කුජීත වූ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කඩා වැටුණු අලුත් මරාලය | සිළුමිණ

කුජීත වූ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කඩා වැටුණු අලුත් මරාලය

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක නායක දිනේෂ් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චන්දිමාල්ව වරදකරු කරන්නේ ඔහු පන්දුව පලුදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් නිකුත් කරමිනි. තරග තීරක ජවගල් ශ්‍රීනාත් හා විනිසුරුවන් විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කළ අභියාචනයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී හමාරය. මේ සිදුවීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය ඉදිරියේ තැබුවේ යහපත් සටහනක් නොවේ.

සිද්ධියේ පසුබිම

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයම වටහාගත නොහැකි අර්බුදයක් ගැන අපට කියමින් සිටියේය. තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඈන්ජලෝ මැතිවුස් පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමෙන් අනතුරුව ලංකාවට එන්නේය. දෙවන පෙළ කණ්ඩායමක් සේ විචාරකයින් විසින් හඳුන්වනු ලබන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ අප ලකුණු දෙසීය විසි හයකින් පරාජය වන්නේය. අතිශය පීඩාකාරී මානසිකත්වයකට ඇදවැටෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පලුදු කිරීම පිළිබඳ සැකයට ලක්වන්නේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදීය.

දෙවන ටෙස්ට් තරගයේ විනිසුරුවන් වූයේ අලීම් ඩා සහ ඉයන් ඩූල්ය. තරග තීරක ජවගාල් ශ්‍රීනාත්ය. තරගයේ දෙවන දිනයේ දිවා කාලය වන විට පන්දුව පිළිබඳ විනිසුරුවරු විමසිලිමත් වූහ. ඒ එහි හැඩය අස්වාභාවිකව වෙනස් වී ඇති ආකාරය නිරීක්ෂණය කරමිනි. ඔවුන් මුලින්ම මේ පිළිබඳව සැක කළේ ධනංජය සිල්වා ගැනය. ධනංජය සිටියේ අතේ වෙළුම් පටියක් සහිතවය. මේ වෙළුම්පටිය භාවිතයෙන් පන්දුවේ භෞතික ස්වරූපයට යම් හානියක් කළ බව සැක කළ විනිසුරුවරු ධනංජයව පරීක්ෂා කළහ. එහෙත් එවැන්නක් ධනංජයගෙන් සිදුනොවන බව තහවුරු කරගත් විනිසුරුවරු එදින තරගය පවත්වාගෙන ගියහ. එදින පන්දුව පලුදුවීම පිළිබඳව ඔවුහු කිසිම ප්‍රකාශයක් නොකළහ.

එහෙත් තරගය නිම වූ පසු පන්දුව පරීක්ෂා කළ විනිසුරුවරු එහි යම් පලුදුවීමක් හඳුනා ගත්තේය. ස්වභාවිකව සිදු නොවුණ බව පෙනුණ මෙම විකෘතිය කුමක් විය හැකිදැයි සෙවීමට ඔවුහු තරගයේ පුනරූපණ පරීක්ෂා කළහ. සජීවී විකාශනයේදී විකාශය නොකරන ලද කැමරාවල දර්ශනද පරීක්ෂාවට ලක්විය. ජූනි 15 දා තේ පානයෙන් පසු වාරයේදී එක් කැමරාවක සටහන්ව තිබුණ දර්ශනයක් වෙත අවධානය යොමු විණි. දිනේෂ් චන්දිමාල් එක්වරම තම වම් සාක්කුවෙන් යමක් රැගෙන කටේ දාගන්නේය. ඊට නොබෝ වේලාවකට පසු කෙළ ගසමින් පන්දුව ඔප කිරීමට කටයුතු කරන්නේය. සමීප රූප වලින් පෙනී තිබුණේ ටොෆියක් වැනි යමක් ඔහු මුව තුළ රුවා ගන්නා ආකාරයය.

සීනි සහිත ද්‍රාවණයන් ඇලෙන සුලුය. මේ ඇලෙන සුලු කෙළ පන්දුවේ තවරා එය පිරිමදිමින් හැඩය වෙනස් කිරීමට චන්දිමාල් කටයුතු කළ බව තරග තීරකත් විනිසුරුවරුත් නිගමනය කළහ. ඒ නිගමනය ප්‍රකාරව තරගය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් පන්දුවක් යෙදවීමට විනිසුරුවරු තීන්දු කළහ. සැලසුම්සහගතව පන්දුව පලුදු කිරීමේ චෝදනාවට දඬුවමක් වශයෙන් පන්දුව මාරු කිරීමට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් ලබා දීමට තීරකවරයා තීන්දු කර තිබිණි.

පසුදා (16) උදෑසන නියමිත වේලාවට විනිසුරුවරු පිටියට පැමිණියහ. එහෙත් තරග තීරකවරයාගේ තීන්දුවට විරෝධය පාමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම පමා කළේය. ඒ අතරතුර ශ්‍රි ලංකා ක්‍රීඩකයන් රැඳී සිටි ක්‍රීඩාගාරය තුළ උණුසුම් සංවාදයක් ඇතිවෙමින් තිබිණි.

විනාඩි දහයකින් පමණ පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දුටුවේ දඬුවම් ලකුණු 5 බටහිර ඉන්දීය පිලට එක් කර ඇති ආකාරයය. එය දුටු චන්දිමාල් කණ්ඩායමත් කැටිව ක්‍රීඩා පිටියෙන් ඉවත් වූයේය. මේ සිද්ධියේ රූප රාමු විමසිල්ලට ලක්විය. චන්දික හතුරුසිංහ හා අසංග ගුරුසිංහ මගට ගොස් ක්‍රීඩකයන් සමග කතා කරන ආකාරයත් තරග තීරකවරයා සමග යම් විසංවාදයක් ඇතිවන ආකාරයත් දක්නට ලැබිණි.

අයි.සී.සී නීති ප්‍රකාරව තරගයක් අතරතුර දුරකථන භාවිත කළ හැක්කේ කණ්ඩායමේ කළමනාකාරවරයාට පමණි. එහෙත් කළමනාකාර අසංග ගුරුසිංහ සිය දුරකථන සංවාදය අතර චන්දික හතුරුසිංහට දුරකථනය ලබා දෙන ආකාරයත් දිනේෂ් චන්දිමාල් දුරකථන සංවාදයක යෙදෙන ආකාරයත් පටිගතව තිබිණි. චන්දිමාල් කණ්ඩායම රැගෙන යළි පිටියට එන්නේ පැය දෙකකට පසුවය.

වැරැද්ද

අයි.සී.සි. නීතිය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ වරදක් කර තිබේ. මුල්ම චෝදනාව කටේ කෙළ හා මිශ්‍ර වූ ආගන්තුක සීනිමය ද්‍රාවණයක් යොදාගෙ දිනේෂ් චන්දිමාල් විසින් පන්දුවේ හැඩය වෙනස් කිරීමය. මේ පිළිබඳව චන්දිමාල්ගෙන් අයි.සී.සී.ය කළ විමසීමේදී සෑහීමකට පත්විය හැකි සාධරණ පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් වී තිබිණි. ඔහුට අයි.සී.සි. ය දඬුවම් කරන්නේ ඔහුගේ අතාර්කික හැසිරීමත් සමගය. දැන් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ වරදට වැරදිකරුය. ටෙස්ට් තරග තහනමක් සහ තරග මුදලින් 100%ක දඩ මුදලක් ගෙවීමට අයි.සී.සී ය නියෝග කර ඇත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතළම චෝදනාව එල්ල වන්නේ, දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී, කණ්ඩායම පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය. දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකාරු අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි 'තුන්වෙනි තලය (Level 3)' යටතට ගැනෙන බරපතළ චෝදනාවට ලක් වූහ. ක්‍රීඩා කිරීම වර්ජනය කිරීම සම්බන්ධ මේ චෝදනාවට ඔවුන් උත්තර බැඳීමට නියමිතය. ඊට නියමිත උපරිම දඬුවම තරග හතරක තහනමක් හා දඬුවම් ලකුණු 4 අහිමි කිරීමකි. නොඑසේ නම් එක්දින තරග අටක තහනමකි.

විචාරක අදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති-රීති ගැන නිසි ලෙස නොදැනුවත්වීම මෙම තත්වයට හේතුව බව නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු පවසා තිබිණි.

"අපි දැක්කා ඔවුන් ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් ගන්නවා. ලංකාවෙන්, ක්‍රීඩා ඇමතිතුමාගෙන්, නිසි බලධාරියගෙන් උපදෙස් ගත්තා කියලයි කිව්වේ. ඔවුන් දන්නවද ක්‍රිකට් නීති?" අදාළ ක්‍රීඩකයා ප්‍රශ්න කළේය.

"කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු මේ ගැන වගකීම ගත යුතුයි. කුමන චෝදනාවක් තිබුණත් තරග විනිසුරුවරුන්ගේ තීරණය පිළිගෙන ක්‍රීඩාංගණයට නිසි ලෙස පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කළ යුතුව තිබුණා. ඔවුන් මෙම සිදුවීමේදී වෘත්තීය මට්ටමකින් කටයුතු කළේ නෑ " ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මේ ගැන සිය මුහුණුපොතේ සටහනක් පළ කරමින් පවසා තිබිණි.

විනිසුරු තීරණ ප්‍රතික්ෂේප කර විරෝධය පෑම පිණිස තරගය අත්හිටුවීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයන් උත්සාහ කිරීම පිළිබඳ සැබෑ ක්‍රිකට් ලෝලීන් ඉතා කලකිරීමට පත්වනු ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ (Harsha Bhogle) ට්විටර් පණිවුඩයක් මගින් දන්වා සිටියේය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයාට, පුහුණුකරුට හා කළමනාකරුට එල්ලවන මෙම චෝදනා සම්බන්ධ අයි.සී.සීයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය සූදානම්ය.

මතභේදාත්මක විනිසුරු තීන්දු

දෙවන ටෙස්ට් තරගය පුරාම දකින්නට ලැබුණේ මතභේදාත්මක විනිසුරු තීන්දුවල ස්වරූපයය. නිපන්දු ලබා නොදෙණි. දෙන ලද සමහර තීන්දු අතිශය විහිළු සහගත විය. ඒ අපැහැදීම තරගය පුරාම ක්‍රීඩකයන් තුළ තිබිණි. එමෙන්ම මේ ගැටලුවේදී තරග තීරක ජවගල් ශ්‍රීනාත් කටයුතු කර තිබුණේ නිවැරදි ක්‍රමවේදය තුළ නොවේ. කණ්ඩායමට හෝ ක්‍රීඩකයෙකුට එල්ල වන චෝදනා ඔහු නියමිත වෙලාවට දැනුම් දී තිබුණේ නැත.

මේ අවස්ථාවේදී අයි.සී.සී.ය හැසිරී ඇති ආකාරයත් කලකිරවන සුලුය. මීට වසර ගණනකට පෙර එංගලන්තයට එරෙහි තරගයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්වන පාකිස්තාන කණ්ඩායම එම තරගයම වර්ජනය කළේය. අයි.සී.සී.ය තීන්දු කළේ තරගයේ ජය එංගලන්තයට ලබාදීමටය. එදා පාකිස්තානුවන්ට වෙනත් දඬුවමක් නොලැබිණි. පසුගිය දා බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාවේදී පැවති විස්සයි විස්ස තරගාවලියේ දී අවසන් පන්දු ඕවරයේ බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් හැසිරුණු අවිනිත ආකාරයත් ක්‍රීඩාගාරයේ වීදුරු කුඩු කළ ආකාරයත් අයි.සී.සී තක්සේරුව අනුව තිබුණේ විනයේ අඩුම තැනකය. ඔහුට හිමිවණේ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලිහිල් දඬුවමකි. ඉන්දියාව සම්බන්ධව නම් අයි.සී.සීය හැසිරෙන ආකාරය සිතාගන්නටවත් බැරිය. තරගාවලි ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන විටදී ඉන්දියාවට අවැසි කාලසටහන් ලබා දෙන්නට තරම් මේ මහත්තුරු නම්‍ය ශීලීය. ඒ හැසිරීමට විරෝධතා දැක්වීම කළ යුත්තක් බව සැබෑය. එහෙත් ඊට පෙර ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කළ යුතු බොහෝ දේ ඉතිරිව තිබේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ කතාව කියැවෙමින් ඇත්තේ උසාවියේය. ක්‍රිකට් පරිපාලනය ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා පත් කළ නිසි බලධාරියා යටතේය. ක්‍රීඩාව ගැන විචක්ෂණ අවබෝධයක් නැති ඔහු හැසිරෙන්නේ ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා අනුවය.

ලබන මාසය තුළ අප ප්‍රධාන විදේශ තරගාවලි හතරක් සංවිධානය කළ යුතුව තිබේ. දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම ලංකාවට එන්නේය. 19 පහළ ඉන්දීය කණ්ඩායම ලංකාවට පැමිණෙන්නේය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම බංග්ලාදේශ සංචාරයක නිරත වන්නේය. දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමක් ලංකාවේ සංචාරය කරන්නේය. පවතින පරිමාව තුළ මේ ප්‍රමාණය සංවිධානය කරගන්නටවත් හැකි දැයි ගැටලුවකි.

රට අත්විඳින මේ ක්‍රිකට් ව්‍යසනය ක්‍රිකට් පරිපාලනයට වැලඳී ඇති ව්‍යාධියේ අතුරු ඵලයකි. යල් පැනපු ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා කාලය එළඹ ඇති බව මේ රටේ ප්‍රවීණ ක්‍රීඩකයන් හා විචාරකයන් පෙන්වා දෙන්නේ නිකම්ම නොවේ. පාලක මණ්ඩල නිලධාරීන් පත්වන්නේ ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ 147 ඡන්දයෙනි. ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන්නේ ඔවුන්ව හැසිරවීම සඳහා අවශ්‍ය වරදාන සැපයිය හැකි චරිතය. ක්‍රිකට් පරිපාලනයේ මාෆියාව ගොඩනැගෙන්නේ ඒ ඔස්සේය. ප්‍රබල මැදිහත්වීමක් සහිතව මේ ගැටලුව නොවිසඳුණහොත් අපට අපේ රට ගැන කතා කරන්නට ඇති එකම සාධනීය මාතෘකාවත් අපෙන් ගිලිහී යනු ඇත.

Comments