සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි පිළිරුව වැඩම වීම 6 වැනිදා උදේ ලේක්හවුස්හි සිට | සිළුමිණ

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි පිළිරුව වැඩම වීම 6 වැනිදා උදේ ලේක්හවුස්හි සිට

 මෙවරත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ජූනි 26, 27, 28 දිනවලදී පැවැත්වේ.

ලේක්හවුස් ආයතනය 50 වැනි වරටත් පවත්වන මිහින්තලා ආලෝක පූජාවට විදුලි බල මණ්ඩලය සම අනුග්‍රහය දක්වනු ලැබේ.

මෙවර ආලෝක පූජා වැඩසටහනට නවතම අංග රැසක් එක් කිරීමට ලේක්හවුස් පාලනාධිකාරිය පියවර ගෙන ඇත‍. ඒ අනුව සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්‍රතිමා වහන්සේ මහ පෙරහරින් වැඩම කිරීම ජූනි 6 වැනිදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා දින තුනක් පැවැත්වේ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ඓතිහාසික ලංකා ගමනයෙන් 2325 වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවත් නිමිත්තෙන් සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් සහ පරිත්‍යාගශීලී පිරිසකගේ දායකත්වයෙන් අනුබුදු මිහිඳු මාහිමි අනුරූ දැවමය ප්‍රතිමාවක් ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුද බිම දක්වා වැඩම කෙරෙන රිය පෙරහර ජූනි 06 වැනිදා පෙරවරු 10 ට ලේක්හවුස් මන්දිරය අබියසින් ආරම්භ කිරීමට පියවරගෙන ඇත. එම රිය පෙරහර පළමුව ඓතිහාසික කැලණි රජමහා විහාරයේදී ආගමික වතාවත් සිදුකර අනතුරුව කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, කඩවත ශ්‍රී බිම්බාරාමය, පහළ ඉඹුල්ගොඩ විජේවර්ධන ශ්‍රී මහා විහාරය, ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය, මැදගම විහාරයයන විහාරස්ථානවල ආගමික වතාවත් සිදුකර පසුව එදින යක්කල සලීලදස්සනාරාමයේ දී නේවාසික වී සවස 7.00 ට සිරිපතුල පිළිබඳ විශේෂ ධර්ම සාකච්ඡාව ගලිගමුවේ ඤාණදීප හිමි පවත්වනු ලැබේ.

අනතුරුව 07 වැනිදා මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරය, ඓතිහාසික මැද්දේපොල රජමහා විහාරය, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම පිරිවෙන් රජමහා විහාරය, දඹදෙණිය විවිධ සේවා සමූපකාර සමිතිය, කුරුණෑගල බමුණාවල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය යන ස්ථානවලදී ආගමික වතාවත් සිදුකර කොහිලපොකුණ පුරාණ විහාරයේදී නේවාසික වී සවස 7.00 උඩුදුම්බර සෝභිත හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ. 08 වැනිදා වාරියපොල ශ්‍රී විසුද්ධාරාම මහා විහාරය, පාදෙනිය පුරාණ විහාරය, කලාඔය තඹුත්තේගම ශ්‍රී ගංගාරාම බෞද්ධ මධ්‍යස්ථානය ආදී විහාරස්ථාන ඇතුළු අනුරාධපුර පූජා නගරය ඔස්සේ මිහින්තලා පුදබිමෙන් එම රිය පෙරහර අවසන් කෙරේ.

මිහින්තලා පුදබිමේදී ආරම්භ කෙරෙන වාර්ෂික සති පිරිත ජූනි 17 වැනිදා සිට පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත වාර්ෂිකව ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන කථික තරගය ජූනි මස 17 වැනිදා රජරට විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට පියවර ගෙන ඇත. එම තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ දෙඅංශයෙන් ම පැවැත්වෙන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදල් තිළිණ පත් පිරිනමනු ලබන අතර ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වටිනා සහතික පත්‍රය බැගින් ද පිරිනමනු ලැබේ.

දීප ව්‍යාප්ත රචනා තරගයද පැවැත්වෙන අතර ඒ සඳහා ද මුදල් තිළිණපත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වටිනා සහතික පත්‍රය බැගින් ද පිරිනමනු ලැබේ.

මිහින්තලා ආලෝක පූජාවට මෙවරත් ඩයලොග් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුග්‍රහය දක්වයි. 

Comments