
බර කරත්ත, බක්කි කරත්ත, තිරික්කල ප්‍රවාහනයේ යෙදුණු කාල වකවානුවේ අග බාගයේ මතුගම නගරයේ සවුත් වෙස්ටර්න් කොමිපැනියේ පතෝල මැහි නමින් හැඳින්වූ බස් රථ දෙක තුනක් සේවයේ යොදවා තිබිණි.
මතුගම නගරයේ විසූ ජිමෝනිස් වෙද මහත්තයා එදා ගැමියන්ට දෙවියෙකි. “සර්” නොකිව්වත් “ඩොක්ටර්” නොකිව්වත් වෙද මහත්තයා එදා ඍෂිවරයෙකි. එදා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ දෙමළ දොස්තර මහත්තයා ශත පණහක් පගාව ගත්තත් ජිමෝනිස් වෙද මහත්තයා තමන්ගේ වෙදකම රුපියල් ශතවලට බාල්දු කළේ නැත. එහෙත් ගැමියන් බුලත් හුරුල්ලට සුරුට්ටු මිටියක් තබා වෙද මහත්තයාගේ මේසයේ කෙළවරක තැබූයේ සිංහලයාගේ කෘතවේදී ගතිය නිසා ය. ඒත් වෙද මහත්තයා ගැන දන්නා අය අද මතුගම අතළොස්සක්වත් නැත. ඔහු මියගොස් වසර හැටකටත් වැඩිය.
දිනක් කාන්තාවක වෙද මහත්තයා සොයාගෙන ආවේ සිය තරුණ දියණිය ද සමඟ ය. දියණියට බඩේ රුජාවක් වැලඳී තිබුණි. වෙද මහත්තයා තරුණියගේ අතේ නාඩි අල්ලා බලා මවට කීවේ “බය වෙන්න දෙයක් නෑ. බෙහෙත් ඕනෑත් නැහැ. කෙල්ලට හොඳට කන්න බොන්න දීපල්ලා. තව මාස හයකින් දරුවෙක් වදාවි” කියලාය.
අද නාඩි අල්ලා රෝගය හඳුනාගන්නා තැන්වලට අපේ මිනිස්සු යන්නේ නැත. නාඩි අල්ලා නිවැරැදිව රෝග නිගමනය කරන අය ද ඉතාම
අඩු ය. ඒවා හණමිටි කාලේ දේවල් ය. චැනල් කොට ස්කෑන් කර බඩේ ඉන්නේ කලිසමක් ද ගවුමක් දැයි දැන ගන්නට පුළුවන. මිනිස්සු ඒ තරමට ම නවීකරණය වෙලා ය. බටහිර ගැති වෙලාය.
අපේ මිනිස්සු කන්නෙ බොන්නෙ අඳින්නේ ද, හිතන්නේ ද බටහිර සංකල්පවලට අනුවය. ඇස් පනාපිට සත්‍ය පෙනුණත් එය පිළිගන්නේ නැත.
අයිසැක් නිවුටන් (1642 – 1727) ඇපල් ගසක් යට නිදා සිටියදී ඔහුගේ බඩ උඩට නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියක් වැටුණේ ය. මේ ගෙඩිය හරහට හෝ උඩට නොගොස් පහළ වැටුණේ කෙසේ දැයි සිතා ගුරුත්වාකර්ෂණය සොයාගත් විද්‍යාඥයා බවට පත්විය. ගුරුත්වාකර්ෂණය පළමුව සොයා ගත්තේ කවුදැයි විභාගයට ප්‍රශ්නයක් තිබුණොත් උත්තරය ‘අයිසැක් නිවුටන් ම’ විය යුතු ය. නැත්නම් ශිෂ්‍යයාට ලකුණු ලැබෙන්නේ නැත.
ඒත් ඒ උත්තරය වැරදි ය.
සියල්ල සොයා ගත්තේ බටහිර උගතුන් යැයි ඉස්මුදුණින් පිළිගත්තත් යුරෝපීය උගතුන් විද්‍යාඥයන් උපදින්නට අවුරුදු දහස් ගණනකට පෙර පෘථිවියේත් ඉර හඳ තාරකාවලත් දිග පළල පෙරදිග ශාස්ත්‍රඥයන් සොයා දැන සිටි බව චතුර්වේද ග්රන්ථ හා පුරාණ ග්රන්ථ ඇසුරින් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ 1933 දී ‘ග්රන්ථ ප්‍රකාශය’ ශාස්ත්‍රීය සඟරාවට සාධක සහිතව ලියා පළ කළහ.
“ආකාෂ්ට ශක්තීශ්ච මහීත යායත්
ස්වස්ථං ගුරුස්වාභි මුඛං ස්වශක්ත්යා
ආකාෂ්යාතේ තත්පතතීවභාතී
සමේ සමන්තාත් ක්ව්යතක් වියංඛේ”
(සිද්ධාන්ත ශිරෝමණී 111 – 6)
“පෘථිවිය ආකෘෂ්ට ගති ඇත්තෙකි. ඒ ස්වකීය ආකෘෂ්ට ශක්තියෙන් පෘථිවිය අන්යාධාර රහිත (අන් ග්‍රහයන් විසින් නොඇදනා ලද) බර වූ දේ තමාට අභිමුඛ කොට ඇද ගනී. එහෙත් එය (බලා ඉන්නවුන්ට) ඒ වස්තුව වැටෙන්නා සේ හැඟේ. හාත්පස සියලු ආකාශ ප්‍රදේශය සමව ඇති කල්හි අහසෙහි කොතැනකට මේ පෘථිවිය වැටේද?” (නොවැටේමය. වැටිය හැකි තැනක් නැති බැවිනි) පොළවට යමක් වැටීම යනු ආකර්ෂණ ශක්තියෙන් ඒ වස්තුව තමන් වෙත ඇද ගැන්ම බව ඒ සිලෝවෙන් කියැවේ. (බළන්ගොඩ නාහිමි සබැඳි කතා - 10 පිටුව)
මේ අයිසැක් නිවුටන් උපදින්නටත් අවුරුදු දහස් ගණනකට පෙර අපේ පෙර දිග ශාස්ත්‍රඥයන් දැන සිටි දේ ය, එහෙත් ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ අයිසැක් නිවුටන් යැයි නොලිව්වොත් ලකුණු නැත.
බටහිර නවීන විද්‍යාව පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන න්‍යාය තුළ පවතී. මේ මහා න්‍යාය අපේ ජිමෝනිස් වෙද මහත්තයාටත් ප්‍රාථමික වූ අවස්ථා එමට ය. ඔවුන් පරීක්ෂණ කරන්නෝ ඔවුන්ට හැදූ තාක්ෂණ උපකරණවලිනි.
හෝමාගම ධනංජය අට හැවිරිදි පාසල් දරුවෙකි. ඔහුගේ මව ගුරුවරියකි. පියා ව්‍යාපාරිකයෙකි. දෙහැවිරිදි මල්ලී කෙනෙක් ද ධනංජයට සිටී. ධනංජය හිටි හැටියේ පොලු කැබැල්ලක් ගෙන හමුදා භටයෙකු මෙන් ‘ඩිෂුම්... ඩිෂුම්...’ යැයි වෙඩි තියන ආකාරයක් ගෙන පසුව තෝ මරනවා... කනවා...” යැයි කියා අමු තිත්ත කුණු හරුපයෙන් බණින්නට පටන් ගනී. ගෙදර කිසිවෙකු භාවිත නොකරන අසභ්‍ය වචනවලින් බැණ වදී.
මේ තත්ත්වයෙන් දරුවා මුදවා ගන්නට මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළත් වෙනසක් නොවී ය. ඒ නිසා මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය වෙත දරුවා ගෙන ගියේ ය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී දරුවා පිළිබඳ සියලු තොරතුරු පැවසූහ.
පළමු රෝග පරීක්ෂාවේදී දරුවා පැද්දෙන්නට විය. ඊට වඩා දෙයක් එදින අනාවරණය නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. ඊට අමතරව දරුවාගේ ළදරු කාලය හා පරිසර තොරතුරු මවුපියන්ගෙන් ප්‍රශ්න කළේ ය.
ළදරු කාලයේ විශේෂත්වයක් නොවූ බව කී පියා බිරියගේ ගර්භණී කාලයේ විශේෂ දෙයක් සිහිපත්ව ඒ ගැන කීවේ ය.
“මහත්මයා, පුතා ලැබෙන්න ඉන්දැද්දී විශේෂ දෙයක් සිද්ධ වුණා. මම නෝනා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. ඒ දොස්තර මහත්තයා ස්කෑන් පරීක්ෂණයක් නියම කළා. ඒ ස්කෑන් පරීක්ෂණයෙන් නෝනාගේ බඩේ ළමයි දෙන්නෙක් ඉන්නා බව අනාවරණය කළා. ඒ නිසා වෛද්‍ය උපදෙස් පරිදි සිසේරියන් සැත්කමකට සූදානම් වුණා. ළමයි දෙන්නෙක් කීවාම අපි දෙන්නත් සතුටු වුණා.
නියමිත දිනයට පෞද්ගලික රෝහලකට නෝනව ඇතුළත් කළා. අර දොස්තරමයි සැත්කම කළේ. හැබැයි එක ළමයයි හිටියේ. බඩේ ළමයි දෙන්නෙක් කියලා දැන් එක්කෙනෙක් වුණේ කොහොමද කියලා මම කලබල වුණා. ප්‍රශ්න කළා. ඒක මෙෂින් එකේ අවුලක් කියලා දොස්තර කීවා. අපටත් පුදුමයි. ඒ ඔක්කොම වැරදිය” කීවේ ය.
බෝධි පූජාවෙන් පසු නැවත පැමිණි දිනයේ ධනංජය දිෂ්ටි ගැන්වී විසි වී වැටුණේය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ දරුවගෙ ශරීරයේ ඉන්නේ?” යි ඇසීය.
“මම බිමල්” යැයි භූතාත්මය උත්තර දුන්නේ ය.
“කවුද බිමල් කියන්නේ? ඇයි මේ ළමයාට කරදර කරන්නේ?”
“මම හමුදා සෙබළෙක්. මම හිටපු අංශය බාර සාජන් මගේ යාළුවෙක්. ඌ නිතර අපේ ගෙදර ආවා. ්මට හොරෙන් මගේ නෝනා එක්ක යාළුවෙලා.
දවසක් මේ දෙන්නා කාමරේ ඉන්දැද්දී මගේ අතටම අහුවුණා. මම කෑ ගහගෙන මිදුලට පැනලා පොල්ලක් ගත්තා මූව මරන්න. ඌට ගහන්න පනින කොටම ඌ මට වෙඩි තියලා මෝටර් බයික් එකෙන් පැනලා ගියා. මම මැරුණු ගමන්ම ඌ හොයාගෙන ගියා පළිගන්න. ඌ කෑම්ප් එකට ගිය ගමන් ම ක්‍රියාන්විතයට ගියා.
මමත් උගේ පස්සෙන් ම ගියා. මම උගේ ඔළුව අවුල් කළා. ඌ සතුරෙක්ගෙ වෙඩි පහරින් මැරුණා. මළත් මම අතහැරියෙ නෑ. උගේ ආත්මය පස්සෙන් ම ආවා. ඌ මේ නෝනගෙ කුසේ පිළිසිඳ ගත්තා. මමත් ඒ කුසට රිංගලා කළලයත් එක්ක හිටියා. පළිගන්න උපදිනකල් හිටියා” යි භූතයා කීවේය.
“ඔබට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒත් ඔබේ පළිගැනීමේ වෛර සිතුවිල්ල නිසා ඔබ යක්ෂයෙක් වෙලා. ඒක ඔබට පාඩුවක්. අවුරුදු දහස් ගණනක් වෛරයෙන් දැවි දැවී දුක් විඳින්න වෙනවා. ඔබේ ගනුදෙනුව දැන් ඉවරයි. සාජන්ගෙ කර්මයට විපාක දුන්නා. ඔබ වරදට පළිගත්තා. කර්මයක් විපාකයෙන් අවසන් වෙන්න ඕනෑ. ඒ විපාකය තවත් කර්මයකට හේතුවක් කර ගත්තොත් සංසාර දුක දිග් ගැහෙනවා. ඔබ පළිගත්තා කියා හිත හදාගත්ත. ඒ සාජන් මළා.
මේ ඉන්න ධනංජය වෙන කෙනෙක්්. මේ ළමයාව අතහරින්න. ඔබත් ඔය දුක්ඛිත ආත්මයෙන් මිදෙන්න. නිදහස් වෙන්නෑ”යි භූතාත්මය පැහැදිලි කෙළේය.
තවත් සතියක් බෝධි පූජා පවත්වා භූතාත්මයට පින් දෙන ලෙසත් සතිය අවසානයේ පන්සලට හීල් දානයක් ගෙන ගොස් සාංඝික කොට පූජා කර බිමල් නැමැති හමුදා සෙබළාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් මවුපිය දෙදෙනාට උපදෙස් දුන්නේ ය.
පින් අනුමෝදන් වූ භූතාත්මය පන්සලේ දීම දරුවාට ආවිෂ්ට වී මම යනවා... මම යනවා... අනුරාධපුරයට යනවා” යි කියාගෙන ඉවත්ව ගියේය. එතැන දීම ධනංජය සුවපත් විය.
ඇතැම් බටහිර වෛද්‍යවරු පියවි ඇසට නොපෙනෙන ශක්තීන් පිළි නොගනිති. ඔවුන් පිළිගන්නේ යන්ත්‍ර සූත්‍රවල නිගමනයන් හා ෙභෟතික දේ පමණි. එහෙත් වර්තමානයේ දහමට අනුව කර්මය හා විපාකයන් නොපෙනෙන සත්ත්ව කොට්ඨාස හා ක්‍රියාකාරකම් පිළිබඳවත් හිතන ක්‍රියා කරන පිළිගන්නා වෛද්‍යවරු ද සිටිති, සමථ විපස්සනා භාවනාවල යෙදෙන වෛද්‍යවරු ද සිටිති.
මතුගම මහින්ද විජේතිලක