මියගිය මිත්තණිය මිනිපිරිය බලන්න ඇමෙරිකාවට ගිහින් | සිළුමිණ

මියගිය මිත්තණිය මිනිපිරිය බලන්න ඇමෙරිකාවට ගිහින්

 ‘සං’ යනු එකතු කිරීමයි. රැස් කිරීමයි. අශ්‍රැතවත් පෘථග්ජනයා නිරන්තරව ලෝභය, ආදරය, ආශාව, ඇලීම හා ද්වේෂය, තරහ, වෛර, අමනාප චිත්ත සනතානය තුළ රැස් කරයි. ඒ තුළින් ලෝභ දෝෂ මූලික සංසාර යැයි හැඟීම නිසා සංසාර ගමන දිග් කැර ගනී. තව තවත් ජාති හට ගැනීමට, ජාතිවල ඉපදීමට හේතු සකස් කැර ගනී. ඒ හේතූන්ගේ ඵලය දුකම වෙයි.

මේ සංසාර ගමනේ යෙදෙන මවුපියන් හා දූ දරුවන් අතර ඇත්තේ ණය ගනුදෙනුවකි. මවුපියෝ ලේ කඳුළු හෙළමින් දූ දරුවන් හදා වඩා උස මහත් කරති. එය සංසාරික ණය ගෙවීමකි. ඉහළම විද්‍යාඥයන්ටත් ඔවුන්ගේ නව තාක්ෂණයටත් ලේ කිරි කරන්නට නොහැකි ය. එහෙත් මවකගේ හදවතෙහි ‍උපදින මහා කරුණා ගුණයේ ශක්තියට ලේ කිරි බවට හරවා දරුවා පෝෂණය කරයි. බලු බළල් තිරිසන් සතුන් තුළ ද මේ මාතෘ ශක්තිය පවතී. මේ අතර කිඹුලන්, සර්පයන් වැනි සත්තු තම පැටවුන් බිජු වටින් එළි දකින විටම උන් ගොදුරට ගනිති. ඒ දැන හෝ නොදැන සිදුවන ද්වේෂයේ හේතු ඵලයකි.

සමහර මවුපියන් දරුවන් අතහැර යන අවස්ථා ද සමහර දරුවන් මවුපියන් අතහැර දමන අවස්ථා ද ඇත. මෙයින් බොහෝ දෙනෙක් ණය ගනු දෙනුවේ කර්මයට අනුව යෙදෙන විපාකය, අලුත් කර්මයකට හේතුවක් කර ගනිති. එය ඉතා ගැඹුරින් සිතා බැලිය යුත්තකි.

“සෑම මවුපියෙක්ම තමන්ගේ දරුවන්ටමය ආදරේ” ලෝකෝපකාර කාව්‍යයේ සඳහන් වේ. තමන්ගේ දරුවෝ ඇඟ දැවටි දැවටී සිටිත් නම් මවුපියන්ට ඊට වඩා සතුටක් නැත. එහෙත් මවුපියන් තමන්ගේ දරුවන්ටම ආදරය කරන විට ඒ මවුපියන්ගේ (තමන්ගේ) මවුපියන් දෙවැනි තැනට වැටී අමතක වන අවස්ථා එමටය. ඒ ලෝක ධර්මතාවකි.

සමහර මවුපියෝ කර්මානුරූප ණය ගනුදෙනු අවසන් වී දරුවන් අතහැර යති. එවැනි අවස්ථාවල ආච්චිලාට ද කිරි එරුණු දුර්ලභ අවස්ථා ද ඇත. එතැනින් ආරම්භ වන්නේ ද අලුත් ගනුදෙනුවකි.

කෑගල්ලේ අනිල හතළිස් හැවිරිදි පරිගණක ඉංජිනේරුවෙකි. ඔහු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව රැකියාව කරයි. එහිදී හඳුනාගත් අයේෂා සමඟ විවාහ වී දැනට වසර දහයක් පමණ වේ. ක්‍රිස්තු ලබ්ධික අයේෂා ද පරිගණක ඉංජිනේරුවරියකි. මේ යුවළ වයස අවුරුදු අටේ සහ පහේ දරු දෙදෙනෙකුගේ මවුපියෝ ය.

ඔවුන් ජීවත්වන නිවෙසේ අය රාත්‍රියට හීනෙන් බියට පත් වී කෑ ගසාගෙන අවදි වෙන්නට වූහ.‍ අයේෂා ගේ දෙපා කොර වී ඇවිදගන්නට නොහැකිව රෝද පුටුවකට සීමා විය. රාත්‍රියට දරු දෙදෙනා ළඟට කොණ්ඩය කඩා ගත් ආච්චි අම්මා කෙනෙක් පැමිණ ‍ඔවුන්ගේ සිරුර අත ගාන බව බියට පත් දරුවෝ පවසන්නට වූහ.

අයේෂාගේ දෙපා කොරවීමට ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය‍. නි‍වසේ පවතින අනිකුත් බියකරු අසාමාන්‍යතාවලට ඇමෙරිකානු ජාත්‍යන්තර අධිමානසික සංගමයට ඔවුහු ගියහ. එහිදී ක්‍රිෂ්ටි නමැති පියතුමා ඔවුන් පරීක්ෂා කොට, “ආච්චි ඇවිත් ඔයාලට ගෙදර යන්න අඬගහනවා. ලංකාවට ගිහින් ප්‍රශ්නය විසඳගන්න” යැයි ඔවුන්ට උපදෙස් දුන්නේ ය. ඊට අමතරව ඒ අධිමානසික සංගමයේ සාමාජිකත්වය ලබා සිටින ඇතුල්කෝට්ටේ විශ්ව ප්‍රාණී ගුප්ත විද්‍යා මධ්‍යස්ථානයට පියතුමා ඊමේල් පණිවුඩයක් මඟින් මේ පවුලේ අය බාරගෙන සුවපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

අකිල මාස තුනක් නිවාඩු ගෙන බිරිය හා දරු දෙදෙනා සමඟ ලංකාවට ආවේ ය. පැමිණ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානයට ගොස් අධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තම පවුලේ තත්ත්වය විස්තර කළේ ය. ඒ වනවිට ජාත්‍යන්තර අධිමානසික මධ්‍යස්ථානය මඟින් ගවේෂකවරයා දැනුම්වත්ව සිටි බව ද ඔහුගෙන් ප්‍රකාශ විය.

ප්‍රථම රෝග පරීක්ෂාවේ දීම අයේෂා ‍රෝද පුටුවත් පෙරළා ගෙන සිහි නැතුව වැටුණා ය. ඇය තුළින් භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.

“මම සීලවතී ඉස්කෝලෙ හාමිනේ. විශ්‍රාමික ගුරුවරියක්. මෙන්න මෙයාගේ ආච්චි” යි භූතාත්මය අකිල දෙසට අත දිගු කොට කීවා ය‍.

“ඇයි මේ අපට කරදර කරන්නේ?”

“මහත්තයා‍; මේ මගේ දුවගෙ පුතා. මගේ දුවගෙ චරිතය හොඳ නෑ. මුගේ තාත්තා ඒකිවයි මූවයි දාලා යන්න ගියා. අම්මත් මූව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා. එතකොට මූට වයස මාස පහයි. මම තමයි මූව හදා වඩා ගත්තේ. මූට දෙන්න මට කිරිත් එරුණා. මගේ සොච්චම් විශ්‍රාම වැටුපෙන් මම මූට හොඳට ඉගැන්නුවා. කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වයක් ලැබිලා මූ ඇමෙරිකාවට ගියා. අවුරුදු දහයකින් මේ අධමයා මාව බලන්න ලංකාවට ආවේ නෑ‍. එහෙදි යාළු වෙලා මේ අයේෂාව කසාද බැඳගෙන. මේ ගෑනි මහ නපුරි. මූ මේකිට බයයි. මුන්ට ළමයි දෙන්නෙකුත් ලැබුණා‍. මට ලියුම් එව්වා. පින්තූරත් එව්වා. මට මුගේ ගෑනිවයි දරු දෙන්නවයි බලන්න හරිම ආසාවක් ඇති වුණා.”

“ඉතින් ඉතින්!”

“ගෙදර වරෙන්. දරු දෙන්නත් අරගෙන වරෙන්‍. මට බලන්න ආසයි කියලා මම ලියුම් යැව්වා. දවසක් ලොකු දරුවත් එක්ක අකිල ලංකාවට ආවා. ගෑනියි පොඩි දරුවයි එක්ක ගෙන ආවේ නෑ. අයේෂා ක්‍රිස්තියානි කාරි. ඒකි ලංකාවට කැමැති නෑ‍. අකිලයි ලොකු දරුවයි සුමානයක් ගෙදර ඉඳලා ආපහු ගියා.”

“මම පොඩි දරුවා දැකගන්න ආසාවෙන් දුක් වුණා. පොඩි දරුවාවත් එක්ක ගෙන වරෙන් කියලා මම ඊට පස්සෙ ලියුම් දැම්මා. ඒත් මේ ග‍ෑනි තමයි එන්න නොදුන්නේ. මම මේ ගෑනි එක්ක තරහෙන් හිටියේ. දරු දෙන්නා දකින ආසාවෙන්. ඔය අතරෙ තමයි මම මැරුණෙ. මම මැරුණ ගමන් දරු දෙන්නා දකින්න ගියා. හොයා ගෙන ගියා” යි භූතාත්මය කීවාය.

“හරි ආච්චි අම්මා කෙනෙක් වශයෙන් මුනුපුරන්ට ආසා කළා. ආදරය කළා. ඒ ඒ අය ඔබ නිසා අසනීප වෙලා. ඔබ බෞද්ධ ගුරුවරියක් නිසා දන්නවානෙ ඔබ දැන් සීලවතී ඉස්කෝලෙ හාමිනේ නොවෙයි. දැන් ප්‍රේතියක්. ඔබට වුවමනා මොනවාද?”

“අනේ අකිල ප‍ුතේ. මගේ සොච්චම් වැටුපෙන් මම උඹව ලොකු මහත් කළා. ඉගැන්නුවා. ලොකු මිනිහෙක් කළා. එහෙම කරපු මම මැරෙන වෙලාවෙත් මේ දරු දකින්න ඕනෑ කියල විතරයි ඉල්ලුවේ. දැන් මේ ගෙදර ටික කාලයක් ඉඳපල්ලා” යි ප්‍රේතිය කීවාය.‍

“ඇයි පින් අවශ්‍ය නැද්ද”

“එහෙනම් මේ ගෙදර ලොකු දානයක් දෙන්න. මට අටමස්ථානය වඳින්න ඕනෑ.”

“ගෙදර සාංඝික දානයක් පිරිනමා ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන ලෙසත් අටමස්ථානයට ගොස් වන්දනා කොට ඒ ස්ථානවලදී මුණ ගැසෙන වැඩිහිටි උපාසිකාවන් අට දෙනෙකුට සිල් රෙදි පූජා කරන ලෙසත් අකිලට නියම කළේ ය. ප්‍රේතිය ඊට කැමැති වූවා ය.‍ එදින අයේෂාට රෝද පුටුවෙන් නැගිටින්නට පුළුවන් වූවේය.

දානය පිරිනමා පැමිණි දිනයේ භූතාත්මය මල් වට්ටියකට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය. එදින ඔවුන් අටමස්ථාන වන්දනාව ද ආරම්භ කළහ.

අයේෂා කෙරෙහි ඇති වූ තරහත්, දරුවන් කෙරෙහි ඇතිවූ ආදරයත් දැඩි ආශාවත් උපාදාන වූ චිත්ත සන්ථානය ඇය දුගතිගාමී කිරීමට හේතු විය. මැරුණු හැටියේ බලවත් ප්‍රේතියක්ව ඇමෙරිකාවට ගොස් තම ආසාවන් ඉටුකැර ගැනීමට කළ උත්සාහයක් මෙසේ නිමාවට පත් විය. අතමිට සරුවන විට, ගැහැනුන්ගේ බලපෑම්වලට යට වන විට යුතුකම් පැහැර හරින විට සිදුවන දේවල් මෙසේ ය. 

Comments