ආසන පටි තද කරගන්න | සිළුමිණ

ආසන පටි තද කරගන්න

මෙයත් එක්තරා ආකාරයක අපූර්ව නාට්‍යයකි. මේ නාටකයේ සමාරම්භය 14 දා මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයෙන් ආරම්භවනු ඇත. මෙයට මෙය යැයි කිව හැකි වස්තුබීජයක් නොමැති වුවද, නිශ්චිත වූ කාල සීමාවක් ඇත. මෙකී නිශ්චිත වූ කාල සීමාව ඉක්මවා යන්නේ නාටකයේ නිශ්චිත කාලසීමාව තුළ දී දක්නට නොලැබේ නම් පමණි. කෙසේ වෙතත් මෙකී අවසන් ඵලය ජය සහ පරාජය නම් වෙනස තුළ රඳා පවතී. මෙහි ජය සහ පරාජය අකාමකා දමමින් මෙකී ජයම පතා රඟන විට දස දහස් සංඛ්‍යාත නරඹන්නන්වන ප්‍රේක්ෂකයන්ට නම් එකී රැගුම තවත් අපූර්ව ආස්වාදයක් සහ දැහැන්ගතවීමකි.

විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි ජයග්‍රාහකයන් කවුරු වුවද, මෙවර රුසියාවට රොද බැඳි රටවල් 32 ක මේ වන විටත් දිනා ගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසීයකි‍.

තරග පැවැත්වෙන සෑම මොහොතක් පාසාම ත්‍රාසයෙන් සහ විශ්මයෙන් ලොවම ඇළලී යනු ඇත. සුපිරි තරු අති සුපිරි බවට පත්වන, සුපිරි තරු බැස යන, නවක තරු විකසිතවන තවත් තරු බිහිවන විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවත් දින හතරකින් රුසියාවේ ආරම්භවීමට නියමිතය.

පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරග සියයකට වඩා ක්‍රීඩා කර ඇත්තේ බ්‍රසීලය සහ ජර්මනියයි. පසුගිය ශූරයන් වූ ජර්මනිය මේ කඩඉමට ළඟාවූයේ 2014 තරගාවලියේදීය. වැඩිම තරගාවලි සංඛ්‍යාවකට (21) එක්ව සිටින බ්‍රසීලයට තරග 104 කි. තරගාවලි 18 කට එක්ව සිටින ජර්මනියට තරග 106 කි‍

ලෝකය ම එක් යායක් කරන පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍ය තවත් හරියට ම දින 4 කින් රුසියාවේදි ආරම්භ වෙයි. ලොව පුරා කණ්ඩායම් 32 ක් නගර 11 ක පිහිටි ක්‍රීඩාංගණ 12 ක දී තරග වදින මෙකී සැණකෙළියට අයත් මුළු තරග සංඛ්‍යාව 64 කි. ලබන 14 දා සිට ජූලි 15 දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් 32 න් 31 ක්ම සුදුසුකම් ලැබීමේ තරගවලට එක්විය. එකී තරග 2015 මාර්තු මාසයේ සිට 2017 නොවැම්බර් මාසය දක්වා පැවැත්විණි. රුසියාව සත්කාරක රට වශයෙන් නිතරගයෙන් විසි එක්වැනි පාපන්දු ලෝක කුසලානයට එක් විය.

දෙපාවලට මැදිවූ පන්දුවක්, ගෝල් කණු දෙකක් අතර ගැට ගැසූ දැලක් අතර පැය එකහමාරකට ආසන්න කාලයක් තුළ කෙරෙන මෙකී යුද්ධය සැබැවින් ම ඔලිම්පික් උලෙළට පවා දෙවැනි නොවන බවට සැක නැත. රටවල් 211 ක් අතරින් රටවල් 32 ක් මෙකී තරගාවලියට කඳවුරු බඳින විට මහද්වීප අනුව කණ්ඩායම් බෙදා වෙන් කෙරෙන්නේ පාපන්දුවේ ගුණාත්මක භාවයට ප්‍රමුඛතාව ලබා දෙමින්ය. මේ අනුව ලොව විශාලතම මහාද්වීප ලෙස සැලකෙන ආසියානු සහ ඔස්ට්‍රේලියානු මහාද්වීප එක් කලාපයක් ලෙස සලකා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වූ රටවල් සංඛ්‍යාව පහකි. ඒ ඔස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, සෞදි අරාබිය සහ දකුණු කොරියාවයි. වැඩිම රටවල් සංඛ්‍යාවක් එක් වන්නේ යුරෝපා මහ­ාද්වීපය නියෝජනය කරමින්ය. රටවල් සංඛ්‍යාව 14 කි. ඒ රුසියාව, බෙල්ජියම, ක්‍රොයේෂියාව, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, සර්බියාව, ස්පාඤ්ඤය, ස්විඩනය සහ ස්විස්ටර්ලන්තයයි. අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඊජිප්තුව, මොරොක්කෝව, නයිජීරියාව, සෙනගාලය සහ ටියුනීසියාව ද උතුරු - මධ්‍යම ඇමරිකාව සහ කැරිබියානු දූපත් කලාපය නි‍‍යෝජනය කරමින් කොස්ටරිකෝ, මෙක්සිකෝ සහ පැනමාව තරගාවලියට එක්වෙයි. මීට අමතරව දකුණු ඇමරිකානු කලාප නියෝජනය කරමින් ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, පීරු සහ උරුගුවේ මෙවර තරගාවලියට රුසියාවේ රොද බදියි.

මෙවර සුදුසුකම් ලැබීමේදි පැවැති සම්පූර්ණ තරග සංඛ්‍යාව 872 කි. එක්වූ රටවල් සංඛ්‍යාව 210 කි. රැස් කළ ගෝල සංඛ්‍යාව 2454 කි. ගෝල 16 බැගින් වූ වැඩිම ගෝලලාභින් තිදෙනකි. පෝලන්තයේ රොබර්ට් ලෙවන්ඩොව්ස්කී, සෞදි අරාබියාවේ මොහොමඩ් අල් සහ්ලාව් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අහ්මඩ් කලීල්ය.

සුපුරුදු පරිදි මෙවර තරගාවලිය පෙරළිකාර සිදුවීම් රැසකින් ද සමන්විත විය. ඒ අතරින් දැඩි අවධානය යොමු වූයේ ඉතාලිය, ඇමෙරිකාව සහ නෙදර්ලන්තය වැනි රටවලටය. ඔවුන්ට මෙවර ලෝක කුසලාන වරම් අහිමි විය. මේ අතර ඉතාලියට මෙවර ලෝක කුසලාන වරම් අහිමි වූයේ 1958 න් පසුව වීම ද විශේෂත්වයකි. එමෙන් ම ඇමෙරිකාව 1990 - 2014 න් පසුව මෙවර ලෝක කුසලාන වරම් අහිමි කර ගත්තේය. නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව නවවැනි ස්ථානයේ පසුවන චිලී, 19 වැනි ස්ථානයේ පසුවන නෙදර්ලන්තය සහ 20 වන ස්ථානයේ පසුවන ඉතාලිය ද මෙවර ඇඬූ කඳුළින් ලෝක කුසලානය දෙස නෙත් යොමා ගෙන සිටියි. මෙවර ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලි සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ රටවල් කිහිපයකි.

මේ අතර ප්‍රථමවරට ලෝක කුසලාන තරගාවලියට එක්වන රටවල් දෙකකි. ඒ අයිස්ලන්තය සහ පැනමාවයි. මෙයින් අයිස්ලන්තය වඩාත් කැපී පෙනෙන්නේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ අඩු ම ජනගහනයක් සිටින රට වශයෙනි. 2016 ලෝක බැංකු වාර්තාවට අනුව අයිස්ලන්තයේ ජනගහනය 334, 252 කි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සෑම තරගාවලියකට ම එක්වූ රට බ්‍රසීලයයි. එමෙන් ම වැඩි ම වතාවක් ලෝක කිරුළ හිමිකර ගෙන තිබෙන්නේ ද බ්‍රසීලයයි. ඒ පස්වතාවකි. මෙවර වරම් අහිමි වූ ඉතාලිය සහ පසුගිය ශූරයන් වූ ජර්මනිය සිව්වතාව බැගින් පාපන්දු ලෝක කිරුළ දිනා ගෙන තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් නැගෙනහිර යුරෝපයේ රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇත. මෙවර සමාරම්භක තරගය මෙන් ම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදීය. එහි ප්‍රේක්ෂක ධාරිතාව 81000 කි. තරග පැවැත්වෙන නගර 11 වන්නේ මොස්කව්, ශාන්ත පිටර්ස්බර්ග්, කාලීන්ගාර්ඩ්, කසාන්, සමාරා, සරන්ස්, රොස්ටොච් ඔන් ඩොන්, සොචී, යෙකටෙරින්බර්ග්, නිෂ්නි ෆෙව්ගොරොඩිය හා වොල්ගොග්‍රාඩ් ය. රුසියාව ලොව විශාලතම රට මෙන් ම දිගම දේශ සීමාව හිමි රටයි. අසල්වැසි රටවල් සංඛ්‍යාව 18 කි. ‍

මෙවර ශූරයන්ට පාපන්දු කිරුළ සමඟ හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 38 කි. අනුශූරයන්ට මිලියන 28 කි. තෙවැනියාට මිලියන 24 කි. සිවුවැනියාට මිලියන 22 කි.

මෙවර තරගාවලියේ සුරතලා ෂැබිවාකා නම් වෘකයායි. නිල පාපන්දුව නම් කර තිබෙන්නේ ටෙල්ස්ටර් 18 ලෙසය. එය නිර්මාණය කළේ ප්‍රකට ජර්මන් සමාගමක් වන අඩිඩාස් ය. මෙතෙක් ලෝක කුසලානය දිනා ගෙන ඇති රටවල් සංඛ්‍යාව අටකි.

Comments