
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවත්නා සුවිශේෂි ස්ථාන අතරින් අක්බාර් පාලමට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි.මෙයට වසර හැත්තෑ පහකට පමණ ඉහතදී මහවැලි ගංඟාව හරහා ඉදිකර තිබෙන අක්බාර් පාලම අංශ ගණනාකින් සුවිශේෂි වෙයි. විශ්වවිද්‍යාලයේ සියලු පීඨ මහවැලි නදියෙන් එක් පසෙක තිබියදී ඉංජිනේරු පීඨය පවතින්නේ ඒ සියල්ලෙන් වෙන්ව ගඟේ අනෙක් පසය. ගඟ දෙපස පිහිටි ඉංජිනේරු පීඨය හා සෙසු පීඨ එක් කරන්නේ අක්බාර් පාලමයි. මහවැලි ගඟේ සිට අඩි පනහක් පමණ ඉහළින් පිහිටි මෙම පාලම රඳවා සිටින්නට ගංඟාව මැදට වන්නට කිසිදු ආධාරක කණුවක් නොමැත. එක් පැත්තකින් එය මෙරට ඉංජිනේරු තාක්ෂණයේ වික්‍රමය රටට කියාපාන්නාවූ නිර්මාණයකි. පේරාදෙණිය උද්භිද උද්‍යානය හා විශ්වවිද්‍යාල භූමිය මලින් පිරි යෑමත් අක්බාර් පාලමේ පහළ ඇඳි කිසිවකුට පහසුවෙන් ළංවිය නොහැකි ලෙස පිහිටා තිබීමත් නිසා එය බඹරුන්ගේ රජ දහනක්වී තිබෙන්නේ වසර ගණනාවක සිටය. මල්පැණි සෙවීමට ඇති පහසුවත් ආරක්ෂාවත් යන දෙකම මෙම ස්ථානයේ පවතින නිසා බඹරු කොතෙක් බාධක ආවත් පාලම හැර නොයති. විශ්වවිද්‍යාලයේ සිසුන් අට දහසක් පමණ අධ්‍යාපනය ලැබුවද ඔවුන් තැන තැන විසිර පිහිටි පීඨවලට අනුයුක්තව අධ්‍යාපනය ලබන බැවින් අක්බාර් පාලමේ බඹරුන්ගේ අවධානය ඔවුන් කෙරෙහි යොමු වන්නේ ඉතා අඩුවෙනි. එසේ වුවත් විශ්වවිද්‍යාල උපාධි ප්රදානෝත්සවය සඳහා සිසුන් හා ඔවුන්ගේ දෙමවුපියන්ද ඇතුළුව පන්දහසකට ආසන්න පිරිසක් පැමිණෙන බැවින් බඹරුන් කලබලවී ප්‍රහාරයක් එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතී. මේ නිසාම අක්බාර් පාලමේ බඹර වද උපාධි ප්‍රදානෝත්සවයට පෙර එම ස්ථානයෙන් ඉවත් කිරීම දැන් කලක පටන්ම සිදු කෙරෙන්නකි.
![]() |
තිස්ස බණ්ඩාර |
මුල්කාලයේ බඹර වද ගිනි තබා විනාශ කළත් දැන් එම බඹරුන්ගේ ජීවිත සුරකිමින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වගකීම බිඟු සම්පත සුරැකීමේ සංවිධානය බාරගෙන තිබේ. දැඩි අවධානමක් ගෙන වික්ටෝරියා වේල්ලේ බඹර වද ඉවත් කළ මෙම කණ්ඩායම අක්බාර් පාලමේ බඹර වද ඉවත් කිරීම සඳහා පැමිණෙත්දී ඔවුන් සමඟ වයස අවුරුදු 13 ක දැරියක්ද සිටියාය. ඒ වනවිටත් අක්බාර් පාලමේ බඹර වද 20 ක් පමණ බැඳ තිබූ අතර ඒවා ඉවත් කිරීම සඳහා පාලම මත සිට කඹ ආධාරයෙන් පහළට බැසිය යුතුය. පාලමේ යටි ඇන්දේ බැඳ තිබෙන බඹර වද ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය. දුටුවන් මවිත කරමින් බඹර කපන්නට ගිය කලණි ආලෝකා නම්වූ වයස අවුරුදු 13 ක දියණිය කිසිදු බියක් නොපෙන්වා පුරුදු කාරයෙකු සේ බඹර කැපුවාය. බඹර කපන්නට එක්වූ කණ්ඩායමේ සිටි ළාබාලතමයා කෙරෙහි කාගේත් අවධානය යොමු වූයේ නිරායාසයෙනි.....
‘‘මම මහනුවර මහනාම විදුහලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. අපේ ගෙවල් තියෙන්නේ හන්තානේ. මං තාත්තා එක්ක ගමේ බඹර කපන්න යනවා. පළමුවැනි වතාවට තමයි තාත්තා මේ වගේ ලොකු වැඩකට මාව එක්ක ගෙන ආවේ. අපේ ගෙදර මී මැස්සෝ ඇති කරනවා. ඒවායේ පැණි ගන්න තාත්තා මට ඉගැන්නුවා. ගමේ කොහේ හරි මී වදයක් හරි බඹර වදයක් හරි තියෙනවා නම් තාත්තට තමයි කියන්නේ ඒක අයින් කරන්න. එතකොට තාත්තා එක්ක මාත් යනවා. මේ ළඟදි අපේ ගෙවල් ළඟ අඹ ගහක බැඳලා තිබුණු බඹරයක් මම තනියම කැපුවා. අද මට බඹරෙක් විද්දා. ඒක එහෙම තමයි. අපි මේ සතුන්ට ආදරෙයි. බය වෙලා බඹර කපන්න බැහැ. අපි බය වුණාම ඒක සත්තුන්ට තේරෙනවා. බඹරු වද බඳින්නේ කාටවත් පහසුවෙන් යන්න බැරි තැන්වල. අක්බාර් පාලමත් ඒ වගෙ තැනක්. පාලමේ එල්ලිලා බඹරයක් කපන එක හරිම අමාරුයි. බඹරු විදින්න වගේම පාලමෙන් වැටෙන්නත් පුළුවන්. අවදානම් දෙකක් අරගෙන තමයි අපි බඹරයක් කපන්නේ. ඉස්කෝලේ ගිහින් අනාගතේ දොස්තර කෙනෙක් වෙන්න තමයි හිතන්නේ. පාසල් වැඩවලට බාධාවක් නොවන ලෙස තාත්තා එක්ක බඹර කපන්න යනවා. තාත්තා තමයි මගේ ගුරුවරයා. තාත්තා කාලෙක ඉඳන් බිගු සම්පත සුරකීමේ සංවිධානය එක්ක එකතු වෙලා වැඩකරනවා. මී මැස්සෝ, බඹරු අපේ පරිසරයට මොන තරම් සේවයක් කරනවාද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සත්තු පුච්චලා දාන්නේ. මම වගේම තවත් කුඩා ළමයි තවත් මේ සංවිධානයේ ඉන්නවා. දැනට බඹර කපන පුංචිම එක්කෙනා මමයි.”කලණි ආලෝකා පවසයි.
‘‘මේ රටේ බිඟු සම්පත ආරක්ෂා කරගන්න ඕන කියන අවංක හැඟීම ඇතිව අපි මේ සංවිධානය පිහිටවූයේ. ලංකාවේ ඕනම තැනක මී වදයක් හෝ බඹර වදයක් තිබෙනවා නම් සතුන්ට හානියක් වන්නේ නැතුව ඒක අයින් කරලා දෙන්න අපිට පුළුවන්. ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙනවා බඹරු,මීමැස්සෝ පරිසර පද්ධතියෙන් නැති වෙලා ගියොත් මිනිස්සු ලෝකයෙන් වඳවීම වසර හතරකින් ආරම්භ වෙනවා කියලා. ගස්වැල්වල පැවැත්මට අවශ්‍ය පරාගනය සිදුකරන්නේ මේ බිඟුන්. ලෝකයේ වැඩිම ගස් හිටවන්නේ වවුලන්. ගහකොළවල මල් උපද්දලා ගෙඩි හට ගන්න කටයුතු කරන්නේ මී මැස්සෝ බඹරු වගේ සත්තු. විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට අති විශාල පිරිසක් එක තැනකට රොක් වෙනවා. මිනිස්සු කතා කරන නිසා ලොකු ශබ්දයක් නිකුත් වෙනවා. මේ එන අය නොයෙක් සුවද විලවුන් වර්ග ගල්වාගෙන එන්නේ. දාඩිය සුවඳත් පරිසරයට නිකුත් වෙනවා. තවත් සත්ත්ව කොට්ඨාශයක් තමන්ගේ සීමාවට ඇවිත් කියා එවිට බඹරු හිතනවා. එහෙම වුණාම මේ අය ඇවිස්සෙනවා. රැජනගේ නියෝග අනුව ඊට පස්සේ ප්‍රහාර දියත් කරනවා. දැන් අවුරුදු 04 ක ඉඳලා අපි අක්බාර් පාළමේ බඹර වද අයින් කරනවා. ඊට කලින් කරලා තිබුණේ ගිනි තියලා සත්තු මරණ එකයි. මීමැස්සා සාමාන්‍යයෙන් ගමන් කරන්නේ මීටර් 750 ක විතර දුරක්. ඒත් බඹරෙකුට පැණි හොයාගෙන කිලෝ මීටර 08 ක විතර දුරක් යන්න පුළුවන්. මේනිසා බඹරගේ ප්‍රහාරයකින් බේරෙන එක හරිම අසීරුයි.” බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර මහතා පවසයි.
‘‘මී වදයක වගේම බඹර වදයකත් රැජනක් සිටිනවා. එයාගේ නියෝග අනුව තමයි හැමෝම වැඩ කරන්නේ. බඹරයක් කපන්න කලින් අපි ඒකට පොල්මුඩු රත්කරලා දුම් අල්ලනවා. ඒක හරියට අපිට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා වගේ. මේ දුම වැදුණාම ටික වෙලාවක් යනකං බඹරු අන්දුන් කුන්දුන් වෙනවා. ඒ වෙලාවට මේ බඹරුන්ට ක්‍රියාත්මක වෙන්න රැජන ගෙන් සංඥා නිකුත් වෙන්නේ නැහැ. මේ නිසා බඹරු ප්‍රහාරයක් දියත් කරන්නේ නැහැ. මේ ලැබෙන සුළු වෙලාවෙ තමයි අපි බඹරය කපන්න ඕන. අපේ තාක්ෂණය මේකයි. මේකෙන් බඹරට කිසිම හානියක් වන්නේ නැහැ.” ඔහු කියයි.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානය මගින් මේ වනවිට කුඩා දරුවන් රැසක් බඹර කැපීම සඳහා පුහුණු කරයි. මුලින් මී වද ඊළඟට බඹර වද අන්තිමට දෙඹර කූඩු කැපීමට එම පුහුණුව ලබා දෙයි. දෙබරා මාංශ භක්ෂක සතෙකී. ඌ විද්ද විට ඇඟේ මස් කෑල්ලකුත් කඩා ගන්නා බව තිස්ස බණ්ඩාර මහතා පවසයි. මේධා, සමාධි හා සමාධි සසංකා පාසල් වයසේ සිටම බිඟු සම්පත සුරැකීමේ සංවිධානය හා එක්ව බඹර කැපූහ. දැන් ඔවුන් හා කලනි ආලෝකාද අත්වැල් බැඳ ගෙන සිටින්නීය.