
වැවයි - දාගැබයි
අනුබුදු සමිඳුන් මිහින්තලාවෙදි දෙසූ දහම් ගුණ ඔපවත් වේ
සෙල්ලිපි ලිවිසැරි අකුරු පෙළින් අද හෙළ දෙස හෙළ බස සවිමත් වේ
මුළු ලොව සුපතළ සිංහල දස්කම් මහ දාගැබ් තුළ තැන්පත් වේ
මෙත්සිත් වඩවන සමාධි පිළිමය බුදුගුණ මහිමෙන් ඔපවත් වේ
වැවයි දාගැබයි හෙළ හැදියාවයි සිරිලක දින දින වැජඹේවා
මිහින්තලාවෙන් නැඟි ආලෝකය සැමදින දියතෙහි බැබළේවා
අනුබුදු හිමිගේ සදහම් වැස්සෙන් ලෝ තුළ සාමය පැතිරේවා
බුදු බණ දහමින් සතුට සාමයෙන් මුළු ලෝ සත හට සෙත්වේවා
ජේ. විජේසූරිය
ගුණ මහිම
පාපෙට ළැදිව දිවි ගෙවු ඒ අඳුරු යුගේ
පෙන්වා දෙනු පිණිස ලොවුතුරු දහමෙ අගේ
හිමි නොවැඩියේ නම් හෙළ දිවයිනට මගේ
අපි තවමත් වෙසෙමු! පාපී දනන් වගේ
අවිදු මොහඳුරෙන් මුදවා තුන් හෙළය
හැම දන හට පොවා සදහම් අම රසය
ගුණ දම් තුළින් ඔප් නංවා මනු දිවිය
සමිඳුනි! උදාරයි ඔබ ඉටු කළ මෙහෙය
වඩවාලමින් පිළිවෙත් මඟ වෙත ඇල්ම
ලක් වැසි දනන් වෙත ලැබ දුන් හරි දැක්ම
අනුබුදු මිහිඳු හිමියනි! ඔබෙ ගුණ කැල්ම
නොනැසී තියේ හෙළ දැය මෙහි ඇති තෙක්ම
මනෝශිකා ලක්මාලි
අමාදම්
සමාධි බුදු හිමි
නෙතින් ගලනා
මෙත් කරුණා ගුණ
ගලා යයි මහ මෙවුනාව උතුරා
රන්වන් බෝපත් සෙවණේ
සිලිසිලි නද අතරේ
සුපින්බර සිල් සුවඳ පැතිරේ
ස්වර්ණමාලී කොත් කැරැල්ලෙන්
ස්වර්ණ බුදු රැස්
කිරණ විහිදේ...
තිසා වැව් මහ සයුර පිසගෙන
අමාදම් බුදු සිසිල විසිරේ...
රත්නසිරි පතිරණ
බව සසරෙහි...
අරලිය මල් සුවඳ දිගේ
මී අඹ වනයට එමී
මිහින්තලා පඩි නඟිමින්
ඔබ ගුණ ගී මුමුනමී
සුවඳ කුසුම් දෝතින් ගෙන
සඳ රැස් දහරින් තෙමී
බව සසරෙහි ඉම දකින්න
නමදිමි අනුබුදු හිමී
පී.කේ.ඩී. ප්‍රේමචන්ද්‍ර
මිහිඳු මාහිමියනේ
යන-එන මං නොදැන ගස්-ගල් පුදන සඳ
ලක්වැසි දනන් සුමඟට හරවා නොමඳ
අනුබුදු මිහිඳු ගරු හිමියන් බලැති තෙද
පා යුග වඳිමි බැතියෙන් පුරවමින් හද
මෙත් කරුණා ජලෙන් හදමල සේදෙවුව
සදහම් අමදියෙන් දෙනුවන් පෑදෙවුව
අනුබුදු මිහිඳු හිමියනි කෙලෙසුන් නිවුව
කරනෙමි මහිස මහිමට මිස්සක පවුව
සරත් ධර්මසේන
හිරු රැස් සිසිල් වී..
අඹ පිරුණු තුරු හිස්
සැනසෙන විටදි මල් ගස්
ඇහිලා මිහිගෙ බස්
සීතල වුණා හිරු රැස්..
රකිනට තමා බඩ
දැක අනෙකකු නසන වැඩ
‘තිස්ස’ යයි ආ හඬ
කළා සිරිලක් දිවයිනම හැඩ..
එදා දෙසු දම් පද
සදා කල් ඇත අප හද
අපායට වැට බැඳ
අඹතලෙන් නැඟුනා පොසොන් සඳ..
දියුණු වී සිප් සත
ලියැවී අකුරු පොත පත
ගේදොර නිමව ඇත
අඹතලෙන් විහිදුණේ යහපත..
හිමි පෑව සෙනෙහස
මිනිස් හද තුළ මුල් බැස
දුරු වෙලා උදහස
දිනේවා හෙළදැයේ සිව්දෙස..
සුගතදාස කුරුවිට
හිමි සඳ වැඩි සඳ
සම්බුදු දහම ගෙන වැඩි හිමිසඳ මිහිඳු
අම්බස්තල හෙලෙන් දැක දිවයන නිරිඳු
‘නවතිනු තිස්ස’ අමතා වදනින් සුමුදු
රජු නැවතුවා මුව පණ නැසුමට නොවිදූ
නැවතුණ සැණින් රජු, හඬ නැඟි දෙස හැරුණා
පින්බර රුවක් මින් පෙර නුදුටුව පෙනුණා
හිමිසඳ මිහිඳු රහතුන් බව පසු හැඟුණා
බැති පුද සාදු නද මුළු වන පෙත ඇදුණා
අරහත් මිහිඳු හිමි පැතුමින් අනාගත
ඔපවත් වුණා රට දහමින් තථාගත
පින්වත් වෙලා රට දිලි දිලි කසාවත
බැතිමත් වුණා හෙළ දන සිත පිරී මෙත
ටී. ඇම්. පොඩිරාලහාමි
පුරසඳ
විහිදෙයි සුවඳ තුරු ගොමු වන මලින් දිලේ
සිලි සිලි හඬින් බෝපත් මඳ නලින් සැලේ
පායා පොසොන් ලස්සන සඳ නිසංසලේ
සුදු සඳ රැසින් බබළයි අද මිහින්තලේ
කුරුඳුකුඹුරේ නන්දසිරි
නැවතත් වඩිනු මැන
අනුබුදු සමිඳු මිස්සක පවුවට වැඩිදා
රජතුම දකී බබළන හැටි රැස් විහිදා
හිමියන් දෙසූ දහමින් රජු සිත පහදා
සදහම් වැලඳගති දුනු-හී අතහැරදා
දඩයම් යුගය සහ ගස් ගල් පිදුමෙ රැඳී
එදවස ගත වුණා සැම ගන අඳුරෙ බැඳී
මේ ලක්බිමට බුදු සදහම් කිරණ වැදී
තෙරුවන් වැලඳගති සැමදෙන පවෙන් මිදී
මා සිටිය නම් වඩිනා විට මිහිඳු හිමී
සදහම් අසා හිමි පාමුල පැවිදි වෙමී
භවයෙන් ගොඩ වෙන්න බිඳලා සසරෙ බැමී
නැවතත් වඩිනු මැන අනුබුදු මිහිඳු හිමී
නන්දසේන තුඩුවගේ
සදහම් දිවයින
මෙත් කරුණා ගුණය පිරිපුන් බුදු සමිඳු
ගත් මඟ පිවිස, හෙළ බිම පියතිස් නිරිඳු
දහමෙහි යොමා, එදවස අනුබුදු සමිඳු
අත් කළ සේක බුදු දහමක ගුණ විහිදු
පින් බර රටකි මේ හෙළබිම සරු සාර
රජ අණසකට රට වැසියෝ වෙති සූර
වත-ගොත මිහිඳු හිමි දැන අඩුවක් නෑර
සැදුවේ දහම් දිවයිනකට යන පාර
මිසදුටු අවිදු පව්කම් දැන ගැලවීම
තෙරුවන් සරණ ගොස් සතුටින් සැනසීම
වැවයි දාගැබයි දිවි මඟ ගැළපීම
ඇති වුණි මිහිඳු හිමි වැඩ සිටි දිනදීම
සව්සිරිබරින් මේ සිරිලක උතුරනවා
සිව්සැට කලාවෙන් පිරි දැය පිබිදෙනවා
මිහින්තලාවෙන් බුදු රැස් විහිදෙනවා
පුන් සඳ පොසොන් අනුබුදු හිමි සමරනවා
ඇල්බට් ඇම්. ලියනගේ
මිහිඳු සමිඳුනේ!
අඹතලය පාමුල
චංචල ගැසුණු ගහකොළ
මොහොතකින් කලබල
නිමාකොට වූයේය නිසසල!
ලොල්ව මුව නැසුමට
පහල උන් රද පිරිසට
යොමු කර සිනා කට
සමිඳු හඬ ඇසුණි හණිකට!
කර වඩම්මා සිටි
තියුණු දුනු-හී මිටිමිටි
පසුව පා මුල වැටි
අසුරු සැණෙකින් අහෝ ගිය හැටි!
ගඟුලක දිය පොකුරු
තුරු මැද ගලා යන යුරු
දහම දෙසුණා සරු
නැඹුරු විය හැමදෙනම ලෙස ගරු!
ඇම්. අසෝක ද සිල්වා