
ආපදාව අවසන් වෙමින් පවතී. ඒත් සිදුවූ හානි යථා තත්ත්වයට පත් කළයුතු ය. දිස්ත්‍රික්ක 20 ක පවුල් 46000 කට ආපදාව බලපා ඇත. පීඩාවට පත් පුද්ගලයන් ගණන 176000 කි. අපි දැන් කළ යුත්තේ ඒ ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් යථාවත් කර ඒ ජනතාවට ද පූර්ණ පහසුකම් සැලසීමයි.
මේ ආපදා සහන වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්ක 20 සඳහා රජය මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 1500කට අධික මුදලක් මේ වනවිට ලබාදී තිබේ. තවදුරටත් ආපදා කටයුතුවලට අවශ්‍ය මුදල් ලබාදීමට ද රජය සූදානම්ව සිටී.
ඒ මූල්‍ය ප්‍රතිපාදන හා උපදෙස් අනුව ආපදා කළමනාකරණ හා වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක හා අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර යන මහත්වරු රෙට් ආපාදාවට ලක්වූ හැමටම උපරිම සහන ලබාදීමට කටයුතු කරමින් සිටිති.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පවසන පරිදි මේ වසරේ ආපදා සහන ලෙස අමාත්‍යාංශය මගින් රටේම දිසාපතිවරුන්ට දැනට රුපියල් මිලියන 150 කට වැඩි මුදලක් ලබාදී ඇත. මේ වසර මුලදී සියලු දිසාපතිවරුන්ට ආපදා සහන ලෙස රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදුන් අතර ආපදා කඳවුරුවල සියලු සුබසාධන කටයුතු සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 430 ක් ලබාදී ඇත. ආපදාවට පෙර සූදානම් වැඩසටහන යටතේ මෙවර මේ ආපදා සහන සේවා ආරම්භ වූයේ 2018 ජනවාරි මස ඇතුළතය. ඒ අනුව මාර්තු මසදී ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බෝට්ටු, විදුලි ජනක, වතුර පොම්ප ලබාදීමට ද කටයුතු කෙරෙති. ඒ සඳහා රුපියල් ලක්ෂ 330 ක් වැය කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා කියයි.
ආපදා සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන විට යම් නෛතික බාධාවක් තිබේ නම් ඒ සඳහා ඇති බාධා ඉවත් කිරීමට අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ලැබේ.
ආපදාව සිදුවූ පසු ආපදාවට කෙළින්ම බලපා පවුල් 40000 කට සඳහා ඒ ඒ අයගේ හානි අනුව රුපියල් 10000 ක මුදලක් ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව දැනටමත් රුපියල් ලක්ෂ 495 ක් ඒ අසරණ පවුල්වලට ලබාදී තිබේ.
මීට අමතරව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් රක්ෂණ භාර අරමුදලත් එක්වී ආපදාවට ලක්වූ පවුල්වල නිශ්චල දේපොළ හානිය සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ 25 ක උපරිමයට යටත්ව ආධාර දීමට කටයුතු කරමින් තිබේ.
මේ අනුව අදාළ දේපළ හානි පිළිබඳව අදාළ තාක්ෂණික උපදේශක කමිටු මගින් තක්සේරු කිරීම දැන් ආරම්භ කර තිබේ.
මේ පෞද්ගලික දේපළ අලාභ හානි මෙන් ම ගංවතුරෙන් හානි සිදුවූ පාලම්, බෝක්කු, මාර්ග කඩිනමින් පුනරුත්ථාපනය කිරීමටත් අදාළ මූල්‍ය වන්දි තක්සේරුව ඉක්මනින් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දුමින්ද දසනායක ඇමැතිවරයා දන්වා ඇත. ආපදාවට පත්වූ අයට සහන සැලසීමට තවත් මුදල් ලබාදීමට රජය සූදානම් ය. ඒ අනුව ඉක්මනින් අදාළ ඇස්තමේන්තු වාර්තා ලැබිය යුතු බවත් ඇමැතිවරයා පැවසීය. කෙසේ වුවත් ප්‍රාදේශීය මට්ටමින් ජනතාව එක්වී රජයේ ආධාර මත තම නිවාස පිරිසුදු කිරීම කරගෙන යයි.
මීට අමතරව ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කිරීමට නාවික හමුදාව දැන් කටයුතු කරමින් සිටී.
එම ආපදාවට පත්වූ දිස්ත්‍රික්කවල සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය එක් දිස්ත්‍රික්කයක් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදී ඇත. ඒ අනුව කැඩුණු මාර්ග සකස් කිරීම දැන් කරගෙන යනු ලැබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ආපදාවට ලක්වූ නිවාස දේපල පිළිබඳව තාක්ෂණික ඇස්තමේන්තු සකස් කිරීම හැකි ඉක්මනින් සකස් කරන ලෙසයි.
අදාළ ග්‍රාම නිලධාරීවරුන් අදාළ ඇස්තමේන්තු සකස් කිරීමට කාර්යක්ෂම ලෙස උදව් කළයුතු බවද ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා උපදෙස් දී ඇත.
පසුගිය ආපදා දිනවලදී අලාභ හානිවලට ලක්වූ විදුලි බල මාර්ග සියල්ල යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මීට අමතරව පසුගිය සතියේ ඇතිවූ සුළං තත්ත්ව නිසා මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සිදුවූ විදුලිබල බිඳ වැටීම් සකස් කිරීමට ද පියවර ගෙන ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ගංවතුරෙන් සිදුවූ වගා හානි පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කෘෂි රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව ඇස්තමේන්තුවල යෙදේ. ඒ හානි අනුව අදාළ ගොවි ජනතාවට වහා වන්දි ලබාදෙන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.
ගංවතුරෙන් නායයෑම්වලදී ආපදාවට ලක්වූ පාසල් සිසු සිසුවියන්ට අත්‍යවශ්‍ය පාඩම් පොත් හා අභ්‍යාස පොත් ඉක්මනින් ලබාදීමට රජය කටයුතු යොදා ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ බලධාරීන්ට විශේෂයෙන් උපදෙස් දී ඇත්තේ විශේෂයෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ගංවතුරට අසුවූ සිසු සිසුවියන් සිටී නම් ඒ බව අදාළ බලධාරීන්ට දනවන ලෙසත් ඔවුන්ට සියලු පහසුකම් සලසන බවත් ආපදා කළමනාකරණ ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
පසුගිය දිනවල ඇතිවූ ගංවතුරට එක් හේතුවක් වූයේ වැව්වල ජලාශවල රොන්මඩ පිරී තිබීමයි. ඒ අනුව නිරිතදිග මෝසමට පෙර රජරට වැව් හෑරීමට ඇළ වේලි ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. එය ඉදිරියටත් ක්‍රියාත්මක බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරීහු පවසති. දැනටමත් පුත්තලම දිස්ත්‍රික්කයේ කැඩී බිඳී ගිය වැව් අමුණු ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මෙවර ආපදා හානි 2016/17 වසරවලට වඩා අවම විය. ඊට ප්‍රධානම හේතුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊට මාස ගණනාවක සිට පෙර සූදානමක සිටීමයි.
ඒ පෙර සූදානම් වැඩපිළිවෙල අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු බෝට්ටු විදුලි ජනක යන්ත්‍ර එම ස්ථානවලට තබන ලෙසත් යළිත් ආපදාවලට ඒවා ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙවර ආපදාවට පෙර සූදානම් වැඩසටහනේදී සෑම ගමකම සිටින රාජ්‍ය නිලධාරීන්ට එහි ප්‍රමුඛතාව ලබාදී තිබිණි. එය ඉතා සතුටුදායක කරුණකි. ඒ අනුව ගම්වල භූගෝලීය ලක්ෂණ හා ආපදාව ආරම්භ වෙන ස්ථානය ආදී කරුණු ඉතා හොඳින් දන්නා ගමේ අයට ආපදා අවම කිරීම පිළිබඳව ද නවීන දැනුමක් ලබාගත යුතු ය.
ආපදා අවම කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවයි. වාර්ෂිකව රුපියල් ලක්ෂ 600 ක් පමණ වැය කරයි.
ආපදාවක් සිදුවූ විට සහන දීම කළ යුතු ය. නමුත් විය යුත්තේ ආපදා අවම කිරීමට වඩා සිදුවන පාඩු වැළැක්වීමට ආපදා කළමනාකරණය විධිමත් කිරීමයි.
රටට උචිත ආපදා කළමනාකරණ සැලසුම් විද්වත් පිරිසකගේ උදව් ඇතිව සම්පාදනය කළ යුතු ය. එයට ගමේ අයගේ අදහසක් ද ඇතුළත් කළ යුතුම ය.
එමෙන් ම නායයෑම් ගංවතුර ආදියට ප්‍රබල හේතුවක් වන මානව ක්‍රියාකාරකම් අවම කිරීමට ද අප කටයුතු කළ යුතු ය.
ආපදා අවම රටක් ඇති කිරීමට අපි සියලුම දෙනා එක්ව කටයුතු කිරීම අද කාලීන අවශ්‍යතාවයකි. එය අපේ රටට ජනතාවට ඉමහත් සෙතක් වනු ඇත.
ඡායාරූප - ප්‍රසාද් පූර්ණමාල්