නීතිය නැමූ වැලිඔය පොලීසියේ ළමා අපයෝජනය | සිළුමිණ

නීතිය නැමූ වැලිඔය පොලීසියේ ළමා අපයෝජනය

 දිනය - 2018.05.08

ස්ථානය - වැලිඔය පොලිස් ස්ථානය

පොලිස් ස්ථානයට පැමිණෙන අයෙක් ප්‍රදේශයේ දඩබ්බර දරුවකු විසින් රුපියල් 21000ක් වටිනා තම තහඩු 14ක් සොරාගෙන ඇති බවත් ඒ පිළිබඳව විමසූ විට තමන්ට බැණ තර්ජනය කළ බවත් පොලිසියට පැමිණිල්ලක් දමයි.

ඒ පිළිබඳව නීතිය දැඩි ලෙසින් ක්‍රියාත්මක කරන ලෙසද පැමිණිලිකරු ඉල්ලා සිටී.

පොලිසිය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව එදිනම අදාළ බාල වයස්කාර දරුවා පොලිසිය මඟින් අත් අඩංගුවට ගනී. ඔහු පොලිසියට ගෙන ගොස් කට උත්තර ලබා ගැනීමෙන් පසුව වැඩි විමර්ශන සඳහා පොලිසියේ රඳවා තබා ගනියි. ඒ පසුදින පදවිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාය. දරුවා බාල වයස්කාර බැවින් ඔහුගේ ආරක්ෂාව පිණිස නීතියට අනුව කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ද එහි රාත්‍රී සේවයේ යෙදි සිටියි. මේ දරුවා බාරව සිටියේ ඇයයි.

පසුදින එනම් මැයි 9 වැනිදා අදාළ දරුවා පදවිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනුරාධපුර අභය ළමා නිවාසයේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි. ඒ පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.

අපගේ කතා දිග හැරුම ආරම්භ වන්නේ මෙතැන් සිටය.

වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කළ බවත් එම තත්ත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්ත්වයක පසු වන බවත් ඇවිද ගැනීමට නොව අසුන් ගෙන සිටීමටවත් අපහසු බව 15 හැවිරිදි මේ පිරිමි දරුවා විසින් උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ. ඔහු තව දුරටත් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය 8 දා අත් අඩංගුවට ගත් බවයි.එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09) පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රදවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති දරුවා එදින රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර ඇත.

පරිවාස නිලධාරීන් විසින් මේ දරුවා අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට බාර දී තිබේ. පසුව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

’රෑ පොලිස් මාමා කෙනෙක් ඇවිත් මට බැණලා කතා කළා. ඇදගෙන ඉන්න ඇඳුම් ගලවන්න කිව්වා. මම කැමැති වුණේ නැහැ. බලෙන් ඇදුම් ගලවගෙන මට තවත් බැන්නා. තෝ... දන්නවද මම කවුද කියල. මෙහේ වර කියල ඇදගෙන ගිහින් පොලිසියේ ඇතුළෙදිම මට මේ අපරාධය කළා. මට ඇවිදගන්නත් බැහැ. යන්න එන්නවත් පණ නැහැ වගේ දැනුණා. තෝ මේ ගැන කාට හරි කිව්වොත් පස්ස පැත්තටම වෙඩි තියලයි මරන්නේ.. දැන ගනිං... කියල මාව තල්ලු කරල ගියා’

වෛද්‍ය පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ 15 හැවිරිදි මෙම පිරිමි දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වී ඇති බවයි.

ඒ අනුව අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් අනතුරව මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ උපදෙස්වලට කටයුතු කෙරුණද අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ආරම්භයේදී පොලිසිය විසින් කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මහතා පවසා තිබුණේ මේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් මූලික විමර්ශනවලදී හඳුනා ගැනීමට නොහැකි නම් වැලිඔය පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි. ඒ සම්බන්ධව සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාට අදාළ නියෝගයක්ද ලබා දුන්නේය අපරාධයට සම්බන්ධ සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වුවහොත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල දිනපතාම අධිකරණය හමුවේ කැඳවීමට තමන්ට සිදුවන බවද මහෙස්ත්‍රාත්වරයා සහකාර පොලිස් අධිකාරිවරයාට දැන්වූයේය.

ඇස් වැසී තිබූ මාංචු හැංඟී තිබුණු පොලිසියේ ඇස් ඇරී ගියේ එවිටය. මැයි 28 වැනිදා දෝෂ දර්ශනයට ලක් වූ පොලිසියේ ක්‍රියාකාරීත්වය පැය 24ක් යන්නටත් මත්තෙන් ක්‍රියාකාරී වූයේ ඒ අනුවය.

ඒ අනුව මැයි 29 වැනිදා පොහෝ දින සැකපිට වැලිඔය පොලිස් ස්ථානයේ මැයි 8 වැනිදා රාත්‍රී සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඒ ගාල්ල, බූස්ස ප්‍රදේශයේ 50 හැවිරිදි වැලිඔය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු විවාහකයෙකි. ඔහු සිද්ධිය වූ දින රාත්‍රී පොලිසියේ දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කර ඇති බව මේ වන විට කළ විමර්ශනවලදී හෙළි ව ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ‍ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මහතා නියෝග කළේය. ජූනි මස 6 වැනිදා සැකකරු ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බංඩාර මහතාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින් අපයෝජනයට ලක්ව ඇති දරුවාද එදිනට අධිකරණයට රැගෙන එන ලෙස පරිවාස නිලධාරීන්ටද නියෝග කරනු ලැබීය.

සිද්ධිය වූ අවස්ථාවේ දරුවා ඇඳ සිටි ඇදුම් පොලිස් පරික්ෂණ කටයුතු සදහා යොදා නොගැනීම පිළිබඳව පොලිසියේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විනිසුරු ප්‍රභාකරන් මහතා විමර්ශනයක් සිදු කිරීමේදි එවැනි කටයුතු සදහා වෙනම අධිකරණ නියෝග පොලිසියට අවශ්‍ය නොවන බවටද පොලිසියට දැන්වීය. එසේම දරුවාගේ දෙමව්පියන්ට කුමනාකාරයේ හෝ බලපෑමක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද පොලිසියට නියෝග කෙළේය.

මේ අතර අපයෝජනයට ලක්ව ඇති දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ස්ථාන භාර පරිවාස නිලධාරි සුසන්ත ඒකනායක මහතා පෙනී සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ සිද්ධියට අදාළ බාල වයස්කාර දරුවා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ඔහු අපයෝජනයට පත්ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සනාථ කර ඇති බවත් මේ දරුවා ප්‍රදේශයේ ගම්වාසීගේ පිළිකුළට බඳුන් වී ඇති මව්පියන්ගේ අවවාද උපදෙස්වලින් තොර මීට පෙරද විවිධ අපචාර හා සොරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලද දරුවකු බවත්ය. එසේම නිසි අධ්‍යාපනයක් නොමැති දරුවකු බවත්ය. පැමිණිලි රැසක් ලැබුණත් බාල වයස්කාර දරුවකු නිසා පැමිණිලිකරුවන්ගේද එකඟත්වයෙන් සිද්ධීන් සමථයකට පත් කළ බවත්ය.

දරුවා ගැන පොලිසිය දරන්නේ එවන් මතයකි. එසේ වුවද අපටත් කීමට කතාවක් තිබේ.

ඒ වැලිඔය යනු පසුගිය කාලයේ සුන්දර ලෙස හඳුන්වන ලද ගම්මානයක් නොවන බවයි. වැලිඔය, ඇතාවැටුණුවැව, හැළඹ වැව, ජනකපුර, කල්‍යාණපුර මේ ගම්මාන ජනතාව හැඳින්වූයේ කොටි කටේ ගම්මාන ලෙසයි. නිරතුරුවම ත්‍රස්තවාදීන්ගේ මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ල වූ මේ ගම්මානයේ දරුවන් අධ්‍යාපනයක් ලැබුවා නම් පුදුමය වන්නේ එයයි. එසේම මේ දරුවාගේ පියා නොමැති බවටද වාර්තා වේ.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ගෙන් දෑසම අන්ධ වී වෛද්‍යවරයකු වීමට අධ්‍යාපනය ලබන වැලිඔය සිටින 13 හැවිරිදි දරුවකු ගැන අපි මීට පෙර වාර්තා කෙළෙමු. එසේම දියණියන් තිදෙනකු සමඟ බංකරයක දිවි ගෙවන වැන්දඹු මවක ගැනද අපි වාර්තා කෙළෙමු. මේ වැලිඔය ජන දිවියයි. හරි හමන් නිවාසයක් වැසිකිළියක් තවමත් මේ ජනතාවට උරුමව නැත.

ඒ කෙසේ හෝ වේවා පොලිසිය භාරයේ සිටින දරුවකු අපයෝජනය කළ හැකිද? එමෙන්ම මහේස්ත්‍රාත්වරයා දෝෂ දර්ශනයට ලක් කරන තුරු සැකකාර පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූයේ ඇයි?

දැන් තවත් පැනයක් අපට අසන්නට ඉතිරිව තිබේ. බාල වයස්කාර මේ දරුවාගේ රැකවරණයට එදින රාත්‍රියේ සේවයේ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියට එරෙහිව ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

නීතියට අනුව නම් ඇයද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත විය යුතුය. තම භාරකාරත්වයේ සිටි දරුවකු අපයෝජනය වූ ඇය පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් කිසිදු උපද්‍රවයකින් තොරව සේවයේ යෙදී සිටියාය.

මේ අප දකින්නේ නීතියේ නැමීමදැයි අපට ප්‍රශ්නයක් ඉතිරිව ඇත. අවම වශයෙන් ඇයගේ සේවය තහනමකට ලක් කර පරීක්ෂණ පැවැත්විය යුතුය. එහෙත් පොලිසියට නීතියක් නැති බව අපට මෙයින් පෙනී යයි.

යළි මේ නඩුව කැඳවන තුරු ඇයට ගැටලුවකින් තොරව සිටින්නට හැකි වනු ඇත. ප්‍රශ්නය වන්නේ තවත් දැරියක් හෝ දරුවකු යම් සිදුවීමක් මත ඇය භාරයේ සිටියහොත් ඔවුන්ට කාගේ පිහිටද යන්නයි!

සේයාරූ - රුක්මල් ගමගේ 

Comments