්පත් ලබා ගැනීමේ හැකියාව තිබියදීත් අපේ මිනිස්සුන්ගේ වැරදි වැඩ නිසා සාගරය වගේ ම සාගර සම්පතත් විනාශ වෙලා යනවා.
සාගරයෙන් අපි වැඩිපුර ම ලබාගන්නේ මත්ස්‍ය සම්පත ය. සීමිත සම්පතක් බව තවමත් අපට නොහැඟුණත් මත්ස්‍ය සම්පත සීමිත ය. මසුන් බෝවීමට ගතවන කාලයට නොගැළපෙන ලෙස මත්ස්‍ය සම්පත ලබාගැනීමට යෑමෙන් සිදු වන්නේ ආහාරයට සුදුසු මසුන් ඉක්මනින්ම සාගරයෙන් තුරන්වී යෑම ය.
මසුන් ඇල්ලීම අපේ රටේ මුහුදුබඩ කලාපවල සැළකිය යුතු පිරිසකගේ ජීවනෝපාය ය. මසුන් ඇල්ලීමට අපේ රටේ ඉස්සර ඉදලා පාවිච්චි කරපු ධීවර පන්න ක්‍රම තිබිලා තියෙනවා. ඒවාෙයන් සාගරයත්, වැඩිපුර ඉන්න මසුන්ටත් හානියක් නොකර තමන්ට වුවමනා තරමට මසුන් අල්ලාගන්න ධීවරයෝ දැනගෙන හිටියා. නමුත් අද තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. වැඩි මසුන් ප්‍රමාණයක් අල්ල ගන්න කියලා පාවිච්චි කරන නීති විරෝධී ක්‍රම නිසා අනවශ්‍ය විදියට මසුන් මැරිලා යනවා. කුඩා මාළු රංචු අනවශ්‍ය විදියට මැරිලා යනවා. සමහර විට මේ මැරෙන කුඩා මාළු ආහාරයට ගන්න පවා නොහැකි තරම් අඩු වයස් වල මසුන්. මසුන් මැරීමට නීති විරෝධී දැල් සහ පුපුරන ද්‍රව්‍යය භාවිතය දැන් දැන් වැඩි වෙමින් තියෙන බව අපි හඳුනාගෙන තියෙනවා. මොකද මෑතදී මෙවැනි නීති විරෝධී ක්‍රම වලට මසුන් මැරීම සිදු කරපු ධීවරයො නිතර නිතර අපිට අල්ලා ගනට ලැබුණා.
පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් මැරීම මසුන්ට පමණක් ම නොව සාගර පද්ධතියට ම හානිකර වන බවයි, නාවුක හමුදාව පවසන්නේ.
සාගර සම්පත් විනාශ වීම කෙරෙහි විශේෂයෙන් ම සාගර කලාපය තුළ ධීවර කටයුතුවල නිරතවන ධීවරයන් විසින් මසුන් ඇල්ලීම සඳහා නීති විරෝධි දැල් භාවිතය සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවන අතර, මේ වනවිට ධීවරයන් ඉතාමත් විනාශකාරි සී 4 (c4) වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ඩයිනමයිට්, ටීඑන්ටී වැනි පුපුරණ ද්‍රව්‍යය 4 ද යොදා ගනිමින් මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබනවා. මෙවැනි ධීවර පන්න ක්‍රම නිසා අපේ මත්ස්‍ය සම්පත් විනාශ වෙනවා මෙන්ම, මුහුදු පතුලේ ඇති කොරල් පරල ගල් පරල මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ වන බව අප හට පෙනී ගොස් තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් සිදු කරන ලද නිරික්ෂණ මඟින් ඒ බව මනාව තහවුරුව තිබෙනවා. නීති විරෝධී ක්‍රියාකරකම් මැඩලීමට නාවික හමුදාව නිරන්තරයෙන් අවධානය යොමු කොට ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා අඛණ්ඩ මුර සංචාරක කටයුතු වල දිවා රාත්‍රී නිරන්තරයෙන් නියැළී සිටිනවා. ඒ තුළින් ඉතාමත් ඵළදායී ප්‍රතිඵල නෙළා ගැනීමට පසුගිය වකවානුව තුළදී නාවික හමුදාව හැකි වූ බව ප්‍රකාශ කරන්නට කැමතියි.
මෙම වසර තුළ නාවික හමුදාව විසින් මුර සංචාර සහ විශේෂ වැටලීම් රාශියක් සිදු කර ඇති අතර, එමඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් අල්ලන ලද පුද්ගලයන් මෙන්ම අල්ලන ලද මත්ස්‍ය තොග නාවික හමුදා භාරයට ගෙන අදාළ ධීවර පරීක්ෂක කාර්යාලයන් සහ පොලිසි වෙත භාරදී එම පුද්ගලයන් හට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබන්නේ නැගෙනහිර මුහුදු තීරය සහ මන්නාරම මුහුදු තීරය අාශ්‍රිත ව ධීවර කටයුතුවල නිරතවන ඇතැම් ධීවරයන් පිරිසක් මඟින් බව නිරික්ෂණය වන අතර, මෙම වසර තුළ පමණක් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් අල්ලන ලද මත්ස්‍ය කිලෝග්‍රෑම් 2442 පමණ නාවික හමුදාවට සොයා ගැනීමට හැකි වුණා.
මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත බෝ වීම අඩු වීමට පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ප්‍රධාන වශයෙන් හේතුවන බවත්, එමඟින් අප සාගර කලාපය තුළ මත්ස්‍ය සම්පත් විනාශ වීමේ අවධානමකට ද මේවන විට පත්වී ඇති බවයි. සුළු පිරිසක් විසින් සිදු කරන ෙම් නීති විරෝධී මසුන් මැරීමේ ක්‍රම ඉදිරියටත් සිදුවුවහොත් අනාගතයේදී ධීවර කර්මාන්තයේ යෙදෙන බහුතරයක් ධීවරයන් හට තම රැකියාව සාර්ථක කර ගැනීමට නොහැකි වන තත්ත්වයක් ඇතිවීම වැලැක්වීමට නොහැකියි. එබැවින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුළ ස්වාභාවික සම්පත් මෙන්ම මෙන්ම මත්ස්‍ය සම්පත අනාගත පරපුර වෙත සුරක්ෂිත කර දීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකීම බව අපි තරයේ විශ්වාස කරනවා.
මෙවැනි නීති විරෝධී පන්න ක්‍රම මැඩපැවැත්විම සඳහා ශ්‍රී ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටින අතර, ඒ සඳහා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේනතුවල ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ ද නිරන්තරයෙන් එකාබද්ධ ව කටයුතු කරමින් සිටි. සාගරය රැක ගැනීමට නාවුක හමුදාව වෙහෙසෙමින් සිටින්නේ සාගරය අපට, අපේ රටේ පැවැත්මට කෙතරම් වටින්නේ වේදැයි ඔවුන් කාටත් වඩා හොදින්ම දන්නා නිසාය. අපේ රටේ සංචාරක ආකර්ෂණය ඉහළ දමන්නේ ද අපේ පුංචි රට වටා ඇති මහ මුහුද ම බව නොරහසකි. මහ මුහුදේ ලස්සන අප විසින්ම අප දෑතින් ම නසා ගන්නේ නම් එය අපම අපේ දිවි තොරකර ගැනීමක් සේ නොවන්නේද? අපේම නොයෙක් අකටයුතුකම් නිසා කොරල්පර, කොරල්පර ආශ්‍රිත මසුන්, ඔවුන් බෝවන තැන් නැසී යන්නේ නම් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම තත්ත්වය වැලැක්විම ජාතික අවශ්‍ය තායක් ලෙස සලකා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ධීවර ප්‍රජාව සහ ඒ සහ සබැඳුණු අනෙකුත් පුද්ගලයන් නීතී විරෝධී පන්න ක්‍රම සහ ඒවායෙන් ඇතිවිය හැකි අනිසි බලපෑම් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙයට අමතරව සාගර පරිසර පද්ධතිය සුරැකීමේ කටයුතු සඳහා අප සක්‍රිය ව දායකවී සිටින අතර, කෘතිම කොරල් පර නිර්මාණය කිරීම, කඩොලාන ශාක ප්‍රජාව වර්ධනය කිරීම සහ වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා දායක වීම මෙහිදි ප්‍රධාන වශයෙන් හැදින්විමට හැකිය.
නමුත් මෙම කාර්ය මැඩපැවැත්විම සඳහා ධීවර කටයුතු වල නිරතවන ධීවර ප්‍රජාව මෙන්ම ඒ හා සහසම්බන්ධව සිටින සියලුම ශ්‍රී ලාංකීකයන් සහයෝගය, කැපවීම සහ දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප දකිනවා. තවද, ඔවුන්ගේ නිරන්තර සහයෝගය මේ සඳහා කටයුතු කරන නාවික හමුදා මෙන්ම අනෙකුත් රජයේ නිලධාරින් හට නිසි පරිදි ලබා දීම මඟින් නීති විරෝධී පන්න ක්‍රම මඟින් මසුන් ඇල්ලීමේ කටයුතු මැඩපැවැත්විමට මහඟු පිටිවහලක් වන බව අපගේ හැඟිමයි.
නාවික හමුදාව මේ කරන්නේ ඔවුන්ගේ වගකීමෙන් එහා ගිය අපි කවුරුත් ආදරය කරනා මහ මුහුද සේම මහ මුහුදේ සම්පත් ද අනාගතය වෙනුවෙන් රැක ගැනීමේ මහගු පින් කටයුත්තකැයි කීමේ වරදක් නැත්තේතේ ය. මහ මුහුදක් දැක ගන්නට දින ගණන් ගතකර වුව බැරි වන ලෝකයේ ඇතැම් රටවල මිනිසුන්ට වඩා අප බොහෝ වාසනාවන්තයන් වන්නේ රටේ කොතැන සිටියත් පැය කීපයකින් මුහුදේ හෝ හඬ ඇසෙනා මානයකට එන්නට තරම් අප වාසනාවන්ත නිසාය. අපට සොබාදහමෙන්ම ලැබී ඇති මහ සම්පත අප රැක ගත යුත්තේ ඒ නිසාය. ඒ අප වෙනුවෙන්ම නොව අපේ අනාගතය වෙනුවෙන් ය.