කොළඹින් පිට පැන්න පාතාලයන් සොයා විශේෂ මෙහෙයුමක් | Page 5 | සිළුමිණ

කොළඹින් පිට පැන්න පාතාලයන් සොයා විශේෂ මෙහෙයුමක්

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමඟ කොළඹින් පිට පළාත්වලට පැන ගොස් සැඟවී සිටින පාතාල සාමාජිකයන් සොයා රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කරන බව විශේෂ කාර්ය බළකා උසස් නිලධාරියෙක් සිළුමිණට පැවැසීය.

මේ අපරාධකරුවන් කේන්ද්‍රගත වූ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මෙන්ම දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලින්ද විසිරී, රටේ වෙනත් ස්ථානවල සැඟවී සිටින බව හඳුනාගෙන තිබේ. ඇතැම් පාතාල සාමාජිකයන් ව්‍යාජ පාස්පෝට්, හැඳුනුම්පත් සකස් කරගනිමින් විදේශයන්ට පැන යෑමට තැත් කරමින් සිටින බවටත් වාර්තා වේ. එවැනි පාතාල සාමාජිකයන්ට ර‍ටින් පැන යෑමට කිසිදු විටෙක ඉඩ හසරක් නොතබන බවද හෙතෙම කීවේය. පසුගියදා මහනුවරදී මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු වූ බයිලා සහ ජනා යන දෙදෙනා පොලිස් විශේෂ කාර්ය සමඟ ඇතිවූ ගැටුමකින් මරණයට පත්වූ අතර තවත් තිදෙනෙකු කඩුගන්නාවේ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත් විය.

එසේම දැනට බන්ධනාගාරගත ව මරණ දඬුවම් විඳින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ ප්‍රධානතම ගෝලයකු වූ 35 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත නැමැත්තා පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේදී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් එකසිය විස්සක පමණ ප්‍රමාණයක් සහ ගිනිඅවි දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට පසුගිය සිකුරාදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් විය.

Comments