ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයා සදාචාර වැට පැන්නාද? | සිළුමිණ

ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයා සදාචාර වැට පැන්නාද?

ලංකාවේ විභාග ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇත්තේ අපේ විභාග ක්‍රමයන්හි ඇති ඉහළ ගුණාත්මක බව නිසාය. 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතට අනුව යමින් ලංකාවේ විභාග පැවැත්වීමේ බලය පැවැරී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවටය. මේ අනුව විභාග දෙපාර්තමේන්තුව වාර්ෂිකව විභාග 325 කට ආසන්න ප්‍රමාණයක් පවත්වයි. විවිධ වසරවල මේ විභාග ප්‍රමාණය අඩුවැඩි වෙමින් පවතී.

වසරකට විභාග දෙපාර්තමේන්තුව විසින් මෙසේ පවත්වනු ලබන විභාග අතර සාමාන්‍ය පෙළට හා උසස් පෙළට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. තරගකාරිත්වයකි. එසේම අම්මලාගේ විභාගය යැයි කියන ශිෂ්‍යත්ව විභාගයටද හිමිවන්නේ මීට නොදෙවැනි ස්ථානයකි. මේ අතර උසස් පෙළ විභාගය දැඩි තරගකාරිත්වයෙන් යුතු වුවද වසරකට වැඩිම සිසුන් ප්‍රමාණයක් ඉදිරිපත් වන්නේ සාමාන්‍ය පෙළ විභාගයටය. විභාග දෙපාර්තමේන්තුව තරගකාරී මට්ටමින් හා ඉහළ ගුණාත්මක මට්ටමකින් විභාග පවත්වා ගැනීමට දරන්නේ දැඩි උත්සාහයකි. ඒ අපේ විභාගයන්ට හිමි ජාත්‍යන්තර පිළිගැනීම එලෙසම පවත්වා ගැනිමේ අරමුණිනි.

එසේ වුව මේ ජාත්‍යන්තර පිළිගැනම පළුදු වු අවස්ථා විභාග ඉතිහාසයේ කොතෙකුත් වේ. විභාග වංචා මෙන්ම විභාග රහස් පිටවීම් ඒ අතර ප්‍රධානය. එහෙත් අද ඒවා බොහෝ දෙනෙකුට අමතකව ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් සියල්ල අතීතයට එක්වූ නිසාය. නමුත් අළු යට ගිනි පුලිඟු මෙන් මේවා යළිත් ඉස්මතු වෙයි.

විභාග ආචාර ධර්ම පිළිබඳ කතිකාවත නැවතත් අලුත් වූයේ පොතක පසුවදනක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවකිනි. පසුගියදා වාර්තා වූ මේ සිදුවීම බොහෝ දෙනෙකුට සාමාන්‍ය දෙයක් වන්නට පුළුවන. අප මේ ගැන විමසීමේදි බොහෝ දෙනකු ඒ පිළිබඳ දැක්වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. විභාග පිළිබඳ උනන්දුවෙන් පසුවන අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලවතුන් පවා මේ පිළිබඳ නිවැරැදි තොරතුරු දැන සිටියේ නැත. එහෙත් මේ වන විට මේ කරුණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව වාර්තා වෙයි. ඒ සති අන්තයේ පළවන එක්තරා විකල්ප පුවත්පතක් මේ පිළිබඳ කරුණු අනාවරණය කිරීම හේතුවෙනි. ඉන් මතුකළ කරුණු අතර වූයේ ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය හා ගුරු අත්පොත් සම්පාදනය කිරීමේ මණ්ඩලයේ සම්බන්ධිකාරක කතිකාචාර්යවරයකු වන ආනන්ද මද්දුමගේ මහතා විසින් නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදිත ‘උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය ’යනුවෙන් වන සිය ග්‍රන්ථයට එම විෂයට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ මණ්ඩලයේ ප්‍රධානියා වන මහාචාර්ය ගාමිණි අල්විස් මහතා විසින්ම පසුවදනක් සපයා තිබීමය. මෙය කොතරම් දුරට ආයතනිත සාරධර්ම වලට මෙන්ම විභාග නීති රීතීන්ට එකඟ වේදැයි ප්‍රශ්න කර ඇත්තේ අදාල විෂය බාර ඇමැතිවරයා වන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙනි. මේ වන විට මෙහි වැරැද්ද නිවැරැද්ද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ පුවත්පතේ සඳහන් වූ පරිදි අදාළ මහාචාර්යවරයා විසින් නොකළයුතු දෙයක් සිදු කර ඇත්තේද හා විභාග ආචාර ධර්ම උල්ලංඝනය කර ඇත්තේ දැයි යන්න සෙවීමටය. නමුත් එම විමර්ෂණ කටයුතු මේ වනවිටත් අවසන්ව නැත.

විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම අතිශය රහස්‍ය කටයුත්තකි. විභාගයක ප්‍රශ්න පත්‍රයක් සැකසෙන්නේ කෙසේද? එය සකස් කරන්නේ කවුරුන් විසින්ද? ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ කොයි කාලයේද? යන කරුණු අතිශය රහස්‍ය කටයුතුය. එය කෙතෙක් රහස්‍ය ද යත් මේවාට පිළිතුරු දෙන්නට විභාග ප්‍රධානීන් පවා දන්නේ නැත. විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ අදාළ ආචාර්ය මහාචාර්යවරුන් තෝරා ගන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් හෝ විශ්වවිද්‍යාලවලිනි. ඒ තෝරා ගැනීමේදි අදාළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සියලු ජීව දත්ත විභාග දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීම අනිවාර්යෙන්ම සිදුවේ. බොහෝ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහාද මේ සොයා බැලීම් කෙරෙන්නේ මේ කටයුතු සියයට සියයක් සාර්ථක කර ගැනීමටය. මේ පරීක්ෂා කිරීමේ දී අදාළ මහාචාර්යවරයාගේ හෝ ආචාර්යවරයාගේ පෞද්ගලික තොරතුරු, තමන්ගේ දරුවෙකු හෝ ආසන්න අයෙකුගේ හෝ දරුවෙකු අදාළ වර්ෂවල විභාගයන්ට පෙනී සිටියිද යන්න පිරික්සේ. අදාළ ප්‍රශ්න පත්‍ර සම්පාදකයාට විභාග දෙපාර්තමේන්තුවෙන් ගිවිසුම්ගතව පැනවෙන නීති රීතිද රාශියකි. මේ යටතේ ඔහු හෝ ඇයට පොත්පත් ලිවීම, ප්‍රසිද්ධ දේශන පැවැත්වීම මෙන්ම විෂයානුබද්ධ පංති ආදිය පැවැත්වීම හා දේශපාලනයේ නියැළීම සපුරා තහනම් වෙයි. විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්යාල සහාය තනතුරකට හෝ කෙනෙකු බඳවා ගැනීමේදිද මේ සොයා බැලීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තු නිලධාරියෙක් අප හා පැවසීය. විභාග දෙපාර්තමේන්තුව දැඩි නීති රීති පද්ධතියක් ඔත්සේ මේ කටයතු සිදු කරනුයේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හරහා කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවන සේ ඉහළ ගුණාත්මකබවින් හා ශිෂ්‍යය අයිතීන් සුරැකෙන පරිදි විභාගය පැවැත්වීමටය. එහෙත් වර්තමානයේ මේ දේවල් ඒ සැටියෙන්ම සිදුවේදැයි ප්‍රශ්නයකි.

ඉහත ග්‍රන්ථය රචනා කළ ආනන්ද මද්දුමගේ මහතා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රවීණ ගුරුවරයෙකි. ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය හා ගුරු අත්පොත් සම්පාදනය කිරීමේ මණ්ඩලයේ සම්බන්ධීකාරක කතිකාචාර්යවරයෙකි. වාර්තා වන අන්දමට මෙය ඔහුගේ විෂය බද්ධ පොත් අතරින් 27 වැනි පොතය. ඔහු සිය 27 වැනි පොතේ පසුවදන ලිවිම සඳහා තෝරා ගන්නේ සිය රැකියා ස්ථානය වන ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය නිර්දේශ හා ගුරු අත්පොත් සෑදීමේ අංශයේ ප්‍රධානියා වන ඉහත පුවත්පතේ නම සඳහන් මහාචාර්යවරයාය. ඔහු මේ විෂය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයයෙක් ද වෙයි.

මේ අනුව බොහෝ දෙනෙකුට පැනනඟින ප්‍රශ්න රාශියකි. පොතේ පසුවදනට ඔහු යොදා ගැනීමට විෂය ප්‍රවීණත්වය හේතුවක් වීද? නැතිනම් ඔහු මේ කර්තෘවරයාගේ ආයතනික ප්‍රධානියකු වීම හේතුවක් වූයේද? නැතිනම් මෙය ඇත්තෙන්ම වෙළෙඳ පොළ අරමුණු කරගත්තක් වීද?

මෙහි අගමුල සොයා ගිය අපි මේ කතාබහට හේතු වූ විෂය ග්‍රන්ථයේ කර්තෘ ආනන්ද මද්දුමගේ මහතා මුණ ගැසුණෙමු.

“මම පොත් ලිව්වේ අද ඊයෙක නෙවේ. මගේ හැම පොතකටම පසුවදනක් දුන්නෙත් විෂය ප්‍රවීණ උගත් මහාචාර්යවරයක්. මම හිතන්නේ එය මගේ පොත්වලට දුන් ලොකු ගෞරවයක්. 'උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය' පොත ලියලා මුද්‍රණයට දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ. මං හැම පොත් ප්‍රදර්ශනයකටම පුරුද්දක් විදියට පොතක් ලියා පළ කරනවා. මේ මගේ 27 වැනි පොත. එක් වතාවක් මම ව්‍යාපාර අධ්‍යයනය පොත් 16 ක් එකවර මුද්‍රණය කරලා එකම දවසේ පිටකළා. ඒත් එදා මේ දේ රටට කියන්න අද විවේචන ඉදිරිපත් කරන මේ කිසිම මාධ්‍යයක් ඉදිරිපත්වුණේ නැහැ. ඒත් අද මගේ එක පොතක පසුවදනක් අල්ලගෙන බොහෝ දෙනෙක් කෑගහනවා. මේක කොතරම් අසාධාරණයක්ද? ව්‍යාපාර අධ්‍යයන විෂය ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ මේ මහාචාර්යවරයාය කියා ඔය කියනතුරු මා දැන සිටියේ නෑ. ඒත් අපි නොදන්නා මේ රහසිගත දේවල් සමාජය දන්නවා. එහෙම වෙන්නේ කොහොමද? මේවා විභාග දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත දේවල්. මා ගැන, ඒ මහාචාර්යවරයා ගැන නෙමේ විමර්ෂණය කළ යුත්තේ. විභාග දෙපාර්මේන්තුවේ මේ රහස්‍ය දේවල් විභාග දෙපාර්තමේන්තුවෙන් පිටවූ ආකාරය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන්ම ප්‍රශ්න කළ යුතුයි.” මද්දුමගේ ආචාර්යවරයා විමසන්නේය.

තමන් කිසිවෙකුට වරදක් නොකළ බව පවසන ඔහු තමා හැමදේම කළේ දැයේ දරුවන් වෙනුවෙන් බව පවසයි.

“මට කරදර විඳලා හොඳට පුරුදුයි. මං ජීවිතේ දුක හොඳින් අත්වින්ද කෙනෙක්. ඒ නිසා මම මේ කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. ඒත් මම වෙනුවෙන් මගේ පොතට පසුවදනක් ලබාදුන් මහත්මයා ගැන මට ගොඩාක් දුකයි. එතුමා ව්‍යාපාර අධ්‍යයනය විෂයමාලා කමිටුවේ ප්‍රධානියා. මේ විෂය සම්බන්ධයෙන් උගත් මහාචාර්යවරයෙක්. අපි නිතර උපදෙස් ලබා ගන්නේ එතුමාගෙන්. එතුමා එක්ක අපි ලංකාව පුරාම දීප ව්‍යාප්ත මට්ටමින් ගුරුවරු දැනුම්වත් කිරීමේ කටයුතු කරගෙන ගියා. අධ්‍යාපනික කටයුතුවලට එතුමත් එක්ක නොකා නොබී කැලෑ පීරූවා. ඒ සියල්ල කළේ මේ රටේ දරුවන් වෙනුවෙන්. සමහරු චෝදනා කරනවා, මගේ පොතේ පිටුපස කවරයේ එතුමාගේත් මගේත් ඡායාරූප පළකළ ආකාරය ගැන. මගේ ඡායාරූපය පොඩිවට දාලා එතුමාගේ පසුවදනේ ඡායාරූපය ලොකුවට දැම්මලු. එතුමා මට වඩා උගත් මහාචාර්යවරයෙක්. ඒ ගෞරවය මගේ පොතින් එතුමාට දිය යුතුයි. “මීට පෙරත් ප්‍රශ්න පත්‍ර සම්පාදකයින් මෙවැනි පසුවදන් නොව පොතුත් ලිව්වා. ඒත් කවුරුත් ඒ ගැන කතා කළේ නැහැ. විභාග දෙපාර්තමේන්තුව මේ මහාචාර්යවරයා ව්‍යාපාර අධ්‍යයන විෂයට පත්කළේ හදිසියේ. එතුමාට සූදානම් වෙන්න කාලයක් පවා තිබුණේ නැහැ. එතුමා මුලින්ම ප්‍රශ්න පත්‍රය සකස් කළ අවුරුද්දේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ප්‍රශ්න පත්‍රයේ වැරැදි 13 ක් තිබුණා. මම තමයි මාධ්‍යය හරහා ඒ වැරැදි අදාළ බලධාරීන්ට පෙන්නලා දුන්නේ. මේවා කියන්නේ එතුමවාට ගරහන්න නෙමේ. ඔහු උගත් පුද්ගලයෙක්. ගුරු පුහුණුවලදි ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වන ගුරුවරුන් මට නිතර හමුවෙනවා. මම ඒ කිසිම අවස්ථාවක කියලා නැහැ මගේ මේ පොත මිලදි ගන්න කියලා. ඉස්සරහටත් මම පොත් ලියනවා. මං හැම වෙලාවේම මුල්තැන දෙන්නේ මගේ රාජකාරියට. දෙවනුව පොත් ලියන්න...” ඔහු පවසයි.

කෙසේවුව මේ පසුවදන පාදක කරගනිමින් ඔහු සිය පොත් විකුණා ඇතැයි ද රාවයක් පවතී. කොහොම නමුත් මේ ප්‍රශ්නය කරළියට පැමිණීමත් සමඟ මෙතෙක් කවුරුත් නොදත් රහස් කරුණු පිටවී ඇත්තේය. එය බරපතළ වන්නේ උසස් පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් නිසාය. දරුවකුගේ පාසල් දිවියේ අවසන් කඩඉම උසස් පෙළ විභාගයයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මෙවන් පසුවදනක් සැපයූ පමණින් වරදක් සිදුවූවායැයි පවසන්නේ කෙසේදැයි විමසති. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මීට වඩා කතා කළ යුතු ප්‍රශ්න ඇතිබව ඔවුන්ගේ අදහසයි. කවුරු කෙසේ කීවත් මේ ප්‍රශ්නයේදි අදාළ මහාචාර්යවරයාට ඉට්කිරීමට වගකීමක් ඇත්තේය. ඔහු ගිවිසුම් ගත වූයේ දැයේ දරුවන් වෙනුවෙන් නම් නොපිරිහෙලා ඒ කර්තව්‍ය ඉටුකළ යුත්තේය. මෙම විෂය පොතේ කර්තෘවරයා අදාල ගිවිසුම් සම්බන්ධයෙන් දැන නොසිටියද අදාළ මහාචාර්යවරයා තමන්ගේ වගකීමේ සීමාවන් හොඳින් දැන සිටිය යුතුයැයි අපි විස්වාස කරන්නෙමු. විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න පත්‍ර සම්පාදක ආචාර්ය මහාචාර්ය වරුන්ට මේ කාර්යය, වගකිම භාර දී ඇත්තේ ඔයුන් රටේ උගත් බුද්ධිමත් පිරිසක් වීම හේතුවෙනි. මේ නිසා සදාචාර වැටෙන් පැනීමට කිසිවෙකුටත් අවකාශයක් නැත්තේයැයි අපි විස්වාස කරමු.

Comments