
ගිනි අවි භාවිතය සිවිල් වැසියන්ට තහනම්ය. ගිනි අවියක් ළඟ තබා ගන්නේ නම් ඒ සඳහා වන සම්මත නීති පද්ධතියක් රටක ඇත්තේය. ඒ නීති පද්ධතියට පිටින් සමාජය තුළ ගිනි අවි තිබිය නොහැකිය. තිබේනම් ඒවා නීති විරෝධීය. නීති විරෝධී ගිනි අවි ලංකාවේම ඇත්තේ දහසකට ආසන්න ප්‍රමාණයක්ය. අපරාධකරුවන් අපරාධ කරන්නේ මේ අවි ප්‍රමාණය කුලියට ගනිමිනි. ඒ නිසාම පාතාලය තුළ නීති විරෝධී ගිනි අවි සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. තරගකාරී මිල ගණන්වලට පාතාලය තුළ ඇතිවී තිබෙන ආයුධ ඉල්ලුම සපුරා දීම සඳහා දියත්වන විවිධ ජාවාරම් අතරින් ඇසෙන අලුත්ම කතාව අප තිගස්වනසුලුය. ඒ කතාව ඇසෙන්නේ කහවත්තේ මාදම්ප ප්‍රදේශයෙන්ය. එම ප්‍රදේශයේ නිෙවසක් තුළ පවත්වාගෙන ගිය කම්හලක පාතාලය වෙනුවෙන් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි නෂ්පාදනය වෙමින් තිබුණේය.
බුද්ධි තොරතුර
කහවත්ත පොලිසියේ බුද්ධි අංශයට මේ තොරතුර ලැබී තිබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන් කියැවුණේ කහවත්ත අටකලම්පන්න, මාදම්පේ ප්‍රදේශයේ පිහිටි අවි කම්හලකින් රටේ පාතාලයන්ට අවශ්‍ය අවි අවශ්‍ය ආකාරයට නිෂ්පාදනය කර දෙන බවය. අවි නිෂ්පාදනයට යොදාගෙන තිබුණේ දේශීය අමුද්‍රව්‍යය. පොලිසියට ලැබුණු මේ බුද්ධි තොරතුරට අනුව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕළුගල විමර්ශන කණ්ඩායම් කීපයක් යෙදෙව්වේය. රොහාන් ඕළුගල යනු මේ රටේ අපරාධ මර්දන විෂයහි ලා මහත් ශූර බවක් දක්වන විචක්ෂණ නිලධාරියකි.
මෙම අවි නිෂ්පාදනය කරනා තරුණයා නීති විරෝධි අවි ආයුධ නිෂ්පාදනය පිළිබඳ මින් පෙරද වැරදිකරු වී දඬුවම් ලැබූ අයෙකි. මේ වරද සම්බන්ධව මුල් වරට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ රත්නපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසිනි. ඒ වර්ෂ 2003 දීය. එදා රත්නපුර විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා වත්මන් කහවත්ත පොලිස් ස්ථානාධිපති රොහාන් ඕළුගලය. එදා ඔහු අත්අඩංගුවට පත්වන්නේ ගිනි අවි 16ක් සමගිනි. වර්ෂ 2007 දී ඔහුට යළිත් ගිනි අවි නිෂ්පාදන චෝදනාවක් එල්ල විය. ඒ කළුතරදීය. ඔහු එහිදි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ තමන් නිෂ්පාදනය කළ තවත් ගිනි අවි 4ක් සමගිනි. අපරාධ සිදුකළ බව හඳුනාගත් ගිනි අවි දෙකක් නිෂ්පාදනය කිරීම පිළිබඳව ඔහුට එරෙහිව කළුතර හා රත්නපුර අධිකරණවල නඩු ඇසෙමින් තිබිණි.
ඔහු නිෂ්පාදනය කරන ගිනි අවිවලට වෙළෙඳපළ නිර්මාණය කරන පාතාල ජාලය සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනැගෙන්නේ ඔහු අවි නිෂ්පාදනයට වරදකරු වී බන්ධනාගාරගත වීමෙන් පසුය. එමෙන්ම මේ වකවානුවෙන් අනතුරුව ඔහු ලවා බලපෑම් කර ගිනි අවි නිෂ්පාදනය කරගැනීමට පාතාලයෝ කටයුතු කරමින් සිටියහ.
මේ සියලු තොරතුරු රැස් කරගන්නා රොහාන් ඕළුගල ඉවසීමෙන් යුතුව කාලයට ඉඩදෙමින් සිය මෙහෙයුම සැලසුම් කළේය. අවසානයේ මෙම ගිනිඅවි නිෂ්පාදනය කරන පුද්ගලයා විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කෙරුවේය. ඒ පසුගිය මැයි මාසයේ අවසන් සතියේ දීය. මෙහෙයුමේ වගකීම ගත්තේ කහවත්ත පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගාමිණී අත්තනායකගේ නායකත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.
මෙහෙයුම
දිනය ජූනි 04 වන දා සඳුදාය. පොලිසිය ලද විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව මේ ආයුධ ෆැක්ටරියේ නිෂ්පාදනය කළ අවියක් එදින උදෑසන මීපේ ප්‍රදේශයේ පාතාල කල්ලියක් වෙත අලෙවි කිරීමට නියමිතව තිබිණි. පොලිසියේ අභිලාෂය වූයේ බඩුත් සමගම හොරු අල්ලා ගැනීමය. අලුයම 4.00 ට පමණ අදාළ නිලධාරී කණ්ඩායම නියමිත මෙහෙයුම සඳහා පිටත්ව ගියහ. මාදම්පේ හන්දියේ නිලධාරින් ගමන්ගත් වාහන කිහිපයක් නතර කෙරිණි. රක්වාන දෙසට එක් වාහනයක් ගමන් ගත්තේය. සැකකරුගේ නිෙවසේ පවත්වාගෙන ගිය ආයුධ කම්හල තිබුණේ රක්වාන පාරේ නොක්කාවත්ත, නොම්මර 322/1 දරන ස්ථානයේ ය.
පොලිස් නිලධාරීන් නිෙවස අවට ස්ථානගතව සෝදිසියෙන් පසුවූයේය. නිෙවසට කිසිවෙක් පැමිණි වගක් හෝ පිටව ගිය බවක් දැනගන්නට නොතිබුණි. නිවසේ ඉදිරිපස දොරත් වසා දමාය. බැලූ බැල්මට එහි කිසිවෙකු සිටින බවක් නොපෙනේ. පුරා පැය හයක් තිස්සේ සෝදිසියෙන් සිටි පොලිසිය පෙරවරු 10.15ට පමණ නිවස වටකළේය. ඉදිරිපස දොරටුව අසලට ගිය එක් නිලධාරියෙක් දොරට තට්ටු කරමින් සැක කරුගේ නම කියා ඔහුව ඇමතීය.
“ මචං චන්දන . අපි. දොර ඇරපන්.”
එහෙත් නිෙවස තුළින් ප්‍රතිචාරයක් නොමැත. කිසිවකු සිටින බවට සලකුණක්වත් නොමැත. විපරම් කර බලද් දී පොලිසිය දුටුවේ පිටුපස දොර ඇත්තේ අඟුළු නොදමා අඩවල් කර තිබූ බවය. කහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තවත් දෙදෙනෙක් සමඟ පසුපස දොරින් නිෙවසට ඇතුළු විය. නිවස කාමර තුන හතරකින් යුතු එකකි. කුස්සියට යාබද අඳුරු කාමරයක දොර අඩක් විවරව තිබිණි. පොලිස් කණ්ඩායම එක්වරම දොර ඇරගෙන කාමරයට ඇතුළු විය. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන පාතාලයට අවශ්‍ය ගිනි අවි ඔවුන්ගේ අභිමතය අනුව නිෂ්පාදනය කර දෙන චන්දන නිෙවස තුළ ස්ථාපිත කළ සිය කම්හල තුළ අලුතින් නිර්මාණය කරන රිවෝල්වරය එක අතකට ගෙන එහි අවසන් සූක්ෂ්ම නිමැවුම් කරමින් සිටියේය.
අවි කම්හල
කම්හල පිහිටි කාමරය දැඩි අඳුරු සහිත එකකි. චන්දන තමන් අත්තිකාරම් ගත් ගිනි අවියේ කටයුතු අවසන් කරමිනි. ඔහු නිෂ්පාදනය කරමින් සිටියේ ටී.56 උණ්ඩ 05 යෙදිය හැකි රිවෝල්වරයක හැඩය ගත් ගිනි අවියකි. ඊට ටී 56 උණ්ඩ තුනක් ඇතුළු කර තිබිණි. අවිය මීපේ පාතලයන්ගේ අභිලාෂය අනුව නිෂ්පාදන කෙරුණකි.
නිශ්පාදනාගාරයේ තිබුණු ඇඳක් මත අර්ධ වශයෙන් නිමකළ රිවෝල්වර හැඩයෙන් යුතු ආයුධ දෙකක් විය. ඒ සමඟ ටී.56 ජීව උණ්ඩ තුනකි. ගිනි අවි නිෂ්පාදනය සඳහා විශේෂ උපකරණ ප්‍රමාණයක් කම්හලේ ස්ථානගත කර තිබිණි. තැනක විශේෂ විදුම් යන්ත්‍රයකි. තවත් තැනක තැන්පත් කළ අඬු, යතුරු හා විශේෂ සූක්ෂ්ම මැනුම් උපකරණ ප්‍රමාණයකි. සමහර උපකරණ විදේශවලින් ආනයනය කරන ලද ඒවාය. එම උපකරණ ඔහුට සපයා ඇත්තේ ඔහුගේ ගැනුම්කාර පාතාල ප්‍රබලයන් විසිනි.
චන්දන ගිනි අවි නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සොයාගෙන තිබුණේ ලියවන පට්ටල්වලින් හා යකඩ බඩු එක්රැස් කරන ස්ථාන වලිනි. තවත් කාමරයක පිස්තෝල හා රිවෝල්වර කොටස් විශාල ප්‍රමාණයකි. තවත් තැනක පිස්තෝලවලට බැරල් සකස් කරන පැරණි සුන් බුන් ගොඩකි.
වැදගත්ම දේ වූයේ ඔහු මේ අවි නිෂ්පාදනය කිරීම සඳහා දැනුම ලබාගත් ආකාරයය. ඔහුගේ කාමරයේ තිබී සොයාගත් සඟරා හා පොත් ප්‍රමාණයක් විය. එම පොත්පත් ජර්මනිය හා ප්‍රංශය වැනි රටවලින් ඔහු සිය මිතුරන් මඟින් ගෙන්වා ගත් ඒවාය. ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පූර්ණ දැනුම අන්තර්ගත වූ එම ලේඛණයන්හි ගිනි අවිවල විවිධ ආකෘතීන් හා ඒවායේ ක්‍රියාකාරී ස්වරූපය දක්වා තිබිණි.
ලෝකයේ ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ ඔහු තුළ වූ විචක්ෂණ අවබෝධය ලබා ගෙන තිබුණේ ස්වෝත්සාහයෙනි. ලේඛන අතරන් ජර්මනියේ ප්‍රකාශයට පත් කරන Juryman Gun නැමැති සඟරාව හමු විය. ගිනිඅවි නිෂ්පාදනය කිරීම පිළිබඳව තොරතුරු පුළුල් ලෙස එහි සටහන්ව තිබුණේය.
ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් චන්දනගෙන් ප්‍රශ්න කිරීම අවි කම්හල තුළදීම ආරම්භ විය. ඔහු චකිතයකින් තොරව ඉතාම සැහැල්ලුවෙන් පොලිස් ප්‍රශ්නකිරීම්වලට පිළිතුරු දුන්නේය. ඔහු මෑතදීම නිෂ්පාදනය කර රුපියල් විසිපන් දහසකට අලෙවි කරන ලද බෝර දොළහේ පතොරෙම් යෙදිය හැකි ගිනි අවියක් සමඟ ගැනුම් කරුද පොලිස් අත්අඩංගුවට පත් වූයේය. එම ගිනි අවිය මිල දී ගෙන තිබුණේ කහවතුකන්ද ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයෙකි.
ගිනි අවි නිෂ්පාදකයා
මේ ගිනි අවි නිෂ්පාදක පුද්ගලයා 40 හැවිරිදි අයෙකි. නමින් තෙන්නකුට්ටිගේ දොන් චන්දන රුවන්ය. උසස්පෙළ විභාගය ප්‍රදේශයේ ප්‍රධාන පාසලකින් සමත් වූවෙකි. ජ්‍යාමිතිය විෂයට උපන් හපන්කම් ඇත්තෙක් බව කියැවිණි. අවිවාහකයෙකු වූ ඔහු මාදම්පේ රක්වාන ප්‍රධාන මාර්ගය අසල පිහිටි නිවසක හුදකලාව ජීවත් වූයේය. මේ පුද්ගලයා අැඳුමේ පැළඳුමේ සිට සමාජ සම්මත සම්ප්‍රදායෙන් වෙනස් වූවෙකි. නිහඬ හුෙදකලා ජීවිතයක් ගත කරන ඔහුමත්ද්‍රව්‍යයට හුරු වූවකු බවත්, හිසේ කෙස් රහිත නිසා බොරු කොණ්ඩයක් පළඳින බවත්, තියුණු තාක්ෂණික දැනුමක් සහජයෙන් ලද පුද්ගලයකු බවත්, කියැවීමෙන් සිය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරගත් අයෙකු බවත් පැවසිණි. වෙනත් කිසිදු අපචාර හෝ අපරාධ චෝදනාවක් ඔහුට එල්ල වී නැත. එල්ලවන එකම හා ප්‍රබලම චෝදනාව නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කිරීමය. ඔහු විසින් නිෂ්පාදන කර පාතාලයට ලබාදුන් අවි ප්‍රමාණය කොතෙක්දැයි ඔහුට නිච්චියක් නැත. සංසාර පවක් සේ දැන් මේ ගිනි අවි නිෂ්පාදනයෙන් ගැලවී සිටීමට පාතාලයන් චන්දනට ඉඩ දෙන්නේ නැත. ඔහුට මේ අවි නිෂ්පාදනය මොනතරම් සිල්ලරද කියනවා නම් ඔහුට අවශ්‍ය යම් යම් උපකරණ වෙනුවෙනුත් ඔහු ගෙවා ඇත්තේ ගිනි අවි වලිනි. විශේෂ විදුම් යන්ත්‍රයක් ලබාදුන් හිලව්වට ඔහු පාතාලයට සැපයූ ගිනි අවි දෙකකින් කළ මිනිස් ඝාතන ගැන මිරිහාන පොලිස් අත්අඩංගුවට පත් අපරාධකරුවන් විසින් හෙළි කර තිබිණි. ගණනක් මිම්මක් නැතිව ඔහුගේ ගිනි අවි නිෂ්පාදනාගාරයෙන් කළ නිෂ්පාදන මොනතරම් මිනිස් ජීවිත බිලිගත්තා දැයි කවුරුත් දන්නේ නැත. ඔහු සමාජයට කළ ව්‍යසනයේ ප්‍රමාණය එපමණ බිහිසුණුය.
පොලිස් අත්අඩංගුවට පත්වන චන්දන කතා කරන්නේ වෙනත් මානයක් ගැනය.
“මට මේ ටැලන්ට් එක සහජයෙන් ලැබිලා තියනවා. ඒක පෙර වාසනාවක්. නමුත් සංසාරගත පවකට මම ඉපදිලා තියෙන්නේ නුසුදුසු රටක. මගේ හැකියාවෙන් දක්‍ෂතාවෙන් මේ රටට කිසිම ප්‍රයෝජනයක් නෑ. මං මීට පෙරත් ප්‍රසිද්ධියෙ මාධ්‍ය ඉස්සරහ කිවුවා මගේ මේ හැකියාව රටේ සංවර්ධනයට, නිෂ්පාදන ආර්ථිකයට ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න කියලා. මේක කිව්වොත් ඔයගොල්ලො සමහර විට හිනාවෙයි. අපේ රටට අවශ්‍ය කරන ගිනිඅවි අපේ රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ඉතා විශාල අවකාශයක් රට ඇතුළෙ තියනවා. ඒත් විශාල මුදල් වැය කරලා ඒවා ලෝකයේ අවි නිෂ්පාදන රටවලින් මිල දී ගැනීමටයි අපි පුරුදු වෙලා තිබෙන්නේ. මේ නිසා මම හොයාගත් සමහර තාක්ෂණික දැනුමත් හැමදාම මම දැඩි පීඩනයකට ලක් වෙනවා. මම මේ රටට කියන්නෙ පුරාජේරුවක් නෙමෙයි. මට කවුරු හරි සල්ලි දෙනවා නම් ලෝකේ තියෙන ඕනෑම ගිනිඅවියක් හදලා දෙන්න මට පුළුවන්.”
රටට වැඩක් නැති චන්දනගේ දැනුමෙන් ප්‍රයෝජන ගෙන තිබුණේ රටේ පාතාලයන්ය. අවි නිෂ්පාදනය සඳහා ඔහුට දැවැන්ත ඇණවුම් ලබා දී ඇත්තේ කොළඹ පාතාලයය. රුපියල් තිස් දහසකට අඩු මුදලකට ගිනි අවියක් නිපදවා ගැනීම පාතාල අපරාධකරුවන්ට මහත් ලාභයකි. සමහර පාතාලයන් ඔහුගෙන් ආයුධ තනවා ගෙන ඇත්තේ තර්ජනය කිරීමෙනි. පාතාලයන්ට අවි සපයන චන්දන දැන් නීති විරෝධී ආයුධ නිෂ්පාදයෙකු මෙන්ම අවි ජාවාරම් කරුවෙක්ය. ඒ නිසා කහවත්ත පොලිස් අත්අඩංගුවට පත්වන ඔහු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේය. චන්දන දැන් කුරුවිට බන්ධනාගාරයේය.
එම නීතිවිරෝධී ගිනිඅවි නිෂ්පාදනාගාරය වැටලීම සඳහා රත්නපුර දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ඒ සේරසිංහ, සහකාර පොලිස් අධිකාරී II ටී.ඒ.එච්. නිශ්ශංකගේ උපදේශකත්වය සහ අධීක්‍ෂණය මත කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕළුගලගේ මෙහෙයවීමෙන් කහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගාමිණී අත්තනායක සමඟ පොලිස් සැරයන් 30139 කරුණාතිලක 38854 විරාජ් 52400 ආනන්ද 36434 සේනාරත්න 59475 සුගත් 39877 කපිල යන නිලධාරීහූ සහභාගී වූහ.
මේ අසාමාන්‍ය දැනුම, තීක්ෂ්ණ ඥාන ප්‍රභාව ඔහු තුළ කැකෑරෙන දැනුමේ පීඩනය අවසානයේ ඔහුව අපරාධකාරයෙක් කර ඇත්තේය.කෙළවර ඔහු පාතාලයන්ගේත්, කුඩු මාෆියාකරුවන්ගේත් සේවා දායකයෙක්ය. මේ තරුණයාට කියා රටට ගිනි අවි නිර්මාණය කරන්නට අවශ්‍ය නැත. කළ යුත්තේ ඔහුට නිසි පුහුණුවක් ලබා දී තාක්ෂණික දැනුම ගවේෂණය සම්බන්ධව ඔහු තුළ ඇති සහජය අවධි කරගැනීමය. ලෝකය දිනන්නේ එවැනි අවස්ථාවන්ට ඉඩහසර සපයන්නට තරම් පැතිරුණු පරිකල්පනාවෙන් යුතුව තීන්දු ගන්නා රටවල්ය..
අමිල මලවිසූරිය, තුෂාර හෙට්ටිආරච්චි