
විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම්වන විට 2022 තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිව තිබේ.
2002 සිට පාපන්දු ලෝක කුසලාන තරගාවලියට රටවල් 32 ක් එක්වූ නමුත් විවිධ කාල වකවානුවලදී එම රටවල් ප්‍රමාණය වෙනස් වී තිබේ. දැන් පැවැත්වෙන තරගාවලියට තරග 64 ක් අයත්වන අතර මෙකී තරග සංඛ්‍යාව ද විවිධ කාලයන්හිදී වෙනස් වී තිබේ. 1930 පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වූ රටවල් සංඛ්‍යාව 13 ක් වන අතර තරගාවලියට තරග 18 ක් ඇතුළත් විය. 1934 තරගාවලියට රටවල් 17 ක් එක්වූ අතර පැවැති තරග සංඛ්‍යාව 17 කි. 1938 දි රටවල් 15 ක් එක්වූ අතර පැවැති තරග සංඛ්‍යාව 18 කි. දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම් මත 1950 දක්වා තරගාවලිය අතහැර දමා තිබේ.
1950 පැවැති සිවුවැනි තරගාවලියට රටවල් 13 ක් එක්වී ඇති අතර තරග සංඛ්‍යාව 22 කි. 1954 සිට 1978 දක්වා පැවැති තරගාවලි හත සඳහා රටවල් 16 ක් එක්වූ නමුත් පැවැති තරග සංඛ්‍යාවද විටින් විට වෙනස් වී තිබේ. 1954 දී තරග 28 කි. 1958 දී තරග 35 කි. 1963 සිට 1970 දක්වා පැවැති තරගාවලි තුනේදි තරග 32 බැගින් පවත්වා තිබේ. 1974 - 78 දී තරග 38 කි. 1982 සිට 1998 දක්වා පැවැති තරගාවලි පහේදී රටවල් 24 බැගින් එක්වී ඇති අතර පැවැති තරග 52 බැගින් පවත්වා තිබේ.
පාපන්දු ලෝක කුසලානය මෙතෙක් දිනාගෙන ඇති රටවල් සංඛ්‍යාව අටකි. වැඩිම වතාවක් ලෝක කුසලානයට උරුමකම් කියන බ්‍රසීලය පස්වතාවක් ලෝක ශූරයන් වීමට සමත්ව තිබේ. ජර්මනිය සහ ඉතාලිය සිවුවතාව බැගින් ද, ආර්ජන්ටිනාව සහ උරුගුවේ දෙවතාව බැගින් ද, ප්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය එක් වතාව බැගින් ද ලෝක කුසලානයට උරුමකම් කියයි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ සත්කාරකයන්ට වැඩි වාසි හිමිවූ බව පෙනී යන නමුත් රුසියාවට මෙවර සත්කාරකත්වයේ වාසිය හිමිවේද යන්න කට ඉක්මන්කර ගත යුතු නොවේ. 1930 පැවැති පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි වූයේ උරුගුවේ රාජ්‍යයටයි. ගෙදර වාසිය ද උරුගුවේ රාජ්‍යයටම පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී හිමිවූ අතර ඔවුන් අවසන් මහා තරගයේදී ගෝල 2 - 0 කින් ආර්ජන්ටිනාව පරාජය කරමින් පළමු ලෝක ශූරයන්වීමට සමත් විය.
මෙතෙක් පැවැති ලෝක පාපන්දු තරගාවලි 20 න් හයකම ලෝක ශූරයන්වීමට සත්කාරකයන් සමත් වී තිබේ. මනෝ සහ සමාජ විද්‍යාඥයන්ගේ විග්‍රහයන්ට අනුව මෙහිදී ගෙදර වාසිය වඩා වැදගත් සාධකයක් වන බව කියැවේ. මනෝ විද්‍යාඥයන්ගේ ඇතැමෙක් මෙකී ගෙදර වාසිය හැමවිටම හොඳම ප්‍රතිඵල ලබා නොදෙන බවද පවසයි. ඇතැම් විටෙක සත්කාරක රටට මේ ගෙදර වාසිය හානිකරවීමටද ඇති ඉඩකඩ වැඩි බව ඔවුන් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර පාපන්දු පිටියේ රටකට හිමිකර ගත හැකි වටිනාම වස්තුව වන්නේ පාපන්දු ලෝක කුසලානයයි. යම් රටක් එකී අගනා කුසලානය දිනා ගත්විට ඊළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක් එය ආරක්ෂා කර ගත යුතුය. 1938 පැවැති තෙවැනි තරගාවලියෙන් පසු දෙවැනි ලෝක යුද්ධය නිසා වසර 12 ක කාලයක් මෙකී තරගාවලිය අතහැර දැමීමට සිදු විය. එකී කාලය තුළ ලෝක කුසලානයේ හිමිකරුවන් වූයේ ඉතාලියයි. ලෝක යුද සමයේ ජර්මන් හමුදාව ඉතාලියට ගොඩබැස සිටි නිසා ලෝක කුසලානයට අනතුරක්වේ යැයි සිතූ එවක ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයකු වූ ඉතාලි ජාතික ඔටෝරිනෝ බරාසී සුවිශේෂි පෙට්ටියක පාපන්දු ලෝක කුසලානය සඟවා එකී පෙට්ටිය තමාගේ ඇද යට තබා ගෙන තිබේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිවුවැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ ද බ්‍රසීලයයි. ප්‍රථම ලෝක ශූරයන් වූ උරුගුවේ දෙවැනි වරට කිරුළ දිනා ගැනීමට සමත් වූයේ සිවුවැනි තරගාවලියේදීය. 1938 සහ ඊට වසර 12 කට පසු ලෝක පාපන්දු කිරුළට තරග කරන්නට වරම් හිමි වූයේ ක්‍රීඩකයන් දෙදෙනකුට පමණි. ඒ ස්වීඩනයේ එරික් නිල්සන් සහ ස්විස්ටර්ලන්තයේ ඇල්ප්‍රඩ් බිකල්ය.
ගෝල් පාපන්දු ක්‍රීඩාවේ මිල කළ නොහැකිම වචනය බවට සාධක ඇවැසි නැත. ඕනෑම දෙයකට ආරම්භයක් තිබිය යුතුවා සේම පුරෝගාමියකු ද සිටිය යුතුය. 20 වැනි පාපන්දු ලෝක කුසලානය නිමාවන විට කොපමණ ගෝල් සංඛ්‍යාවක් වාර්තා වී තිබේද? සමස්ත පාපන්දු ලෝක කුසලානවල වාර්තා වී ඇති ගෝල සංඛ්‍යාව 2379 කි.
මෙකී ගෝල් 2379 දී ඉතිහාසගත ප්‍රථම ගෝල්ලාභියා ප්‍රංශයේ ලුෂියන් ලෝරන්ට්ය. ඒ 1930 ජූලි 13 දා මෙක්සිකෝවට එරෙහිව පැවැති තරගයේ 19 වැනි විනාඩියේදීය. එකී තරගය 4 - 1 ක් ලෙස ජය ගත්තේ ද ප්‍රංශයයි. ජීවිතය සුන්දර සිදුවීම්වලින් මෙන්ම අසුන්දර සිදුවීම්වලින්ද අඩුවක් නැත.
දෙවැනි ලෝක යුද සමයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද සේවයට බැඳීමට ද සිදු විය. ජර්මන් යුද සිරකරුවකු වූ ලෝරන්ට්ට තෙවසරක්ම ගත කිරීමට සිදුවූයේ දුක්බර දිවියක්. 1943 දී නිදහස් වූ ලෝරන්ට් දිවියෙන් සමුගන්නාවිට අනූහත්වැනි වියේ පසුවිය. ලෝරන්ට් සතු තවත් අප්‍රකට සිදුවීමක් ද තිබේ. ඒ 1998 දී පාපන්දු කිරුළේ සත්කාරකත්වය ප්‍රංශයට හිමි වූ අතර, මේ තරගාවලි ඉතිහාසයේ ලෝක ශූරයන්වීමට හැකි වූයේද එකී තරගාවලියේ දීමය. ඒ දහසය වැනි තරගාවලියයි. ප්‍රංශය තම රටේදීම ලෝක කිරුළ දිනා ගන්නා විට එය දුටු පළමු (1930) පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ජීවතුන් අතර සිටි එකම ක්‍රීඩකයා ලෝරන්ට්ය.
ප්‍රංශයේ ලෝරන්ට් සේම 1958 ස්වීඩනයේ පැවැති තරගාවලියේදි ප්‍රංශයේ ජුස්ට් ෆොන්ටෙන් වාර්තා ගතවන්නේ මේ තරගාවලි විස්සේදී බිහිවූ අද්විතීයම ක්‍රීඩකයා ලෙසය. හයවැනි තරගාවලි අවසානයේ ක්‍රීඩකයකු තරගාවලියක රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කර ගැනීමට සමත්වූයේ ෆොන්ටේන්ය. ඒ තරග හයකදි ගෝල 13 කි. මෙක්සිකෝවේ උපන් ෆොන්ටේන්ගේ පාපන්දු දිවිය දියුණු තියුනු වී ඇත්තේ 1950 දී ප්‍රංශයට ගොඩබැසීමට තීරණය කිරීමත් සමගමය. නිරන්තරයෙන්ම වදදුන් පාදයේ ආබාධයක නිසා මේ විශිෂ්ටයාගේ දෙපා රිද්මයට විසි අටවැනි වියේදීම තිරිංග ලෑමට සිදුවිය.
පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 1998 ප්‍රංශයේ සත්කාරකත්වයෙන් සහ 2014 බ්‍රසීලයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලි ද්විත්වයේදීය. එහිදී ගෝල 171 බැගින් වාර්තා වී තිබේ. තරග වාර්තා වී ඇති සාමාන්‍යය ගෝල ප්‍රමාණය 2.67 කි.
හැකියාව දක්ෂතාව කොතරම් තිබුණද පාපන්දු ලෝක කුසලානය දෙවියන් තමන්ට දුන් තෑග්ගක් හැටියට සලකන ලෝ ප්‍රකට ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ ආර්ජන්ටිනාවේ මැරඩෝනා සහ බ්‍රසීලයේ රොනල්ඩෝය. 1986 ජයග්‍රාහි ගෝලය ආර්ජන්ටිනාව වෙත ළඟාකර දුන්නේ මැරඩෝනා විසිනි.
එකී ගෝලය මැරඩෝනා ගෝල් කනුව වෙත එල්ල කළේ පාදයෙන් නොව අතින් පහරක් එල්ල කරමින්ය. මේ සිදුවීම තරග විනිසුරුවරයාට මගහැරුණු අතර, මැරඩෝනා එක්කරගත් එකී ගෝලය ආර්ජන්ටිනාවට ජය ගෙන ඒමට ප්‍රමාණවත් විය. ඒ නිසා මැරඩෝනා අදටත් එකී ගෝලය සලකන්නේ දෙවියන් දුන් තෑග්ගක් විදියටය.
මේ ආකාරයෙන්ම 2002 දකුණු කොරියාවේ සහ ජපානයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේදී ලෝක ශූරයන්වීමට බ්‍රසීලය සමත් වූ අතර ජර්මනියට අනුශූරතාව හිමි විය. තරගය ගෝල 2 - 0 කින් බ්‍රසීලය ජයගත් අතර එකී ගෝල දෙකම ලබා ගත් පාදයේ ආබාධයක් නිසා කලක් පිටියන් ඉවත්ව සිටි රොනල්ඩෝ බලාපොරොත්තු විරහිත අන්දමින් ලබා ගත් එකී ගෝල දෙක බ්‍රසීලයට පස්වැනි වරටත් ලෝක ශූරයන්වීමට හේතුවූ බැවිනි.










